
“සිලෝන් ටී" නාමය මෙරට පමණක් නොව ලොව පුරාම තේ රස විඳින හා ඒ රස ප්‍රිය කරන ජනතාව අතර බොහෝ සෙයින් ජනප්‍රිය නාමයක් වී තිබේ. නිසැකවම ඒ සඳහා ප්‍රධාන හේතුව කිසිදු අවිවාදයකින් තොරවම ඉස්තරම්ම තේ නිෂ්පාදනය කරන රටක් ලෙස ශ්‍රී ලංකාව පිළිගැනීමයි. වර්තමානය වන විට අපේ තේ කර්මාන්තය අර්බුද රැසක පවතින බව තේ නිෂ්පාදනය කරන පිරිස් පවසයි. ඒ නිසාම වසර 150 ක් පුරා "සිලෝන් ටී" ලෙස අද්විතීය ගෝලීය වෙළෙඳ සන්නාම නාමයක් හිමි කරගෙන ඇති ශ්‍රී ලාංකීය තේ තවදුරටත් කර්මාන්තයක් ලෙස පවත්වා ගෙන යෑම සැක සහිත තැනකට පත්ව තිබේ.
මේ වනවිට පවතින පොහොර හිඟය ඒ සඳහා හේතු නිර්මාණය කර ඇති අතර ඉහළ යන ඩොලරයට සාපේක්ෂව තේ දලු මිල ඉහළ නොයාමද තේ කර්මාන්තය ආශ්‍රිතව මතු කර ඇති අර්බුදය තවදුරටත් තීව්ර කර තිබේ.
සත්‍ය වශයෙන්ම මීට දශක දෙක තුනකට ඉහතදී නම් ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදන සඳහා තේ නිෂ්පාදනයේ නියැළෙන ලොව අන් කිසිදු රටකින් මොනයම්ම හෝ අභියෝගයක් එල්ල වූයේ නැත. නමුත් මේ වන විට චීනය, ඉන්දියාව, කෙන්යාව හා ටැන්සානියාව වැනි රටවලුත් තේ වගාව කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන අතර මේ වන විට අප රටට ඒ රටවල් සමඟ කරට කර තරග කරන්නට සිදු වී තිබේ.
ක්‍රම ක්‍රමයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික වගාවක් බවට පත් වුණු තේ කර්මාන්තය හා ඒ ආශ්රිත ජීවනෝපාය මාර්ගය සරිකර ගන්නා පිරිස ලක්ෂ 38ක් පමණ වේ යැයි ගණන් බලා ඇති අතර පසුගිය 2020 වසරේදී පමණක් තේ කිලෝ මිලියන තුන්සියයක් නිෂ්පාදනය කරන්නට අප රටට හැකියාව ලැබී තිබේ.
අපනයන වෙළෙඳපොළ ඉලක්ක කර ගත් මෙරට තේ නිෂ්පාදනය මේ වන විට මුහුණ දී සිටින මෙම පසුගාමී තත්ත්වය පිළිබඳව තේ වගාවේ නිරත වී සිටින පාර්ශ්ව රැසකගෙන් අප අදහස් විමසූ අතර එහිදී අදහස් දැක්වීමට එක් වූ ගාල්ල හා කළුතර තේ වතු හිමියන්ගේ සංගමයේ ආරම්භක ලේකම් උෂාන් සමරසිංහ ප්‍රකාශ කර සිටියේ තේ වගාවට අවශ්‍ය පොහොර ඇතුළු නිසි ප්‍රමිතියකින් යුතු යෙදවුම් නිසි මිලකට ලබා දීමට බලධාරීන් කටයුතු කළ යුතු බවයි. එවිට ශ්‍රී ලාංකීය තේ කර්මාන්තය පෙර මෙන් ගෝලීය ප්රවණතාවන්ට ගෙන ඒමට හැකි වනු ඇති බව කී ඔහු තේ නිෂ්පාදනය ඉහළ නංවා අලෙවි ප්‍රවර්ධනය වැඩි කර ඉහළ නැවතත් රටට වැඩි විදේශ විනිමය ආදායමක් ඉපැයිය හැකි ක්ෂේත්රයක් බවට තේ කර්මාන්තය පත් කළ හැකි බව ද අවධාරණය කළේය. වර්තමානයේ තේ කර්මාන්තයේ ප්‍රධාන නිෂ්පාදන කණ්ඩායම් ලෙස කුඩා තේ වතු හිමියන් සහ පෞද්ගලික වතු හිමියන් කටයුතු කරන බවත් මේ වන විට තේ කර්මාන්තය මුහුණ දී සිටින ප්‍රධාන ගැටලුව ලෙස මෙම සියලුම පාර්ශ්ව හඳුනා ගෙන ඇති කාරණාව වන්නේ පොහොර අර්බුදය වන බවත් පෙන්වා දුන් හෙතෙම තමන් වෙහෙසෙන්නේ තේ කර්මාන්තය මුහුණ දී සිටින මෙම ප්‍රශ්න රජයට හා බලධාරීන් වෙත පෙන්වා දී ඊට තිරසාර විසඳුම් ලබා ගැනීමට බවද සඳහන් කළේය.
