මරණයේ දේශයෙන් පලා යෑමට තැත් දරා කාබුල් ගුවනින් වැටී මිලින වූ යොවුන් පාපන්දු තරුවක් | සිළුමිණ

මරණයේ දේශයෙන් පලා යෑමට තැත් දරා කාබුල් ගුවනින් වැටී මිලින වූ යොවුන් පාපන්දු තරුවක්

 

ඇෆ්ගනිස්ථානයේ ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා අධ්‍යක්‍ෂවරයා ෆේස්බුක් සටහනක් මඟින් එම පුවත සනාථ කළේ, “රටේ ජාතික කනිෂ්ඨ පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයෙක් වන සාකී අන්වර් මෙලෙස මිය යෑම ඉතාමත් කනගාටුවට කරුණක්. රට හැර යෑමට කැමත්තෙන් එක්සත් ජනපද ගුවන් යානයක එල්ලී අනතුරකට ලක්ව ගුවනින් ඇද වැටී සිය ජීවිතය අහිමි වූ සිය ගණනක් වූ තරුණයන් අතර අන්වර් ද විය.”යනුවෙනි.

තලේබාන්වරුන් කාබුල් අගනුවර අත්පත් කර ගත් අවස්ථාවේ දී ඇෆ්ගනිස්ථානයෙන් පලා යෑමට ඇෆ්ගන් වැසියන් දස දහස් ගණනක් කාබුල් ගුවන්තොටුපොළේ පොදිකන්නට වූයේ පසුගිය 15 වැනි දා සහ 16 වැනි දා සිට ය.

බොහෝ ඇෆ්ගන් වැසියන් බලහත්කාරයෙන් අමෙරිකන් හමුදා යානාවලට ගොඩවුණු බවත් එසේ ගොඩවුණු ඇෆ්ගන් වැසියන් 600 කට වැඩි පිරිසක් කටාර් වෙත රැගෙන යෑමට අමෙරිකා ගුවන් හමුදාව කටයුතු කළ බවත් වාර්තා විය.

පාපන්දු ක්‍රීඩක සාකී ඇතුළු ඇෆ්ගන් තරුණයන් බොහෝ දෙනකු අමෙරිකානු ගුවන් හමුදාවට අයත් සී 17 හමුදා යානයක රෝදවලත්, පියාපත්වලත් එල්ලී යෑමට පොර කන්නට වූයේ එම යානය ඔවුන් භාර ගැනීම ප්‍රතික්ෂේප කළ බැවිනි. සී -17 යානයේ රෝදයේ ගැටී තිබී සොයාගත් මිනිස් අවශේෂ කොටස් පිළිබඳ එක්සත් ජනපද ගුවන් හමුදාව විසින් කරන ලද පරීක්ෂණයේ දී සාකී අන්වර් හඳුනා ගන්නා ලදි.

ගුවන්ගත වුණු යානයෙන් ඇෆ්ගන් වැසියන් පහළට ඇද වැටෙන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පවා ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූයේ සැමගේ හදවත් කම්පා කරමිනි. අමෙරිකානු හමුදා පසුව නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ යානයේ රෝද කට්ටල අතරේ පවා මිනිස් සිරුරු කොටස් තිබී හමුවුණු බව ය.

කෙසේ නමුත් අමෙරිකානු හමුදා සෙබළුන් තවමත් කාබුල් අගනුවර ගුවන් තොටුපොළේ රැඳී සිටින අතර, ඇෆ්ගන් සිවිල් වැසියන්ට එරටින් පිටවීමට අවශ්‍ය සහාය ලබා දීම සිදු කරයි. එකී සොල්දාදුවන්ගේ සහායට කැනඩා හමුදා බලඇණියක් ද ඇෆ්ගනිස්ථානය වෙත පැමිණ ඇති බව පැවසෙයි.

සමාජ මාධ්‍යවල හුවමාරු වූ වීඩියෝ පටයක එක්සත් ජනපද ගුවන් හමුදාවේ සී -17 ගුවන් යානය දිගේ මිනිසුන් සමූහයක් දිව යන අයුරු දැක ගත හැකිය. ගුවන් යානය පිටත් වීමට පෙර යානයේ යටි ප්‍රදේශයට නැඟී සිටි අය අතර අන්වාරි ද සිටින්නට ඇතැයි විශ්වාස කෙරේ. තවත් වීඩියෝ පටයක දී කාබුල් ගුවන් තොටුපළෙන් ගුවන් ගත වූ විගස ම එම ගුවන් යානයෙන් මිනිසුන් ඇද වැටෙනු දක්නට ලැබෙයි. එය ඉතා ශෝකී දර්ශනයකි.

මේ අතර අනතුරකට පත්ව මියගිය අන්වර්ගේ මිතුරෙක් ඉන්ස්ටග්‍රෑම් හි මෙසේ ලියා තිබිණි. “මගේ ආදරණීය මිතුරා, සහෝදරයා වන මොහොමඩ් සාකීගේ මරණය පිළිබඳ පුවත මා දැඩි ලෙස ශෝකයට පත් කළේය.” යනුවෙනි.

ඇෆ්ගනිස්ථානයේ ක්‍රීඩා මාධ්‍යවේදි-යකු වන එලියාස් නියාසි ද මෙසේ ලියා තිබේ.

“කාබුල් ගුවන් තොටුපොළ අන-තුරෙන් එරට ජාතික යොවුන් පාපන්දු කණ්ඩායමේ වටිනා තරුව වන සාකී අන්වර් මිය ගියේ ය. ඔහුගේ සමීපතමයන් පවසන්නේ සාකී යහපත් ජීවිතයක් ගත කිරීම සඳහා අමෙරිකාවට යෑමට අදහස් කළ නමුත් අවාසනාවන්ත ලෙස කාබුල් ගුවන් තොටුපොළ තුළ සිදු වූ අවුල් ජාලාවේ දී ඔහුගේ ජීවිතය අහිමි වූ බවයි.'

ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩකයන්ගේ සංවිධානයක් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ, ඇෆ්-ගනිස්ථානයේ ජාතික කණ්ඩායමේ පාපන්දු ක්‍රීඩකයකු වන සකී අන්වාරිගේ පවුලේ අය, මිතුරන් සහ සගයින් වෙත තම බලවත් ශෝකය පළ කරන බව ය.

කවුරු කුමන දේ කීව ද අන්වාරි දැන් අහසින් වැටී ජීවිතයෙන් ඉගිළ ගොස් තිබේ. එහෙත් ඇෆ්ගන් තලෙයිබාන් පාලකයන්ට හෝ අන් කවරකුට වුව ද එය ටික දිනකින් අමතකව යන මතකයක් වනු ඇත. නමුදු අන්වාරිගේ මරණයෙන් කියැවෙන කනගාටුදායක පණිවුඩය කිසිදා කිසිවකුටත් අමතක කළ නොහැකි වනු නිසැක ය.

 

Comments