
සැප්තැම්බර් මාසයේ පළමු සති අන්තය පැමිණෙන විට අපේ රටේ කොවිඩ් මර්දන ක්‍රියාන්විතය එක්තරා මට්ටමක සතුටුදායක ප්‍රගතියක් අත්පත් කරගෙන සිටියේය. අගෝස්තු 31 වැනිදා වනවිටත් අපේ රටේ සිදුවන දෛනික මරණ සංඛ්‍යාව 215 ක අගයක පැවතියේය. දිනකට හමුවන රෝගීන් සංඛ්‍යාව 31 වැනිදා වන විට සැලකිය යුතු මට්ටමකින් අඩුවී තිබුණත් එය 4,000 සීමාවෙන් පහතට පැමිණ තිබුණේ නැත. එහෙත් ශීඝ්‍ර ලෙස දවසින් දවස මෙම අගය පහත බසින බව නම් පැහැදිලි විය. සැප්තැම්බර් පළමු වැනිදා වනවිට 3,828 ක් දක්වා දෛනික රෝගීන් සංඛ්‍යාව අඩු වී තිබීමෙන් ම එය පැහැදිලි වේ.
දෛනික කොවිඩ් රෝගීන්ගේ අඩුවීමක්
සෞඛ්‍ය අංශවල නිගමනය වූයේ රට වසා තැබීමේ ප්‍රතිඵලය ආපස්සට ලැබෙන්නට නම් යම් සැලකිය යුතු කාල සීමාවක් අවශ්‍ය බවකි. මරණ හා රෝගීන්ගේ සංඛ්‍යාව පෙන්නුම් කරන රේඛාව පහතට නැමී ඇති බව නම් ඔවුහු පිළිගෙන සිටියහ. සෞඛ්‍ය අංශවල මතය වූයේ මෙම තත්ත්වය තවදුරටත් ආරක්ෂා කර ගැනීමට නම් තවදුරටත් රට වසා තැබිය යුතු බවකි.
එහෙත් රටේ පරිපාලන ව්‍යුහය ආර්ථික සංවර්ධනය හා මහජන සුබසාධනය ගැන කල්පනා කළ රජයේ ප්‍රධාන නියෝජිතයන් පසුවූයේ තවදුරටත් රට වසා තැබීම පිළිබඳ මහත් කණස්සල්ලක ය.
ඒ අනුව සැප්තැම්බර් 06 වැනිදා සිට තවදුරටත් රට වසා තබනවා ද නැද්ද යන කාරණය පිළිබඳව තීරණාත්මක තීන්දුවක් ගැනීම සඳහා කොවිඩ් මර්දනය පිළිබඳ ජනාධිපති කාර්යසාධන බළකායේ තීරණාත්මක රැස්වීමක් පැවැත්විණි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම කමිටු රැස්වීම උදාවී ඇති තත්ත්වය හමුවේ ප්‍රථම වතාවට සූම් තාක්ෂණය ඔස්සේ සිදු කිරීම විශේෂත්වයක් විය.
මෙම රැස්වීම සඳහා පළාත් මට්ටමින් ලංකාව පුරාම සිටින සියලු පළාත් හා ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් හා බලධාරීන් ද කැඳවණු ලැබ සිටියේය. මුලින්ම රැස්වීම හමුවේ ප්‍රාදේශීය වශයෙන් සහභාගි වන සෞඛ්‍ය නිලධාරීන් ද පිළිගනිමින් ජනාධිපතිවරයා කතා කළේය.
