බොක්සිං වළල්ලෙන් පැනදේශපාලන සටන් බිමට එන මැනිලාවේ කුමාරයා | සිළුමිණ

බොක්සිං වළල්ලෙන් පැනදේශපාලන සටන් බිමට එන මැනිලාවේ කුමාරයා

 

සෑම විටම බොක්සිං වළල්ලේ අතුළත සහ පිටත දී තමන් සටන්කරුවකු ලෙස කටයුතු කරන බැවින් රට ප්‍රතිසංස්කරණය කිරීමට එක්සත් වනලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා තිබේ.

 

'මිනිසුන් තුළ විවිධ සිහින මතුවෙයි. ඇතැම් සිහින යථාර්ථවාදී ය. අනභියෝගී ය. තවත් සමහරක් අභියෝගාත්මක ය, දුෂ්කර ය. ඉටුවනු ඇත්දැයි සැක සහිත ය. එහෙත් ඇතැමුන්ට එය එසේ නොවේ. තම ජීවිතය තුළ දුක් කප්පරක් විඳ ඇත්නම්, ඒවා කෙසේ හෝ ජය ගෙන ඇත්නම් ඕනෑම අභියෝගයකට පය තබන්නට ඔවුහු නොපැකිළෙති. මේ එවන් සිදුවීමක් ගැන ය.'

පිලිපීන බොක්සිං ශූර මැනී පැකි-යෝඕ පසුගිය දා පැවති ජාතික සම්මේලනයේ දී ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී තමන් අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බව ප්‍රකාශ කළේ ය. එ් අනුව පී. ඩී. පී. පාලක පක්ෂයේ කණ්ඩායමක් විසින් ඔහු මෙලෙස ජනපති අපේක්ෂකයකු ලෙස නම් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. පිලිපීන ජනතාව ආණ්ඩු වෙනසක් බලාපොරොත්තු-වෙන් සිටි බව ද මෙහිදී ප්‍රකාශ වී තිබේ.

42 හැවිරිදි පැකියෝඕ සිය කතාවේ දී පැවසුවේ "මම සටන්කරුවෙක්. මම සැම විටම බොක්සිං වළල්ලේ ඇතුළතත් පිටතත් සටන්කරුවෙකු වන්නෙමි." ඔහු කියා තිබේ. එහිදී තවදුරටත් ඔහු පවසා ඇත්තේ, "අපට අවංකව, දයානුකම්පිතව සහ විනිවිදභාවයකින් යුතුව අපේ ජනතාවට සේවය කිරීමට ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට අවශ්‍යයි," යනුවෙනි.

දෙවන වසර 6 ක ධුර කාලය ලබා ගැනීම ව්‍යවස්ථාවෙන් තහනම් කර ඇති ඩුටර්ටේ ජනාධිපතිවරණයට ඉදි-රිපත් වීම මේ වන විට ප්‍රතික්ෂේප කර තිබේ.

ඔහුගේ හිටපු සගයා වූ ඩුර්ටර්ටේ ගේ පරිපාලනය පිලිපීනයේ දූෂණය වඩාත් නරක අතට හැරවූ බවට පැකියෝඕ චෝදනා කර තිබීම ද මෙහිදී විශේෂත්වයකි.

ඔහුගේ සුදුසුකම් ගැන ප්‍රශ්න කරන විවේචකයන්ට, පැකියෝඕ පවසා ඇත්තේ තමාගේ පෞද්ගලික දුෂ්කරතා පිළිබඳ අත්දැකීම මිනිසුන්ගේ දුක් වේදනා තේරුම් ගැනීමට ඇති හැකියාව සහ දුප්පත්කමට හා දූෂණයට එරෙහිව සටන් කිරීමට ඇති ශක්තිය ඒ වෙනුවෙන් ඇති තමාගේ සුදුසුකම් බවයි.

"මගේ මුළු ජීවිත කාලය තුළම, මම කිසිදු සටනකදී පසුබැස්සේ නෑ," පැකි-යෝඕ පවසා ඇත.

දූෂණයට වගකිව යුතු දේශපාලනඥ-යන්ට අනතුරු හැඟවීමට ද ඔහු ක්‍රියා කර තිබිණි.

පැකියෝඕ සහ ඔහුගේ සගයන් පාලක පක්ෂයේ නීත්‍යානුකූල නොවන නිලධාරීන් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙසට මැතිවරණ කොමිසම වෙත පෙත්සම් ඉදිරිපත් කරන බව ඩුටර්-ටේට සහාය දක්වන ප්‍රතිවාදී පාර්ශ්වය කලින් ප්‍රකාශ කළ හ.

තමන් සටන්කරුවකු වන බවත් සෑම විටම බොක්සිං වළල්ලේ අතුළත සහ පිටත දී තමන් සටන්කරුවකු ලෙස කටයුතු කරන බැවින් රට ප්‍රති-සංස්කරණය කිරීමට එක්සත් වනලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා තිබේ.

