ඖෂධ සමාගම්වලට රජය පැරදෙයි! | සිළුමිණ

ඖෂධ සමාගම්වලට රජය පැරදෙයි!

 

“මෙහි බේත් ද්‍රව්‍ය නිපදවන සමාගම් කීපයක් පිළිගත් ඖෂධ නිෂ්පාදන පිළිවෙත් උල්ලංඝනය කොට ඇත. සමාගම් බොහොමයක් වෙළෙඳ නාම සහිත බේත් ද්‍රව්‍ය මිලට ගන්නේ වාර්ගික ඖෂධ නිෂ්පාදකයන්ගෙනි. එසේ මිලට ගත් බේත් ද්‍රව්‍යවලට ඔවුන්ගේ වෙළෙඳ නම් යෙදූ ලේබල් අලවා හතර පස් ගුණයකින් මිල අධික කොට විකුණති.”

මේ ප්‍රකාශය නිසා කෑ ගැසූ වෛද්‍යවරු දුර්මුඛ වුව ද යළි කෑ ගසන්නට වූහ.

“සමාගම්වල බේත්වලට වඩා සංස්ථාවේ බේත් ගුණාත්මක බවෙන් අඩුයි කියා ඔප්පු කළ හැකිද?”

පිළිතුරු වෙනුවට ලැබුණේ මහා ඝෝෂාවකි. වේදිකාවේ සිටි අනෙක් මහාචාර්යවරයා දෙස ආයාචනාත්මක බැල්මක් හෙළූ සේනක “මොවුන්ට ඔබේ පිළිතුර දෙන්නැ”යි කීය.

ඔහු බිම බලා ගනී. සත්‍යය දෑස ඉදිරියේ බැබළෙමින් තිබුණ ද මේ රැස්වීමේ සිටින වැඩි දෙනකුට එය පිළිගැනීම අපහසු ය. ඖෂධ සමාගම්වල තෑගි ඊට වඩා බැබළෙන හෙයිනි.

වෛද්‍ය පීඨයේ ශ්‍රවණාගාරයේ පැවැති ‍ඒ රැස්වීමට ආ වෛද්‍යවරුන්ගෙන් වැඩි දෙනෙක් ඖෂධ සමාගම්වලට විකිණී ඇති සැටි ද, මහාචාර්ය සේනක බිබිලේ බෙහෙවින් විඩාපත්ව සිටින සැටි ද පස‍ුපෙළ අසුන්ගෙන සිටි ආචාර්ය කොල්වින් ගුණරත්න දුටුවේ ය.

දෙපැයක් පමණ වේදිකාවේ නැඟී සිටිමින් පිළිතුරු දුන් මහාචාර්යවරයාගේ මුහුණ උපේක්ෂා සහගත හැඟීම්වලින් පිරෙනු ද එය අඳුරු වැ යනු ද ඔහුට පෙනිණ.

මඳ වේලාවකට පසු සේනක එක අතක් ළය මත තබා ගනු ද අනෙක් අතින් බේත් පෙත්තක්ගෙන දිව යට තබා ගනු ද පෙනිණ.

කොල්වින් ගුණරත්න නැගිට්ටේ ය.

“සර්, දැන් ඔය කතාව ඇති” හිතවත්තු කීහ. එහෙත් ඔහු දෑතින් ම ළය බදා ගනිමින් උස් හඬින් පිළිතුරු දුන්නේ ය.

“ඔය පිළිතුරුවලින් වැඩක් නැහැ. ඖෂධ සමාගම් මුන්ගේ ඇස් අන්ධ කරලා! කන් බිහිරි කරලා....” කවුදෝ කීහ.

සේනක හිඳ ගත්තේ ය.

මිතුරෝ ඔහු නිවසට ගෙන ගියහ.

ලීලා බිබිලේ ඔහු පිළිගත්තා ය.

“ඔයාට මම අකීකරු වුණා නේදෑ”යි සේනක කුඩා දරුවකු මෙන් ලීලාගෙන් ඇසුවේ ය.

* * * * *

පෞද්ගලික බේත්හල්වලට එන ජනතාව ගේ දෙසවන් ඖෂධ සංස්ථාවට සහ සේනක බිබිලේට ගරහන බසින් පිරිණි.

“අපට කරන්න දෙයක් නැහැ. බේත්වල මිල දැන් වැඩි වෙලා. යනවා ගිහින් අහනවා සේනක බිබිලේගෙන් මේ මොකද කියන ඔය බේත් වර්ග දැන් ඇත්තෙත් නැහැ. අපි හොයා ගන්නෙත් අපහසුවෙන්.”

