තරුවක උපත සමරමින මතක බී.බී.සී.ය මහාවංශයකට පෙරැළෙයි | සිළුමිණ

තරුවක උපත සමරමින මතක බී.බී.සී.ය මහාවංශයකට පෙරැළෙයි

 

‘ඉතිහාසය ලියන්නට වයස ගැටලුවක් නොවේ. අධිෂ්ඨානය, කැපවීම ඔස්සේ මතු කර, ඔපමට්ටම් කර ගත් දක්ෂතාවය ඕනෑම දක්ෂයකු විශිෂ්ටයකු බවට පත්කර, ඔහු හෝ ඇය ඉතිහාසය ලියන්නට නිස්සකු කරයි. දහ අට හැවිරිදි වියේ පසුවන ඈ එවන් ගෞරවයක් අත් මිටට ගෙන මෙලොව එළිය දුටු තැනැත්තියකි. මහෞෂධ සඳුන් හරක් මිට මොලොවා උපන්නා සේ ඈ මිටි කරගත් දෑත තුළ පුරවාගෙන එන්නට ඇත්තේ ලෝකයේ පරසිඳු වන්නට අවශ්‍ය විභවතාවය ය. බී.බී.සී. පුවත් සේවය මහාවංශයක් බවට පෙරැළෙන තරමට ඇගේ දක්ෂතාව වර්ණනා කළේ එහෙයිනි. සැබැවින්ම ඈ ලද ජයග්‍රහණය එතරම්ම විජයග්‍රහණයකි. මේ ඈ ලැබූ එම ජයග්‍රහණය ගැන ය.

ඇය විශ්වීය ජන්මලාභිනියකි. ජාති, ආගම්, කුල ගොත්වලින්, භාෂාවන්ගෙන් හා වර්ණයන්ගෙන්, හෝ වෙනයම් සංස්කෘතික කාරණාවන්ගෙන් බෙදුණු ලෝකය තුළ ඈ මහාද්වීප තුනක මුල් ඇදුණු ජීවියෙකි. එය එසේ වන්නේ ඈ උපන්නේ උතුරු අමෙරිකානු මහාද්වීපයට අයත් කැනඩාවේ ඔන්ටාරියෝ හි ය. එහෙත් ඇගේ මව ආසියාවේ චීනයේ උපන්නියකි. පියා යුරෝපීය ජාතිකයකු වන්නේ රුමේනියානුවෙක් නිසා ය. එහෙත් දැන් ඈ ජීවත්වන්නේ මහා බ්‍රිතාන්‍යයේ ය. ඒ දෙහැවිරිදි වියේ දී මාපියන් හා බ්‍රිතාන්‍යට සංක්‍රමණය වූ නිසා ය.

කෙසේ නමුත් එමා සම්බන්ධයෙන් සමාජය වඩාත් කතාබහ කිරීම ඇරඹෙන්නේ පසුගිය දා ලැබූ අසම සම ජයග්‍රහණයත් සමඟ ය. එම ජයග්‍රහණය අභිමුව ඇයට සුබ පැතුම් එක්කළ වුන් අතර එංගලන්තයේ දෙවැනි එලිසබෙත් රැජිනිය ද වූවා ය.

ඈ එලෙස සුබ පැතුම් ලබන්නේ වසර හතළිස් හතරකට පසු කාන්තා ඒකල ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාව බ්‍රිතාන්‍යයට දිනා දීම සම්බන්ධව ය. තරගාවලියේ එකදු වටයකින් හෝ පසුබෑමට ලක්නොවෙමින් දහ අට හැවිරිදි වියෙ පසුවන එමා එකී දක්ෂතාව ප්‍රකට කළේ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ආතර් ඈෂ් ක්‍රීඩාංගණයේ දී ය.

අවසන් තරගයේ දී එමා පිටියේ ලිස්සා ගොස් තුවාල ලැබූවා ය. තරගය වෛද්‍ය ප්‍රතිකාර පිණිස මොහොතකට නවතා ලූ නමුත් ඈ විජයග්‍රහණය සොයා යන ගමන අතනොහැරී අයුරු දුටු පසු ඇගේ ජයග්‍රහණයට සුබ නොපතා සිටින්නට නොහැකි ය.

ඇගේ ළාබාල වයස ද එමාගේ ජයග්‍රහණය සුවිශිෂ්ට වීමට හේතුවකි. ඈ අමෙරිකානු විවෘත ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාව දිනා ගනිද්දී ඇගේ ප්‍රතිවාදිනිය වූයේ තවත් එවැනිම ළාබාල ක්‍රීඩිකාවක වූ කැනඩාවේ ලෙයිලා ෆර්නැන්ඩෂ් ය.

