ක්‍රිකට් චෙස් කළ ක්‍රිකට් පුහුණු ඉංජිනේරු මහේල | සිළුමිණ

ක්‍රිකට් චෙස් කළ ක්‍රිකට් පුහුණු ඉංජිනේරු මහේල

 

ක්‍රිකට් ක්‍රීඩා කරන සමයේ මහේලට කීවේ ඉංජිනේරුවා කියා ය. ඒ ඔහු ඉනිමක් අවසානයේ මෙන්ම තරගය ආරම්භ වීමට පෙර ද එම තරගය දියත්විය හැකි ආකාරය ගැන සැලසුම් සකස් කළ හෙයිනි. තණතීරුවේ ස්වභාවය, ප්‍රතිවාදීන්ගේ ශක්තිය, කාලගුණය ආදී බොහෝ සාධකයන් ගැන පුරෝකථනයක නියැලෙමින් ඔහු තරගයක් තුළ මතුවිය හැකි විවිධ තත්ත්වයන් ගැන මානසික සැලසුම් ඇන්දේ ය. බොහෝ විට ඒවා සාර්ථක විණි. ඔහු දැන් පුහුණුකරුවකු වශයෙන් ද තරගයක් විච්ඡේදනය කර සිදුවිය හැක්ක ගැන සැලසුම් ඇඳීම අවසන් කර නැත. මේ එකී හැකියාවේ සාර්ථකත්වය ගැන ය.

ද හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලිය පසුගියදා එංගලන්තයේ දී අතිසාර්ථකව අවසන් වුණා. එම තරගාවලිය පළමු වරට පැවැත්වුණේ කණ්ඩායම් අටක සහභාගිත්වයෙන්. මෙම තරගාවලියේ ශූරතාව හිමි කර ගත්තේ සදර්න් බ්‍රේව් කණ්ඩායමයි.

තරගාවලියේ පළමු තරග දෙකම පරාජය ලබා ඉන් පසු පැවැති තරග සියල්ල අඛණ්ඩව ජය ලබමින් ඔවුන් මෙම තරගාවලියේ ශූරතාව හිමිකම් කීම විශේෂත්වයක්. මේ අතර කාලගුණයෙන් සිදුවූ බලපෑම්, ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුකූලව ලැබුණු අභියෝග මෙන්ම අතහැර දැමූ තරගයක් ද ඒ අතර වුණා. ඒත් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැනට පත්වෙමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සදර්න් බ්‍රේව් පිල සමත් වීම ක්‍රිකට් විචාරකයන්ගේ නොමඳ අවධානයට බඳුන් වුණා.

මෙය අපට වඩාත් විශේෂ වන්නේ සදර්න් බ්‍රේව් පිල පුහුණු උපදෙස් ලබාදෙමින් එම කණ්ඩායම මෙහෙයවනු ලැබූවේ ශ්‍රී ලාංකිකයෙක් වීම නිසයි. ඔහු මහේල ජයවර්ධන.

මේ ජයග්‍රහණයත් සමඟ මහේලගේ පුහුණුකරණය සම්බන්ධ ව සමාජය තුළ පුළුල් කතිකාවක් ගොඩනැගී තිබෙනවා. ඔහු ගේ උපක්‍රමශීලීත්ව ය. තරගයක ගලායාම තේරුම් ගනිමින් උපායශීලීව ඒ සඳහා ක්‍රීඩකයන් ගොනුකිරීම මෙන්ම මොහොතින් මොහොත වෙනස්විය හැකි තරගයක ස්වභාවයන්ට අනුගතව කණ්ඩායම හැඩගැසිය යුතු ආකාරය සම්බන්ධයෙන් ලබාදෙන උපදෙස් හි ඇති සුවිශේෂත්වය මෙතැනදී වැඩි වශයෙන් ලෝක අවධානය දිනාගෙන අවසන්.

ඒ නිසා දැන් මහේල ඇතැම් විචාරකයන් හඳුන්වන්නේ ක්‍රිකට් පිටියේ ගාඩියෝලා වශයෙනුයි. (ගාඩියෝලා කියන්නේ ලොව බිහිවූ විශිෂ්ටතම පාපන්දු කළමනාකරුවෙක්. ඔහු ගැන ලිපියක් පළවන නිසා විශේෂයෙන් මෙහි කිසිවක් සටහන් කරන්නට නොයන බව කිවයුතුයි.)

