ඉකුත් සතියේ මැතිසබය උණු­සුම් කළ රස කතා | සිළුමිණ

ඉකුත් සතියේ මැතිසබය උණු­සුම් කළ රස කතා

ගෙවී ගිය සතිය පාර්ලිමේන්තුවේ උණුසුම් වාද විවාද පැවැති සතියක් විය. 2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පසුගිය සතිය පුරාවට පැවැතියේ පක්ෂ විපක්ෂ දැඩි උණුසුම් පුවත් රැසක් මවමිනි. උණුසුම වඩාත් තීව්‍ර වූයේ අයවැය විවාදයේ සිවු වැනි දිනයේදීය. එදින පාර්ලිමේන්තුව ආරම්භ වූයේද පක්ෂ විපක්ෂ දැඩි ඝෝෂාකාරී පසුබිමක් මැදය. ගෙවුණු අඟහරුවාදා දින සමගි ජන බලවේගය විසින් ජනතාව කොළඹට එක්රැස් කරමින් පැවැති විරෝධතාවට රජය විසින් විවිධ බලපෑම් සිදු කළ බවද මොවුන්ගේ එක් චෝදනාවකි. මේවායේ බරපතළ ම චෝදනාව එල්ල කළේ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණාය. ඒ විරෝධතාවට සහභාගි වීමට සිටියේ යැයි පවසන පනාමුරේ තරුණයකු පොලිස් පහර දීමකින් පොලිස් අත් අඩංගුවේදී මරණයට පත්වූ බව චෝදනා කරමිනි.

පනාමුරේ මරණය

“පොලිස් මර්දනය හමුවේ පනාමුර පොලිස් බල ප්‍රදේශයේ තරුණයකුට පොලීසිය ගහලා මරලා. මේ අය සටන ආරම්භ කළේ අහිංසක තරුණයකුට ගහලා මරලා. දැන් පොලිසිය වටලලා. ගම්මු කුපිත වෙලා. මන්ත්‍රි හේෂාන් සෘජුවම චෝදනා එල්ල කළේ මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර වුවත්, ඒ අවස්ථාවේ ඔහු පාර්ලිමේන්තුවේ සිටියේ නැත.

“උසාවියෙන්වත් සජබ විරෝධතාව තහනම් කළේ නැහැ. පොලිස් ඇමැති උසාවියෙන් තහනම් කළා කියමින් අවුල් කරන්න උත්සාහ කළා....“ ඒ විපක්ෂ ප්‍රධාන සංවිධායක සජබ මන්ත්‍රි කිරිඇල්ලේය.

ඒ අවස්ථාව වන විට විපක්ෂයේ පිරිස් සැලකිය යුතු පිරිසක් පාර්ලිමේන්තුවට පැමිණ සිටි අතර අනතුරුව කාඩ් බෝඩ්වල ලියන ලද විවිධ සටන් පාඨ ඉදිරිපත් කරමින් මේ අය සභාව ඉදිරිපෙළ අසුන් දක්වා පැමිණියේ ඇමැති සරත් වීරසේකරට විරුද්ධවය.

විපක්ෂයේ මේ විරෝධතාව පවතිද්දි පාර්ලිමේන්තුවට පැමිණි ඇමැති සරත් වීරසේකර කිසිදු කලබලයකින් තොරව තම අසුනේ වාඩි විය. මේ අවස්ථාවේදි විපක්ෂය ඔහුට විරුද්ධව කෑගසද්දී යළි වේගවත් කතාවක් ආරම්භ කළේ සජබ මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාරය.

“අපි එක උද්ඝෝෂණයයි කළේ. නමුත් තමුන්නාන්සේලා උද්ඝෝෂණ 100 ක් කරන්න දීලා ....“ මේ අවස්ථාව විපක්ෂයේ මන්ත්‍රිවරු කිහිප දෙනෙක් තම ජංගම දුරකතනයෙන් මේ සියල්ල වීඩියෝ කරනු දක්නට ලැබුණි.

