රෑ කෑම කලාවේ අලුත්ම ට්‍රෙන්ඩ් එක | සිළුමිණ

රෑ කෑම කලාවේ අලුත්ම ට්‍රෙන්ඩ් එක

 

තලවතුගොඩ සිට ජයවර්ධනපුර රෝහලට, මාදිවෙලට හා පාර්ලිමේන්තුවට දිවෙන කිඹුලාවල ඇවිදින මංතීරුව දැන් හැන්දෑවට හරි අපූරුය. නොයෙක් මාදිලියේ ජනයාගෙන් (වෙනදා තරම් නොවූ වද) පිරී යයි.

කෙටි කමිසයකින් හා කොට කලිසමකින් ගත වසා ගත් තරුණ තරුණියෝ ඉයර් ෆෝනයක් කනේ රුවාගෙන ටයිමරයක් ඉනේ ගසාගෙන ව්‍යායාම මංතීරුවේ සීරුමාරුවට එහා මෙහා මාරුවෙති. කිඹුලාවල කෙත් යායට මායිම්ව පාර අද්දර නවතන ලද නෙක විසිතුරු කෑමවල රූප රාමුවලින් සිත්තම් කළ අලංකාර රථ පෙළකි. කිඹුලාවල ස්ට්‍රීම් ෆුඩ් රථ පෙළපාලිය ඇදෙන්නේ ජීවන අරගලය උදෙසා සටන් වැදීමටය. දිනෙන් දින නවීකරණය වන කොළඹ රාත්‍රී ආහාර කලාවේ නවතම ට්‍රෙන්ඩ් එක වන්නේ “කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ්“ ජංගම ආහාර නගරයයි.

එක් පසෙකින් පිටකෝට්ටේ සිට මාදිවෙලට වැටෙන පාරය. තවත් පසකින් පාර්ලිමේන්තුව සිට කිඹුලාවලට වැටෙන පාරය. තලවතුගොඩ සිට මෙන්ම ජයවර්ධනපුර රෝහල පැත්තේ සිට ද කිඹුලාවලට පැමිණිය හැක. කිඹුලාවල හන්දිය යනු නිතර රථවාහන ඔබමොබ යන සිව්මංසලකි. කොතරම් ජනයා හා වාහන ගමන් කළත් නිදහසේ විවේකීව සිටීමට උවමනාවටත් වඩා ඉඩකඩ ඇති දර්ශනීය බිම් කඩකි.

කල්වේලා ඇතිව ජංගම ආහාර රථවලින් පැමිණි ඇතමුන් පාර අද්දර සෞඛ්‍ය පුරුදුවලට අනුගත වෙමින් ලහි ලහියේ ආහාර පිළියෙල කරති. පමාවී පැමිණි තවත් අමුතු තාලේ ජංගම ආහාර රථ කීපයක් තම සීමාවේ වාහන නවතා "ජංගම රෙස්ටුරන්ට්" කුටි සකසනු දක්නට ලැබුණි. ආහාර රථ අසලම කුඩා මේස හා පුටු තබමින් පහසුවෙන් ආහාර පාන ගැනීමට ස්ථාන පිළියෙල කරන තවත් පිරිසකි. පයින් ගමන් කරන අයට අමතරව පාරේ වාහනවලින් ගමන් කරන අය ද වාහන නතර කර මේ කරා ඇදෙති. සමහරු මෙතනට දිනපතා යන එන පුරුදුකාරයෝය. තවත් සමහරු ආරංචියට පැමිණ ඇත්තේ කෑම රස බැලීමටය. තවත් පිරිසක් අළුතින්ම පැමිණි අයයි. ගෙදර ගිහින් සම්බෝලයි බතුයි කනවා ඔයිට වඩා හොඳයි කියමින් ඒ පැත්තවත් නොබලා යන පිරිසද මේ අතර නැතුවා නොවේ.

ජංගම කෑම අලෙවි රථ කලාව ලංකාවට අලුත් දෙයක් නොවුණත් එකම ස්ථානයක වෛවාරණ විශේෂයෙන් සැකසූ සුපිරි වාහනවල ‘ෂොප්‘ විදිහට නවීන තාලෙට ඇඳ පැළඳගෙන බටහිර ආහාර පාන ලංකාවෙ ක්‍රමයට එවේලේම හදලා දෙන කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ් ලංකාවට හඳුන්වලා දී වැඩි කලක් ගතවී නැත. ඇතැම් විට මෙය කොරෝනාව නිසා උපන් ආහාර කලාවේ නව ප්‍රවණතාවයක් යැයි හැදින්වුවාට ද වරදක් නැතැයි සිතේ. .