කෙසේ නමුත් ෆර්නැන්ඩෂ් යනු ලෙහෙසි පහසු ප්‍රතිවාදිනියක නොවේ. ඈ මූලික තරගවල දී ලොව ප්‍රබල ක්‍රීඩිකාවන් පරාජය කළේ එහෙයිනි. ඇයට නිවියෝර්ක් ක්‍රීඩාංගණයේ රැස්ව සිටි විසිහතර දහසකට ආසන්න ප්‍රේක්ෂකයන් දැක්වූයේ ප්‍රබල සහයෝගයකි. එහෙත් සිදුවූයේ කිසිවකුත් නොසිතූ නොපැතූ දෙයකි.

එමා සිය ප්‍රාගුණ්‍යය වඩා ප්‍රබලව විදහා දක්වමින් ෆර්නැන්ඩෂ්ට සෙලවෙන්නටවත් ඉඩක් නොදුන්නා ය. කලකට පසු ටෙනිස් පිටියේ වඩා උද්වේගකර අත්දැකීමක් ප්‍රේක්ෂකයාට හිමිව තිබිණි.

ඒ සියලු කරුණු සලකමින් රැජිනිය එමා වෙනුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබුණා ය.

‘ ඔබ ලබා ගත් මෙම සාර්ථකත්වයට සුබ පැතුම් එක්කරනවා. ඇත්තටම ඒ ජයග්‍රහණය ක්‍රීඩකයකු නව යොවුන් වියේ දී ලබා ගත් අමතක නොවන විජයග්‍රහණයක්. ඒ වගේම වෙහෙස මහන්සි වීමෙන් හා කැපවීම් මඟින් අත්පත් කර ගත්තක්.’ යැයි රැජිණිය සිය නිවේදනයේ දක්වා තිබුණා ය.

‘මට ඔබේ අතිවිශිෂ්ට ක්‍රීඩා රටාව ගැන ගොඩාක් සතුටුයි. ඒ වගේම ඔබත් ඔබේ ප්‍රතිවාදිනිය ලෙයිලා ෆර්නැන්ඩසුත් එක්ව අනාගත ටෙනිස් පරපුර තුළ සිදුකළ බලපෑම අති විශාලයි. එසේම එය ධනාත්මකයි. ’ යැයි ද දක්වා තිබිණි.

මේ අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ද එමාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශේෂ ට්විටර් පණිවිඩයක් යොමු කර තිබුණේ ය.

‘එය කොතරම් සංවේදී තරගයක් ද! එමා රැඩිකියුනාට සුබ පතන්න මම මෙය අවස්ථාවක් කර ගන්නවා. ඔබ අතිවිශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කළා. ඒ වගේම ඔබ ඒ තරගාවලියේ දී පෙන් වූ ධෛර්යය, ජයග්‍රහණය සොයා යද්දී දැක්වූ නොසැලුණු බව අපි සැම දෙනා තුළ ම මහා ආඩම්බරයක් ජනිත කළා.’ යැයි පවසා තිබිණි.

ඇගේ විශිෂ්ටත්වය තවත් සුවිශේෂී වන්නේ 2004 වසරේ දී ළාබාල ක්‍රීඩිකාවක වශයෙන් මාරියා සරාපෝවා ග්‍රෑන්ඩ්‍ ස්ලෑම් ශූරතාවක් දිනුවාට පසු එවන් දස්කමක් පෑ පළමු ක්‍රීඩිකාව වීම ය.

වර්ජිනියා වේඩ් බ්‍රිතාන්‍ය වෙනුවෙන් අවසන් වරට ග්‍රෑන්ඩ් ස්ලෑම් ඒකල ටෙනිස් ශූරතාවක් 1977 වසරේ දී දිනා දුන්නා ය. මෙවර එමා එම වාර්තාව බිඳ දැමුවේ වර්ජිනියා ඉදිරියේ ම ය.

වර්ජිනියා එය සලකන්නේ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලෙස ය. ‘ඇත්ත වශයෙන්ම එය විශිෂ්ටයි.’ ඈ පවසන්නී ය.

මේ අතර ටෙනිස් ලෝකයේ අතිවිශිෂ්ට ක්‍රීඩිකාවක සේ සැලකෙන මාටිනා නවරැතිලෝවා ද එමාගේ ජයග්‍රහණයෙන් උදම් අනයි.

‘තාරුකාවක් ඉපැදුණා. එමා රැඩිකානු නිසැකව ම නව ඉතිහාසයක් ලියනවා.’ ඈ පවසා තිබේ.

එසේම හිටපු බ්‍රිතාන්‍ය අංක එකේ ටෙනිස් තරුවක් වන ග්‍රෙග් රැසෙඩ්ස්කි ද එමාගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් සංවේදී ය.

‘ඇය දැන් අරබා තිබෙන්නේ ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ගණනාවක් ජයග්‍රහණය කිරීමේ ගමනක්. ඒ වගේම ලෝකයේ අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාව ලෙස කිරුළු පැලඳීමේ ජයග්‍රාහී චාරිකාවක්.’ යැයි පවසා ඇත.