ඖෂධ වෙළෙන්දා ජනතා සිත්හි සංස්ථාව පිළිබඳව වෛරය ගොඩනැඟීමට වෑයම් කළහ.

“ආයෙත් බේත් ගෙන්වීමට බලය සමාගම්වලට දීපල්ලා. එතකොට ඔය බේත් හිඟය නැති වෙනවා.”

මේ මතය ප්‍රචාරය කිරීමට ඇතැම් පුවත්පත් ද වෙහෙසුණි.

මෙය අධිරාජ්‍යවාදී බහුජාතික සමාගම්වල වුවමනාවෙන් ඖෂධ සංස්ථාවේ ප්‍රගතිශීලී ගමන අඩාළ කිරීමේ ව්‍යාපාරයක් සේ හඳුනාගත් සංවිධානාත්මක වැඩකරන ජනතාව මෙය හෙළිදරව් කිරීමට පෙරමුණට ආහ. ඖෂධ සංස්ථාවේත්, රජයේ බේත් ගබඩාවේත්, තවත් ආයතන කීපයකත් වෘත්තීය සමිතිවල සාමාජිකයෝ ඖෂධ හිඟය මවාපෑමක් බව හෙළි කරමින් ගබඩාවල සැඟවී තිබුණු ඖෂධ එළියට ගත්හ.

ජනතාව හොරේ වටහා ගති. බේත් හිඟයේ රහස හෙළි විය. පන්දම්කාර පත්තරවලට සහ සමාගම්වලට විකුණුනු තුච්ඡ වෛද්‍යවරුන්ට ජනතා සාපය යොමුවිය.

“අපි දැන් කුමක් කරමු ද?”

ජනතා ප්‍රේමීහු තම තමාගෙන් ම ඇසූහ.

“සංස්ථාවේ ඖෂධ වෙළෙඳසල් පිහිටුවමු.”

එක් යෝජනාවක් මතු විය.

පෞද්ගලික ඖෂධ වෙළෙඳ හල් ලාභය අඩු ඖෂධ විකිණීමට මැළි වූ අතර ඇතැම් ඖෂධ රැස් කර තබා නොගත් බව පෙනිණ. සමාගම්වල වුවමනාව පරිදි සංස්ථාවට පහර වැදෙන පරිදි ඒ ඖෂධ වෙළෙඳසල් හැසුරුණු අවස්ථා බොහෝ විය.

මේ නිසා සංස්ථාවෙන් ඖෂධ වෙළෙඳ හල් ඇරැඹීමෙන් ජනතාවට වඩාත් යහපත් සේවයක් කළ හැකි බව සේවක කමිටුව වෙනුවෙන් උපසේන ජයරත්න, සේනකට යෝජනාව ඉදිරිපත් කෙළේ ය.

ජීවන වියදම් පිළිබඳ රැස් වූ කැබිනට් අනුකාරක සභාවේ නියමයක් පරිදි සංස්ථාවෙන් ඖෂධ වෙළෙඳහල් ඇරැඹීමේ යෝජනාව සම්මත විය.

පළමුවන ඖෂධ වෙළෙඳ හල, ‘ඔසුහල’ නමින් කොළඹ මහ රෝහල අසල අක්කර භාගයක් පමණ වූ ඉඩමක පිහිටුවනු ලැබීය. දවසේ පැය විසිහතරේම එය විවෘත කැර තැබීමට ද නියම කැරිණි.

“අනාගතයේදී ප්‍රධාන කාර්යාලය පිහිටුවීමට පවා සුදුසු වන පරිදි මේ භූමියේ සුවිශාල මහල් ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට අපට හැකිවේවි. එය සංස්ථාවට හොඳ ආදායම් මාර්ගයක් ද වේවි.”

සේනක අනාවැකියක් ද උපසේන ජයරත්න සමඟ පළ කළේය. ඒ ඉඩම මිලට ගත්තේ මහාචාර්ය ඔස්මන්ඩ් ජයරත්න ගේ උපදෙස් සහිතව ඔහුගේ ඥාතියකුගෙනි. (එහෙත් වර්තමානයේ ඖෂධ සංස්ථාවේ ප්‍රධාන කාර්යාලය ඇත්තේ රුපියල් මිලියන ගණනක් කුලී ගෙවන ගොඩනැඟිල්ලකය.)

