සජබ විරෝ­ධ­තාව පැවැ­ත්වුණේ මෙහෙ­මයි | Page 2 | සිළුමිණ

සජබ විරෝ­ධ­තාව පැවැ­ත්වුණේ මෙහෙ­මයි

සමගි ජන බලවේගය සංවිධානය කළ උද්ඝෝෂණයට ·විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස,  පාර්ලි­මේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණ­වක ඇතුළු පිරිස සහභගි වූ අවස්ථාව
සමගි ජන බලවේගය සංවිධානය කළ උද්ඝෝෂණයට ·විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස, පාර්ලි­මේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණ­වක ඇතුළු පිරිස සහභගි වූ අවස්ථාව

ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල ඉහළ යාම, ඩොලරයේ නැඟීම, කොවිඩ් අර්බුදය හමුවේ ගෝලීය ආර්ථිකය බිඳ වැටීම මේ කිසිවක් ජනතාවට වැදගත් වන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ අතට හමුවන මුදලෙන් එදිනෙදා ජීවිතය ගැට ගසා ගැනීමට අවශ්‍ය ක්‍රමවේදයක් පමණි. දිනෙන් දිනම වැඩිවන බඩු මිල හමුවේ මෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයද මේ දිනවල සමාජයේ කතාබහට මෙන්ම සමාජ මාධ්‍ය ජාලයේද දැඩි කතාබහට ලක්වන මාතෘකාවන්ය. ‘ඌරන් කැකුණ තළන විට හබන් කුකුළන්ට මඟුල්‘ කියන්නාක් සේ රජයක අඩුපාඩු තිබෙන විට හෝ ගෝලීය ප්‍රශ්නයක් මත රජයකට ජනතාව පිට යම් බරක් දරන්නට සිදු වූ විට එය විපක්ෂයකට හොඳ තුරුම්පුවක් වන්නේය.

වර්තමානයේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම හා භාණ්ඩ හිඟය ඇතුළු ජනතාවට බලපාන ගැටලු කිහිපයක් මුල් කරගෙන සමගි ජන බලවේගය විසින් විරෝධතා පා ගමනක් හා ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණයක් සංවිධානය කරන ලද්දේ පසුගිය නොවැම්බර් 01 වැනිදාය.

ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනතාවට හෙළි කෙළේ පසුගිය නොවැම්බර් 1 වැනිදාය. ඒ සමගි ජනබලවේගයේ මෙහෙයුම් ප්‍රධානී හරීන් ප්‍රනාන්දු ගේ වත්තල සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

ජනතා අරගලය වෙනුවෙන් මහ පාරට බැසිය යුතු කාලය එළඹ ඇති බව පැවසූ විපක්ෂ නායකයා ආණ්ඩුවේ අන්තනෝමතික ගමන හැරවිය හැක්කේ ඒ ජනතා අරගලයෙන් බවද පැවසීය.

එදා ඒ කතාවෙන් ආරම්භ කළ සංවිධානය රට පුරා ගියේය. ඒ අනුව ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් ආරම්භ කරන්නට සමගි ජල බලවේගය විසින් කටයුතු කරන ලදී. එය පසුගිය 16 වැනිදාට යොදා ගැන්මට ඔවුන් තීරණය කර තිබුණි.

පසුගිය දිනවල කඩා හැලුුණු අධික වර්ෂාව මධ්‍යයේ වුවද මේ සංවිධාන කටයුතු සිදු කෙරුණු අතර මේ විරෝධතා පාගමන් නැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්නට පොලිසිය විසින් කටයුතු යොදන ලදී. කොළඹ නගරය කේන්ද්‍ර කරගත් පොලිස් ස්ථාන ඇතුළු පොලිස් ස්ථාන 56ක් විසින් අධිකරණ 25කින් කළ ඒ ඉල්ලීම් අදාළ අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේ උද්ඝෝෂණ අයිතිය ජනතාවට ඇති බව පෙන්වා දෙමිනි.

