කිරි වෙළෙඳපොළ දිලුලන ලකුණ මිල්කෝ | සිළුමිණ

කිරි වෙළෙඳපොළ දිලුලන ලකුණ මිල්කෝ

 

2020 වසරේ මිල්කෝ ආයතනය ලැබූ ශුද්ධ ලාබය මිලියන 417යි

 

2019 වසරේ පමණක් පාඩුව මිලියන 800යි

 

 

මිල්කෝ ආයතනයේ විධායක සභාපතිවරයා ලසන්ත වික්‍රමසිංහය. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් ගණිතය පිළිබඳ උපාධියක්, නිෂ්පාදන කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහිත විද්වතෙකි.

 

ලසන්ත වික්‍රමසිංහ මිල්කෝ ආයතනයේ විධායක සභාපතිවරයා ලෙස පත්වී එන්නට පෙර මේ රටේ පෞද්ගලික අංශයේ නමක් දිනූ වෘත්තිකයෙකි. ව්‍යාපාර පද්ධති විශ්ලේෂකයකු සහ සැපයුම් දාම ගුරුවරයකු ලෙස සම්භාවනාවට ලක් වූ ඔහු Haycarb PLC හි නිෂ්පාදන සැලසුම්කරුවකු ලෙස වසර දෙකක කාලක් සේවය කර තිබිණි. ඉන් පෙර පුරා වසර 13ක් මෘදුකාංග සංවර්ධන සමාගමක් වන IFS හි ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර විශ්ලේෂකයෙක් ලෙස කටයුතු කළේය.

මිල්කෝ ආයතනය තිබුණේ පාඩු ලබමිනි. 2017 සහ 2018 වසරවල ආයතනය රුපියල් මිලියන හයසීයකට වඩා වැඩි පාඩුවක් ලැබුවේය. 2019 දී පමණක් ලැබූ පාඩුව මිලියන 800කි. නමුත් පසුගිය මූල්‍ය වර්ෂය අවසන් වනවිට ආයතනය ශුද්ධ ලෙස මිලියන 417ක ලාබයක් ලබා තිබිණි.

“ මේ වසරේත් ඒ හා සමාන ලාබයක් ලබන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා.“ එසේ කියන්නේ ලසන්ත වික්‍රමසිංහය. රාජ්‍ය ආයතන සහ ව්‍යවසායන් සම්බන්ධව අසුබ කතාම ඇසෙමින් ඇති වකවානුවක මේ ප්‍රසාදජනක ආරංචිය අපට කියමින් ඇත්තේ යහපත් මානව සම්පත් කළමනාකරණයක් තුළ කෙටි කාලයකින් සාධනීය ආර්ථික පරිවර්තනයක් තවමත් අපට ළඟාකර ගත හැකි බවය.

•මිල්කෝ ඉතිහාසය

 

මිල්කො යනු රටේ සංස්කෘතික ඉතිහාසයේ කොටසක් වෙළෙඳපොළ තුළ රූපණය වූ හැඩය ය. ඒ වෙළෙඳ පොළ ආගමනය සිද්ධ වන්නේ වර්ෂ 1956 දී ය. වර්ෂ 1956 දී මෙම ආයතනය පිහිටුවන්නේ ජාතික කිරි මණ්ඩලය ලෙසය. මිල්කෝ ලෙස පරිවර්තනය වන්නේ ජාතික කිරි මණ්ඩලය ය. එය ව්‍යවස්ථාපිත ආයතනයක වූයේය. මිල්කෝ ව්‍යුහාත්මකව ගත් විට සියයට සියයක් භාණ්ඩාගාරය සතුව පවතින, සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ පෞද්ගලික සමාගමකි.

ආයතනය එක් පැත්තකින් කිරිගොවියා සමඟ සමීපය. ඔවුන්ගේ ආර්ථිකය නඟා සිටුවීමට මිල්කෝ ආයතනය විශාල කර්තව්‍යක් කරන්නේය.