නව ඔසුහල ඖෂධ ජාවාරම්කරුවන්ට වැදුණු තවත් පහරක් විය. රටින් ඖෂධ ගෙන්වීම හා බෙදා හැරීම පමණක් කළ සංස්ථාව දැන් ඖෂධ වෙළෙඳාමට ද බැසීම ඔවුන් කුපිත කිරීමක් විය.

1974 පෙබරවාරි 15 වැනි දින ‘ඇත්ත පුවත්පත’ ඔහුහල’ පිහිටුවීම ගැන කතුවැකියක් පළ කරමින් මෙසේ කීය.

“මෙම සංස්ථාව මෙතෙක් කළ වැඩ මෙන් ම මේ වෙළෙඳසල විවෘත කළ ආකාරය ද අප දිරිගන්වයි. පළමුකොට එයට තැබූ ‘ඔසුසල’ යන නම අපේ සිත් ගනී. එය සේවය කරන්නට බලාපොරොත්තු වන්නේ මේ රටේ ජනතාවට බව එයින් ම පැහැදිලි වේ. දෙවෙනිව එය විවෘත කළේ කිසි ඝෝෂාවක් නැතිවය. ඝෝෂාවටත්, ප්‍රචාරයටත් වැඩියෙන් වැඩ කරන්නට ඔසුසල බලාපොරොත්තු වන බව එයින් පෙනේ. ඒ වෙනුවෙන් මහාචාර්ය සේනක බිබිලේ ඇතුළු මණ්ඩලයට අපි අපේ දුප්පත් ජනතාව වෙනුවෙන් පින් දෙමු.

මින්පසු දොස්තරවරුන් වෙළෙඳ ලකුණු නාමයෙන් ඖෂධ නියම කළත් ඖෂධ සංස්ථාවේ ඔසුසල එම වෙ‍ෙළඳ ලකුණ දරන ඖෂධය තමන් ළඟ නැත්නම් එම ඖෂධ ගුණයම ඇති වෙන ඖෂධයක් දෙන්නට යෝජනා කරනු ඇත. එසේ යෝජනා කරන්නේ මහාචාර්ය සේනක බිබිලේ, මහාචාර්ය ඇස්. ඩී. ඩබ්ලිව්. ලයනල්, මහාචාර්ය ඇස්. ආර්. කෝට්ටේගොඩ යන මහතුන්ගේ උපදෙස් පිටය. මේ උපදෙස් නියම කරන බේතේ ගුණයම ඇති වෙනත් බේතක් ඔවුන් යෝජනා කළත් එය දෙන්නේ මුලින් ම බේත නියම කළ දොස්තරගේ කැමැත්ත අනුව ය.

අපට වුවමනා වෙළෙඳ ලකුණු නොව ඖෂධයි. රටේ විදේශ විනිමය ඉතිරි කොට වෙළෙඳ ලකුණුවලට යට නොවී, වෙළෙඳ ජාවාරම්වලට ගැති නොවී ලාබම තැනින් අපට අවශ්‍ය ඖෂධ ලබාගෙන බෙදා දෙන්නට ඖෂධ සංස්ථාව ඉදිරිපත්වීම ජාතියේ වාසනාව.”

* * * * *

කොළරා රෝගීන් දිවයිනේ විවිධ ස්ථානවලින් සොයාගත් බව පුවත්පත්වල පළවිය.

“කොළරාවට බේත් නැහැ.”

“අද කොළරා රෝගීන් දහසක් සොයා ගත්තා. ඔවුන්ට ප්‍රතිකාර කිරීමට ඖෂධ නැහැ.”

“ඖෂධ සංස්ථාව වහා පිළිතුරු දෙනවා. මරුවා සමඟ වාසේ තවදුරටත් බැහැ...” පුවත්පත් ද වෛද්‍ය සංගම් ද ඇතැම් සමිති ද වහා ඝෝෂාවක් ඇරැඹීය.

“වහාම ඖෂධ ලබා දීමට අපට පිළිවන්. මා ඉල්ලන දේ මට ලබා දිය යුතුයි...”

සේනක ඔවුන්ට පිළිතුරු දුන්නේය.

කොළරා රෝග මර්දනයට අවශ්‍ය ඖෂධ අමුද්‍රව්‍ය විශාල තොගයක් පෝලන්තයෙන් ලබා ගැනීමට ඖෂධ සංස්ථාවට හැකිවිය. ලංකාවේදි ඒවා කරල්වලට පිරවීම අවශ්‍ය විය. ඒ සඳහා අවශ්‍ය පහසුකම් පැවැතියේ බහුජාතික සමාගමකට අයත් කම්හලක ය.