තවත් පොලිස් ස්ථාන 25ක් මඟින් තම බල ප්‍රදේශවල අධිකරණයන්ට දන්වා තිබුණේ විරෝධතා ව්‍යාපාර ඔස්සේ නිරෝධායන නීතිය කඩ කිරීමත් ඒ අනුව ජනතාවට සිදුවීමට ඉඩ ඇති ව්‍යසනයද පෙන්වා දෙමිනි. අධිකරණ 10කට එසේ ඉදිරිපත් කළ වාරණ නියෝග පිළි ගන්නට එම අධිකරණ තීරණය කරන ලදී.

විරෝධතාවට සහභාගි වූ ජනතාවගෙන් කොටසක්
 

කෙසේ හෝ මේ සම්බන්ධයෙන් ඇතැම් පොලිස් ස්ථානවලට ලත් අධිකරණ නියෝග පවා නොතකා කොළඹට පැමිණීමට අදාළ පාක්ෂිකයෝ කටයුතු කළහ. සමගි ජන බලවේගයේ විරෝධතාව සැලසුම් කර තිබුණේ කොළඹ හයිඩ්පාර්ක් පිටියේදී බව නිවේදනය කර තිබුණි.

කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලය අසලට එක් රැස් වූ පක්ෂ නියෝජිතයින් හා ජනතාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පාගමන ආරම්භ කළහ. අනතුරුව උද්ඝෝෂකයෝ පාගමනින් කොල්ලුපිටිය මංසන්ධිය දක්වා ගමන් කළහ.

ඇද හැළුණු දැඩි වර්ෂාව මධ්‍යයේ වුවද පිරිස කොල්ලුපිටිය මංසන්ධියේ සිට ගාලුමුවදොර පිටිය දක්වා පැමිණි උද්ඝෝෂකයන් පසුව ප්‍රධාන ජනහමුව ගාලුමුවදොර අසල දී පැවැත්වීය. ඒ වන තෙක් කිසිවකු හෝ ජන හමුව පවත්වන ස්ථානය දැන සිටියේ නැත. හයිඩ් පිටියේ පවත්වන බවට කළ රාවය පොලිසියේ බාධා කිරීම් වළක්වා ගැනීමට ගොතන ලද්දක් බව පසුව අනාවරණය විය.

විරෝධතා පාගමන හේතුවෙන් ජනාධිපති කාර්යාලය අවට සහ කොල්ලුපිටිය මංසන්ධිය අවට මාර්ගවල පැවතියේ දැඩි රථ වාහන තදබදයකි. කොළඹ ඇතුළු ප්‍රධාන නගර පුරාම පොලිස් නිලධාරීන් මහා මාර්ගයේ ආරක්ෂාව පිණිස යොදා තිබුණි.

කොළඹදී පැවැත්වෙන විරෝධතාවයට සහභාගී වීම සඳහා පැමිණෙමින් සිටි ඇතැම් පිරිස හරවා යැවීමට පොලිසිය ස්ථාන රැසකදී ක්‍රියා කළ බවද වාර්තා විය. එහිදී සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.

අනුරාධපුරයේ සිට පැමිණි පිරිසට කලාඔය අසලදී පොලිසිය බාධා කළ අවස්ථාවේදී පැමිණි පිරිස සඳහන් කළේ තමන් කැලණිය විහාරස්ථානය වැඳ පුදා ගැනීමට යන බවයි.

එමෙන්ම විරෝධතාවට පැමිණෙන තැනැත්තන්ට තම පළාත් මායිම් පසුකර පැමිණීමට ඉඩ නොදිය යුතු බවට පොලිස්පතිවරයා පසුගිය 14 වැනිදා නියෝගයක්ද නිකුත් කර තිබුණි. ඒ අනුව උද්ඝෝෂණයට සහභාගි වීම සඳහා පිට පළාත්වල සිට ජනතාව පැමිණි බස්රථ පොලිස් මාර්ග බාධකවලදී යළි හරවා යැවීමට පොලිසිය කටයුතු කරනු දක්නට ලැබුණි.