මේ අතර ස්වල්ප මොහොතකින් ඇමති සරත් වීරසේකර මේ අභූත චෝදනාවන්ට පිළිතුරු දුන්නේ එම මරණය සිදුවී ඇත්තේ පොලිස් පහර දීමකින් නොවන බවත් සිර කුටියේ ගෙල වැළලා ගැනීමට ගත් උත්සාහයකින් සිදුවූ මරණයක් බවත්ය.

නසරානි රැළක්

මේ අතර විපක්ෂයේ උද්ඝෝෂණය කොවිඩ් වසංතයට ගැළපෙන ආකාරයෙන් කළ යුතු යැයි පවසමින් ඇමැති විමල් වීරවංශ ද සියුම් උපහසාත්මක වේගවත් කතාවක් කළේ විපක්ෂයේ දැඩි ඝෝෂා මධ්‍යයේය.

“මේ අවපාත අවධියක්. ඒ කාලයේ කළ පරණ සෙල්ලම් දැන් කරන්න බැහැ. රට නග්ගලා ගන්නවා කියලා චූන් කතා කියන්න බැහැ. නව යථාර්ථය තේරුම් ගත් නිසා තමයි තමුන්නාන්සේලා දැන් මුහුණ කට වස ගෙන ඉන්නේ.( විපක්ෂය දෙසට හැරෙමින්) නමුත් අපූරුව තමයි උද්ඝෝෂණයේදී කිටි කිටියේ මිරිකිලා හිටියා. ඒත් මාස්ක් දාගෙන. තමුන්නාන්සේලා නව යථාර්ථයට ගැළපෙන විරෝධතා ක්‍රම හොයා ගන්නකෝ; පරණ මැටි මෝල් ක්‍රම නැතුව. නිර්මාණශීලි බවක් නැතිනම් කොහොමද ආණ්ඩු කරන්න හදන්නේ. මෙහෙම ගියොත් වෙන්නේ අපි හරිත කලාපයෙන් නැවතත් රතු කලාපයට වැටෙන එකයි...“ කර්මාන්ත ඇමැති විමල්ගේ කතාවට විපක්ෂයේ බොහෝ බාධා කිරීම් විය. එක් අවස­්ථාවක සජබ මන්ත්‍රී මුජිබර් රහුමාන්ගේ බාධා කළේය. එවිට ඇමැති විමල් ඔහු දෙසට හැරි පැවැසුවේ “මම ඔයාලට චූං වෙන කතාද කියන්න ඕන. නැති ත්‍රස්තවාදයකට පණ දිපු මේ නසරානි රැළට සහය දෙනවට වඩා හොඳයි කුඹුරක් කොටා ගෙන පැළක් හදා ගෙන හිටිය නම්......“

ඇමැති විමල්ගේ මේ කතාවට පසුව සභාව රස ගඟුලක් කරමින් පිළිතුරු කතාවක් කළේ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රි ඉදුනිල් තුෂාරය.

“ මේ ආණ්ඩුවට මඤ්ඤං. මම විමල්ට කියන්නේ දෙකේ මෑං කියල. මේ උද්ඝෝෂණය නිර්මාණාත්මකව කරන්න කියලා. හොරෙන් බිස්කට් නෙස්කැෆේ බොමින්ද මේක කරන්න කියන්නේ. දවල්ට ආණ්ඩුවට බැණලා රෑට ෂේප් වෙනවා. තවත් ඒ වගේ ඔඩොක්කු කුක්කෝ ඉන්නවා. ආණ්ඩුවේ ඉන්නවා නම් ඉන්න. නැතිනම් විපක්ෂයේ ඉන්න. දෙකේ මෑං කෙනෙක් වෙන්න එපා..... ඉදුනිල් තුෂාර ඒ කතාව කියන අවස්ථාවේ ඇමැති විමල් සභාවේ සිටියේ නැත.