“මේ අමුද්‍රව්‍ය කරල්වල පුරවා දෙන්න.” සේනක ඒ සමාගමෙන් ඉල්ලීමක් කළේය.

ඖෂධ සංස්ථාව ජනතාවගේ වෛරයට ලක්කිරීමට හොඳම අවස්ථාවකි මේ. ඔබේ ඉල්ලීම අපි ‍ඉටු නොකරමු.

සමාගම සේනකගේ සිත රිදෙන පිළිතුරක් දුන්නේ ය.

“ජනතාව මාරාන්තික රෝග තර්ජනයකට මුහුණ පා සිටිනවා. වහා ම අපේ ඉල්ලීම ඉටු කරන්න.”

ඔහු යළි ඉල්ලුවේ ය.

සමාගම්වල සිත උණුවුණේ නැත.

සංස්ථාව කඩා බිඳ දැමීමට මෙය හොඳ අවස්ථාවකි.බහු ජාතික සමාගම එයින් උපරිම ඵල ‍ගැනීමට සිතුවේය.

සේනක ඖෂධ සංස්ථාව බාර කර්මාන්ත ඇමති ටී.බී. සුබසිංහ සහ මුදල් ඇමති ඇන්.ඇම්. පෙරේරා සමඟ මේ ගැන සාකච්ඡා කළේ ය.

“අපි ඉවසුවා ඇති. බහුජාතික බූවල්ලන්ට අන්තිම පාඩම ඉගැන්වීමට වෙලාව ඇවිත්. මේ කම්හල් වහාම ජනසතු කරමු. රජය වහාම ක්‍රියාත්මක විය යුතුයි. නැත්නම් බේත් කරල්වලට ඖෂධ පුරවන අර යන්ත්‍ර සූත්‍ර අතුරුදහන් විය හැකිය.”

සේනකට ඒ ඇමතිවරු දෙදෙනා ම එකඟ වූහ.

ඖෂධ සංස්ථාවේ සේවකයෝ ද, රටේ විවිධ කම්කරු සංවිධාන මේ බේත් කම්හල් ජනසතු කරන ලෙස උද්ඝෝෂණය කළහ.

“නුඹලාගේ කම්හල් ජනසතු කරනවා. දැන්වත් අපේ ඉල්ලිම් ඉටු කරනවා.”

සේනක යළි ඖෂධ සමාගම්වලින් ඉල්ලුවේය.

රටේ ආහාර අර්බුදයක් ද විය. ඇමරිකානු ආධාර වැඩි වැඩියෙන් අවශ්‍ය කාලයක් විය.

සමාගම් නොසැලී සිටියේ ය. ඔවුන් බිය වූ බව නොපෙණින.

ඖෂධ සමාගම් ඇමරිකන් තානාපති හමු වූ බව ද, තානාපති අගමැතිනිය හමු වූ බව ද අසන්නට ලැබිණ.

සේනක, ඇන්.ඇම්. ටී.බී. යළි සාකච්ඡා කළහ.

“තානාපති අගමැතිනියට කරන බලපෑම ජයගතහොත් මම ඉල්ලා අස්වෙනවා.” සේනක කීය.

ඇන්.ඇම්. සිනාමුසුව සේනක දෙසට හැරිණ.

“කලබල වෙන්න එපා. ඉවසිල්ලෙන් වැඩ කරමු.”

ටී.බී. සුබසිංහගෙන් කියවුණේ ද ඒ වචනම ය.

අගමැතිනිය සේනක කැඳවූවා ය.

“ඖෂධ කම්හල්වලට අත තැබුවොත් ඇමරිකන් ආධාර කපන බව තානාපති කීවා. කම්හල් ජනසතු කිරීමේ ඉල්ලීම ඉටු කළ නොහැකියි.” ඇය කීවා ය.

ඔහු ගෙදර ආවේ දැඩි කලකිරීමෙනි.

“ලීලා අපි සමාජවාදී ගමනක් යනවා කියනවා. ඒත් අපි යන්නේ කවුරුන් සමඟ ද? සමාජවාදී සමාජයක ආකෘතියක් මා සංස්ථාවේ ගොඩනඟන්න වෑයම් කළා. එය කළ හැකි ද? ධනපති ක්‍රමය රටේ විශාල කොටසක බලය අල්ලාගෙන සිටිනවා. එය මුළුමනින්ම විනාශ නොකොට මේ ගමන යන්න බැහැ. ඊයේ ආණ්ඩුව බහු ජාතික සමාගම්වලට යටත් වුණා. ඍජු දැඩි තීරණයක් ගන්න අපේ පාලකයන්ට ශක්තියක් නැහැ.” ඔහු ඇය සමඟ කීවේ ය.