පිලිපීන ව්‍යවස්ථාවට අනුව ජනාධි-පතිවරණය සඳහා එක් අයකුට දෙවරක් ඉදිරිපත් විය නොහැකි ය. ඒ අනුව වත්මන් ජනාධිපති රොඩ්රිගෝ

ඩුටර්ටේ විසින් සිය දියණිය වන සාරා ඩුටර්ටේව ද මෙවර ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

කලක් ජනපති ඩුටර්ටේ සහ පැකියෝඕ හොඳම හිතවතුන් වූ හ. එහෙත් මේ වන විට දෙදෙනා අතර ඇතිවී තිබෙන විරසකය හේතුවෙන් පක්ෂය ඇතුළත ද පිල් බෙදීමක් සිදුවී ඇතැයි පැවසේ.

පසුගිය සමයේ විදේශාධාර අයථා පරිහරණය, රට තුළ මූල්‍ය අක්‍රමිකතා පවතින බවට පැකියෝඕ චෝදනා කරන අතර ඒ සඳහා වහා විමර්ශනයක් පවත්වන ලෙස ද ඔහු යෝජනා කරයි.

මැනී පැකියෝඕ දිළිඳු පවුලක උපත ලද්දේ 1978 දෙසැම්බර් 17 වැනිදා පිලිපීනයේ කිබාබේ පළාතේ දී ය. ඔහු ගේ පවුලේ සහෝදර සහෝදරියන් හය දෙනෙකි.

පියා අකාලයේ දිවි අහිමි කරගත් හෙයින් තම මවගේ සෙවණේ ජීවිතයට මුහුණ දුන් පැකියෝඕ අවසානයේ ජීවිත සටනට තනිවම මුහුණ දීමට මැනිලා නගරයට ඉරණම් ගමනක් ආවේ ය. එහිදී කීයක් හෝ උපයා සපයා ගත්තේ බරින් තමාට වඩා කිහිප ගුණයකින් යුත් මුට්ට කර ගැසීමෙනි. කර ගසන්නට මුට්ට නොලැබුණු විට කුලී වැඩ කළේ ය. කුලියක් මලියක් නොලැබුණු විට පාන්, බනිස් විකුණන්නකු වූ ඔහුට මැනිලාවේ නිකම් බලා සිට කාලය කා දමන්නට වෙලාවක් නොවීය. හැම තත්පරයේම කුමක් හෝ කර කීයක් හෝ සොයාගන්නට මහන්සි වූ ඉතිහාසයක් ඔහු සතු ය.

තැළී පොඩි වී හැදුණු වැඩුණු පැකියෝඕ ගේ සිරුර සටන් ශිල්පයක් කෙරේ යොමුවිණි.

පැකියෝඕ ගේ සටනින් ඔට්ටු ඇල්ලූ තැරැව්කරුවන්ගේ සාක්කු ඩොලර්වලින් පිරී ඉතිරෙන විට මේ සටන්කරුවාගේ අතට ලැබුණේ ඩොලර් 3ක් වැනි සොච්චමකි.

පැකියෝඕ ගුටි කා-ගෙන ඉපැයූ මුදල්වලින් වැඩි කොටසක් යැව්වේ අම්මාට ය. අම්මාට වැඩිපුර මුදලක් යැවීමේ බලාපොරොත්තුවෙන් පැකියෝඕ වැඩි වැඩි-යෙන් සටන් කළේ ය.

මේ නිසාවෙන් ඔහු අවුරුදු දහහතක් වද්දී වෘත්තීය බොක්සිං ක්‍රීඩකයකු විය. ඉන් ඇරැඹි ගමන බොක්සිං ක්‍රීඩාව තුළින් බර පන්ති 8 ක ලෝක ශූරතාව දිනාගන්නට ඔහුට ශක්තිය උදාකර දුන්නේ ය.

එදා ඩොලර් 3 ක් වෙනුවෙන් ගුටී කා අනුන්ගේ සාක්කු පිරවූ පැකියෝඕ 2016 වෙද්දී ලෝකයේ ඉහළ මටට්මේ ගෙවීම් ලබන බොක්සිං ක්‍රීඩක ලැයිස්තුවේ දෙවැන්නා වුණේ එසේ ය. කෙසේ නමුත් පසුගිය දා අමෙරිකාවේ අවසන් වරට පැවැති බොක්සිං සටනේ දී ඔහු පරාජය ලැබූ අතර පසුව තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් වැළකී සිටියේ ය. එහෙත් පැකියෝඕ යළි සිය තීරණය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.

දුප්පත්කම පරදා ධනවත්කම් සපුරා, අසරණයන් අතර මුදල් බෙදා දුන්, සුබ සාධක කටයුතුවලට ඉදිරිපත් වුණු පැකියෝඕ නම් මානවවාදියා ඉදිරියේ පැවැත්වෙන පිලිපීන ජනපතිවරණයෙන් කවර ප්‍රතිඵලයක් අත්කරගනු ඇත් ද? එය තීරණය කරනු ඇත්තේ අනාගතය විසිනි.

 

 

Comments