ලෝකඩ රන් බවට පෙරළූ රට මැද මුදියන්සේ දිනේෂ් ප්‍රියන්ත | සිළුමිණ

ලෝකඩ රන් බවට පෙරළූ රට මැද මුදියන්සේ දිනේෂ් ප්‍රියන්ත

 

ගජබා රජතුමා යගදාව මිරිකා, වැලි මිටින් ගෙන තෙරපා දිය ගත්තේ ලු. එවන් එඩියක් සහිත වූවන්ගෙන් සැදුම්ලත් යන්න හඟවන හමුදා රෙජිමේන්තුව ගජබා රෙජිමේන්තුව ය.

ඔහු ද කලක් ගජබා රෙජිමේන්තුවේ සේවය කළ රණවිරුවෙකි. ඔහු ද රියෝ හි දිනූ ලෝකඩ පදක්කම මිරිකා ටෝකියෝවේ රන් පදක්කමක් ඇඹුවේ ය. මේ ඒ අසමසම ධෛර්යවන්තයා හේරත් මුදියන්සේලාගේ දිනේෂ් ප්‍රියන්ත ය. මේ ඔහු පසුගියදා ලද අසමසම ජයගැනය.

‘ඔහු ආබාධ සහිත වූවන්ගේ ක්‍රීඩා උළෙල වෙනුවෙන් බ්‍රසීලයේ රියෝ නුවර බලා පිටත්ව ගියේ 2016 වසරේ දී ය. එහිදී ඔහු ශ්‍රී ලංකාවට හිස් අතින් පැමිණියේ නැත. තමන් සහභාගි වූ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ඔහුට හැකි විණි. ඔහු 2021 වසරේ ජපානයේ ටෝකියෝ පැරාලිම්පික් උළෙලට සහභාගි වූයේ තම පදක්කම තවදුරටත් වතුරේ දමා හෝ අලුත් කර ගන්නට හැකි දැයි සිතමිනි.

ඔහුගේ උත්සාහය සාර්ථක වූයේ පසුගිය වතාවේ ලෝක ශූරයා ද අභිබවමින් රියෝ ලෝකඩ පදක්කම රන් පදක්කමක් බවට පෙරළා ගැනීමට සමත් වෙමිනි. එය එතකින් අවසන් නොකළ ඔහු තම ඉසව්වේ නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ද සමත් විණි. මේ හේරත් මුදියන්සේලාගේ දිනේෂ් ප්‍රියන්ත ලැබූ එකී අතිවිශිෂ්ට ජයග්‍රහණය ඇසුරු කර ගනිමින් ඔහුගේ ක්‍රීඩා ජීවිතයේ හරස්කඩක් සැකෙවින් දැක්වීමකි.’

ඔහු ජපානයේ ටෝකියෝ නුවරදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පැරාලිම්පික් උළෙලක හිමිවූ පළමු රන් පදක්කම දිනා ගැනීමට සමත් වූයේ ය. ඒ අහඹුවක් ලෙස නොව පෙළින් පෙළ පැමිණි අතිදුෂ්කර හා විශිෂ්ට ධෛර්යයකින් හෙබි ගමනක ගැඹුරු පියවර පෙළක අවසානයේ ය.

දසක තුනක් තිස්සේ රට වෙළාගෙන තිබූ කුරිරු ත්‍රස්තවාදී ගැටුමෙන් මව්බිම හා එහි ජීවත් වන සහෝදර ජනතාව මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුමේ දී කිලිනොච්චියේ දී වෙඩි වැදී ආබාධයකට ලක්වූ ඔහු ජීවිතය එතැනින් අතනොහැර අලුත් තැනකින් අල්ලා ගැනීම මෙම රන් පදක්කම ජයග්‍රහණයේ සැබෑ කතාව ය.