 

•වෙළෙඳ පොළ තරගය

 

ඔවුන් දේශීය වෙළෙඳ පොළ තුළ තරග කරන්නේ දැවැන්ත බහුජාතික සමාගම්වල නිෂ්පාදන සමඟය. ඕනෑම නිෂ්පාදන ආයතනයක පැවැත්ම තීන්දු කරන්නේ වෙළෙඳපොළය. මේ අවස්ථාව ප්‍රායෝගිකව ජයගත් මිල්කෝ ආයතනයේ විධායක සභාපති ලසන්ත වික්‍රමසිංහ මේ පිළිබඳ අපට කියන්නේ මෙවැනි කතාවකි.

“මිල්කෝ කියන්නෙම අභියෝගාත්මක ආයතනයක්. ‍මේ තියුණු වෙළෙඳපළ තරගයට අපට සම්ප්‍රදායිව ප්‍රවේශ වෙන්න බෑ . අපට කල්පනා කරන්න වෙන පරාසය වැඩියි. අපි කොහොමද මේ රටේ ජනතාවට සුබ සිද්ධිය සලසන ආයතනයක් විදියට මේ තියුණු වෙළෙඳ පොළ අභියෝගය ජය ගනිමින් අපේ තරගකරුවන් අබිබවා යන්නෙ කියලා හිතලයි අපි සැලසුම් හදන්න වෙන්නේ.

නිෂ්පාදන භාණ්ඩ පැත්තෙන් අපේ උපාය මාර්ගික සැලැස්ම වුණේ ඉතාමත්ම හොඳ භාණ්ඩ පාරිභෝගිකයන්ට ලබා දීම. අප එය ජයගත්තා. ඔබ දැන් දකිනවා පාරිභෝගිකයන්ගෙ අංක එකේ සන්නාමය බවට හයිලන්ඩ් සන්නාමය පත් වෙලා තිබෙනවා.“

 

•ගුණාත්මක නිෂ්පාදන

වැදගත්ම සංසිද්ධිය වන්නේ මිල්කෝ මේ වෙළෙඳපොළ අත්පත් කරගැනීම සිදුකරන්නේ බහුජාතික සමාගම් කිරිපිටි අලෙවිය සඳහා කරන දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපෘතීන් අතර තම නිෂ්පාදන වෙනුවෙන් කිසිදු ප්‍රචාරණයක් ලබා නොදීමෙන් වීමය.

“ අපේ ප්‍රචාරකයන් තමයි පාරිභෝගිකයො... ගුණාත්මකබාවය නිසාම පාරිභෝගිකයන් අපේ ප්‍රචාරකයන් විදියට පත් කරගන්නට අපට හැකිවී තිබෙනවා.“

එසේ නම් මිල්කෝ ආයතනය පිහිටුවීමේ පරමාර්ථය දැන් ඉටු වී තිබේ ද? අප ඔහුව විමසුවෙමු.

“අනිවාර්යයෙන්ම ඔව්. මට අනුව මිල්කො ආයතනය පිහිටුවීමේ පරමාර්ථය ඒ අයුරින්ම ඉටුවුණු බවට සෑහීමකට පත්වීමට නම් නොහැකියි. මිල්කො ආයතනයෙහි විභවය පුළුල් ලෙස පැතිරුණු එකක්. අපි ඒ විභවය ඵලදායී කාර්යක්ෂමතාවකින් තවම පාවිච්චියට අරන් තිබෙනවා කියලා මා හිතන්නෙ නැහැ . ඇත්තට අපි පැමිණි දුරට වඩා බොහෝ දුරක් යන්න පුළුවන් හැකියාවක් අපට තිබෙනවා. “ “අපට රට පුරා විසිරුණු කිරි ගොවි ජාලයක් ඉන්නවා. ඒ දැවැන්ත ශක්තිය අපි නිසි ලෙස කළමනාකරණය කරගෙන නෑ. අපේ දැක්ම මේ විභව හඳුනාගෙන ඉදිරියේ සැලසුම් සහගත ගමනක් යන එක.“

මිල්කො ආයතනය ප්‍රධාන වශයෙන් භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතනයකි. භාණ්ඩවල ගුණාත්මක බව මෙන්ම ප්‍රමාණාත්මක සුලබතාව නොමැති නම් එහි වෙළෙඳපොළ පැවැත්ම ස්ථාවර නැත. පාරිභෝගිකයන් ලෙස අප අත්විඳ ඇත්තේ මේ නිෂ්පාදන හිඟය ය.

