ඇසෑමයේ බෙදුණු සමාජය ආදරයෙන් හා ගෞරවයෙන් එකට බඳින ෆ්‍රිෂ්බී | සිළුමිණ

ඇසෑමයේ බෙදුණු සමාජය ආදරයෙන් හා ගෞරවයෙන් එකට බඳින ෆ්‍රිෂ්බී

 

මෙම ක්‍රීඩාව මඟින් විවිධ ජන කණ්ඩායම් අතර සැකය, වෛරය වගේ පටු හැඟීම් සුනු විසුනු කර දමනවා. ඇත්තටම ෆ්‍රිෂ්බී කියන්නේ කාලයට ගැළපෙනම ක්‍රීඩාවක්.

චිරෑන්ග් හි ඇතිවූ ෆ්‍රිස්බී විප්ලවය ජාත්‍යන්තර වශයෙන් ද දැඩි අවධානයකට ලක්වෙමින් තිබේ. ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩා පරිපාලකයෙක් හා පුහුණුකරුවකු වන ඩැනියෙල් රූල් 2018 වසරේ දී චිරෑන්ග් හි සංචාරය කළේ එහෙයිනි.

'ෆ්‍රිෂ්බී ක්‍රීඩාව මගින් අපේ තරුණයන්ගේ නිසඟ හැකියාවන් පිටතට ගෙන තිබෙනවා.' යැයි සුම්බ්ලිබාරි හා සමාජ ක්‍රියාකාරී නායකයකු වන ජැපෙට් නෂාරි පවසන්නේ ය. ඒ මෙම ක්‍රීඩාව තම ප්‍රදේශයේ ඇති කර ඇති විප්ලවය සලකා බලාය.

'ක්‍රීඩාව යනු බෙදුණු සමාජය බඳින බදාමයකි. එහෙත් එය එසේ වන්නේ ක්‍රීඩාවේ සැබෑ ලෙසම ජීව ගුණය රැකෙන්නේ නම් පමණි. එම ජීව ගුණය අභිබවා ආර්ථිකය මූලික වුවහොත් ක්‍රිඩාවේ සැබෑ අරමුණු වියැකී යෑම ද අපේක්ෂා කළ යුතු ය. එහෙත් මේ කතා කරන්නේ ක්‍රීඩාවේ ජීව ගුණය මැඬලන කාරණා ගැන නොව බෙදුණු සමාජයක, ඇවිළෙන ගැටුම් අනාගත පරපුර තුළ යළි නොදල්වන ලෙස සිසිල් කරන්නට ක්‍රීඩාවක් උපයෝගී කර ගන්නා ආකාරය ගැන ය.'

ස්වමක්වර් බර්මා වැඩිපුර කතා කරන්නේ නැත. එහෙත් යමෙක් 'ෆ්‍රිස්බි' යැයි කියූ සැණින් ඔහුගේ දෙනෙත් දීප්තිමත් වෙයි. ඒ සමඟ ඔහු ඉතා උනන්දුවෙන් එසේ වැහැරූ මිනිසා වෙත හැරේ. අනතුරුව ඒ පුද්ගලයා හා සංවාදයට එළැඹෙයි.

'ෆ්‍රිස්බි' යනු මේ වන විට ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය තුළ සුළි කුණාටුවක් සේ වේගයෙන් පැතිර යමින් ඇති අස්පර්ශීය ක්‍රීඩාවකි. එහි දී ප්ලාස්ටික් කව පෙත්තක් බඳු වක්‍ර රෝදයක් උපයෝගී කර ගන්නා අතර, එය අහසේ වාතය කපාගෙන යන ආකාරයට විසි කරමින් ප්‍රතිවාදී සීමාව වෙත රැගෙන ගොස් ලකුණු ලබා ගැනීම සිදුකෙරේ. එහෙත් එහිදී කිසිදු ක්‍රීඩකයකු අතින් ඇල්ලීම, ගැටීමට හෝ පොරබැදීමට අවස්ථාවක් නැත. ඒ වෙනුවෙන් ක්‍රීඩකයන් රොත්තක්, මායිම් සලකුණු කරගත් ක්‍රීඩා පිටියක් තුළ ක්‍රීඩාවේ නියැළෙති.