ඒ අතර බෙන්තොට පාලම අසල, නුවරඑළිය, බණ්ඩාරගම කිඳෙල්පිටිය, නොච්චියාගම, ලුණුගම් වෙහෙර, පදියතලාව හන්දිය, මතුලම, මෙන්ම බද්දේගම හා කුරුඳුගහ

හැතැප්ම අධිවේගී මාර්ග පිවිසුම්ද විය. ඒ බොහෝ ස්ථානවලදී සමගි ජන බලවේගයේ ආධාරකරුවන් හා පොලිසිය අතර උණුසුම් වචන හුවමාරු ද විය.

ගාලු මුවදොර පිටිය අසලට පාගමනින් පැමිණීමෙන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසයන් පැමිණි පිරිස අමතන ලදී.

‘‘තමන් රටේ වගකීම බාර ගැනීමට සූදානම්‘ බව එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේය.

කොවිඩ් වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට මුවා වී රජය විසින් විපක්ෂය මර්දනය කිරීමට උත්සාහ කරන බව ඔහු පැවසුවේය.

‘‘ආණ්ඩුව දැන් නීති සකස් කරන්නේ කොවිඩ් වසංගතය පාලනය කිරීමට නෙමෙයි, සමඟි ජන බලවේගය මර්දනය කිරීමටයි. ආණ්ඩුව සමගි ජන බලවේගයට බිය වී ඇති බව ඉන් සනාථ වන්නේ යැයිද විපක්ෂ නායකවරයා පැවසීය.

‘‘රට ගොඩනඟන්න අප සූදානම්. රටේ වගකීම බාර ගැනීමට අප සූදානම්. දුකට පත්ව සිටින ජනතාව සුවපත් කරන්න අපි සූදානම්. මේ බාධා අභියෝග රැසක් මැද නිදහස් ලංකාවේ බල පරාක්‍රමයන්, රාජ්‍ය බලපෑම් පරාජය කර, ලක්ෂ 220ක් වන ජනතාව වෙනුවෙන් පාරට බැස එකට අත්වැල් බැඳගෙන සිටින මොහොතක්. මේ මහා ජන රැලිය පවත්වන්නේ දුක් විඳින ජනතාව දුකින් මුදා ගන්නයි. එකාධිපතීත්වයකට අප ඉඩ තබන්නේ නැහැ. ස්වෛරී ශ්‍රී ලංකාවේ කතා කිරීමේ, රැස්වීමේ නිදහස තියෙනවා. රට වැටී තියෙන අගාධයෙන්, ගරා වැටෙන ආර්ථිකය, ජන සමාජය යළි ගොඩනඟා පොදුජන ආණ්ඩුවක් බිහි කිරීමට අපි සූදානම්.

මේ රටේ ඉතිහාසයේ පටන් නිදහස නැති කිරීමට හදිසි නීතිය විවිධ බලපෑම් කර තියෙනවා. නමුත් අද අමුතු මාදිලියක් තියෙනවා. කොවිඩ් වසංගතය සඳහා නිර්මාණය කළ නීතිරීති අද විරුද්ධ මතධාරීන් මර්දනය කරන්න පාවිච්චි කරනවා. විශේෂයන් සමඟි ජන බලවේගය මර්දනය කරන්නයි ආණ්ඩුව ඒ නීති රීති යොදා ගන්නේ.

20 වැනි සංශෝධනයෙන් සියලු බලය ගත්තා. හැබැයි ආණ්ඩුව අපට බයයි. පසුගිය දවස්වල විවිධ පුද්ගලයන් උද්ඝෝෂණ කළා. කිසිම චක්‍රලේඛයක් නැහැ. කවුරුත් රෙගුලාසි ලිව්වේ නැහැ.