එය ඇරඹෙන්නේ 2008 වසරේ දී ඔහුගේ වම් අතේ බාහුවට එල්ලවූ දරුණු වෙඩි ප්‍රහාර ත්‍රිත්වය හේතුවෙන් සදාකාලිකව ආබාධිත තත්ත්වයට පත්වීමෙනි. වෛද්‍ය ප්‍රති-කාරවලින් අනතුරුව සුවය ලැබූවද පුනරුත්ථාපන ප්‍රතිකාර වෙනුවෙන් රාගම රණවිරු සෙවණට පැමිණීමට දිනේෂ්ට සිදුවිණි. ඒ අනුව දිනේෂ් ත්‍රස්තවාදීන් හා සටන් කළ ලෙසින්ම යළි ජීවිතය හා සටන් කිරීම ඇරැඹීය. අප්‍රාණික අතකින් සමාජය ඉදිරියේ පෙනී සිටීමට වඩා ඔහු උත්සාහ කළේ ඒ ආබාධිත අතට වඩා ඉහළ වටිනාකමක් සහිතව සමාජයට මුහුණ දෙන්නට ය. ඒ අනුව ඔහු රණවිරු සෙවණේ පුනරුත්ථාපනය ලබන කාලයේ ක්‍රීඩා පිටියට එක්වීම විකල්පය වශයෙන් තෝරාගත්තේ ය.

“හෙල්ල විසි කිරීම තමයි ම තෝරා ගත් තරග ඉසව්ව වුණේ. එහි පුහුණුවීම්වලට අනුව මම ක්‍රීඩාවෙන් දක්ෂතා දක්වන්න පටන් ගත්තා. ඒ නිසා මට මුලින්ම මැලේසියාවේ දී රන් පදක්කමක් දිනා ගැනීමට හැකි වුණා.” දිනේෂ් පවසන්නේ ය.

ඒ ඔහු පළමු වරට 2012 වසරේ පැරාලිම්පික් තේරීම් තරගාවලියක් වශයෙන් සැලකුණු මැලේසියාවේ පැවැති මලල ක්‍රීඩා ශූරතාවට සහභාගි වෙමිනි. එහෙත් ඔහු එවර පැරාලිම්පික් උළෙලට තෝරා ගැනුණේ නැත. ඒ ඔහු ඒ වන විට ලෝක ශ්‍රේණිගත කිරිම් හි රැඳී නොසිටි හෙයිනි.

යළි ඔහුට ජාත්‍යන්තර වශයෙන් තරග වැදීමේ අවස්ථාව හිමි වන්නේ 2014 වසරේ ආසියානු පැරා තරගාවලියේ දී ය. එහිදී ඔහු තම ඉසව්වේ හය වැනියා.

දිනේෂ්ගේ පැරාලිම්පික් සිහිනය පළමු වරට සාර්ථක වන්නේ 2016 වසරේ දී ය. එම වසරේ පැරාලිම්පික් උළෙල පැවතුණේ රියෝ නුවර ය. එහිදී තම අත්දැකීම් නොඅඩුව ප්‍රයෝජනයට ගත් ඔහු රියෝ පැරාලිම්පික් තරගාවලියේ ලෝකඩ පදක්කමට හිමිකම් කීමට සමත් විණි. එම පදක්කම හිමි වන විට ඔහුගේ වයස අවුරුදු 29 කි.

එහි දී ඔහු දැක්වූ උපරිම දක්ෂතාව මීටර් 58.23 ක් දුරට හෙල්ල විසි කිරීම ය. එවර ඔහු රියෝහි දී දිනාගත් පදක්කම ශ්‍රී ලංකාව පැරාලිම්පික් උළෙලක දී ලබා ගත් දෙවැනි පදක්කම විණි. ඊට ප්‍රථම එවැනි පදක්කමක් ජය ගැනීමට සමත් වූයේ 2012 පැරාලිම්පික් තරගාවලියේ දී හෙල්ල විසිකිරීමේ ඉසව්ව නියෝජනය කළ ප්‍රදීප් සංජය ය. එයද ලෝකඩ පදක්කමකි.