වර්තමානය වන විට මෙම ක්‍රීඩාව ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ සුප්‍රකට ක්‍රීඩාවකි. එය වඩා පහසුවෙන් දැකිය හැක්කේ ඇසෑමයේ චිරෑන්ග් හි ය.

චිරෑන්ග් ප්‍රදේශයට ෆ්‍රිෂ්බී හඳුන්වා දුන්නේ 2015 වසරේ දී පමණ ය. ෆ්‍රිෂ්බී යයි කියූ සැණින් දීප්තිමත්ව සංවාදයට යොමු වන ස්වමක්වර් බර්මා ගේ වයස අවුරුදු 23 කි. ඔහු මෙම ක්‍රීඩාව සමඟ කොතරම් සම්බන්ධද යත් ප්‍රදේශයේ වෙසෙන තවත් තරුණ දරුවන් අතරට මෙම ක්‍රීඩාව රැගෙන යමිනි. ඒ නවක ක්‍රීඩකයන් අතරට මෙම ක්‍රීඩාව හුරු කරවමිනි.

මෙම සියලු වෑයම් සමඟ ෆ්‍රිෂ්බී ක්‍රීඩාව වේගයෙන් චිරෑන්ග් පෙදෙසේ පැතිර ගොස් ඇත. එම ප්‍රදේශයේ පිහිටා ඇති ගම්මාන සියයක පමණ එකී ක්‍රීඩාවේ නියැළෙන ක්‍රීඩකයන් හාරදහසකට වැඩි ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවීමෙන් ක්‍රීඩාවේ ව්‍යාප්තිය අවබෝධ කරගත හැකි ය. එ් අතරට බර්මාගේ ගම්මානය වන 'එයිචාරා' ව ද ඇතුළත් ය.

'ගොඩාක් ක්‍රීඩකයෝ එන්නේ එකම ප්‍රදේශයකින්.' බර්මා පවසන්නේ ය.

මෙතරම් ක්‍රීඩකයන් සංඛ්‍යාවක් තනි ක්‍රීඩාවක් වෙනුවෙන් එකම ප්‍රදේශයකින් සොයාගැනීමට හැකි වීම සම්බන්ධයෙන් එම ක්‍රීඩාවේ ජාතික සම්මේලනය පවා විස්මයට පත්ව සිටී.

ඔවුන් ගේ හිටපු සභාපති මැනික්කාම් නාරායන් පවසන ආකාරයට අමෙරිකා එක්සත් ජනපදයේ උපන් 'ෆ්‍රිෂ්බී' ක්‍රීඩාව උගෙනීමට ඇසෑමයේ

චිරැන්ග් හි මෙතරම් ක්‍රීඩකයන් සංඛ්‍යාවක් රොඳ බැඳීම විශ්වාස කරන්නට ද අසීරු ය.

'මම මේ ක්‍රීඩකයන් සමඟ වැඩ කළා. ඔවුන්ව මම පුහුණු කළා. එහෙම කරද්දී මට ඔවුන්ගේ සුවිශේෂී දක්ෂතා දක්නට ලැබුණා. එතැනදී මමත් ඔවුන්ගෙන් බොහෝ දේ උගත්තා.' නාරායන් පවසන්නේ ය.

චිරෑන්ග් ප්‍රදේශයට පැමිණීමට පෙර ඔහු ඉන්දියාවේ විවිධ ප්‍රදේශයන්හි ෆ්‍රිෂ්බී ක්‍රීඩකයකු හා උපදේශකයකු වශයෙන් කටයුතු කර අත්දැකීම් ලබා ඇත්තෙකි. එහෙත් ඒ සියලු ප්‍රදේශයන්ට වඩා චිරෑන්ග් හි මෙම ක්‍රීඩාව වෙනුවෙන් පවතින උද්යෝගය ඔහු පවසන ආකාරයට අධික ය. එසේම එම උද්යෝගය මෙම ක්‍රීඩාව චිරෑන්ග් ප්‍රදේශය තුළ අධිවේගයෙන් ව්‍යාප්ත කරමින් ඇති බව ඔහුගේ මතයයි.