* * * * *

රජය බහු ජාතික සමාගම්වලට යටත් වීමෙන් පසු ඖෂධ සංස්ථාවේ සේවකයන් තුළ ඇති වූ කලකිරීම හා ‍ශෝකය සේනකට පෙනිණ.

“සහෝදරවරුනි, කලකිරෙන්න එපා. සංස්ථාව තුළ කුඩා සමාජවාදී සමාජයක් ඇතත් බාහිර - අප ජීවත්වන රටේ වැඩි වශයෙන් පෙනෙන්නේ ධනවාදී රදළවාදී ක්‍රමයක්. මේ සියල්ල නසා දමා අලුත් සමාජයක් ගොඩ නඟනතුරු මේ ප්‍රශ්න, කලකිරීම්, පසුබැසීම් ඇති වෙනවා. මෙතන එක්තරා පසුබැසීමක් තියෙනවා. ඇත්ත. අඩි දෙකක් පස්සට - අඩියක් ඉදිරියට - යළි වේගයෙන් ඉදිරියට යනුවෙන් අපේ ශ්‍රේෂ්ඨ නායකයා - ලෙනින් කී කතාව මෙහිදී අපි සිහිපත් කරමු. අපි පසුගිය අවුරුදු තුන තුළ කළ කටයුතුවලින් ජනතාවට යම් මෙහෙයක් වී ඇද්දැයි බලන්න. ඖෂධ සමාගම් කුපිත වී සිටින්නේ ඔවුන්ට අපෙන් පහර වැදුණු නිසා. ඔවුන්ට පහර වැදීම යනු ජනතාවට සහනයක් ලැබීම. අපට ඒ ඇති. හැකි අයුරින් අපි ජනතාවට සේවය කරමු.”

සේවකයන් තුළ සිඳී ගිය ධෛර්යය යළි පුබුදුවා ඔහු යළි වැඩ ඇරඹු‍වේ ය. එහෙත් ඔහු තුළ ඇති සිත් වේදනාව ලීලා බිබිලේ හැමවිට ම දුටුවා ය.

නීරෝගී සුවපත් ජනතාවක් ස්වයං පෝෂිත දේශීය ඖෂධ ප්‍රතිපත්තියක් ඔහුගේ ප්‍රාර්ථනාව විය. ඒ ප්‍රාර්ථනාව ඉටුකර ගනිමින් පෙරට ගමන් කිරීමට ඔහුට ඉඩ නොදෙන බලවේග දැන් ශක්තිමත් වෙමින්, හරස් වී සිටිනු ඔහුට පෙනිණ. ලීලා ඔහුගේ ගෙදර පරිසරය සුවදායක කළේ ය. ගෙදරින් කිසිදා ප්‍රශ්නයක් මතුවීමට ඇය ඉඩ නුදුන්නා ය.

ලිවර් බ්‍රදර්ස් සමාගමේ සේවය කළ ඇය මහනුවර බහිරව කන්දේ පුෂ්පදාන පටුමගේ ඉඩම් කැබැල්ලක් මිලට ගෙන නිවසක් ඉදිකළා ය. ඒ සඳහා වැය කිරීමට සේනකට මුදල් නොතිබිණ. ඔහුට ලැබුණු මහාචාර්ය වැටුපෙන් වැඩි කොටසක් ඔහු සමාජසේවා කටයුතු සඳහා වැය කළ හෙයිනි. නිවස ඉදිවුණේ ලීලා ගේ මුදලිනි. ඔහු එය මිතුරන්ට කීවේ ආඩම්බරයෙනි.

“මේ මගේ ලීලා - මේ ගේ හැදුනේ එයාගේ මුදලින්. එයාගේ මහන්සියෙන්.”

“මුලින් ම ‍කාමර දෙකක් හදාගෙන අපි පදිංචි වෙමු. ඊට පස්සෙ ටික ටික ගේ හදමු.” ඇය කීවා ය.

* * * * *

දින කීපයක් බිබිලේ ගත කළ සේනක සහ ලීලා ආපසු නිවසට පැමිණි විට කාමරයක ජනේලයක් කඩා ඇති බව පෙනිණ.