චෙක් පොයින්ට්, බැරියර්

විපක්ෂයේ උද්ඝෝෂණ දිනද මැති සබයේ බැරියර් සම්බන්ධ වාද විවාදයන්හි අඩුවක් නොවීය. පාර්ලිම්න්තු අයවැය දෙවැනි වර කියැවීමේ විවාදය ආරම්භ වූයේම එදින සජබය විසින් පැවැත්වීමට නියමිතව තිබු උද්ඝෝෂණය සම්බන්ධයෙනි.

විපකෂයේ බොහෝ දෙනෙකුට පැවැති ප්‍රධාන චෝදනාවක් වූයේ එදින බැරියර් මැද කොළඹට පැමිණීමට සිදුවු නිසාය. එදිනද සෑම තැනකම මුර පොළ, බැරියර් දමා තිබීම පිළිබඳ විපක්ෂයේ සෘජු චෝදන එල්ල වූයේ ඒ වන විට පාර්ලිමේන්තුවේ සිටි මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකරටය.

“මම චෙක් පොයින්ට් 21 පහුකරලා බිගිරියේ ඉඳන් මෙතැනට ආවේ. තැන් 10 ක මාව නැවැත්වුවා. පාර්ලිමේන්තුට එන්න විනාඩියක් පහුවුණා. මේ විදයට චෙක් පොයින්ට් දාලා තියෙන්නේ බෝම්බ ගහන්න එන හින්දද කියලා මම අහන්න කැමැතියි....“ඒ කවදත් වේගවත් කතාවක් ඇති සජබ මන්ත්‍රි නලින් බණ්ඩාරය.

“මම ආවේ බදුල්ල හල්දුමුල්ලේ ඉඳන්. මාවත් කිහිප තැනකම නැවත්වුවා....‘ ඒ චෝදනාවත් විපක්ෂ තවත් මන්ත්‍රිවරයකු ගෙනි.

“කොළඹට එන සියල්ල නවත්වනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයද?“ ඒ ජේ. සී. අලවතුවල මන්ත්‍රීවරයා ඇසුවේය.

“මගේ මිල්ලතේ කාර්යාලයට පොලිසිය ඇවිත් බාධා කරනවා. කොළඹට විරෝධතවක් ගේනවා කියලා...“ ඒ සජබ මන්ත්‍රී හර්ෂණ රාජකරුණාය. චෝදනා බොහෝය.

අනතුරුව මීට අදහස් එක් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසය. “ අද බස්වලින් මිනිස්සු බස්සවලා, අයිඩෙන්ටි බලනවා. මාර්ග බලපත්‍ර අහෝසි කරන බවට බස් රථ රියදුරන්ට චෝදන කරනවා.

අගමැතිතුමනි ඔබතුමත් පාද යාත්‍රා ගියා නේද? මම අහන්නේ මේ රටේ ජනතාවට තමන්ගේ දුක විපක්ෂ නායකට කියන්න නිදහසක් නැද්ද?.....“ ඔහු ප්‍රශ්නය එල්ල කළේ ඒ මොහොතේ පාර්ලිමේන්තුවේ සිටි අගමැතිවරයාටය.

මීට පිළිතුරු දුන්නේ ඇමැති සරත් වීරසේකරය. “ විපක්ෂ නායක ජනතාව නොමඟ යවනවා. වයිරසය විනාශ කිරිම මිසක වයිරසයත් එකක් එකතු වෙලා ආණ්ඩුව විනාශ කිරීම නෙමෙයි මේ වෙලාවේ කරන්න ඕන. සෞඛ්‍ය අංශ කියන දේ තමයි පොලිසිය ක්‍රියාත්මක කරන්නේ. ඇයි ඔබතුමන්ලාගේ පක්ෂයේ කෙනෙක් පාස්කු බෝම්බ ගහනවා කියලා තාත්තා කිවු පසුව සද්ද නැතුව හිටියේ...“ ඔහු පිළිතුරත් සමඟ සියුම් චෝදනාවක් මතු කළේ විපක්ෂයට වැදෙන්නටය.