ෆ්‍රිෂ්බී චිරෑන්ග් හි මෙතරම් ජනප්‍රිය වන්නේ ඇයි?

'මේ ක්‍රීඩාව අපට සුවපහසු භාවයක් වගේම කලාපය තුළ සාමය හා සංහිඳියාව ගොඩනංවනවා. ඉන්දියාවේ හුඟාක් දෙනෙක් 'ෆ්‍රිෂ්බී' කියන්නේ මොකක් ද කියා දන්නේ නෑ. ඒ වගේම ඒ ක්‍රීඩාවේ නියැළෙන අපි කවුද කියලා ගණන් ගන්නෙත් නෑ.' එහෙත් එම ක්‍රීඩාව තමන් ජීවත්වන ප්‍රදේශයට වටිනා බව බර්මා දැඩිලෙස විශ්වාස කරයි.

ප්‍රදේශය තුළ සාමය ගොඩනැගීමට මෙම ක්‍රීඩාව උපස්ථම්භක වන්නේ යැයි ප්‍රබල මතයකි. මන්දයත් ඇසෑමයේ බොඩෝලෑන්ඩ් ප්‍රදේශය තුළ ගරිල්ලා ගැටුම් ප්‍රබලව පවතින හෙයිනි.

එම ප්‍රදේශයේ ව්‍යාප්තව සිටින සන්නද්ධ කැරැලිකරුවන් හා රජයේ ආරක්ෂක අංශ අතර වරින් වර මතුවන ගැටුම් චිරෑන්ග් අස්ථාවර කලාපයක් බවට පත්කර ඇත. මෙවැනි තත්ත්වයක් උද්ගත වීමට වඩාත්ම ඉවහල්ව ඇත්තේ එම ප්‍රදේශයේ ගෝත්‍ර කීපයක ජනතාව මිශ්‍රව ජීවත්වීම ය.

ඒ ආදීවාසී බෝඩෝවරුන්, ඇසෑම්වාසීන්, ගොර්කාස්, බෙංගාලි බස කතා කරන මුස්ලිම්වරුන් හා තවත් ගෝත්‍රයක් මෙම ප්‍රදේශය සිය ගොදුරු බිම් බවට පත්කරගෙන ඇති හෙයිනි. මෙම ජන විවිධත්වය. සංස්කෘතික විෂමතාවන් හේතුවෙන් 1996, 1998 සහ 2014 යන කාලයන්හි ප්‍රදේශයේ වාර්ගික යුද ගැටුම් නිර්මාණය විණි. එසේම 2012 වසරේ දී ආගමික නොසන්සුන්තාවයක් හේතුවෙන් ද අරගලයක් ගොඩනැගිණි.

විසඳුමකින් තොරව පැවැති මෙවැනි ගැටුම් වඩා සංකීර්ණ වූයේ තරුණ වියට එළැඹෙන ඊළඟ පරම්පරාව ද එම ගැටුම් ඉදිරියට රැගෙන යෑමට කටයුතු කිරීම සමඟ ය. එහෙත් දැන් එම සියලු ගැටලුවලට විසඳුම් නිර්මාණය කරන්නට ෆ්‍රිෂ්බී ක්‍රීඩාව සමත් වෙමින් ඇති සෙයකි. ඒ එම ක්‍රීඩාව ළමා හා තරුණ ප්‍රජාව අතරට වේගයෙන් ආකර්ශනය වෙමින් ඇති හෙයිනි.

එහෙත් ක්‍රීඩාවකට සියලු දෙනා එකට බැඳ තැබිය හැකි ද?