මධ්‍යම මහනුවර දිස්ත්‍රික් කුඩා තේ වතු සමිති සංවිධානයේ සභාපති දඹගොඩ සෙනෙවිරත්නද අදහස් දැක්වූ අතර එහිදී ඔහු පෙන්වා දුන්නේ මෙරට තුළ සිදු කෙරෙන තේ නිෂ්පාදනයෙන් සියයට 75% ම තේ නිෂ්පාදනය කරන්නේ කුඩා තේ වතු හිමියන් වන බවයි.
මෙරට තුළ නිෂ්පාදනය කරනු ලබන කාබනික කොම්පෝස්ට් පොහොර කිසිසේත්ම තේ වගාවට ගැළපෙන්නේ නැති බවත්, එම කොම්පෝස්ට් පොහොර ගැළපෙන්නෙ බීජ තේ සඳහා බවත් ඔහු පෙන්වා දුන් අතර බීජ තේ ඉවත් කර ඒ වෙනුවට රිකිලි තේ හඳුන්වා දුන් පසු පොළොවට රසායනික ද්‍රව්‍ය යොදවා තේ රෝපණය කිරීමට සිදු වූ බවද සඳහන් කළේය. තේ වගාව තුළ අවස්ථා කීපයකදීම වගාවේ සාර්ථකත්වය සඳහා ප්‍රමිතියකින් යුත් රසායනික පොහොර භාවිතා කරන බවද මේ වන විට බල පා ඇති පොහොර ගැටලුව නිසා 40% දලු අස්වැන්න අඩු වී ඇති බවද ඔහු සඳහන් කළ අතර රුපියල් 95ක් පමණ මුදලකට තේ දලු කිලෝව මිල නියම වී ඇති වකවානුවක තේ නිෂ්පාදකයන් කබලෙන් ලිපට වැටී ඇති බවද ඔහු ප්‍රකාශ කළේය. ලංකාවේ පොහොර ප්රශ්නය විසඳෙන විට අපට අපනයන වෙළෙඳපළ අහිමි වී යාමේ දැඩි තර්ජනයක් උද්ගත වී ඇති බව ඔහුගේ අදහස වන අතර "සිලෝන් ටී" ඉල්ලුමට සරිලන නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත අලෙවි කිරීමට නොහැකි වුවහොත් එම වෙළෙඳපොළ වෙනත් තරගකාරී රටවල් විසින් දිනා ගැනීමට ඉඩකඩ පවතින බවද හෙතෙම ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ගාල්ල හා කළුතර තේ වතු හිමියන්ගේ සංගමයේ ලේකම් රංජිත් කුමාර ගුණවර්ධන අදහස් දක්වමින් පැවසුවේ මීට පෙර රුපියල් 1550 ට මිලදී ගත් පොහොර මිටියට දැන් රුපියල් 6350 ක් ගෙවීමට සිදු වී ඇති බවයි.ඒ සමගම රුපියල් 1000 ක් ගෙවා කොම්පෝස්ට් පෝර මිටියකුත් මිලදී ගැනීමට සිදුව ඇති බවත් ඔහු ප්‍රකාශ කළ අතර දැනට රට තුළ පවතින ආර්ථික වාතාවරණය තුළ එලෙස ඉහළ මුදල් ගෙවා පොහොර මිලට ගැනිමට නිෂ්පාදකයන්ට හැකියාවක් නැති බවද පැවසීය. විකිණෙන සෑම තේ කිලෝ එකකින් ම 15% ක සෙස් බද්දක් රජය අයකර ගන්නා අතර තවත් 10% තේ මණ්ඩලය නඩත්තුව සඳහා අය කර ගන්නා බවත් පෙන්වා දුන් ඔහු තේ කර්මාන්තය කිසිදු ලෙසකින් හෝ රටට බරක් වී නොමැති සඳහන් කර සිටියේය.
