ඔලිම්පික් යන ඇතැම් ක්‍රීඩකයන්ගේ මානසිකත්වය ඇත්තේ විනෝද චාරිකාවක් යෑම ලෙස බැවින් ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කම් දිනා ගැනීම අපහසු වී ඇතැයි ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී පැවසුවේ ය. වෙනත් රටවල් ඔලිම්පික් සඳහා වසර 10 ක 15 ක සැලසුම් හදද්දී ශ්‍රී ලංකාවේ මාස හයෙන් හයට සැලසුම් වෙනස් කර ඇතැයි ද එහි දී ඇමැතිවරයා පැවසී ය. මෙවර ඇතැම් ක්‍රීඩකයන් ඔලිම්පික් ගොස් ඇත්තේ තම සපත්තු දෙක ශ්‍රී ලංකාවේ තබමින් යැයි ද ඔහු එහි දී කීවේ ය.
ටෝකියෝහි දී හොඳ වර්ගයේ අලුත් පාවහන් දෙකක් සොයා ගන්නට උත්සාහ දරා තිබුණේ නිමාලි ලියනආරච්චි ය. එහෙත් එය අලුත් දෙයක්වත් අසාමාන්‍ය දෙයක්වත් නොවේ. එහෙත් එම තොරතුර සමාජගත වූයේ වැරැදි ලෙස බව අප අදහස ය.
මීට කලකට පෙර හිටපු ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු ද කීවේ මෙරට ඔලිම්පික් කමිටුව තනිකරම සංචාරක ඒජන්තවරයෙක්ගේ තත්ත්වයට පත්ව ඇති බව ය.
නිමාලිගේ සිද්ධිය ගැන සොයා බලමු ද?
නිමාලි ලියනආරච්චි ටෝකියෝ නුවර සිට දිවයිනට පැමිණියේ පසුගිය 31 වැනි දා ය. කාන්තා මිටර් 800 මූලික තරග පැවැතියේ ජූලි 30 දා ය. අවසන් පූර්ව තරග පැවැතියේ ජූලි 31 දා ය. නිමාලි මූලික වටයෙන් ම ඉවත් වූ අතර යම් හෙයකින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගත්තේ නම්, සිදු වන්නේ කුමක් ද?
'මම තරගවලට පාවිච්චි කරන එකම ක්‍රීඩා පාවහන් යුවළ ටෝකියෝවට අරගෙන ගියා. ඒත් එහෙදී මම මගේ සල්ලිවලින් ක්‍රීඩා පාවහන් දෙකක් මිල දී ගන්න උත්සාහ දරලා බැරි වුණාම ජාතික ඔලිම්පික් කමිටුවෙන් ඉල්ලීමක් කළා. ඒත් මම සල්ලි දෙන්නම් කියලයි.' නිමාලි සිද්ධිය ගැන කියන්නී ය.
එහෙත් ඒ සිද්ධිය වෙනුවෙන් ඔලිම්පික් කමිටුවට උපකාර කිරීමට නොහැකි වී තිබුණ ද ක්‍රීඩා ඇමැතිවරයා හා පැවසීමට විවේකයක් අමතක වී නොතිබුණේ ය. ඒ ගැනත් ගැඹුරින් සිතා බැලිය යුතු ය.
ටෝකියෝ ඔලිම්පික් උළෙල ගැන ක්‍රීඩා ඇමැතිවරයා ට්විටර් සටහනක් තබමින් කියා තිබුණේ, රට වෙනුවෙන් උපරිම දක්ෂතා දැක්වීමට අපේක්ෂා කරන අපේම ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කරන්න රටක් ලෙස එකතු වෙමු යනුවෙනි. එසේම ජපානයට ගොස් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් සහ ජපාන රාජ්‍ය නිලධාරීන් සමඟ ද්වි පාර්ශ්වික සාකච්ඡා කිහිපයකට සහභාගි වීමට බලාපොරොත්තු වෙනවා යැයිද ක්‍රීඩා ඇමැතිවරයා පවසා තිබුණේ ය.
මේ අතර ලාංකේය ක්‍රීඩික ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම අයෝජනය සිදු කරමින් ක්‍රීඩා අමාත්‍යාංශය රුපියල් මිලියන 46.2 ක පිරිවැයක් දැරූ බවත්, ක්‍රීඩා උළෙලට දක්‍ෂතා මත සෘජුවම සුදුසුකම් ලැබූ තිදෙනකු වෙත අමෙරිකානු ඩොලර් 15000 බැගින් ද අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6කට අමරිකානු ඩොලර් 10000 බැගින් ද ප්‍රදානය කෙරුණු බවත් පුහුණුකරුවන් 6 ක් සඳහා අමෙරිකානු ඩොලර් 5000 බැගින් හා දෛනික දීමනාවක් ලෙස අමෙරිකානු ඩොලර් 40 බැගින් පිරිනැමූ බවත් ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කළේ ය. සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ව්‍යාපාරික පන්තියේ ගුවන් ගමන් පහසුකම් ලබා දී තිබුණේ ය.
එහෙත් අවසන අපට වාර්තා වූයේ මෙවැනි තොරතුරු ය. ඒ ගැන පාලක, පාලිත දෙපාර්ශ්වයම සිතා බැලිය යුතු ය.
 
 