ද හන්ඩ්‍රඩ් ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වා තිබූ මහේල එම ක්‍රිකට් තරග රටාව සම්බන්ධයෙන් සුබවාදී අදහස් රැසක් ප්‍රකාශ කර තිබුණා. ඔහු කියා තිබුණේ අනාගතයේ ක්‍රිකට් ලෝකය තුළ එය අපූරු පෙරැළියක් බවට පත්වනු ඇති බවයි.

‘‘මේ තරග රටාවේ දී එක් පන්දු යවන්නකුට යැවිය හැක්කේ පන්දු වාර දෙකක් විතරයි. අලුත් පිතිකරුවකු පිටියට පැමිණි සැණින් ඔහුට පන්දු යවන්නාට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ ක්‍රමයටත් මම කැමතියි. එතැනදී අපිට අලුත් උපායන් ගැන සිතන්න වෙනවා.” මහේල පවසා තිබෙනවා.

ඒ වගේම ලෝකය තුළ අතිශය ජනප්‍රියත්වයක් හිමි කර ගෙන ඇති ටී. 20 අනාගතය සම්බන්ධයෙන් ද මෙහිදී මහේල අදහස් දක්වා තිබුණා.

“හන්ඩ්‍රඩ් බෝල්ස් හි භාවිත කරන නීති අනාගතයේ ටී 20 ක්‍රීඩාවට ලොකු අභියෝගයක් වෙන්න පුළුවන් කියලයි මට හිතෙන්නේ. ඇතැම් විට මේ නීති ටී.20 තරග වෙනුවෙන් භාවිත කිරීමට ඉඩ තිබෙනවා” මහේල විශ්වාසය පළකරනවා.

ඔහුගේ මෙම ප්‍රකාශය වඩාත් සැලකිල්ලට බඳුන්වන්නේ වර්තමානය වන විට ලෝකයේ ධනවත්ම ටී.20 තරගාවලිය වන ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ පොහොසත් ම කණ්ඩායම වන මුම්බායි ඉන්දියන්ස් පුහුණුකරුවා සිදුකරන ප්‍රකාශයක් වන හෙයිනුයි. ඒ ඔහු එම කණ්ඩායම අවස්ථා ගණනාවක දී ශූරතාව දිනා ගැනීම දක්වා මෙහෙයවා තිබෙනවා.

තමන්ගේ පුහුණුවේ සුවිශේෂත්වය ගැන ඇතිවී ඇති කතිකාවට පිළිතුරු වශයෙන් මහේල ප්‍රකාශ කර ඇත්තේ මෙවැන්නක්.

‘මම කරන්නේ පිටිය මැද කළයුතු දේ සම්බන්ධයෙන් ක්‍රීඩකයන්ට නිරවුල්ව අදහසක් ලබා දීමයි. ජයග්‍රහණයට යන්න අවශ්‍ය සංස්කෘතිය කණ්ඩායම තුළ නිර්මාණය කරනවා. ඒක ඇතුළේ ඉදිරියට යන්න ක්‍රීඩකයෝ දන්නවා. මට තියෙන්නේ ඊට අවශ්‍ය සැලසුම් නිර්මාණය කිරීමයි.” මහේල පවසනවා.

ඒ වගේම ද හන්ඩ්‍රඩ් බෝල් තරගාවලිය ගැන තවදුරටත් අදහස් දක්වා තිබූ මහේල එහිදී මෙසේ ද පවසා තිබුණා.

“හන්ඩ්‍රඩ් බොල් තරග රටාවේ දී එක් පන්දු යවන්නකුට යැවිය හැක්කේ පන්දු වාර දෙකක් විතරයි. දැන් තියෙන සම්ප්‍රදාය අනුව පිතිකරුවෝ පැති මාරු කිරීම ‘හන්ඩ්‍රඩ් බෝල්ස්’ ක්‍රීඩාවේ පිළිගන්නේ නෑ. ඇත්තම කියනවා නම් මේ තරග රටාවේ දී අපිට අලුත් උපායන් ගැන සිතන්න ම වෙනවා. අනෙක මේ තරග රටාවට විශාල පිරියම් කිරීමක් අවශ්‍යත් නෑ. ඒ තරග ආකෘතිය ඉතා හොඳයි.” මහේල ගේ අදහස වී තිබෙනවා.