''දැන් සති කීපයක් ම රට වහල තිබුණා. පහුගිය දවස්වල ඩෙල්ටා ප්‍රභේදයේ හිස එසවීමත් සමඟ ම රට පුරා වේගයෙන් පැතිර ගිය වසංගත තත්ත්වය දැන් හොඳටම පාලනය වෙලා ඉවරයි. මරණ ප්‍රමාණය දවසින් දවස අඩු වෙනවා. එතකොට දවසකට හමුවෙන රෝගීන් සංඛ්‍යාව දැන් සතුටුදායක ලෙස අඩුවෙලා. රෝගය පැතිරීම පාලනය කරන්න අපට තියෙන හොඳම විසඳුම තමයි එන්නත් ලබාදීම වේගවත්ව ව්‍යාප්ත කරන එක. අපි දැන් ඒක හොඳටම කරගෙන යනවා. අපිට දැන් ඇති තරම් එන්නත් ලැබෙමින් තියෙනවා. ලබන 05 වෙනිදා වෙනකොට අපට තව එන්නත් මිලියන 04 ක් එනවා. මේ වෙනකොට අපිට එන්නත් මිලියන 27.3 ක් ලැබිලා තියෙනවා. ඒ නිසා එන්නත් ලැබීම පිළිබඳ කාටවත් බයක් ඇතිකරගන්න ඕන නැහැ. අපට දැන් ඇති තරම් එන්නත් ලැබිලා පිට පළාත්වලටත් එන්නත් ලබා දෙමින් ඉලක්ක සපුරා ගන්න පුළුවන් වෙලා තියෙනවා. අපිට විරුද්ධ අය මොන මොනවා කිව්වත් අපි දැන් මේ රැල්ල අනිත් පැත්තට හරවල ජයග්‍රහණය කරමින් ඉන්නවා.''
කැපවීම පිළිබඳව ජනපතිගේ ස්තූතිය
ඉන් පසුව ජනාධිපතිවරයා අවධානය යොමු කළේ මෙම ජයග්‍රහණය ලබා ගන්නට වෙහෙස මහන්සි වූ අය වෙනුවෙන් ස්තූති කරන්නට ය. කොවිඩ් පිළිබඳ තීරණ ගන්නා කමිටුවල සිටින සෞඛ්‍ය බලධාරීන්ගේ සිට ප්‍රාදේශීය මට්ටමේ සිටින සෞඛ්‍ය බලධාරීන් දක්වාම මේ වෙනුවෙන් කරන ලද කැපවීම් අගයමින් ජනාධිපතිවරයා කතා කළේය. මේ සඳහා ආරක්ෂක අංශ මැදිහත් වී වැඩ කළ ආකාරය ද ඔහු මෙහිදී මතක් කළේය.
''මේක අපි හැමෝගෙම ජයග්‍රහණයක්. අපි අතර විවිධ මතවාද විවිධ තර්ක විතර්ක ඇති වුණා. ඒවා ලංකාවට අලුත් දේවල් නෙවෙයි. හැබැයි අපි ඒ ඔස්සේ අපේ ඉලක්ක ජය ගත්තා.''
ඉන් අනතුරුව ජනාධිපතිවරයා වෛද්‍ය විශේෂඥයන්ගෙන් ඉල්ලීමක් කළේ ය.
''දැන් අපි ජනතාව අතර එන්නත් ගහගෙන ගහගෙන ගියා. හැබැයි අපි ජනතාව අතර මේ එන්නත ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියලා හොයලා බලනවා අඩුයි. වෛද්‍යවරු මේ පිළිබඳ නිතර විමසිල්ලෙන් ඉන්න. ජනතාව අතර මේ එන්නතේ හැකියාවෙන් ලෙඩ රෝග පැතිරීම අඩු වෙනවද? එන්නත් ගහපු අයටත් හැදෙනවද? එහෙම නැත්තං එන්නත ගහලත් ලෙඩේ හැදෙනව නම් ඒ මොන මොන වයස් කාණ්ඩවලට ද? කියලා පසු විපරමක් කරන්න. පසුවිපරම තුළින් තමයි ඊළඟට අපි කරන්නේ මොනවද? ගන්න පියවර මොනවාද කියලා හිතාගන්න පුළුවන් වෙන්නේ.'' වෛද්‍යවරු කිහිප දෙනෙක්ම මෙහිදී අදහස් දක්වනු ලැබූහ.