ඔවුන්ගේ මතය ප්‍රකාශ කරන්න ඔවුන්ට නිදහස තිබුණා. හැබැයි ඒ නිදහස අද සජබයේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවට අහිමි කළා. නමුත් ඒක හොඳ පෙර නිමිත්තක්. නියත වශයෙන්ම මේ රටේ පොදු ජනතාව රටේ වගකීම සජබයට දෙනවා. හැටනව ලක්ෂයෙන්

මං අහන්නේ නෑ දැන් සතුටුද? සැපද කියා. තමුන්නාන්සේලා වගේම රටේ සියලු දෙනාගෙන්ම අහන්නෙ මේ සාපය ඇති නේද? 70-77 යුගය වගේම අද පෝලිම් යුගයක් ඇති වී තියෙනවා.

‘බත් දුන් පියා‘ ඒ කියන්නෙ, ඩඩ්ලි සේනානායක 1967 මුල්ගල තබා 69 විවෘත කළ තෙල් පිරිපහදුව මෑත ඉතිහාසයේ ප්‍රථම වතාවට වැසුවා. හේතුව ඩොලර් නෑලූ. මේගොලන්ට බොරතෙල් ගේන්න ඩොලර් නැහැ පිරිපහදු තෙල් ගේන්න ඩොලර් තියෙනවා. ක්ෂණික මිලදී ගැනීම් හරහා මේ රට වැටී තිබෙන මොහොතක, ජන ජීවිත කඩා වැටී තිබෙන අවස්ථාවක, ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් තියෙන මොහොතක කොමිස් ක්‍රියාදාමයන් තුළින් තමාගේ බඩ වඩා ගන්න ආණ්ඩුව සූදානම් වනවා. රටේ වගකීම බාරගෙන නව යුගයක් ඔස්සේ කටයුතු කරන්න අප සූදානම්. අප වාසගම බලා තනතුරු දෙන්නේ නැහැ. ප්‍රේමදාසලා, සේනානායකලා, රාජපක්ෂලා කියල වගකීම් දෙන්නේ නැහැ. දක්ෂතාවට, හැකියාවට තැන දී රට සහ ජනතාව දිනවන වැඩපිළිවෙළට සූදානම් වෙනවා. මේ මව්බිම ගොඩනඟන්න සහ ජනතාවගේ ජීවිත ශක්තිමත් කිරීමට දූෂණ වංචාවෙන් තොර ආණ්ඩුවක් බිහි කරනවා.

‘සාපලත් ආණ්ඩුවට එරෙහි ජනතා බලය’ නමින් සමගි ජන බලවේගය විරෝධතාව නම් කර තිබුණි. මේ අතර සමගි ජන බලවේගයේ විරෝධතාවයට පැමිණෙමින් සිටි ආධාරකරුවකුට පනාමුරේ පොලිසිය විසින් පහර දී ඔහු ඝාතනය කර ඇති බවට විපක්ෂය විසින් චෝදනා කරන ලදී.

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දුන් මහජන සාමය අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකයන් පැවසුවේ එය සම්පූර්ණ අසත්‍යයක් බවයි. එම පුද්ගලයා පෙළපාළියට හෝ උද්ඝෝෂණයට කිසිම සම්බන්ධයක් නොමැති අයකු බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික්කය බාර නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ලගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඒ අතර සමගි ජනබලවේගය පක්ෂය විසින් සංවිධානය කර තිබූ උද්ඝෝෂණයට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වන බවට කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් කර තිබූ ද්‍රවිඩ ජාතිකයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් කටයුතු කර තිබූ අතර එම සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සමගි ජන බලවේගයේ උද්ඝෝෂණය අවසන් වූයේ එවන් කතාවන් රැසක් ඉතිරි කරමිනි. වෙනත් උද්ඝෝෂණවලට වඩා මෙහි සඳහන් කළ යුතු වෙනස වන්නේ ප්‍රධාන ජන හමුව පවත්වන ස්ථානය රහසක් ලෙස තබාගෙන පැවැත්වූ විරෝධතාවක් වූ හෙයිනි.

සේයාරූ -

හිරන්ත ගුණතිලක සහ රංජිත් අසංක


 

Comments