
'ඇය ඔහුගේ පදක්කමට තිබූ ගැටලුවක් ක්ෂණයෙන් විසඳා දුන්නේ ය. ඒ මඟ කියා කුලී රථයක් අල්ලා දී පමණක් නොව ඊට වැය වන මුදල ද තම පසුම්බියෙන් ගෙවාලමිනි. ඔහු දිනන්නේ ද නැද්ද යන්න ගැන ඇය කිසිවක් දැන සිටියේ නැත. එහෙත් ඔහු ජය ගත්තේ ය. ජය ගෙන නැවත ඇය සොයා පැමිණියේ ය. එම සිදුවීම් ද්විත්වයේ ම තිබුණේ සුහදත්වය ය, මානව ආදරය ය. මේ ඒ කතාව ය.'
ජැමෙයිකාවේ හැන්ස්ල් පාච්මන්ට් තිස් දෙවැනි ටෝකියෝ ඔලිම්පික් උළෙල් දී ලෝකයේ ම අවධානය දිනා ගත්තේ මීටර් 110 පිරිමි කඩුලු මතින් දිවීමේ ඉසව්ව (අගෝස්තු 5 දින) තත්පර 13.04 ක හොඳ ම කාලය වාර්තා කරමින් රන් පදක්කම ද හිමි කර ගනිමිනි.
ඔහු මෙම ඔලිම්පික් රන් පදක්කම දිනා ගත්තේ ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ස්වෙච්ඡාවෙන් සේවය ලබා දුන් තරුණියක ගේ මඟ පෙන්වීම නිසා බව ජැමෙයිකානු ක්‍රීඩක හැන්ස්ලේ පාච්මන්ට් පසුව පවසා තිබිණි.
පාච්මන්ට් පවසන ආකාරයට ඔහුගේ ඉසව්වේ අවසන් පූර්ව වටය අහිමි නොවී බේරුණේ මේ තරුණිය නිසා ය. ඔහු තම ඉසව්වට සහභාගී වීම සඳහා ඔලිම්පික් ගම්මානයෙන් පිටත්වන බසයක නැඟී ගමන් කරමින් සිටියේ, සංගීතය රසවිඳිමින් නිසා බස් රථයේ ගමනාන්තය පිළිබඳ කියවන තොරතුරු ඔහුට නෑසී තිබිණි.
31 හැවිරිදි ඔහුට අවට පරිසරය නුහුරු වෙමින් ඇති බවක් වැටහී තිබිණි. තමන් වැරදි බසයකට ගොඩ වී ඇති බව ඔහුට අවබෝධ විණි.
"මම අහම්බෙන් වැරදි බස් රථයකට නැඟලා. සිංදුවකට සවන් දෙමින් ගියේ, බසයේ සිටි අය කියන කිසිවක් මට ඇසුණේ නැහැ. මලල ක්‍රීඩා ධාවන පථය කියන පුවරුව මම බස් එකේ දැක්කා. ඉතිං, මම ගියා ඒ ගැන සිතුවේ ම නෑ. අන්තිමට ගමන පිටත් වෙලා ටික දුරක් යද්දී අවට බලද්දීයි බස් රථය යන්නේ වැරදි පාරක කියලා තේරුණේ. ඇත්තම කියනවා නම් මේ කිසිඳදු වටපිටාවක් මට හුරු නෑ "පසු ව පාච්මන්ට් පැවසී ය.
බස් රථය ගමනාන්තයට පැමිණි පසු එය වෙනත් තරග ඉසව්වක් පැවැත්වෙන ස්ථානයක් බව ඔහු දුටුවේ ය. හේ වහා කණ්ඩායම් කළමනාකරු ඇමතූවේ ය. 'හැකි ඉක්මනින් නැවත ඔලිම්පික් ගම්මානයට එන්න. ඇවිත් එතනින් මලල ක්‍රීඩා තරග පැවැත්වෙන ස්ථානයට පිටත්ව යන්න.' ඔහු උපදෙස් දුන්නේ ය.