'ඒක කියන්න අපහසුයි. නමුත් 'ෆ්‍රිෂ්බී' ක්‍රීඩාව මඟින් අපට හොඳ වේදිකාවක් තනාදී තිබෙනවා. එකිනෙකා සමඟ හොඳින් අදහස් සන්නිවේදනය කරන්න වගේම අපි එකිනෙකාගේ තියෙන වෙනස්කම් හොඳ ආකාරයට විසඳාගන්න ප්‍රමාණවත් අවස්ථාවක් උදාකර තිබෙනවා. චිරෑන්ග් වැනි බහු ගෝත්‍ර, ජනවර්ග විවිධත්වයක් සහිත ප්‍රදේශයක පවතින ගැටලුවලට මේ ක්‍රීඩාව හොඳ විසඳුමක් බවට සලකන්න වෙන්නේ ඒ නිසයි.' බර්මා පවසන්නේ ය.

ඔහු එසේ විශ්වාස කරන්නේ තමන් මෙන්ම තම වයස් කාණ්ඩයට අයත් සෙස්සන් ද හැදී වැඩුණේ ඉතා දරුණු ගැටුම්කාරී පරිසරයක් තුළ බව ඔහු දන්නා හෙයිනි. එම තත්ත්වය තුළ ඇතිවූ මානසික ගැටලු ගැන ඔහුට මනා අවබෝධයක් ඇත. වරක් ඔහුගේ පියාට මුහුණ පාන්නට සිදුවූ අකරතැබ්බය සිහිවද්දී බර්මා තවමත් තැති ගැනෙයි.

ඒ මීට වසර ගණනාවකට පෙර සිය පියා ඔහුගේ ගවයන් සමඟ කැලෑවෙන් පිටතට පැමිණෙද් දී ආරක්ෂක හමුදා අත්අඩංගුවට පත්වීමේ සිද්ධිය සිහිපත්වද්දී ය. එහිදී හමුදා අංශ විසින් බර්මාගේ පියාට දරුණු ලෙස පහර දී වදහිංසාවට ලක්කර තිබිණි.

'හමුදා නිලධාරීන් සිතලා තියෙන්නේ මගේ පියා වනයේ ඉන්න සටන්කාමියෙක් කියලා. ඒකට වැඩිපුරම හේතු වුණේ මගේ පියා හින්දි කතා-කරන්න දන්නේ නෑ. ඒ වගේම හමුදා සොල්දාදුවන්ට බෝඩෝ භාෂාව තේරෙන්නෙත් නෑ. ඉතිං අන්තිමට පැය ගණනාවක් ඔහුව වනාන්තරය ඇතුළේ රඳවාගෙන විවිධ වධහිංසා පමුණුවලා තිබුණා. මේ නිසා ඔහු මාස කීපයක් ඔත්පළව ප්‍රතිකාර ගත්තා.' ඔහු කීවේ චිරෑන්ග් හි පවතින ආරක්ෂිත පරිසරයේ ස්වභාවය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. එවිට බර්මාගේ වයස අවුරුදු හයක් විය. එම සිදුවීම ඔහුට දැඩිව මානසිකව බලපා තිබුණේ ය.

'මට ඒ සිද්ධිය තවම මතකයි. තාත්තා ආවේ කොරගහමිනුයි. ඔහුට කාත කරන්න වත් නැගිටලා ඉන්නත් හරිම අමාරු තත්ත්වයක් තිබුණා.'

බර්මාගේ පියා දැන් ගෙවන්නේ හැට වැනි වියේ ය. එදා ඔහු මුහුණ පෑ මරණීය අකරතැබ්බයෙන් පසු යළි වනයට ගොස් නැත. එහෙයින් ඔහු බොහෝ විට වැඩ කරන්නේ තමන්ගේ නිවස පිටුපස ඇති කුඩා ගෙවත්තේ ය.

එසේම එය බර්මාගේ පියා පමණක් ලැබූ අත්දැකීමක් නොවේ. දසක කීපයක් තිස්සේ මේ ආකාරයෙන් තම ජීවිතය තුළ විශාල මිලක් ගෙවීමට චිරෑන්ග් හි බොහෝ ගම්මාන තුළ ජීවත්වන ගම්මූන්ට සිදුව ඇති අයුරු කනගාටුදායක ය. ඒ ඉන්දීය ආරක්ෂක අංශ හා ගරිල්ලා කණ්ඩායම් අතර නිරන්තරයෙන් ඇතිවන ගැටුම් හේතුවෙනි. මෙවැනි තත්ත්වයක් මැද මෙම ප්‍රදේශයේ ජීවත් වන සැවොම සිතන්නේ කලාපයටම උචිත ක්‍රීඩාව 'ෆ්‍රිෂ්බී' බවයි.