කිරිඇල්ල - ජෝන්ස්ටන් විවාදයක

විසර්ජන කෙටුම්පත් විවාදයේ දෙවැනි දිනය මැති සබයේ රස කතා බොහෝමයක්ම මතුවූයේ අයවැය කතා බහට වඩා ඩොලරයේ අගය, කඩුගන්නාව මාර්ගයේ බිඳ වැටීම මෙන්ම නිරෝධායන නීති පිළිබඳවය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අයවැය විවාදයට එක්වෙමින් නුවර මාර්ගයේ බිඳ වැටීම අවස්ථා ගණනාවකදීම රජයට දැනෙන්නට කතා කළේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක මහා මාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුද සභාවේ සිටින අවස්ථාවේදීය. එහෙත් මේ දෙදෙනා අතර කතාබහ වාදයකට පෙරළෙන්නට වැඩි වේලාවක් ගියේ නැත.

“මධ්‍යම අධිවේගි මාර්ගය මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස විවෘත කරන්න පුළුවන් කියලා ඉංජිනේරුවන් මට කිව්වා..“ මන්ත්‍රි ලක්ෂ්මන් කඩුගන්නාව මාර්ගයට ප්‍රවිෂ්ටයක් එක්කරමින් කතාව ආරම්භ කළද ඇමැති ජොන්ස්ටන් හා විවාදයකට පෙරළෙන්නට ගියේ සුළු මොහොතකි. විවාදය මතුවුණේ මාර්ග කොන්ත්‍රාත් දීම ගැනය.

“ඔබතුමන්ලා කොන්ත්‍රාත් දුන්න විදිය අපි කියන්නම්. තමුන්නාන්සේලා කරපු හොරකම්වල හැටියට රෙද්ද ඇඳ ගෙනද එන්නේ“ ඒ ඇමැති ජොන්ස්ටන් ගේ වේගවත් හඬය.

“මෙයා අපිට අපහාස කරනවා. මම ඇහුවේ පාර විවෘත කිරීම ගැන. මම අරක්කු කසිප්පු පෙරපු කෙනෙක් නෙමේ. අරක්කු පෙරපු මිනිස්සු, බයිබලයෙන් ගහපු මිනිස්සු පුටු පෙරළන අය අද මෙතැන වීරයෝ වෙලා...“ ඒ මන්ත්‍රී කිරිඇල්ලය.

මන්ත්‍රී කිරිඇල්ලගේ කතාවට ඇමැති ජොන්ස්ටන්ට යකා නැග්ගේය.

“මම කතෝලිකයෙක්. නමුත් බුද්ධාගමටත් ගරු කරනවා. පාර්ලිමේන්තුවේ බලු කතා කතා කරනවා. බයිබලය ගැන කිය කියා අපහස කරනවා. මෙයා තුට්ටු දෙකේ දේශපාලඥයෙක්.....“ ඇමැති ජොන්ස්ටන් එසේ කියද්දී දිගින් දිගටම පැවැති විවාදය අවසානයේ මුදල් ඇමැති දක්වා ගියේය.

දෙවැනිව කිරිඇල්ලට ප්‍රශ්නයක් වූයේ ඒ මොහොතේ මුදල් ඇමැති පාර්ලිමේන්තුවේ නොසිටීම පිළිබඳවය.

ඊට පිළිතුරු දුන්නේ රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහය.

“ තියෙන ප්‍රශ්න අපිට කියන්න. අපි රජය වෙනුනේ පිළිතුරු දෙන්නම්....“ ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරු කිහිප දෙනෙක් මන්ත්‍රී කිරිඇල්ලේට එසේ පැවැසුවේ ඒ වන විට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණ නොසිටි නිසාය. කෙසේ වෙත් මුදල් ඇමැතිවරයා ඊට සුළු මොහොතකට පසුව සභාවට පැමිණියේය.

“මුරුත්තට්ටුවේ ආනන්ද හිමිට කුලපති පදවිය දුන්නා. ඒත් උන්වහන්සේත් කියලා තිබුණා මේක පතෝල අයවැයක් කියලා. මේ රජයට ඩොලර් තියා රුපියල්වත් නැහැ. ....“ යළි කතාව අවසන් කිරිමට සියුම් උපහාසයක් එක් කළේ මන්ත්‍රි කිරිඇල්ලය.