''රට ලොක්ඩවුන් කරනවා කියන එක රෝගය පැතිර යාම සීමා කරන්න ඉතාමත්ම වැදගත් වෙනවා. එක් අවස්ථාවක අපි රට මාසයකටත් වඩා වහලා තියලා හොඳටම කොවිඩ් පාලනය කළා. ප්‍රතිඵල සතුටුදායකයි. හැබැයි බලා ඉදිද්දී ආර්ථිකය දුර්වල වුණා. කවදාවත් නැති විදියට ඍණ අගයකට ගියා අපේ රටේ ආර්ථිකය. එදා වේල හම්බකරන් කන සුළු ව්‍යාපාරිකයන්ට තම තමන්ගේ රස්සාවල් නැති වුණා. ආර්ථික වර්ධනයට එබඳු ලක්ෂ ගාණකගෙ දායකත්වයක් නැතුව ගියා. අවසානයේ ඒ අයව නඩත්තු කරන්න රජයට ලොකු බරක් උසුලන්න වුණා. රාජ්‍ය වියදම වැඩි වුණා. රාජ්‍ය ආදායම එන්න එන්න අඩු වුණා. රටකට මේක ඉතාම නරක තත්වයක්.
මේ වෙලාවේ තවදුරටත් රට වහලා තබා ගනිමින් රෝගය පැතිරීම පාලනය කරන්න ඕන කියලා සෞඛ්‍ය අංශ තුළින් මතයක් ඉදිරිපත් වෙනවා. මං මේ අපේ මුදල් ඇමතිතුමාගෙන් අහන්නේ. 13 වැනිදා වනතුරු මේ රට වසා දැමීම දීර්ඝ කරන්න කියලා ඉල්ලීමක් තියෙනවා. ඔබතුමා මොකද හිතන්නේ. අපට තවදුරටත් රට වහගෙන ඉන්න පුළුවන්ද?'' ජනාධිපතිවරයා ඇමති බැසිල්ගේ අදහස කුමක්දැයි විමසා බැලුවේ එසේය.
''මේ දවස්වල ඇත්තම කියනවා නම් සුරාබදු ආදායම තමයි විශාල වශයෙන් රටට අහිමි වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් ආදායම් ලබන අපනයනයන් සියල්ල සිදු වෙනවා. බැංකු හා මූල්‍ය කටයුතු බොහෝදුරට ක්‍රියාත්මක වෙනවා. ග්රාමීයව සිද්ධ වෙන සංවර්ධන ක්‍රියාකාරකම් එහෙමත් සිදු වෙනවා. කර්මාන්තවලට, කෘෂිකර්මාන්තයට ලැබිච්ච සහන නිසා ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඉතින් මේ වෙලාවේ යම් යම් නීති විරෝධී වැඩ කටයුතු හිස ඔසවමින් තිබෙන බව පැහැදිලි වෙනවා. දැන් නීත්‍යානුකූල මත්පැන් නැතිවුණා කියමු. ඒ වෙලාවට මිනිස්සු විකල්ප හොයමින් නීති විරෝධී මත්පැන් භාවිතයට යොමු වෙන්න පටන් අරං තියෙනවා. අපිට මේ ගැනත් ටිකක් හිතන්න වෙනවා. මම ඔය විස්තර කරපු කාරණා ටික හැරුණාම අපි මේ වැඩ කරගෙන යන ක්‍රමය නිසා රට වසා තැබීමේ පාඩුව අවම කර ගන්න පුළුවන් වෙලා තියෙනවා.'' සිදුවී තිබෙන දේවල් ගැන විස්තර කළා මිස තවදුරටත් ඉදිරියට රට වසා තැබිය යුතුය ද නැද්ද කියා බැසිල් උත්තර දෙන්නට ගියේ නැත.
සංචාරකයන් ගැන ප්‍රසන්න කියූ කතාව
''මේ දුෂ්කර තත්වය යටතේ වුණත් සර් ලබාදීපු සහයෝගය නිසා අපට පුළුවන් වුණා විදේශීය සංචාරකයෝ ටිකක් හරි මේ දිනවල ගෙන්න ගන්න. සංචාරකයෝ 600 ක් විතර ඇවිත් තියෙනවා. ඒ ගාන 1,000 ක් විතරවත් වැඩි කරගන්නයි ගන්නයි අපට ඕන'' ප්‍රසන්න රණතුංග කීවේය.
''මොනවද ප්‍රසන්න ඒවට මේ තත්ත්වය යටතේ ඔයාලට තියන ගැටලු.''