“ මිල්කො ආයතනයෙහි සැපයුම් පිළිබඳ තමයි ගැටලුව තිබෙන්නෙ. අපට ලැබෙන කිරි ප්‍රමාණය අපේ නිෂ්පාදන සඳහා වන ඉල්ලුමට වඩා අඩුයි. අපි වෙළෙඳපොළ තරගය ජයගෙන අංක එකේ සන්නාමය වුණා තමයි. නමුත් නිෂ්පාදන ධාරිතාව අඩුයි. ඊට හේතු වෙන කරුණු කීපයක් තිබෙනවා. කිරි නිෂ්පාදනය ආයතන ගණනාවකට පැවරෙන වගකීමක්. මිල්කො ආයතනය තනිවම ගත් විට ව්‍යවස්ථාපිතව පැවරෙන වගකීම ඉතාමත්ම කුඩයි.

“මිල්කෝ ආයතනයේ වත්මන් සභාපතිවරයා පවසන ආකාරයට මේ ජාතික අවශ්‍යතාව සම්පූර්ණ කරගැනීමේ දී පැන නඟින ගැටලු රැසකි. කිරි ගොවියාගේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැන්වීමට මෙතෙක් දියත් කළ වැඩපිළිවෙළ පිළිබඳ වත්මන් පරිපාලනය තෘප්තිමත් නැත.

“ මා දකින විදිහට කිරි නිෂ්පාදනය වැඩිකිරීමට අවශ්‍ය මූලික සරල කාරණාව වූ ගැටලු හඳුනා ගැනීමකින් පවා තොරවයි මෙතෙක් බොහෝ ව්‍යාපෘති දියත් වී ඇත්තේ. කිරි නිෂ්පාදනයට ඇති මූලික ගැටලුව තමයි එළදෙනුන්ගේ පෝෂණය මදිකම. සත්තුන්ට අවශ්‍ය තරම් ආහාර නෑ. මේ පෝෂණ ඌණතාව නිසාම සතුන් ගැබ් ගන්නව අඩුයි. අපට අලුත් ව්‍යවසායකයන් සොයා ගත හැකියි. ඒත් ඒ අයට දෙන්න සත්තු අපට නෑ. පරිපාලනයට අවශ්‍ය නිලධාරීන් ප්‍රමාණවත් නෑ. මූලිකව විසඳාගත යුතු ප්‍රාථමික මට්ටමේ ගැටලු ගණනාවක් තිබෙනවා.

“මේ සරල ගැටලු විසඳගෙන අපට විශාල වපසරියක් ආවරණය කළ හැකියි. ඒ සඳහා වෙනම ක්‍රමවේදයක් හදාගෙන අප අපේ ඉලක්ක සාධනය කරගන්නවා. උදාහරණයක් කියන්නම්. අප පෞද්ගලික ඉඩම් තිබෙන අය සම්බන්ධ කරගෙන අක්කර 500ක තණකොළ වගාවක් ආරම්භ කළා. ඔවුන්ගෙන් තණකොළ මිලදී ගන්නවා කියලා ඔවුන් එක්ක ගිවිසුම්ගත වුණා. ඒ තණකොළ කිරි ගොවීන්ට ලබා දෙන වැඩසටහනක් අපි හැදුවා. මේ ව්‍යාපෘතිය වෙනුවෙන් තරුණයන් පුහුණු කළා වගේම අනෙක් ආයතනත් මේ සඳහා දිරිමත් කළා. ලබන අවුරුද්ද අවසන් වනවිට අක්කර 4000ක තණකොළ වවන්න අපි සැලසුම් කරලා තිබෙන්නේ...“

 

•නව වසරේ සැලසුම

 

කිරි ගවයන්ට පෝෂණය ලබා නොදී ගව ගාල් තැනීම ප්‍රයෝජනයක් නැත. අප මෙපමණ කලක් කර ඇත්තේ පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමය. මේ තත්ත්වය තුළ දේශීය කිරි නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම වසර කීපයක දිගු සැලසුමක ප්‍රතිඵලයක් ලෙස ලබා ගත යුත්තකි.