මේ අතර දිනේෂ් ප්‍රියන්ත ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවයේ ද කැපී පෙනෙන දක්ෂතා දක්වා තිබේ. එහිදී රිදී පදක්කමක් දිනා ගත්තේ ය. ඒ 2017 වසරේ දී ය. මෙම ජයග්‍රහණයත් සමඟ 2018 වසරේ ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කිරීමේ ගෞරවනීය අවස්ථාව දිනේෂ්ට හිමි විණි.

ඊට නිසි ප්‍රතිචාර දක්වමින් නව ආසියානු පැරා වාර්තාවක් සමඟ හෙල්ල විසි කිරීමේ එෆ් 46 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ඔහු සමත් වීම කැපී පෙනේ. එහිදී ඔහු වාර්තා කළ දුර ප්‍රමාණය මීටර් 61.84 ක් විය. එයින් පසු 2019 වසරේ පැවැති පැරා ලෝක ශූරතාවයේ දී රිදී පදක්කමක් හිමි කර ගැනීමට ද දිනේෂ් ගේ දක්ෂතා ප්‍රමාණවත් විය.

මේ සියලු තත්ත්වයන් අනුව මෙවර පැරා ඔලිම්පික් උළෙල සඳහා දිනේෂ් ප්‍රියන්ත සහභාගි වූයේ නව බලාපොරොත්තුවක් සහිතව ය. නව දෙනෙකුගෙන් යුත් ටෝකියෝ තරගාවලියට ගිය ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කළේ ද දිනේෂ්ම ය. එහිදී ඔහු එෆ් 46 හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් මීටර් 67.79 ක දුරක් වාර්තා කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවූයේ ය. ඒ සමඟ රන් පදක්කමට උරුමකම් කීවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා ඉතිහාසයේ පැරාලිම්පික් තර-ගාවලියක එවැනි දස්කමක් කළ පළමුවැනියා බවට පත්වෙමිනි.

රණවිරුවෙක් වශයෙන් ඔහු දැක්වූ දැඩි අධිෂ්ඨානශීලිත්වය අගය කරන බවත් ක්‍රීඩකයෙක් වශයෙන් ද ඔහු ජාතියට අභිමානයක් එක් කිරීම සතුටට කරුණක් බව දිනේෂ් ප්‍රියන්තගේ ජයග්‍රහණය සැලවූ පසු නිවේදනයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබුණේ ය.

මේ ජයග්‍රහණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විවිධ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ නොමඳ ඇගයීමට ලක්ව තිබිණි.

“අපි බොහෝ වෙහෙස වී පුහුණු වුණා. ඒ වෙහෙසේ ප්‍රතිඵල තමයි මේ ලැබිලා තිබෙන්නේ. රට වෙනුවෙන් ජාත්‍යන්තරයට ගිහින් පැරාලිම්පික් වැනි තරගාවලියක දී රන් පදක්කමක් දිනා ගැනීමට හැකි වීම ගැන මට ආඩම්බරයි. අනික මේ මා පෞද්ගලිකව ලැබූ ජයග්‍රහණයක් නොවෙයි. අපේ රටේ ආබාධ සහිත වූවන් බලාගන්න, විශේෂයෙන් ආබාධයන්ට ලක්වූ රණවිරුවන් බලාගන්න අපේ රජය, අපේ හමුදාව ගෙනයන අනුපමේය කැපවීම නිසා ලබා ගත්තු ජයග්‍රහණයක් ලෙසයි මා දකින්නේ. එය මම මගේ රටේ කෝටි දෙක ඉක්මවන ජනතාව ලැබූ ජයක් ලෙසින් සලකනවා.” යැයි දිනේෂ් ප්‍රකාශ කළේ අසමසම ටෝකියෝ ජයග්‍රහණයෙන් අනතුරුව ය.

 

Comments