“අඩු කාලයක් තුළ තරගයක් අවසන් වීම තවත් අපූරුයි. විශේෂයෙන් පැය දෙකහමාරකින් තරගයක ජයග්‍රහණය තීරණය කරන්නට ලැබීම විශිෂ්ටයි.” මහේල පවසනවා.

තමන් පුහුණුකරුවකු වශයෙන් ලෝකය තුළ සංවාදයට ලක්වීම ගැන කලබල වන්නේ මහේල නොවෙයි. තමන්ගේ ජයග්‍රහණ ප්‍රතිශතය ඉතා ඉහළ අගයක් ගැනීම ගැනත් ඔහුට එතරම් ලොකු හැඟීමක් නෑ.

“මගේ සැලසුම් අනුව උපදේශකයෙක් වශයෙන් කටයුතු කරන්න මම කැමතියි. අනෙක පූර්ණ කාලීනව පුහුණුකරුවෙක් වෙන්න මගේ කිසිම කැමැත්තක් නෑ. අනෙක ඒකෙන් මට තෘප්තියක් ලැබෙන්නෙත් නෑ. අර්ධ කාලීන වශයෙන් ක්‍රිකට් උපදේශකයෙක් ලෙස කටයුතු කරන්න තමයි මම කැමැති.” මහේල කියන්නේ එහෙමයි.

ඒත් මේ දිනවල ලෝක ක්‍රිකට් මං පෙතේ විප්ලවීය පුහුණුකරුවකු, ඉතා තියුණුව තරගයක සිදුවිය හැක්ක එය අවසන් වීමට පෙර කියවන්නකු හා ඊට උපක්‍රම සකසා සැලසුමකින් යුතු ව කණ්ඩායමක් පිටියට යොමු කරන පුහුණුකරුවකු ලෙස මහේල ගෞරවයට පාත්‍ර වෙලා අහවරයි. ඔහු අනාගතයේ දී මෙම තත්ත්වය තවත් වැඩිදියුණු කරගනිමින් ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළේ පුහුණු උපදේශකයකු වශයෙන් බොහෝ විප්ලවීය වෙනස්කම් සිදු කරාවි යන්නයි බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත්තේ. ඇත්තටම ඔහු වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාව කොතැනට රැගෙන යාවි ද?

ක්‍රිකට් ක්‍රීඩාවට පාපන්දු ක්‍රීඩාවට තරම් ප්‍රේක්ෂක ආකර්ශනයක් දිනා දෙන්නට අවශ්‍ය තරගකාරිත්වය හා අවිනිශ්චිත භාවය කාන්දු කරවාවි ද? මේ සියල්ලට පිළිතුරු ලැබෙන්නේ අනාගතයේදී යි.

එතැනදී අපට සතුටු වන්නට හැක්කේ ඔහු ශ්‍රී ලාංකිකයකු වීමත්, මහේල ලබා ගන්නා සෑම පෞද්ගලික ජයග්‍රහණයක් පිටුපසම රටේ නම ගෝලීය ක්‍රීඩා සංස්කෘතික මඟ ලකුණක් බවට පත්වීමත් හේතුවෙනුයි.

කොහොමත් ඔහු ක්‍රිකට් ක්‍රීඩා වේ නිරතව සිටි කාලයේ කිව්වේ ‘ඉංජිනේරුවා’ කියායි. ඒ ඔහු තරමට සැලසුම් අඳින්න, තරගයක් කියවන්න දැක්වූ දක්ෂතාව නිසයි. ඔහු අදත් ඒ හැකියාව තවදුරටත් වැඩිදියුණු කරගනිමින් සැලසුම් සහගත පුහුණුකරුවෙක්ව සිටිනවා. ඒ නිසා ම ඔහු අතිවිශිෂ්ට කළමනාකරුවකු ලෙස අවිවාදයෙන් සලකමින් විවිධ ගෞරව නාම ප්‍රදානය කිරීම ගැන පුදුම විය යුතු නෑ.

 

Comments