වාහනවලින් රැගෙන විත් මෙම ස්ථානයේ ආහාර අලෙවි කරන බහුතරය මේ රැකියාව ඇරඹුවේ හා හා පුරා කියාය. එදා මෙදාතුර තම තමන් කරගෙන ගිය රැකියාවන්ට නැවතිමේ තිත තබන්නට සිදු වූයේ කොරෝනා උවදුරේ චණ්ඩ බව නිසාය. කරන්නේ කුමක්දැයි කියා සිතා ගන්නට බැරි වූ පිරිසක් අවසානයේ ජීවිතය ජීවත් කරන්නට අලුත් කලාවක් තෝරා ගත්තේ කාලයේ තාලයට වෙනස් වෙමිනි. මෙම ජංගම වෙළඳසල් පවත්වාගෙන යන්නේ කිඹුලාවල වෙළඳ සංගමය විසින් වන අතර එහි සභාපති සිසිර දිසානායක (50) සිළුමිණට හඬ අවදි කළේය.

“මම කලින් රෙස්ටුරන්ට් එකක් කළේ. කොරෝනා නිසා වහන්න වුණා. හුඟාක් අය තමන්ගේ පුරුදු රස්සා අත්හැරලා වෙන වෙන රැකියා තෝරාගත්තා. කිඹුලාවල වෙළඳ සංගමය බිහිවුණේ එවන් පිරිසකගෙන්. නාගරික සංවර්ධන අධිකාරියෙන් අපි 56 දෙනෙකුට ඉඩ දීලා තියනවා පදික වෙළඳාමට. වාහන 45 තියනවා. street food වෙනත් රටවල නම් ජනප්‍රිය අංගයක්. අපි මෙතන අරඹලා අවුරුදු 2ක්. කොළඹ හා තදාසන්න ප්‍රදේශවලත් පිට පළාත්වලත් අය ඉන්නවා. අපි සවස 3.00 සිට රාත්‍රී 12.00 තුරු ඉන්නවා. කඩවලට වඩා සමහර කෑම මිල මෙතැන අඩුයි. මේ නිදහස් පරිසරයත් එක්ක විවේකීව රාත්‍රී ආහාර ගන්නත් නිවසට අවශ්‍ය දේ මිලට ගන්නත් හුඟාක් අය එනවා. මාක්ස්, හෙල්මට්, ජැකට්, ඇඳුම්, බීම වර්ග, බෑග්, විසිතුරු නිර්මාණ, එළවළු, පලතුරු, මල් වර්ග, සපත්තු, බෙහෙත් වර්ග මෙකී නොකී බොහෝ දෑ පිසූ ආහාරවලට අමතරව කිඹුලාවල ජංගම රථවල තියනවා.“

සෑම වාහනයකම පාහේ විශේෂයෙන් සැකසූ විසිතුරු විදුලි ආලෝකයෙන් නිශා අඳුර පළවා හැර පරිසරය එළිය කරයි. වාහනයේ සවිකර ඇති ජෙනරේටර් මඟින් ඇතැම් අලෙවි රථ එළිය කරන්නේ වෙසක්, පොසොන් තොරණ ද පරදවමිනි.

The Roling Kitchen ජංගම ආහාර රථය සකසා ඇත්තේ විශාල ට්‍රක් රථයක් නවීකරණය කිරීමෙනි. අංග සම්පූර්ණ අලුත්ම පන්නයේ මුළුතැන්ගෙයක් ලෙස වාහනය ඇතුළත සකසා ඇත. වාහනයේ පසෙක විවෘත කළ හැකි විශාල දොරකි. මෙහි සිව්දෙනෙක් පමණ සේවය කරන අතර කෑම වර්ග බොහොමයකි. burgers සබ්මැරීන්, rice, කොත්තු, Hotdog, පරාටා, Fried & onion Rings, B.B.Q. Burgers, Reast panino ආදී කෑම රු. 700 සිට ඉහළට ඇත. පාරිභෝගික ජනතාවගේ ආහාර රුචිය වර්ධනය කිරීම උදෙසා වාහන විචිත්‍රවත් කර ඇත්තේ ගිනිදැල් ආකෘතියකිනි. එහි හිමිකරු පද්මිල හේවගේ (25) පැවසුවේ මෙවැන්නකි. “වැඩිපුරම යන්නේ බර්ගර් සබ්මැරීන් (රු. 700 - රු. 1300) ලොකු එකක් දෙන්නෙකුට ඇති. කෑම ඇණවුම් කළාම ඉක්මණින් පිළියෙල කරලා දෙනවා. චායි ටී කුටියකුත් අපිට තියනවා.“