විදුලි ඉස්තිරික්කය, යතුරු ලියනය, වීදුරු බඩු සහ තවත් බඩු කීපයක් අතුරුදන් වී තිබිණ. සේකට දුකක් ඇතිවුණේ යතුරුලියනය නැතිවීම ගැනය.

අසල්වැසියෙක් පොලිසියට පැමිණිලි කර තිබිණ.

පසු දිනෙක සොරා අත්අඩංගුවට ගත් පොලිසිය ඔහු සේනකගේ නිවසට ගෙන ආවේ ය.

ජීප්රිය තුළින් සොරා බිමට බැස්සේ අපහසුවෙනි. සේනක සිය නිවසෙන් පිටතට පැමිණියේ ය.

සොරා නැඟී සිටියේ වෙවුලනා දෙපා මත ය. ඔහුගේ සරමෙහි ලේ බිඳු තිබිණ. දණහිසේ ද කෙන්ඩාවල ද ලේ කැටි ගැසී තිබිණ. තැති ගත්, අනුකම්පාව යදින සොරාගේ මුහුණ දෙස බලමින් ඔහු ළඟට ආ සේනක සිය සරම පිටුපසින් ඉහළට ඔසවාගෙන ඔහු වටා ඇවිද්දේ ය. සොරා බියෙන් යුතුව සේනක දෙස බැලුවේ පොලිසියෙන් ලැබුණු සංග්‍රහවලට වඩා වැඩි සංග්‍රහයක් ඔහුගෙන් ලැබෙතැයි සිතා ය.

සොරා යළි පොලිසියට ගෙන ගොස් දවසකට පසු සේනකට පොලිසියෙන් පණිවුඩයක් ලැබිණ.

“සොරකම් කළ බඩු සොයාගත්තා. වහාම එන්න.”

සේනක පොලිසියට ගොස් දෙපැයකට පසු නිවසට ආවේ ය.

“කෝ බඩු....?” ලීලා ඇසුවා ය.

“ආ මට මතක නැතිවුණා. මං ඒ ළමයා එක්ක කතා කර කර හිටියා.”

“මොන ළමය එක්ක ද?”

“හොරා එක්ක. මිනිහට තියෙනවා හොඳ කතාවක්. ඇයි මිනිහා මහාචාර්යවරයෙක් නොවී හොරෙක් වුණේ කියල මං හොයා බැලුවා. පොලිසිය මිනිහට ගහල වධ දීල බඩු සොයා ගත්ත. සොරකු වීමට තුඩු දුන් හේතු මම සොයා ගත්ත. මුල ඉඳලම සමාජ අසාධාරණය මිනිහට හරස්වෙලා. ධනපති සමාජ ක්‍රමය ඔහුට හිස එසවීමට ඉඩ දීලා නැහැ. කුඩා කල සිට ඔහු ඉබාගාතේ ගියා. තවත් ඔහු වගේම අයට එකතු වුණා. ඔහුට මඟ පෙන්වීමක් මේ සමාජ ක්‍රමයෙන් කරලා නැහැ. දඬුවම් දෙන්නේ නොමඟට තල්ලුවුණු පුද්ගලයාටයි. අප මේ ක්‍රමය වෙනස් කළ යුතුයි.”

“ඔයා ඕවා හිත හිතා ගෙදර ආවා. බඩු ටික පොලිසියේ.”

සේනක නිහඬව සිටියේ ය. මඳ වේලාවකින් හඬ නඟා සිනාසුණේ ය.

“ඔයා දන්නවද ඒ ළමයා කියපු තවත් කතාවක්. විශ්වවිද්‍යාලෙ නිල නිවාස ගණනාවක් ම මිනිහා රෑට බිඳල තියෙනවා. බඩු ඇදල තියෙනවා. මිනිහා කිව්වා විශ්වවිද්‍යාල මහාචාර්යවරු නිදාගන්න ගියාම මෙ‍ලෝ සිහියක් නැහැ. හෙණ ගැහුවත් අවදිවෙන්නෙ නැහැ කියල. මිනිහා කියපු කතාව නම් හරියට හරි. අපේ බොහෝ මහාචාර්යවරු ඉන්නේ නැගිටුවා ගන්න බැරි අපහසු මහා නින්දක. නැත්නම් මේ රට නැඟිටලා හුඟක් කල්.”

ඔහු මේ කතාව වෛද්‍ය පීඨයේ දේශනවලදී මෙන්ම ඖෂධ සංස්ථාවේදී ද නිතර කීවේ ය.

ලබන සතියට...

Comments