
- කල්පිටියේ අතහැර දැමූ සංචාරක කලාපය
- වසර 10ක්ම ව්‍යාපෘතිය අකර්මණ්‍ය වන්න ඉඩ හැරලා
- කෝප් කමිටුවෙන් දැඩි දෝෂ දර්ශන
- සරුංගල් සර්ෆින්
මෙරට සංචාරක කර්මාන්තය දියුණු කිරීම පිණිස උතුරේ හා වයඹ ඉහළ ප්‍රදේශයේ අවධානයට යොමු නොවූ ප්‍රදේශ එක්කර ගැනීම සම්බන්ධව කථිකාවන් නිර්මාණය වූයේ වසර 2010 පමණ සිටය. විශේෂයෙන් උතුරේ වැලි කඳුවලින් සමන්විත පූනරීන් හා මලල්කාඩු මෙන්ම වයඹ ඉහළ කොටසේ කල්පිටිය දූපත් යොදා ගැනීම වඩාත් ඵලදායි මෙන්ම අලුත් සංචාරක කලාප ලෙසින් හඳුන්වා දීමට සංචාරක විශේඥයන් විසින් කටයුතු කර තිබුණි.
එහෙත් මේ සංචාරක කලාප දෙකම කෙරෙහි පැහැදිලි අවධානයක් යොමු නොවීය.
පසුකාලීනව 2011 වසරේදී කල්පිටිය දූපත් ආශ්රිත සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සම්බන්ධව විශේෂ අවධානයක් යොමු විය. එහිදී සිදු කළ මූලික ප්‍රවර්ධන කටයුතුවලින් පසුව ආයෝජකයෙක්ද ඉදිරිපත් විය. ආයෝජකයා ඉදිරිපත් වූයේ කල්පිටිය ආශ්රිත දූපත්හි සංචාරක ආකර්ෂණය ගැන මැනවින් සොයා බැලීමෙන් අනතුරුවය. අදාළ ආයෝජකයා ඒ වනවිටත් මාලදිවයිනේ සංචාරක ව්‍යාපෘති කිහිපයකටම සම්බන්ධ වූ නිසා මෙරට සංචාරක ප්‍රවර්ධන කටයුතු සම්බන්ධව පැහැදිලි ගමනක සලකුණු පෙන්නුම් කරන ලදී.
එහෙත් අපේ රටේ අවාසනාවට ඔහුගේ ‘ජල බංගලා ව්‍යාපෘතියට‘ (Water Bungalows) අනුමැතිය ලබා ගැනීමට නිසි ආයතනයක් හඳුනා ගැනීමට නොහැකි වීම නිසා ව්‍යාපෘතිය අතරමඟ ඇණ හිටියේය. ආයෝජකයෙක් ඉදිරිපත්ව තිබියදීත් ව්‍යාපෘතියක් එලෙසින්ම ඇණ හිටීම රටේම අවාසනාවකි. ඒ සම්බන්ධයෙන් පසුගිය දිනක කෝප් කමිටුවේ දැඩි අවධානය යොමු විය.
මෙම ආයෝජකයාට අනුමැතිය ලබා දීමට නොහැකිව වසර 10 ක් තුළ මෙලෙස ව්‍යාපෘතියක් ප්‍රමාද වීම සංචාරක කර්මාන්තයේ දියුණුවට මෙන්ම රටේ සංවර්ධනයට බාධාවක් බැවින් මේ සඳහා වහාම මැදිහත් විය යුතු බව කෝප් කමිටුවේ සභාපතිවරයා පෙන්වා දුන්නේය. ඒ පසුගිය නොවැම්බර් 26 වැනිදා කෝප් කමිටුව රැස් වූ අවස්ථාවේදීය.