"සංචාරකයෝ සල්ලි දීලා වියදම් කරගෙන එන්නේ ලොකු හෝටල්වලට විනෝද වෙන්න. ඒ වුණාට මෙහෙ විනෝද වෙන්න ඉඩක් නෑ. හෝටල්වල ස්විමින් පූල්වලට බහින්න දෙන්නෑ. සමහර තැන්වල බාර් වහල දාලා. ඒ වගේ පහසුකම් සාමාන්‍යකරණය කළේ නැත්නම් සංචාරක කර්මාන්තයෙන් අපිට මුදල් බලාපොරොත්තු වෙන්න බෑ. ප්‍රසන්න රණතුංග තිබෙන ගැටලු කිහිපයක් ගැන ජනාධිපතිවරයා දැනුම්වත් කළේය.
ඒව ගැන නම් ප්‍රශ්නයක් නෑ. මං හිතන්නේ ඒවා කළ යුතුයි. අපි අපේ සෞඛ්‍ය අධ්යක්ෂතුමාගෙන් අහමු. අසේල කියන්න බලන්න මොනවද ඒවට තියෙන ප්‍රශ්න කියලා..''
''එහෙම ප්‍රශ්නයක් නැහැ සර්. මම ඒ අදාළ අංශවලට උපදෙස් දෙන්නම් ඒ පහසුකම් ඇති කරන්න කියලා. අසේල ගුණවර්ධන කීවේය.
''සංචාරක කර්මාන්තය නම් වැටෙන්න දෙන්න බෑ. ඉස්සර අපිට ඩොලර් බිලියන 05 යි එකෙන් ලැබුණේ. අපි ඉලක්ක කළා බිලියන10 ක් වත් අවුරුද්දකට ලබාගන්න. නමුත් අපිට අද ආදායම බිංදුවයි. නමුත් හොඳට ඇස් ඇරලා ලෝකෙ රටවල් දිහා බලන්න. ගොඩක් රටවල් තමන්ට ආදායම් ලැබෙන මාර්ග නැතිකර ගන්නේ නෑ. ඔය බීබීසී එකේ, පිටරට චැනල්වල මේවා ගැන හොඳ විස්තර යනවා. චුට්ටක් ඒවත් අපි බලන්න ඕන.'' ජනාධිපතිවරයා දිගින් දිගටම පැහැදිලි කළේය.
''අපේ රටේ දෛනික රැකියාව කරන අය කුලී වැඩ කරන අය ගැන කවුරුවත් හිතන්නේ නෑ. මාසේ පඩි ගන්න ලක්ෂ 14 ක් 15 ක් ගැන විතරක් හැම පක්ෂයක්ම කතා කරනවා. ඒ වුණාට මේ රටේ ලක්ෂ 80 ක් විතර ඉන්නවා දෛනික රැකියාවල් කරන අය. ඒ මිනිස්සු අනන්ත දුක් විඳිනවා.
ආණ්ඩුවට බැහැ ඒගොල්ලන්ට හැමදාම සහනාධාර දෙන්න. අපි ඒගොල්ලන්ට රැකියාව කරන්න පුළුවන් පරිසරයක් හදලා දෙන එකයි කරන්න සුදානම් වෙන්නේ. හුඟක් අයට රට වහලා දාන්න කියන්න ලේසියි. ඒ වුණාට ජනතාව ගැන හිතන ආණ්ඩුවකට ඒක ලේසියෙන් කරන්න බැහැ.'' ජනාධිපතිවරයාත් දැඩි ලෙස කියා පෑවේය.
''මිනිස්සු බය කරන්න හොඳ නෑ. මම ඒ සියලු චැනල් එක්ක කතාබහ කළා. මම ඉල්ලුවා අපට හොඳම ටයිම් එකේ තප්පර 45 ක වෙලාවක් දෙන්න හැම නාළිකාවක්ම මිනිස්සු මෝටිවේට් කරන්න. මම කිව්වා. මිනිස්සුන්ගෙ හිතේ විශ්වාසය ඇති කරන්න. මේක අපිට ජයගන්න පුළුවන් කියන එක මිනිසුන්ගේ ඔළු වලට සියුම්වම යවන්න. මිනිස්සු බය කරන වැඩේ නතර කරන්න. මට හොඳ ප්‍රතිචාරයක් තිබ්බා.
මිනිස්සු බය කරන්නේ කවුද?