එමාගේ දෙවැනි විම්බල්ඩන් තරගාවලිය සේ සැලකෙන්නේ මෙය ය. ඈ මීට පෙර ග්‍රීෂ්ම සෘතුවේ පැවැති විම්බල්ඩන් ටෙනිස් තරගාවලියට ක්‍රීඩා කර තිබිණි. එහෙත් එහිදී ඇයට හිමි වුණේ සිව් වැනි තැනයි. ඒ වෙනුවෙන් පවුම් මිලියන 1.8 ක ත්‍යාග මුදලක් දිනා ගැනීමට ද ඇයට අවස්ථාව උදාවි ය. එම ජයග්‍රහණය සමඟ ලෝක ටෙනිස් ශ්‍රේණි ගත කිරීම් හි අංක 150 සිට 23 දක්වා ඉහළ නැඟීමටත් ඇයට හැකි විණි.

අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියට ඇය ඇතුළත් වූයේ සුදුසුකම් ලැබීමේ තරගාවලියට තරග වදිමිනි. එම තරගාවලියේ ජය ලබා විවෘත තරගාවලියට ක්‍රීඩා කළ ඈ සියලු තරග එක තරග වටයක් වත් පරාජය නොවී ජය ගැනීමද සුවිශේෂී ය.

එමාගේ විජයග්‍රහණය අගයන පිරිස අතර හිටපු බ්‍රිතාන්‍ය ටෙනිස් ශූර ටෙම් හෙන්මන් ද සිටී. ඔහු පවසන ආකාරයට නම් මෙය නිකිණි කෙටීමක් නොවේ.

‘මේක සුරංගනා කතාවක් කියා හිතන්න එපා. ඈ දැන් ලෝකයේ හොඳම ටෙනිස් ක්‍රීඩිකාවන් පස් දෙනා අතර ඉන්නවා. අනාගතයේ දී එමා තවත් බොහෝ ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා දිනාවි. මොකද ඇය ඒ තරම් දක්ෂයි.’

මේ අතර තමන් ලැබූ එම විශිෂ්ට ජයග්‍රහණය ගැන එමා දරන්නේ මෙවන් මතයකි. තුවාලවීමත් සමඟ ඈ යම් පමණකට සසල වී සිටි බව ඈ කියන්නී ය. ‘අවසන් තරගයේ දී මට සිදුවුණු දේ නිසා තුලිත බව නැතිවේවි කියා මට නොසිතුණා නොවෙයි. ඒත් මම තවදුරටත් වරදක් නොකරන්න උපරිමයෙන් උත්සාහ කළා.’ එසේම ඈ මෙසේ ද පවසා තිබුණා ය.

‘අද තරගය ගොඩාක් අමාරු වුණා. මොකද එමා පුදුම දක්ෂ විදිහට ක්‍රීඩා කළා. මම ඇගේ ජයග්‍රහණයට වගේම අනාගතයට සුබ පතනවා.’ ඒ ෆර්නැන්ඩෂ් ය.

එමා උසස් පෙළ විභාගය උසස් ලෙස සමත්ව තිබේ. එහිදී ඈ ගණිතය හා ආර්ථික විද්‍යා විෂයන් වෙනුවෙන් ඒ සාමාර්ථ ලබා ඇතැයි ප්‍රකාශිතය. එහෙයින් ඈ ටෙනිස් ක්‍රීඩිකාවක් පමණක් නොව අධ්‍යාපනය තුළින් ද විශිෂ්ටතා පෙන්වන්නියකි.

එසේම මෙවර අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලිය නිව්යෝර්ක් නුවරට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට විසි වසරක් සම්පූර්ණ වූ දිනයේ පැවැත්විණි. එමා ඒ සම්බන්ධව සංවේදී වී තිබිණි.

කෙසේ නමුත් එහි විශේෂත්වය වනුයේ නිව්යෝර්ක් නුවරට ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන විට එමා මෙලොව එළිය දැක නොතිබීම ය.

‘ඇත්තටම, මම නිව්යෝර්ක් නගරයට ගොඩාක් ආදරෙයි. ඒ වගේම ලබන වසරේ ත් මෙහි එන්න කැමතියි.’ ඇය තම අනාගත අරමුණ ගැන පවසා තිබිණි.

සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වී එය ජය ලබා විවෘත තරගාවලියට තරග වැදී ශූරතාව ද දිනා නිවෙසට යෑමට සමත් වීම ගැන එමා ට සැබැවින්ම ආඩම්බර විය හැකි ය. ඒ ඩොලර් මලු ගණනින් ත්‍යාග ලැබෙන, අනුග්‍රාහක ගිවිසුම්වලින් අනාගතයේ දින දසුන පිරෙන ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ජයග්‍රහණයක් යනු සැබැවින්ම පූරුවේ පිනකට ලැබෙන අසිරිමත් වෘත්තීය ක්‍රීඩා ජයග්‍රහණයක් ලෙසද සැලකිය හැකි නිසාවෙනි.

 

Comments