අක්කර 2055 ක් වූ කල්පිටියේ දූපත් 12 න් 5 ක් සඳහා ආයෝජකයා 2011 වසරේදී ඉදිරිපත් වුවද ඇතැම් පිරිස් හඬ නැඟුවේ දූපත් විදේශිකයන්ට අලෙවි කරන බවයි. කෙසේ වුවත් මේ දූපත්හි සංචාරක ආකර්ෂණයක් තිබෙන බවට ත්‍රස්තවාදී යුද සමයෙන් පසුව ලෝක සංචාරක මඟ පෙන්වන්නන් පවා හඳුන්වා දී තිබුණි. විශේෂයෙන්ම පොතුවිල් ආරුගම්බෙ මුහුදු තීරයටත් වඩා මුහුදු ආකර්ෂණයක් කල්පිටිය හරහා ලබා ගත හැකි බවට එහිදී පෙන්නුම් කර තිබුණි.එම නිසා විදේශීය සංචාරකයන් නිරතුරුවම කල්පිටිය සංචාරක කලාපයක් ගැන විමසුවද එහි ප්රවර්ධනයක් නිසි ලෙසින් නොතිබූ බැවින් සංචාරකයන්ට කල්පිටියේ සැරිසැරීම මෙන්ම එහි ආර්ථිකයට වටිනාකමක් ඇති නොවීය.
බොහෝ දෙනො නොදන්නා කල්පිටියේ සංචාරක ආකර්ෂණ ස්ථානයන් සම්බන්ධයෙන් පළමුව අප දැනුමක් ලබා ගත යුතුය.
කල්පිටියේ සංචාරක ආකර්ෂණ ස්ථානයන් අතුරින් මුල් තැනක් ගන්නේ ඩොල්ෆින් හා තල්මසුන් නැරඹීමට හැකි වීමයි. බෝට්ටුවේ නැඟී පැය බාගයකට වැඩි මුහුදු ගමනකින් කල්පිටියේ දී ඩොල්ෆින් මසුන් දැක ගැනීමට හැකිවන අතර කලපු ආසන්යේ ඩොල්ෆින් නිරතුරුවම පාහේ දැක ගැනීමට හැකි වීම මෙහිලා සංචාරකයන්ගේ ආකර්ෂණය ලබා ගැනීමට සමත්ය. මුහුදු ඩොල්ෆින් මත්ස්‍යන් බහුල කාලයක්ද තිබේ. කල්පිටියට එන සංචාරකයෝ බෝට්ටුවලින් ඩොල්ෆින් සොයා ගමන් කරති. එමෙන්ම මුහුදේදී ජලය මතු පිටට එන ඩොල්ෆින් සහ තල්මසුන් ජලයෙන් ඉහළට පැන එන දසුන් නිසා සංචාරක ආකර්ෂණය වඩාත් වැඩිවේ. එම මත්ස්‍යන් එසේ ජලයෙන් ඉහළට පැන යන්නේ පුරුදු පුහුණු කළ මසුන් මෙන් වීම මේ ආකර්ෂණයට විශේෂිතම හේතුවකි. මේ ලෙසින් ඩොල්ෆින් හා තල්මසුන් දැක ගැනීමට මෙරට ඇති ප්‍රදේශ ඉතාම විරලය. එම නිසා කල්පිටිය යනු සංචාරකයන්ට තොතැන්නකි. රටට හොඳ ආදායමකි.
මේ ඩොල්ෆින් හා තල්මසුන් නැරැඹීමට අමතරව කල්පිටියට ඉහළින් බත්තලන්ගුණ්ඩුව, ඉප්පන්තිවු, පෙරිය ආරිච්චලායි, ඉටුමටිවු, උච්චිමුනි ආදී ලෙසින් දූපත් 12කි. (එය ඇතැම් විට 13ක් ලෙසද සැලකේ) මේ දූපත් සංචාරයද සංචාරක ආකර්ෂණය ඇති කරවයි. ත්‍රස්තවාදී තර්ජන තිබූ සමයේ ඇතැම් ත්රස්තවාදීන් මේ දූපත්හි සැඟවී සිටි නිසා විවිධ සීමාවන්ට යටත් වන්නට දූපත්වාසීන්ට සිදුව තිබුණි. එහෙත් දැන් ඒ සියලු සීමා ඉවත්ව ගොසිනි. දූපත් අතුරින් බත්තලන්ගුණ්ඩුව ජනප්‍රිය දූපතකි. බත්තලන්ගුණ්ඩුවේ රැයක් ගත කිරීමට පවා බොහෝ සංචාරකයෝ කැමැත්ත පළ කරති. බත්තලන්ගුණ්ඩුව දූපතේම සංචාරය පැය 2ක් වැනි කාලයකින් සිදු කළ හැකිය.