හැබැයි මාධ්‍යයත් එක ඉල්ලීමක් කළා. ඒගොල්ලෝ කිව්වා ආණ්ඩුවට එක තනි මතයක් නෑ. ආණ්ඩුව එකයි ඇමතිවරු එකයි නිලධාරියෝ එකයි හැටියට විවිධ මත පළ කරන්නේ නැතුව රජයක් හැටියට එක මතයක් මාධ්‍යවලට දෙන්න කියලා.'' ඩලස් අලහප්පෙරුම කීවේය.
''එන්නත්කරණය ගැන ජනතාවට විශ්වාසය තහවුරු කරන්න ඕන. දැන් සමහර වගකිව යුතු අය එන්නත් ගැනීම ගැන විවිධ කතා කියන්ට පටන් අරන් තියනවා. වහාම ඒ තත්ත්වය නැති කරන්න ඕන.'' බැසිල් රාජපක්ෂ කීවේය.
අගමැතිතුමා ඉතාලියට
මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ඉතාලි සංචාරයක් සඳහා 10 වැනි සිකුරාදා අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය.
මෙම සංචාරයේදී අග්‍රාමාත්‍යතුමා "G 20 අන්තර් ආගමික හා සංස්කෘතික සමුළුව - 2021" සඳහා සහභාගි වෙයි. එහිදී ආරම්භක සැසි වාරයේ ප්‍රධාන දේශනය ද එතුමා පැවැත්වීමට නියමිතය. මෙම සංචාරයේදී රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් කීපයකට ද අගමැතිතුමා එක්වනු ඇත.
ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් මුදාගෙන රට නව සංවර්ධන මානයකට ගෙනා නායකයෙකු වශයෙන් මහින්ද රාජපක්ෂ අග්‍රමාත්‍යවරයාට මෙම දේශනය සඳහා ආරාධනා කර ඇත.
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් හා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරු ද මෙම සංචාරයට එක්ව සිටිති.
බැසිල් රෝහණ රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා වශයෙන් පාර්ලිමේන්තුවේ සිදුකළ මුල්ම කතාව පසුගිය (07 දා) දින පාර්ලිමේන්තුවේදී සිදුකළ අතර එම කතාව ආණ්ඩු පක්ෂයේත්, විපක්ෂයේත් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් විය.
බැසිල් රාජපක්ෂ මෙසේ මුදල් අමාත්‍යවරයා වශයෙන් තම මංගල කතාව පාර්ලිමේන්තුවේදී සිදුකළේ ශ්‍රී ලංකා සුරැකීමේ සහ විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පත හා මුදල් පනත් කෙටුම්පත් හා අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා, නිෂ්පාදන බදු (විශේෂ විධි විධාන) පනත් යටතේ නියමය, ආනයනය හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි 03ක් පිළිබඳ විවාදය ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
කොවිඩ් - 19 ලෝක වසංගතය හමුවේ ලෝකයේම ආර්ථිකයට සිදුවී ඇති බලපෑම, එය මෙරට ආර්ථිකයට බලපාන ආකාරය සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ කරන ලද විග්රහයට සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ස්තුතිය පළ කිරීම ද විශේෂයකි.
කොවිඩ් - 19 ලෝක වසංගතය හමුවේ රටේ ආර්ථිකයට සිදුවූ අභියෝගයට මුහුණ දීම "මරණ 03 ක් ඇති මිනිහෙක් පැණි කෑය" යන කවියට උපමා කරමින් බැසිල් රාජපක්ෂ පෙන්වා දුන්නේ එතරම් දරුණු ආර්ථික අර්බුදයකට වුව ද මුහුණදෙමින් එම අභියෝගය ජයගැනීමට වගකිව යුතු රජයක් ලෙස කටයුතු කරමින් සිටින බවයි.
"වනේ ගිජිඳාය දුටුවොත් වනසාය
ළිඳේ පනිදාය වැටුණොත් ඌකාය
අතකින් කරවැලෙකි අතකින් දඬු බෑය
මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය
යනුවෙන් තම කතාව ආරම්භයේදීම බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ "කොවිඩ් රෝග වසංගතය හමුවේ ආර්ථිකයට තිබෙන අවදානම් බව පෙන්වා දෙමින් එම අභියෝගය ජයගත යුතු ආකාරය ගැන අවබෝධයක් ලබාදීමටය.