මඩකලපුව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියම් රාසමාණික්කම් පාර්ලිමේන්තුවේ පැවැති අයවැය විවාදයේදී මළ ගෙදරක් හා මඟුල් ගෙදරක් මතක් කළේ අයවැය කතාවට සියලු උපහාස එක් කරමිනි.

“මඟුල් ගෙදරක ගිහින් කරන කතාවක් මළ ගෙදරක ගිහින් කතා කළහම කොහොමද? මෙවර අයවැයත් එහෙමයි. ඇයි රට මළ ගෙදරක් වූ මොහොතක මඟුල් ගෙදරක ගිහින් කතා කරන දේවල් කිව්වා. මෙහි යම් යම් දේ කිසිම උනන්දුවක් නැතුව කියපු දේවල්.....“

රෙදි සේදීමේ විශේෂඥයන්

විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂ බොහෝ දෙනෙක් මෙවර අයවැය නිර්වචනය කළේ විවිධ විශේෂණ පද ඊට එක් කරමිනි.

“මල නොතලා රොන් ගන්නා සේ ඉදිරිපත් කළ අයවැයක්...“ කම්කරු ඇමැති නිමල් සිරිපාල ඇයවැය නිර්වචනය කළ හැටිය.

මේක අයිසිං කරපු අයවැයක්. පාසල් යන දරුවෝ විභාගය ෆේල් වුණහම ලකුණු ගෙදර අරගෙන යන්න කලින් ලකුණ ඉදිරියෙන් බින්දුවක් දාලා දෙමවුපියන් රවටපු හැටි මතක් වුණා. එවිට ඔහු අසාර්ථක වගේම වංචාකාරයෙක්. අද රෙදි සේදීමේ විශේෂඥයන් විතරයි මේ අයවැය ගැන කතා කරන්න ඉන්නේ. දැක්මක් නැති අයට සුක්කානම බාර දුන්නා. මොළ හතක් තියෙන කෙනෙක් අයවැය ඉදිරිපත් කරන බව කිව්වා. රට විස්මයට පත් කරනවා කිව්වා. ඇත්තටම ජනතාව විස්මයට පත්වුණා....“ ඒ සජබ මන්ත්‍රි ගයන්ත කරුණාතිලකය.

“මේක ඇමරිකන් අයවැයක්. වාහන අනතුරක් සිදු වුණොත් ආණ්ඩුවට බද්දක් ගෙවිය යුතුයි. එය ඇමරිකාවේත් තියෙනවා. මෙකෙන් වෙන්නේ දෙන්නෙක් හැප්පුණොත් රජයට බදු ලැබීමක්....“ ඒ සජබයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමිය.

“එදා අපි ආඩම්බරයෙන් කතා කළ වැඩ බිම අද අපේ හිස මත කඩා වැටිලා. මෙය සූර සරදියෙල් අයවැයක් කියලා සමහරු කියනවා. නමුත් මේක හුර සරදියෙල් අයවැයක්...“ ඒ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකය.

බබාලා හම්බවෙලා ද?

පඩුවස්නුවර කඨිනයක් මතුවූයේ අයවැය විවාදය අතරතුරේදීය. විපක්ෂයේ චෝදනාව වූයේ එවැනි කඨින පින්කම් සංවිධානය කිරීම සෞඛ්‍ය නීතිරීතිවලට පටහැනි බවකි.

“පඩුවස්නුවර කඨිනයට කොවිඩ් නීති බලපෑවේ නැද්ද?“ මුලින්ම චෝදනාව මතු කළේ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණාගෙන්ය.

“කටවත් ආරාධනා කළේ නැහැ. ස්ව කැමැත්තෙන්මයි ආවේ...?“ ඒ පිළිතුර බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකරගෙනි.