ඉගිළෙන වට පෙති හා සිහින

චිරෑන්ග් හි සුම්බ්ලිබාරි යනු ගණ වනය ඇතුළත පිහිටි යටිතල පහසුකම් කිසිත් නැති ගම්මානයකි. එහි ජීවත් වන්න අසීරු ය. එහෙත් සුම්බ්ලිබාරි තුළ ෆ්‍රිෂ්බී ක්‍රීඩාව වේගයෙන් ව්‍යාපත් වෙමින් ඇත. මෙම ක්‍රීඩාව එම ගම්මානයට හඳුන්වා දීමට රාජ්‍ය නොවන සංවිධානයක් ක්‍රියා කළදා සිට ය.

සුම්බ්ලිබාරිය ගැන තවදුරටත් කියන්නේ නම් එම ගම්මානය පිහිටා ඇත්තේ ප්‍රධාන මාවතේ සිට සැතපුම් නවයකට වඩා විශාල මහා මඩගොහුරවකට එපිටිනි. එහි ළඟාවන්නකුට පළමුව 'නැන්ගල්බන්ගා ගංගාව' තරණය කරන්නට සිදුවෙයි. ඒ වෙනුවෙන් බෝට්ටුවක් උපයෝගී කරගත යුතු අතර එමගින් ජෝයිපූර් වෙත පැමිණීමට හැකි ය.

ප්‍රවාහන පහසුකම් සපුරා ගැනීමට අවශ්‍ය නම් මිනිත්තු විස්සක් හෝ තිහක කාලයක් ගං ඉවුරේ පොරොත්තු වෙන්නට ද සිදුවෙයි. මෙහි ප්‍රවාහන සේවාව එතරම් දුෂ්කර ය. එසේ ගමන් පහසුව සලසන බෝට්ටු දේශීයව නිර්මාණය කළ ඒවා වන අතර එහි කාර්ය මණ්ඩලය තිදෙනෙකි. ඒ බෝට්ටුව පදවන්නන් දෙදෙනෙක් හා ප්‍රවේශපත්‍ර නිකුත් නරන්නකු ගේ සේවය ඊට ඇතුළත් ය.

ජායිපූර් හි සිට සුම්බ්ලිබාරි දක්වා ඇති දුර

සැතපුම් නවයකි. ඒ දුර යා යුත්තේ ගංගාවේ ඉවුර දිගේ ඇවිද යාමෙනි. එහෙත් යම් ආගන්තුකයෙක් තම ගම් පෙදෙසට පා ගමනින් යමින් සිටීනම් පාපැදියක පැමිණෙන බොහෝ ගම්වාසීහු එකී ආගන්තුකයාට ගමන් පහසුව සලසා දෙයි. ඒ තම පාපැදියේ වාඩිකරවාගෙන එම දුර තරණය කරමිනි. එසේ සුම්බ්ලිබාරි වෙත යන්නකුට සෑම තැනකම දකින්නට ලැබෙන්නේ සතුටින් ඝෝෂා කරමින් තරුණ කණ්ඩායම් ෆ්‍රිස්බී ක්‍රීඩාවේ නියැළෙන ආකාරය ය. එය සැඳෑ කාලයේ චිරාන්ග් ප්‍රදේශයේ සෑම ගමකම දැකිය හැකි සොඳුරු දසුන් පෙළකි.

කොරොනා වයිරසයෙන් පීඩා විඳි කාලයේ වුවද එහි අඩුවක් නොවුණේ ය. විවිධ ගම්මානවල සිට මෙම ක්‍රීඩාවේ නියැළීමට එන ක්‍රීඩකයෝ ගංගාව තරණය කරමින් නැන්ගල්බංගා හා ලැන්කාර් වෙත එති. එවැනි වසංගතයක් ඉදිරියේ පවා ෆ්‍රිෂ්බී ක්‍රීඩාව අතහැර දැමීමට ඔවුහු කැමැත්ත නොදැක්වූ අයුරින් තේරුම් යන්නේ ස්පර්ශ නොවන ක්‍රීඩාවක් වන ෆ්‍රිෂ්බී ක්‍රීඩාවේ නියැලීමට ඔවුන් දක්වන අසිමිත කැමැත්තයි.