රටට හිමිවිය යුතු රුපියල් බිලියන 1,500 ත් රුපියල් බිලියන 1,600 ත් අතර මුදලක් මේ කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් පසුගිය කාලය තුළ රටට අහිමිවෙලා තියෙනවා.
රේගුවෙන් පසුගිය වසර 1 ½ තුළ ආදායමක් ලැබුණේ නැහැ. වාහන ආනයනය නොකිරීම නිසා රේගුවට හිමිවිය යුතු ආදායම් විශාල වශයෙන් අහිමි වුණා.
රට ලොක්ඩවුන් කිරීම නිසා සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ලැබුණු ආදායම අහිමිවෙලා තියෙනවා.
සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණු ආදායම අහිමිවෙලා තියෙනවා. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ලැබෙන ආදායමත් අහිමිවෙලා තියෙනවා.
දේශීය ආදායම් බදුවලින් 75% ක් 80% ක් වැට් බදුවලින් ලැබුණු ආදායම ලොක්ඩවුන් නිසා එම ආදායමත් රජයට අහිමිවුණා." යනුවෙන් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් පෙන්වාදෙන ලදී.
මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ආයතන 03 කින් පමණක් රජයට ලැබෙන ආදායම අහිමි වී ගොස් ඇති බව පෙන්වා දුන් බැසිල් රාජපක්ෂ කියා සිටියේ රජයේ ආදායම එසේ අහිමි වුවද වියදම්වල කිසි අඩුවක් නොමැති බවයි.
මෙම වසර අවසන් වීමට පෙර විදේශ විනිමය පැත්තෙන් රට යහපත් තත්ත්වයකට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා." යනුවෙන් ද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂයන් කියා සිටියේය. විරුද්ධ පක්ෂය වෙනුවෙන් මුලින්ම විවාදයට එක්වූයේ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වායි. රට හමුවේ පවතින ආර්ථිකයේ සත්‍ය තත්ත්වය පැහැදිලි කිරීම ගැන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂයන්ට තමා ස්තුතිවන්ත වන බව ප්‍රකාශ කරමින් හර්ෂ ද සිල්වා තම කතාව ආරම්භ කළේය.
"රජයේ ආදායම් අඩුවීම, විදේශ ප්‍රේෂණවල අඩුවීමක් තියෙනවා කියලා රටේ ආර්ථිකය දැනට මුහුණ පා තිබෙන අර්බුදය ගැන මුදල් අමාත්‍යවරයා වශයෙන් බැසිල් රාජපක්ෂ ඇමැතිතුමා පැහැදිලි කරලා දුන්නා. ඒක ඉතාමත් යහපත් දෙයක්" යනුවෙන් පැවැසූ හර්ෂ ද සිල්වා රටේ ආර්ථිකය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් දැක්වීය. වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක්ද? කියා විමසූ හර්ෂ ද සිල්වා කියා සිටියේ ඉදිරියේදී රජය ඉලෙක්ට්‍රොනික වාහන ආනයනය කිරීමට පමණක් පියවර ගන්නවාද කියායි.
මුදල් ඇමැති බැසිල්ට මුල අමතක නැත
"අපේ ගම නිර්මාණය වෙලා තියෙන්නෙ මිනිස්සුන්ට ජීවත් වෙන්න අධ්‍යාත්මිකවත් භෞතිකවත් අත්‍යවශ්‍ය සාධක එකතුවකින්. ගමේ පන්සල හෝ ආගමික සිද්ධස්ථානය, පාසල, පෙරපාසල, සෞඛ්‍ය පහසුකම්, ගොවිබිම්, අනෙකුත් ආර්ථික කටයුතු, ප්‍රජා සංවිධාන, පරිසරය ආදී සියල්ල සුරක්ෂිතව සංවර්ධනය කරමින් ජනජීවිතය වඩාත් යහපත් තැනකට ඔසවා තැබීම ගැන අපි අලුතින්ම හිතන්න ඕන. ඒ වගේම අලුත් සමාජ ගැටලු අවම කිරීම වෙනුවෙන් අපිට ලොකු වගකීමක් තියෙනවා. මේ පාර අයවැයෙන් ඒ සඳහා උපරිමයෙන් ප්‍රතිපාදන සපයන්න ආණ්ඩුව සූදානම්." ඇමැති බැසිල් රාජපක්ෂයන් පැවසීය.
මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මේ ආරම්භය ගත්තෙ අයවැය වෙනුවෙන් ග්‍රාමීය යෝජනා කැඳවීම ගැන මූලික දැනුම්වත් කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් කැඳවා තිබූ පොහොට්ටුවේ නියෝජිත හමුවේදී. පසුගිය බදාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා අරලියගහ මන්දිරයේදි පැවති මේ සාකච්ඡා වාරය එක් එක් දිස්ත්‍රික්ක වෙන් වෙන්ව කැඳවා තිබුණි.
ගාල්ල දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඇමති රමේශ් පතිරණ මුදල් ඇමතිතුමාට මෙසේ පැවසීය. "ඔබතුමා මහින්ද ජනාධිපතිතුමාගෙ ආණ්ඩුවෙ ආර්ථික සංවර්ධන ඇමති කාලෙ ගම වෙනුවෙන් කරපු වැඩ කන්දරාව නිසා තමයි ගම් මට්ටමින් අලුත් දේශපාලන පක්ෂයක් හදාගෙන නැවතත් ආණ්ඩු බලය දක්වාම අපිට එන්න පුළුවන් වුණේ."
ඇමති රමේෂ්ගේ අදහස මුළු සභාවම අනුමත කළ බව තේරුණේ හැමෝම ගහපු අත්පුඩියෙනි.
බැසිල් රාජපක්ෂ යළි පැහැදිලි කිරීම පටන් ගත්තේය.
ඔබ හරහා එන යෝජනා ගමත් එක්ක කතා කරල පොදු එකඟත්වයකට පැමිණි ගමේ ජනතාවගේ යෝජනා විය යුතුමයි. ඒවා ජීවනෝපාය, යටිතල පහසුකම්, සංස්කෘතික සහ පාරිසරික කියන සංවර්ධන ක්ෂේත්රයන් සියල්ල අතරේ සාධාරණ ලෙස බෙදී යා යුතුයි. රජයේ නිලධාරීන් සහෝදර දේශපාලන නියෝජිතයන් මේ හැමෝම එක්කම බොහොම සුහදව මේ වැඩේ ඔබ හරියට කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නියෝජිත හමුව තිබුණෙ බ්‍රහස්පතින්දා දහවල් කාලයේදීය.
සර්..මම තඹලගමුවෙ.
ආ ඔව්... ඔව්... මම දන්නව අලුතින් පත්වුණ සභාපතිතුමානේ. මම සුබ පතනවා ඔබතුමාට. ත්‍රිකුණාමලේ කඩවත්සතර සභාවෙත් අලුතින්නෙ පත් වුණේ. අපි ඔබතුමාටත් සුබ පතනවා.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් රැස්වීම ඉවර වෙලා යද්දී කට්ටියම කතා වෙලා තියෙන්නෙ මුදල් ඇමතිකම කරද්දීත් බැසිල් මහත්තයට පක්ෂයේ හැමදේම හොඳට මතකයි යනුවෙනි.
සංවර්ධන ව්‍යාපෘති නාමල්ගේ අධීක්ෂණයට
දිවයින පුරා සිදුවන සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය නිරීක්ෂණය කිරීමේ කටයුතු පසුගිය (09) දින යාපනය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරමින් සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරන ලද්දේ රට තුළ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 280 ක් සහ කුඩා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 25,000 ක් ක්‍රියාත්මක වන බවයි.
පවතින වසංගත තත්ත්වය සාර්ථකව පාලනය කරන අතර ම ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනයෙන් ඉදිරිපත් කළ මෙරට සංවර්ධන වැඩපිළිවෙළ යටතේ දිවයින පුරා සංවර්ධන යෝජනා ක්‍රම රැසක් ක්‍රියාත්මක වේ.
එම සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීම සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යවරයා වශයෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදුවේ.