මෙතන චායි ටී පිළියෙල කරන්නේ එවේලේමය. ආකර්ශනීයව සැකසූ අලෙවි කුටියකි.

කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ් නවතම ආහාර සංස්කෘතියකි. ජුබිලි කණුවේ සිට පැමිණි හර්ෂ කසුන් (38) තම කුඩා ලොරිය, ආහාර වෙළඳ කුටියක් සේ සකසා ඇත. ඔහුගේ ලොරියේ ආහාර මිල ගණන් සටහන් කර ඇත. චීස්, චිකන්, පෝක් (ඌරුමස්) ඉස්සො බාබකියු සබ්මැරීන් රු. 380 සිට රු. 450 දක්වා මිලකට විකිණේ. බාබකිවු වැව් මාළු දීසියක් රු. 900කි. බාබකිව් බර්ගර් එකක් රු. 350 පමණය. බාබකිව් wrap එකක් රු. 400 - 500 දක්වාය. කුකුල් මස් කරි, ඌරු මස් කරි හා බාබකිවු චිකන් වින්ග්ස් රු. 300 පමණ වේ. Mr. Eats ඔහුගේ ජංගම කෑම රථයේ නමයි. කෑම පිළියෙල කරන්නේ ගෑස්වලින් ක්‍රියා කරන වැසූ පෝරණුවකය. මේ ඔහුගේ හඬ.

“හවස 4.00ට ආවාම අපි රෑ 2ට 3ට යන්නේ. බිස්නස් කලින් නම් හොඳට තිබුණා. මේ දවස්වල අඩුයි. බීම වර්ගත් තියනවා. විදේශීය කෑම වුණත් අපි අපේ රටට ආවේණික ලෙසට ගම්මිරිස්, මිරිස්කුඩු, කහ, සුදුළූණු වගේ කුළුබඩු එකතු කරලා ලාංකිකයින් ප්‍රිය කරන විදිහටයි හදන්නේ. එකම කෑම වර්ගය වුණත් මෙහෙත් එක එක වාහනවල මිල ගණන් එහා මෙහා වෙනවා.“

සමහර පෙම්වතුන් පෙම්වතියන් සැඳෑවරුවේ විවේක සුවය විඳිමින් කෙටි ආහාර ගැනීමටත් ෆුඩ් ස්ට්‍රීට් තෝරාගෙන ඇත.

මේ අතර විශේෂයෙන් සකස් කරන ලද විශාල අලංකාර වාහනයක ඉහළ කොටසක සාදයකි. සිහින් සංගීත රාවය එයින් නිතුත් වෙයි. එම වාහනයේ පසෙකින් ඉහළට නැගීමට විශේෂයෙන් සැදූ තරප්පුවකි. වාහනයේ අලෙවි කුටියේ ඉදිරිපස රූපවාහිනී තිරයේ ආහාර මිල ගණන් හා අලෙවි කරන කෑම ගැන කෙටි වාර්තාමය වැඩසටහනකි. මෙහි හිමිකරු වන්නේ කඳානේ කැළුම් සයන්ජන (21) හා කඳානේ අෂේන් ඉමංක (23) මිතුරන් දෙදෙනාය. කුටිය නම් කර ඇත්තේ cafe 360 නමිනි. ඉන්දියානු, මෙක්සිකානු, ආහාර පාන වුවත් මධ්‍යම පාන්තික ශ්‍රී ලාංකිකයින්ට මිලදී ගත හැකි මිලකට අලෙවි කරන බව ඔවුන් පැවසූහ. මේ කැළුම් සයන්ජනගේ හඬ.