2018 වසරේ දී බටහිර ගුජරාටිය කේන්ද්‍ර කරගනිමින් කලාපීය තරගාවලියක් පැවැත්වීම දක්වා මෙම ක්‍රීඩාව වර්ධනය විය. එසේම කර්නාටක් ප්‍රාන්තයේ දී එහි ජාතික ශූරතාවක් ද සංවිධානය කෙරිණි.

මේ වන විට චිරෑන්ග් හි ඇතිවූ ෆ්‍රිස්බී විප්ලවය ජාත්‍යන්තර වශයෙන් ද දැඩි අවධානයකට ලක්වෙමින් තිබේ. ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩා පරිපාලකයෙක් හා පුහුණුකරුවකු වන ඩැනියෙල් රූල් 2018 වසරේ දී චිරෑන්ග් හි සංචාරය කළේ එහෙයිනි.

'දේශීය ක්‍රීඩකයන්ගේ දක්ෂතා දුටු සැණින් මා තුළ ආකර්ෂණයක් ඇති කළා.' යැයි රූල් පවසා තිබිණි. ඔහු ෆ්‍රිස්බි ලෝක ශූරතා දහ හතරකට සහභාගිවී ඇත්තෙකි. එසේම චිරෑන්ග් වෙත ආ ඔහු එහි දින කීපයක් ගත කර මෙම ක්‍රීඩාවේ මුල් බැස ගැනීම ගැන සොයා බලා තිබුණේ ය.. ඔහු එසේ එහි පැමිණ තිබුණේ රාජ්‍ය නොවන සංවිධානයක ඇරැයුමකට අනුවය.

ඇසෑමය නියෝජනය කරමින් ක්‍රීඩාව තුළින් වැඩිම දස්කම් දැක්වූයේ ලොව්ලිනා බොර්ගො-හේන් ය. ඒ පළමු වරට ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බොක්සිං ඉසව්ව වෙනුවෙන් ලෝකඩ පදක්කමක් දිනා-ගනිමිනි. එයින් පසු ඔවුන් වැඩි අපේක්ෂා තබා ඇත්තේ ෆ්‍රිෂ්බී ක්‍රීඩාව පිළිබඳ ය. මේ අතර 2028 ඔලිම්පික් උළෙල සම්බන්ධයෙන් ඔවුහු බලාපොරොත්තු තබා සිටින්නේ ය.

'ෆ්‍රිෂ්බී ක්‍රීඩාව මගින් අපේ තරුණ, තරුණියන් සතු නිසඟ හැකියාවන් පිටතට ගෙන තිබෙනවා.' යැයි සුම්බ්ලිබාරි හා සමාජ ක්‍රියාකාරී නායකයකු වන ජැපෙට් නෂාරි ද පවසන්නේ ය. ඒ මෙම ක්‍රීඩාව තුළින් තම ප්‍රදේශයේ ඇති කර ඇති විප්ලවය සලකා බලාය.

අසල්වැසි තුල්රිබාරි නම් ගම්මානයේ වෙසෙන දහ නව වියැති සිසුවියක වන පුන්ග්බිලි බාසුමටාරි සෑම සතියකම තම උදයවරු කීපයක්ම ගෙවන්නේ ෆ්‍රිෂ්බී ක්‍රීඩා පුහුණු කරමිනි. ඒ ප්‍රදේශයේ දරුවන්ට පුහුණු කරවීමට ය. පුන්ග්බිලි හා දහ හත් හැවිරිදි සොනාලි රේ යනු චිරැන්ගා ප්‍රදේශයේ දැනට සිටින විශිෂ්ටතම ෆ්‍රිෂ්බී ක්‍රීඩිකාවෝ දෙපළ යැයි කිව හැකි ය. ඒ ඔවුහු 2020 වසරේ ස්වීඩනයේ පැවැති කනිෂ්ඨ ලෝක ශූරතාවයට ක්‍රීඩා කළ ජාතික කණ්ඩායම නියෝජනය කළායින් පසුව ලැබූ පිළිගැනීමකි. එහෙත් කොරෝනා වයිරසය වේගයෙන් ව්‍යාප්ත වීම නම් දැරිවියනට මෙම ක්‍රීඩාවේ නිරතවීමේ අවසරය තාවකාලිකව අවහිරකර ඇත.