මීට අමතරව විශේෂත්වයක් ගන්නේ කල්පිටිය ලන්දේසි කොටුවයි. කල්පිටිය ලන්දේසි කොටුවේ පැරණි ආකෘති තවමත් සුරැකිව පවතී. කොටුවේ දොරටුවේ වූ දැවමය කැටයම වසර එක්දහස් හයසිය ගණන්වල ඉදි කරන ලද්දක් බවට හඳුනා ගෙන තිබේ. එමෙන්ම වෙනත් මුහුදු සංචාරක කලාපවල දකින්නට අසීරු ‘සරුංගල් සර්ෆින්‘ ද මෙහිලා වැදගත්ය.
සුළඟ සමඟ පොරබදන විශාල පැරෂුටයක් මෙන් සරුංගල් රැසක් එහි දක්නට පුළුවන. එහි කෙළවරක එල්ලී සිටගෙන ජලය මත ලිස්සා යන සංචාරකයන්ය. කල්පිටියේ සරුංගල් සර්ෆින් හෙවත් ‘කයිට් සර්ෆින්‘ ජයටම සිදු කෙරේ. මේ සරුංගල් සර්ෆින් ජනප්‍රිය වූයේ යුද්ධයෙන් පසු ඇති වූ පුනරුදයත් සමඟය.
එමෙන්ම කොරල් පර සහ කඩොලාන දැක බලා ගැනීමටද කල්පිටි සංචාරය වැදගත් වේ. විවිධ වර්ණයෙන් යුත් අලංකාර මුහුදු ජීවීන්ගෙන් සහ මසුන්ගෙන් සමන්විත කොරල්පර රැසක්ම කල්පිටියේ දක්නට තිබේ. කොස්ගොඩ වෙරළ තීරය මෙන් කැස්බෑවුන්ද බිත්තර දැමීමට පැමිණෙන අවස්ථාද කල්පිටියට එන සංචාරකයන්ට දැක බලා ගැනීමට අවස්ථාව සැලසේ.
කළපු මත්ස්‍යයන් මෙන්ම සාගර මත්ස්ය්යන්ද මේ සංචාරයේදී දැක බලාගත හැකි වීම විශේෂත්වයකි. විශේෂයෙන්ම කඩොලාන සහ කලපු ආසන්න පරිසරය ඉස්සන්ට හොඳ තෝතැන්නකි. ඒ පරිසරයේ ඉක්මනින් වැඩෙන ඉස්සන් ඇල්ලීමට කුඩා ඔරු රැගත් ධීවරයෝ උත්සාහ ගනිති.
කල්පිටිය දූපත්වලටම ඍජුවම සම්බන්ධ නැනත් තලවිල ශාන්ත ආනා දේවස්ථානයද මේ සංචාරක කලාපයටම වැදගත් ස්ථානයකි. මෙරට ඉතාම පැරැණි ක්‍රිස්තියානි පල්ලියක් ලෙස එය සැලකේ. තලවිල වන්දනා සමයේ එය දස දහස් ගණන් ක්‍රිස්තියානි බැතිමතුන්ගේ පුදබිමකි.
මේ ලෙසින් සුන්දර දසුන් සහිත දූපත් හා ආගමික වශයෙන් වැදගත් සංචාරක කර්මාන්තය සදහා යොදා නො ගැනීම ගැන අප අවධානය යොමු කළ යුතුය.
කෝප් කමිටුවේ අවධානයට යොමු වූ තවත් විශේෂ කරුණක් වූයේ කල්පිටිය තොරයිඅඩි ජැටිය සහ වන්නිමුන්දලම කලපුව අසල පාර ඉදිකිරීම වෙනුවෙන් කළුගල් සහ බොරලු පස් සඳහා වැඩිපුර මිලියන 10 ක් ගෙවීම පිළිබඳ ව ය. මෙහිදී අධිකාරිය පැවසුවේ මේ පිළිබඳව පුත්තලම දිස්ත්‍රික් ඉංජිනේරුවරයාගෙන් විමසූ බවත් එහිදී අදාළ ලියකියවිලි ඔවුන් සතුව නොමැති බැවින් ඉදිරි කටයුතු සිදු කිරීමට නොහැකි බව දන්වා ඇති බවයි. ඒ පිළිබඳව සොයා බැලීමට 2016 වසරේදී කෝප් කමිටුව විසින් නිර්දේශයක් ලබා දී තිබුණ ද ඒ ගැන සොයා බැලීම ආරම්භ කර ඇත්තේ 2018 වසරේදී බව විගණාධිපතිවරයා විසින් හෙළි කර තිබේ. ඒ සම්බන්ධයෙන් කෝප් සභාපතිවරයා දැඩි අප්‍රසාදය පළ කරන ලදී.