“තමුන්නාන්සේලාගේ උත්සව වලට කොරෝනා නැහැ නේද? විපක්ෂයට විතරද කොරෝනා.... “ඒ මන්ත්‍රී හර්ෂණ රාජකරුණාය. මේ කතාව දිග් ගැස්සීමට ආණ්ඩු පක්ෂ විපක්ෂ පිරිසක්ම එක් වූ අතර දෙපැත්තේ ගාල ගෝට්ටියද වැඩිවිය. මේ ගාලගෝට්ටිය අවසන් වූයේ කලකට ඉහත වඳ පෙති දනුණේ යැයි කතා වුණු වෛද්‍ය සාෆිද මාතෘකාවට එක්කරමිනි.

“හැට නම ලක්ෂයක් ඡන්දය දුන්නට නයි පෙන්නලා ජාති වාදය අවුස්සලා ඡන්දය ගත්තා. තමුන්නාන්සේලාගේ රෝහලේනේ ( ඇමැති ජොන්ස්ටන්ට අභියෝග කරමින් ) වෛද්‍ය සාෆි වඳ පෙති දුන්නේ. දැන් හැමෝටම බබාලා හම්බවෙලා ඇති නේ?“ සැවොම සිනා සයුරේ ගිල්ලමින් එසේ සියුම් පහරක් එල්ල කළේ මන්ත්‍රි හර්ෂණය.

මෙවර අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේදී පාර්ලිමේන්තු ප්‍රශ්නවලදි ප්‍රමුඛතාව ලබා දීම් සම්බන්ධව බොහෝ චෝදනා මතුවිය. එක් අවස්ථාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතාන ඊට සෘජු චෝදනා කළේ පාර්ලිමේන්තු මහ ලේකම්ටය. ඒ පාර්ලිමේන්තුව තුළ දේශපාලනය නොකරන ලෙස පවසමිනි.

නැට්ට පස්සේ ගහගෙන හිටි කෙනෙක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමා සී අයි ඩී යට ගෙන්වා සාක්ෂි ලබා ගැනීම සම්බන්ධයෙන් මහාමාර්ග ඇමැති හා සජබ පර්ලිමේන්තු මන්ත්‍රි අතර වාදයක් හට ගත්තේ පසුගිය සතියේ 17 වැනිදාය. විවාදයට ආරම්භයක් එක්කළේ සජබ මන්ත්‍රී කාවින්ද ජයවර්ධනය.

“අද මිනිස්සු කබලෙන් ලිපට වැටිලා. මෙය තේරුම් ගැනීමට නොහැකි රජයක් තමයි, ඇයි සි. අයි. ඩි. යට ගෙන්වා සිරිල් ගාමිණි පියතුමාව රස්තියාදු කරන්නේ. මේක ඥානසාර හිමිගෙන් ප්‍රශ්න කරන්න බැරි රජයක්. ...“ ඒ මන්ත්‍රි කාවින්දය

“ඔයත් කතෝලික. මමත් කතෝලික. සිරිල් ගාමිණී පියතුමා දන්නවා නම් එක් අහන එක වැරදිද?...“ ඇමැති ජොන්ස්ටන් එසේ පවසද්දී මන්ත්‍රි කාවින්ද ප්‍රශ්න කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන්, ඥානසාර හිමිගෙන් ප්‍රශ්න නොකරන්නේ ඇයිද යන්නයි.

“තමුන්නාන්සේලා තමයි මෛත්‍රපාල සිරිසේන ජනාධිපති කෙරෙව්වේ. හරින් ප්‍රනාන්දු තාත්තා කියපුවහම නැට්ට පස්සේ ගහගෙන නිදාගත්ත කෙනෙක් ඉන්නේ ඔය පැත්තේ. මේකට දේශපාලනය ගාව ගන්න එපා. පියතුමා වුණත් දන්න දේ කියන්න. පියතුමා විකුණන්න එපා. කාදිනල් තුමා වෙනුවෙන් පෙනී සිටියේ අපි. මහ මොළකරුවා ගැන දන්නවා නම් ඒකත් කියන්න.....“ ඇමැති ජොන්ස්ටන් කිව්වේ සියුම් උපහාසයක්ද සමඟිනි.

Comments