ඒ අනුව, යාපනය දිස්ත්‍රික්කයේ පිල්ලයාර්කෝවිල් කුලම් (ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලය අසල) සෝමසුන්දරම් වීදිය සහ රක්කා වීදිය රෝහල වීදිය, කන්කසන්තුරේ වීදිය, යාපනය, පාසයූර්, කනකරට්නම් වීදිය, නල්ලූර්, මරුදනාර්මඩම්, අලවෙඩ්ඩි, වරුත්තලයිවිලාන්, නාවටිකුලි යන ස්ථානවල ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.
පාර්ලිමේන්තු ලේකම් හා සම්බන්ධීකරණ ලේකම්.
මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම් වශයෙන් කටයුතු කරන්නේ ප්‍රියන්ත රත්නායකයි.
පසුගිය 09 වැනිදා අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු ලේකම් වශයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර පත්කර තිබුණි.
උදිත පත්කළ පුවත දැනගත් බොහෝ දෙනකු සිතුවේ ප්‍රියන්ත ඉවත් කර උදිත පත් කර ඇති බවකි. ඊට හේතුව මෙම තනතුරු දෙකේම නාම බොහෝදුරට එක හා සමාන බැවිනි.
උදිත ලොකුබණ්ඩාර පත්කර තිබුණේ අගමැති පාර්ලිමේන්තු ලේකම් ලෙස කටයුතු කළ ජානක බණ්ඩාර නයිජීරීයාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කර තිබූ නිසා පුරප්පාඩු වූ අගමැති පාර්ලිමේන්තු ලේකම් ධූරය සඳහායි.
තමන්ට ලැබුණු දුරකතන ඇමතුම්වලට මෙම කරුණු දිගින් දිගට ම පැහැදිලි කිරීමට අගමැතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම් ප්‍රියන්ත රත්නායකට සිදුවිය.
ගෙදරටත් ලස්සනටම අඳින ස.ජ.බ. මන්ත්‍රී
සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම මේ සතියේ ද පැවැත්වුණේ සූම් ක්රමයටය. රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, ගයන්ත කරුණාතිලක සහ අශෝක අබේසිංහ යන මන්ත්‍රීවරයාගේ කල් ඇතිවම රැස්වීමට එක්ව සිටියහ. අශෝක අබේසිංහ මන්ත්‍රීවරයා එයට එක්ව සිටියේ ලස්සන කමිසයක් ඇඳගෙනය.
"අශෝක අද මඟුල් ගෙදරක යන්නද ලෑස්තිවෙලා ඉන්නේ" අශෝක අබේසිංහ මන්ත්‍රීවරයාගේ කමිසය දුටු සරත් ෆොන්සේකා ඇසුවේය. "නෑ. නෑ. මම මේ මීටිං එකට තමයි ආවේ" අශෝක පිළිතුරු දුන්නේය.
"ඉතිං සූම් මිටිං එකක් නේ තියෙන්නේ" ෆොන්සේකා සිහිපත් කළේය.
"අසෝක ඉතිං ගෙදරටත් ලස්සනට ඇඳලනේ ඉන්නේ" ගයන්ත කරුණාතිලක මන්ත්රීවරයාත් කතාවට එක්විය.
"මම ඉතිං ලස්සනට කොල්ලවගේ ඇඳලා ඉන්නවානේ" අශෝක කීවේය.
"ඒක නිසා තමයි අසෝකට නෝන වැඩිය ගෙදරින් එළියට යන්න දෙන්නේ නැත්තේ" ෆොන්සේකා කීවේ සියල්ලෝම සිනා ගන්වමිනි.
රනිල් හා වජිර අතර විශේෂ හමුවක්
පසුගිය සඳුදා රනිල් සහ වජිර අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. මෙහි ප්‍රධාන අරමුණ වුණේ එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදී ක්‍රියාවට නංවන වැඩපිළිවෙළත්, එහි පවතින අඩුපාඩු නිවැරදිකර ගැනීම හා ඊට අවශ්‍ය ලිපිගොනු සකස්කර ගන්නා ආකාරය පිළිබඳවත්ය.
එක්සත් ජාතික පක්ෂයේ 75 වැනි සම්මේලනය සාර්ථකව නිම කිරීමෙන් පසු ඉදිරියේදී අනුගමනය කරන ක්‍රියාමාර්ග සම්බන්ධව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.