කුඩා තේවතු හිමියන්ගේ සංගමයේ සභාපති කේ.එල් ගුණරත්න ද මෙහිදී අදහස් දැක්වූ අතර තේ වගාකරුවන් සඳහා කලින් හිමි වූ 50% පොහොර සහනාධාරය අහිමි කර ඇති බවත් එකී වගාකරුවන්ට මේ වන විට කිසිදු සහනයක් ලබා දී නැති බවත් ඔහු පැවසීය. නයිට්රජන් පොහොර නොමැති වීම නිසා නිසි ප්‍රමිතියකට තේ දලු නිෂ්පාදනය නොවන බවද අවධාරණය කරන ලදී. තේ වගාකරුවන් මුහුණ දී සිටින මේ ගැටලුවලට අප්‍රමාදව විසඳුම් ලබා දීමට නොහැකි වුවහොත් බොහෝ පිරිසක් වගාවෙන් ඈත් වනු ඇති බවටද ඔහු බිය පළ කළ අතර මේ දිනවල පවතින වර්ෂාව හේතුවෙන් තේ වගාව තරමක් දුරට ශක්තිමත්ව පැවැතියත් ඉදිරියේදී කුමන තත්ත්වයක් ඇති වේදැයි කිව නොහැකි බවද ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ කොමසාරිස් ජයන්ත එදිරිසිංහගෙන් අප මෙම ගැටලු පිළිබඳව රජයේ ස්ථාවරය විමසූ අතර එහිදී ඔහු සඳහන් කර සිටියේ පොහොර ගැටලුව හා කාබනික පොහොර ප්රශ්නය තේ වගාකරුවන් තමන් විසින්ම නිර්මාණය කර ගත් ප්‍රශ්නයක් බවට තමන් විශ්වාස කරන බවයි. තේ වගාවට අවශ්‍ය කොම්පෝස්ට් පොහොර මෙරටේම නිෂ්පාදනය කර ගැනීමට හැකියාව තිබියදී විශාල ලෙස ඩොලර් වැය කර විදේශ රටවලින් රසායනික පොහොර ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව පෙන්වා දුන් ඔහු මෙරට තුළ නිෂ්පාදනය කරන පොහොර තේ වගාව සඳහා අතිශයින්ම ප්‍රමාණවත් වන බවත් මදි පාඩුවට කාබනික පොහොර යෙදීය හැකි බවත් සඳහන් කළේය. මේ වන විට ලෝකයේම පොහොර වල මිල වැඩි බවද කී කොමසාරිස්වරයා කවුරුන් කෙලෙස කුමන විධියට විග්රහ කළ ද කාබනික පෝහොර පරිභෝජනය කරන්නට බොහෝ වගාකරුවන් කැමති බවද සඳහන් කළේය.
වැඩි කාබනික පොහොර ප්‍රමාණයක් සමඟ අඩු රසායනික පොහොර ප්‍රමාණයක් යොදා පස සරු කරගෙන තේ වගාව සිදු කළ හැකි නම් නිසැක ලෙසම තේ වගාවට හොඳ කලක් උදා වනු ඇති බවද කී ඔහු ඉදිරියේදී තේ දලුවල මිල වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඒ සමඟ ලංකාවේ තේ වලට හොඳ ඉල්ලුමක් නැවතත් ලැබෙනු ඇති බවත් විශ්වාසය පළ කළේය.