'ඇත්තටම, හැමෝම කියන්නේ අපි තාරුකා වගේ දිලෙනවා කියලා.' ඈ සිනහසෙන්නී ය.

එහෙත් එසේ සිනාසුණද පුන්ග්බිලි තුළ ශෝකයක් ද පවතී. ඒ තමන් හා සෙසු ක්‍රීඩක, ක්‍රීඩිකාවන් දිළිඳු දිස්ත්‍රික්කයක් තුළ දිවි ගෙවීම සම්බන්ධව ය. ඒ දරිද්‍රතාව හේතුවෙන් තම අනාගතය පිළිබඳ ඇත්තේ මහා අවිනිශ්චිත බවකැයි ඈ පවසන්නී ය.

'අපිට මෙහි කිසිම පහසුකමක් නෑ. අඩුම තරමේ රෝහලක් එහෙම නැත්නම් පාසලක් පවා නෑ.' ඈ පවසයි.

රෝහලකට යෑමට අවශ්‍ය නම් තුරිබාරියට යා යුතු ය. එය පිහිටා ඇත්තේ බොහෝ දුරිනි. හරියටම කියන්නේ නම් සැතපුම් දහ අටක් ඈතිනි. තුරිබාරි ප්‍රදේශයේ පාසල් කීප-යක්ම පවතින නමුත් ඒවායේ වියදම් දරා ගැනීමට මෙම ප්‍රදේශයේ ජීවත්වන වැඩිහිටියනට අසීරු ය. එහෙයින් තම ගම්මානයේ සිට දරුවන් එහි යැවීමට මාපියන් බොහෝවිට අධෛර්යමත්ය.

මෙවැනි බොහෝ බාධක මැද වුව පුන්ග්බිලි සැතපුම් පහළොවක් දුරින් පිහිටි පාසලකට ඇතුළත්ව සිටී.

එය පිහිටා ඇත්තේ බෙන්ග්ටොල් නම් ගම්මානයේ ය.

එවැනි අසීරු තත්ත්වයක් මැද දිවි ගෙවන්නේ වුව ද ෆ්‍රිෂ්බී ක්‍රීඩාව වෙනුවෙන් තම ප්‍රදේශයේ දරුවන් තුළ මහත් ඇල්මක්, උනන්දුවක් පවතින බව ඇයද පවසන්නී ය. තුරිබාරි හි පමණක් තරුණයන් එකසිහ හැටක් පමණ ෆ්‍රිෂ්බී ක්‍රීඩාවේ නියැළෙන්නේ එය තහවුරු කරමිනිි.

ෆ්‍රිෂ්බී ක්‍රීඩාව පමණක් ඇයි?

පුන්ගබලී ඇතුළුව මෙම ප්‍රදේශයේ වෙසෙන බොහෝ දරුවන් ක්‍රීඩාවට මහත් සේ ආදරය කරති. ඒ අතර පාපන්දු ක්‍රීඩාව ද එකකි. එහෙත් එසේ ඇළුම් කරන ක්‍රීඩා අතරේ වැඩිම පිළිගැනීමක් හිමි කර ගෙන ඇත්තේ ෆ්‍රිෂ්බී ක්‍රීඩාව විසිනි. එතුළින් ක්‍රීඩාවේ ජීව ගුණය වඩා හොඳින් ප්‍රදර්ශනය වීම, සැමට සාධාරණ වීම, ක්‍රීඩාවේ නියැළෙන්නන්ට සමාන වගකීම් භාරයක් හිමි වීම එය කෙරේ වැඩි නැඹුරුතාවයක් නිර්මාණය වීමට හේතුවී ඇත.