“මේක තමයි ලංකාවෙ පළවෙනි root of dining truck එක. වාහනය අරන් අපි වැඩිදියුණු කළා. උඩට නගින්න ලැඩර් එකක් තියනවා. රෙස්ටුරන්ට් ටයිප් එකට හදලා තියෙන්නේ. සවස 6.00 සිට රාත්‍රී 11.00 තුරු අපි මෙතන ඉන්නවා. Panjald, Mutton, Masala, අඩංගු ආහාර වර්ග අපි ළඟ තියනවා රු. 500 සිට ඉහළට.“

ඉතා විශාල මුදලක් වැය කරමින් සැකසූ cafe 360 කාටත් නවමු අත්දැකීමකි.

ෆුඩ් ස්ට්‍රීට් හි සෑම ආහාර අලෙවි රථයකම මිල ගණන් ප්‍රදර්ශනය කර තිබීම විශේෂ දෙයකි.

පිළියන්දල සමිත් චාමර (40) අනෝජා මධුෂානි (35) අඹුසැමි යුවළ විශේෂයෙන් සැකසූ ලොරියක ආහාර ගෙනැවිත් එළිමහනේ කුඩා කුටියක් සකසා ආහාර පිළියෙල කර දෙයි. අල රවුම් රු. 100, සොසේජස් රු. 150 අලෙවි කරයි. අනෝජා මධුෂානි පවසන්නේ මෙවන් කතාවකි.

“අපි පිළියන්දල ගෝනමඩිත්තේ. මහත්තයා සිංගප්පූරුවේ වැඩ කළේ. බබාගේ උපන් දිනේට ලංකාවට ආවාම කොරෝනාවලට රට වැහුවා. ආයේ යන්න බැරිවුණා. ඒ නිසයි මේ බිස්නස් එක පටන් ගත්තේ.“

රාත්‍රී ලන්තෑරම් ආලෝකය මෙන් වාහනය වටේටම අලංකාර විදුලි ආලෝකයෙන් වර්ණවත් කළ බර්ගර්, හොට්ඩොග් කුටියේ හිමිකරු චරිත් මධුෂාන් විජේසූරියයි (35) අලංකාර චිත්‍ර සහිත ස්ටිකර් අලවා පුංචි මුළුතැන්ගෙයක් සකසා ඇත.

“මම crue cab එකක් තමයි මේ විදිහට සකස් කළේ. පුරුදු වූ කස්ටර්මස්ලා පිරිසක් එනවා. සුද්දගේ කෑම ඒ විදිහටම කොපි කළේ නෑ. අපිට ආවේණික විදිහට, ආවේණික රසයට ආහාර වෙනස් කරගත්තා. cheese chicken Burger රු. 300, vegetarian falafel submarian රු. 400, Tandoori chicken submarine රු. 300, vegetarian falafel Burger රු. 250, BBQ chicken submarine රු. 350, seafood submarine රු. 350, Garlic chicken & egg Burger රු. 350 අලෙවි කරනවා. ඉස්සරට වඩා දැන් හුඟාක් නගරබද අය මේ කෑමවලට හුරුවෙලා.“

රාත්‍රී කෑම බීම වලට අමතරව අයිස්ක්‍රීම් වර්ගත් street foodහි අලෙවි කරයි. එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් ලොරිය ඉතා අලංකාරව සකසා ඇත. නාමල් නානායක්කාර, අජිත් කුමාර එහි වගකීම දරයි. හෝමාගම සිට පැමිණි තරුණයෙක් අලෙවි කරන ‘පුත්තලමේ රසකජු‘ ගන්නටත් පුරුදුකාරයෝ පැමිණෙති. කිඹුලාවල හර්ෂි ප්‍රනාන්දු (36) අලෙවි කරන්නේ fresh ජූස්, මිල්ක් ෂේක්, අයිස් මයිලෝ වේ. කප් එකක් රු. 150යි.

කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ් සඳහා වැඩියෙන්ම අලෙවිය ඇත්තේ සෙනසුරාදා, ඉරිදා සති අන්තයේය. කොරෝනාවත් සමඟ අලුතින් බිහිවූ ස්ට්‍රීට් ෆුඩ් ආහාර සංස්කෘතියෙන් නව මාවතකැයි කීමේ වරදක් නැත.

Comments