2018 - 2019 වසරවල සංචාරක කටයුතු සංවර්ධනය සදහා රු බිලියන 1.2 ක් වියදම් කළද සංචාරයකයන් පැමිණ ඇත්තේ මිලියන 1.9 ක් බවත් මේ නිසා වඩාත් කාර්යක්ෂම යාන්ත්‍රණයක් යටතේ සංචාරක කර්මාන්තය වෙනුවෙන් දැනට වෙන්ව පවතින ආයතන ක්‍රියාත්මක විය යුතු බවත් සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු විසින්ද කෝප් කමිටුවේදී පෙන්වා දුන්නාය. මේ අනුව සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් වෙන් වශයෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශය යන ආයතන ඒකාබද්ධ කර එක් ආයතනයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය වෙනම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් සභාපතිවරිය පෙන්වා දෙයි.
ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇති බැවින් ලබන වසරේ මාර්තු - අප්‍රේල් මාසයන් වන විට නව පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.
මාලදිවයින මේ වන විට සංචාරක කර්මාන්තයේ ශීඝ්‍ර දියුණුවක් ලබා ඇති බැවින් ශ්‍රී ලංකාවට එම තත්ත්වයට යාමේ ඇති බාධාව පිළිබඳ කමිටුවේ අවධානය යොමුවිය. එහිදී ගෝලීය වශයෙන් ක්‍රියාත්මක මහජන සම්බන්ධතා හරහා ප්‍රවර්ධන කටයුතු සිදු කිරීම, ජාත්‍යන්තර මට්ටමේ විශේෂඥයන් 15 දෙනෙකුගේ කුඩා කණ්ඩායමක් යටතේ මෙහෙයවීම, ප්රමුඛ පෙළේ ජාත්‍යන්තර ආයෝජකයන් ගෙන්වීම හරහා ඔවුන් විශාල ප්රවර්ධනයක් සිදුකිරීම යනාදි කරුණු මීට බලපා ඇති බව අනාවරණය වේ.
මේ සංචාරක කලාපය දියුණු කරන්නට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් වරෙක උත්සාහ ගත්තේය. විශේෂයෙන්ම මදුරන්කුලිය මර්සි අධ්‍යාපන කේන්ද්‍රයේ පැවති ග්‍රාම ශක්ති වයඹ පළාත් මෙහෙයුම් කමිටුවේදී ඒ සම්බන්ධව වැඩි අවධානයක් යොමු කළ හිටපු ජනාධිපතිවරයා අදාළ සංචාරක කර්මාන්තය නිසා දූපත්වාසී ජනතාවට සේවයක් සැලසෙනු විනා කිසිදු ගැටලුවක් ඇති නොවන බවද පෙන්වා දුන්නේය.
කල්පිටිය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ දූපත් වසර 30 සිට – 99 දක්වා කාලයක් ආයෝජනයට බදු පදනම මත ලබාදීම පමණක් සිදු කෙරේ. ට සැලසුම් කර ඇත.
ඒ ලෙසින් බදු දීම නිසා කල්පිටිය දූපත් ආශ්‍රිතව දිගුකාලීනව ජලය, විදුලිය හා ප්‍රවාහන, වැනි යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙනු ඇත. එසේම දූපත්වල ජනතාවට ඕනෑම හදිසි අවස්ථාවකදී ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු ද සලසා ගත හැකි වනු ඇත.
මෙරට මුහුදු සංචාරක කලාප ලෙස දකුණ, නිලාවෙලි, ආරුගම්බෙ, පාසිකුඩා වැනි සංචාරක කලාප රැසක් ඇතත් ඒ සියලු මුහුදු සංචාරක කලාපයන්ට වඩා අලංකාර හා විවිධ සංචාරක ආකර්ෂණ රැසකින් යුත් කල්පිටි දූපත් මේ දක්වා ආර්ථික වර්ධනයට යොදා නොගැනීම නම් ජාතික අපරාධයක් බව පෙන්වා දිය යුතුය.