ෆ්‍රිෂ්බී ක්‍රීඩාව සම්බන්ධයෙන් කතාකරන්නේ නම් මෙම ක්‍රීඩාවේ යෙදෙන්නන් ක්‍රීඩාවේ නියැලෙන අවස්ථාවේ එකිනෙකාගේ සිරුරු ඇල්ලීම නැතහොත් ස්පර්ශ කිරීමට අවසර නැත. ක්‍රීඩාවේ ඇති නීති රීතිවලට අනුව එය නීතිවිරෝධීය. සාධාරණ වීම, ධනාත්මක ප්‍රවේශය සහ ස්වයං පාලනය මෙන්ම සන්නිවේදනය වැනි ගුණාංග ද මෙම ක්‍රීඩාව තුළින් වහනයවන ආදරණීය සමාජ සුවඳ සේ සැලකිය හැක.

'ෆ්‍රිෂ්බී කියන්නේ බොහෝම නිරෝගී ක්‍රීඩාවකට. මෙහි නියැලෙන ක්‍රීඩකයන් හැමෝට ම එක වගේ ගෞරවයක් හිමියි. පිටියේ දී ත් පිටියෙන් පිටතදීත් කියා එහි වෙනසක් නෑ.' යැයි කියන්නේ මෙම ක්‍රීඩාව ඇසෑමය තුළ ව්‍යාප්ත කිරීමට මූලිකත්වය ගත් රාජ්‍ය නොවන සංවිධානයේ රුවම්වි බාසු-මට්රි ය.

එය ක්‍රීඩාවේ ජීව ගුණය රකිමින් ලකුණු ලබා දීම සිදු කරන ආකාරයට නීති පද්ධතිය සකස් කර ඇත.

එසේම ෆ්‍රිෂ්බී යනු මිශ්‍ර ක්‍රීඩාවකි. කණ්ඩායමකට එක සමාන පිරිමි හා කාන්තා ක්‍රීඩක, ක්‍රීඩිකාවන් එක්කරගැනේ.

'චිරෑන්ග්වල මෙම ක්‍රීඩාව කරද්දී ක්‍රීඩාවේ ජීව ගුණය තවත් උපරිමයට රැකෙනවා. මෙහේ ෆ්‍රිෂ්බී කණ්ඩායමක සංයුතිය හැදෙන්නේ පිරිමි හා කාන්තා දෙඅංශයෙන්ම වගේම ආගම් තුනකින්, ගම්මාන තුනකින්, කුල තුනකින් හා භාෂා හතරකට අයත්වන ආකාරයට යි.' යැයි කියන්නේ ක්වුමදව් බාසුමාට්රි ය. ඔහු සුම්බිලිබාරි ගම්මානයේ වෙසෙන මීට පෙර ෆ්‍රිෂ්බී ජාතික ශූරතාවට ද ක්‍රීඩා කර ඇත්තෙකි. ඔහුට අනුව නීති රීති හා ක්‍රීඩාවේ පවතින විවිධ අංග ෆ්‍රිෂ්බී ක්‍රීඩාව එම ප්‍රදේශයේ ජන කණ්ඩායම් අතර බෙදා වෙන්කර බැඳ තිබූ සමාජ ප්‍රාකාර බිඳ දමමින් තිබේ. එය නැගෙනහිර හා බටහිර යනුවෙන් ජර්මනිය බෙදා තිබූ බර්ලින් තාප්පය බිඳ දැමූවිට සිදුවූ සමාජ විප්ලවය මෙනි.

'මෙම ක්‍රීඩාව මඟින් විවිධ ජන කණ්ඩායම් අතර සැකය, වෛරය වගේ පටු හැඟීම් සුනු විසුනු කර දමනවා. ඇත්තටම ෆ්‍රිෂ්බී කියන්නේ කාලයට ගැළපෙනම ක්‍රීඩාවක්.' ක්වමද්වා වැඩිදුරටත් පවසන්නේ එහෙයිනි.

 

 

Comments