
ඔලිම්පික් ඉතිහාසයේ අමෙරිකා එක්සත් ජනපදය පදක්කම් සටහනේ එක් රන් පදක්කමකින් පෙරමුණ ගත් දෙවැනි වතාව මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී දැක ගත හැකි විය. ඒ චීනය හමුවේ ය.
මෙවර අමෙරිකාව රන් 39 ක් සහ චීනය රන් 38 ක් දිනා ගනු ලැබිණි. මේ ආකාරයට ම අමෙරිකාව එක් රන් පදක්කමකින් ඊට පෙර පෙරමුණ ගත්තේ පළමු ඔලිම්පික් උළෙලේ දී එනම්, 1896 දී ය. අමෙරිකාව රන් පදක්කම් 11 ක් දිනා ගනිද්දී ග්‍රීසිය රන් පදක්කම් 10 ක් දිනා ගැනීමට සමත් විය.

හාහාපුරා කියා ඔලිම්පික් ඉතිහාසයේ පදක්කම් සටහනේ රන් පදක්කම් ප්‍රමාණය සමාන කිරීමට චීනයට තිබූ මහඟු සහ අනගි අවස්ථාව ඔවුන් මෙවර අහිමි කර ගත්තේ මීට වසර 21 ක ට පෙර සිදු කළ මෝඩකමක් හේතුවෙනි.
මෙවර උළෙලේ මීටර් 100 සමනල ආර ඉසව්ව තත්පර 55.59 කින් නිම කොට රන් පදක්කම හා මීටර් 100 නිදහස් ආර සහාය ඉසව්ව මිනිත්තු 3:32.78 කින් නිම කර රිදී පදක්කම සහ මීටර් 100 මිශ්‍ර ආර සහාය මිනිත්තු 3.52.60 කින් නිම කරමින් ලෝකඩ පදක්කම දිනා ගත් කැනඩාවේ හැනා මාග්‍රට් මැක්නෙයාර් උපතින් චීන ජාතික තරුණියක වීම ය. එහෙත් ඈ කැනඩාව නියෝජනය කරන්නියක් බවට පත්වූයේ මෙයට වසර 21 කට පෙර ඈ ගැහැනු දරුවකු වීම හේතුවෙන් කැනේඩියානු මව්පිය යුවළකට විකුණා දැමූ බවට පැවසෙන හෙයිනි.
කැනඩාව පිහිනුම් ඉසව්වලින් දිනා ගත් එකම රන් පදක්කම මෙය වූ අතර දිනා ගත් රිදී පදක්කම් තුනෙන් එකකට සහ ලෝකඩ පදක්කම් දෙකෙන් එකකට ද හැනා මාග්‍රට් මැක්නෙයාර් දායක වූවා ය.
මීටර් 100 සමනල ආර ඉසව්වේ දී තත්පර 0.05 කින් චීන ක්‍රීඩිකාව දෙවැනි තැනට පත් කිරීමට හැනා සමත් වූ හෙයින් මෙහි රන් හා රිදී පදක්කම් දෙකම චීනයට අයත් නොවේ දැයි මේ ආන්දෝලනාත්මක පුවත මඟින් ප්‍රකාශ විය.
කැනේඩියානු පිහිනුම් ක්‍රීඩිකාවගේ චීන උරුමය වෙනුවෙන් මාධ්‍ය කතිකාවක් නිර්මාණය වී ඇති අතර, චීනයේ දසක ගණනාවක් පුරා පැවැති එක් දරු ප්‍රතිපත්තිය සහ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ වෙනස්කම් මෙහි දී කරළියට පැමිණ ඇත.
ඈ උපත ලබා ඇත්තේ චීනයේ ජියැංසි හී යැංසි ගං ඉවුරේ දකුණු තීරයේ පිහිටි ජියූජියෑං නම් ගම්මානයේ ය. ගැහැනු දරුවකු බව දැනගත් චීන මව්පියන් ඈ ඉපදී දින කිහිපයක් ගත වෙද්දී ඇයව විකුණා දැමීමට පියවර ගෙන ඇත. පසුව කැනේඩියානු මව්පිය යුවළක් ඇය කැනඩාවට ගෙන ගොස් හැනා මාග්‍රට් මැක්නෙයාර් ( මැගී මැක් නීල්) යන නම තබා තිබේ.
චීනයේ එකල එක් යුවළකට එක් දරුවකු පමණක් යන ප්‍රතිපත්තිය මේ සඳහා පාර කපා තිබිණි. එය 2016 වසර වන තෙක් ක්‍රියාත්මක විණි. එම දැඩි නීතිය හේතුවන් ගැහැනු දරුවන් කලින් හඳුනා ගැනීමටත්, වහා කලලය ගබ්සා කිරීමට හෝ ගැහැනු දරුවකු ලෙස උපත ලද හොත් බිලිඳිය අතහැර දැමීමටත් චීන්නු හුරුපුරුදු වී තිබිණි.
ඇය චීනයේ හැදී වැඩී සිටියා නම් මෙවැනි දක්ෂතාවක් නොදක්වාවි. එහෙම වුණා නම් ඇය චීන වැඩබිමක සේවිකාවක් වේවි. පාසලෙන් කලින් ඉවත් වී කම්හල් සේවිකාවක බවට පත් වේවි.’ යැයි සමාජ මාධ්‍ය තුළ සංසරණය වන මතයකි.
එහෙත් එයට පිළිතුරක් සැපයූ තවත් අයකු දක්වා ඇත්තේ කැනඩාව වටිනා මැණිකක් සොයා ගත්තා. ඔලිම්පික් උළෙලේ දී එය ඔප වැටුණා. දැන් හැනාට ඇයගේ උපත සිදු කරන්න උපකාර කළ මව්පියන් සොයා දෙන්න යනුවෙනි.
හැනාට දෙවැනි වූ සමනල ආර තරගයේ රිදී පදක්කම දිනා ගත් චීනයේ ෂැං යූෆෙයි පවසා ඇත්තේ මැක්නෙයිල් තම ජීවිතයට තරමක් සමීප බවක් දැනුණ බවය.
‘හැනා මගේ පවුලේ සාමාජිකාවක වගේ මට හැඟුණා.’ මාධ්‍යවේදීන් අමතා පැවසීය.
මේ අතර, හැනා අවධාරණය කළේ තමා කැනේඩියානු ජාතිකයකු බවත් එහි ගරුත්වය තමන් සුරක්ෂණය කර දුන් බවත් ය.
‘මම ඉපදුණේ චීනයේ බව ඇත්ත. කුඩා අවදියේ සිට මාව හදා වඩා ගත්තේ කැනේඩියානු අම්මයි තාත්තයි. ඒක අමතක කරන එක හොඳ දෙයක් නම් නොවෙයි.’ ඈ කියන්නේ එහෙයිනි.