ලබන වසරේ සිට කිරි නිෂ්පාදකයාගේ එළදෙනට අවශ්‍ය සැපයුම් ලබා දීමට මිල්කෝ ආයතනය සැලසුම් කර ආයතනයක් ලෙස කිරි ගොවියා ස්ථාවර කිරීමට සැලසුම් සහගත වැඩපිළිවෙළක් දියත් කර ඇත.

“ කිරි ගොවීන් වෙනුවෙන් අප වැටුප් ක්‍රමයක් ආරම්භ කළා. වසර දෙකක් තුළ විටින් විට කිරි මිල වැඩි කළා. ඔවුන්ගේ පවුල්වල සුබසාධනය පිළිබඳ ඍජුව කටයුතු කළා. අපගේ ශක්තිය ආඩම්බරය සහ පැවැත්ම ඔවුන්. මිල්කෝ ආයතනය මේ තැනට අරගෙන ආවේ ඔවුන් විසින්.

මට දැනෙන විදියට අපි කිරි ගොවියා බලා ගත්ත ආකාරයේ බරකින්ම කිරි ගවයාත් රැක බලා ගත යුතුයි. කිරි අස්වැන්න වැඩි වෙන්නේ අප විසින් බලාගෙන නිසි ලෙස පෝෂණය කරන එළදෙනගෙන්... කිරි ගොවියා වෙනුවෙන් ගොඩනගපු සුබසාධනය ඒ ආකාරයෙන්ම පවත්වා ගන්නා අතර කිරි ගොවියා රැකෙන එළදෙන පෝෂණය කරලා ගුණාත්මකව ඉහළ කිරි ප්‍රමාණයක් ලබා ගන්න අප සැලසුම් කරනවා. කිරි ගොවියාගේ ආර්ථික ශක්තිය එතකොට ඉබේම වැඩි වෙනවා. මීළඟ වසරේ අපේ උපාය මාර්ගික සැලසුම එයයි.“ වික්‍රමසිංහ කියන්නේය.

එම සැලසුමේ ක්‍රියාත්මක දෙවසර තුළ මිල්කෝ ආයතනය ලාබ ලබන්නට පටන් ගෙන තිබේ. මහපොළොවේ ගැටලුව හඳුනාගෙන නිරාකරණය කිරීම ආර්ථිකව ඵලදායී ප්‍රතිඵල ලබා දෙන ආකාරය මිල්කෝ පෙන්වා තිබේ.

වර්ෂ 2017 සිට 2019 දක්වා වාර්ෂිකව බිලියන 600-800ක් අතර පාඩු ලැබූ මිල්කෝ 2020 සිට මිලියන 417ක ලාභයක් තහවුරු කර ඇත්තේ මේ ප්‍රායෝගික ක්‍රියාන්විතය තුළය. මේ කොවිඩ් අර්බුද අතරේ මේ වසරේ මිල්කෝ අපේක්ෂිත ලාභය ගිය වසරටත් වඩා වැඩිය. මේ ලාභය ලබන්නේ ජාතික සුබසාධන ව්‍යාපෘතියක් බඳු ව්‍යාපාරයක් මෙහෙයවීමෙනි. මෙවර කිරි මිල වැඩි වී ඇත. නමුත් ඒ ඉහළ ගිය මිල පාරිභෝගිකයා වෙත පටවා නැත. එක් වරක් පමණක් කිරිපිටි මිල ඉහළ ගිය බව සැබෑය. නමුත් කාර්යක්ෂම කිරීම තුළම ආයතනිකය වියදම් ආයතන තුළම අවශෝෂණය කරගත් ආකාරය ආයතනික පරිපාලනය අපට කියන්නේය. ඒ ඔස්සේ වෙළෙඳපොළේ අඩුම මිල ගණන් ඉහළම ප්‍රමිතියෙන් යුතුව ඉදිරිපත් කිරීමට හැකි වූ ආකාරය පහදා දෙන්නේය. ඔවුන් කියන්නේ මේ ඵලදායීතාවට හේතුව රජයේ ප්‍රතිපත්තිමය මැදිහත් වීම බවය.

කෙසේ හෝ බොහෝ දේ බිඳ වැටෙද්දී ඔවුන් ශක්තිමත්ව නැඟී සිටිය හැකි ආකරය ජාතියට පෙන්වා ඇත. එය අඳුරට මඟ කියන සොඳුරු තරු ලකුණක් සේ දකිමු.

 

 

Comments