එය හැර අන් විකල්පයක් නොවූ හෙයින් ඒ සඳහා ක්‍රියාත්මක වන්නට තීරණය කළ පාච්මන්ට් ගේ නෙත ගැටුණේ කඩිමුඩියේ තම රාජකාරියේ නියැළෙමින් සිටි ස්වෙච්ඡා සේවිකාවක වෙත ය. ඈ ෆියෝනා ය. තමන්ට සිදු වූ අකරතැබ්බය ඔහු කඩිනමින් ෆියෝනා ට විස්තර කළේ ය. ඇය යුහුසුළුව ඔහුට මලල ක්‍රීඩා තරග පැවැත්වෙන ස්ථානය කරා යෑමට කුලී රථයක් සූදානම් කර දුන්නා පමණක් නොව ඒ සඳහා වැය වන මුදල් ද ලබා දීමට කටයුතු කළා ය. තමන් වෙත කළ උපකාරයට වචනයෙන් ස්තුතිවන්ත වෙමින් පාච්මන්ට් තමන්ට අදාළ ක්‍රීඩාංගණය වෙත ගොස් එහි පෙර පුහුණුවීම් කටයුතු සඳහා නියමිත වේලාවට එක්විය.
අවසන් පූර්ව තරගය ෆියෝනා ගේ මඟ පෙන්වීම යටතේ සාර්ථක ව අවසන් කළ පාච්මන්ට් අවසන් මහා තරගයේ දී ඔලිම්පික් රන් පදක්කම ද දිනා ගත්තේ ය. තරගයෙන් පසුව තමන් වෙත අසීරු ම මොහොතේ නොපැකිළව ඉදිරිපත්ව උපකාර කළ තරුණිය සොයා යෑමට පාච්මන්ට් අමතක නොකළේ ය.
ඔහු ඇය සොයා යන ගමන සෙල්ෆි වීඩියෝවක් හරහා පටිගත කිරීමට ද පාර්ච්මන්ට් කටයුතු කළ අතර, "ඔබට මාව මතකයි ද?" යැයි පාච්මන්ට් ඇය හමු වී විමසා තිබිණි.
" ඔව්, එදා වෙලාවට ගියා ද?" ඇය පෙරළා විමසා සිටියා ය.
"ඔව් මම තරගයට ගියා. මම අද ආවේ ඔයාට යමක් පෙන්වන්න” කියූ පාච්මන්ට් තමන් දිනූ ඔලිම්පික් රන් පදක්කම ෆියෝනා අත තැබුවේ ය.
"මම මේ රන් පදක්කම දිනා ගත්තේ ඔබ නිසා. ඔබට ස්තුතියි.” කියා ප්‍රකාශ කළේ ෆියෝනා දිලිසෙන දෑසින් ඒ පදක්කම දෙස බලා සිටිනා අතරතුර දී ය.
"මේ බලන්න මම ඔබට අපේ රටේ ටී ෂර්ට් එකක් ගෙනාවා. මම හිතනවා ඒක ඔබේ ගානට ඇති කියලා” පාච්මන්ට් ෆියෝනා ගේ උපකාරය අගය කරමින් කුඩා තිළිණයක් ද ඇයට ලබා දීමට අමතක නොකළේ ය.
"අහ්, තව දෙයක්. මම එදා ඔයාගෙන් ඉල්ලගත්ත සල්ලි, ඒකත් මම ගෙනාවා” කියමින් මුදල් ප්‍රමාණයක් ද ඇය වෙත ලබා දුන්නේ ය.
මේ සියල්ල සතුටින් භාර ගන්නා ෆියෝනා සමඟ අවසානයේ පාච්මන්ට් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ද අමතක නොකළේ ය. ක්‍රීඩකත්වය ඉක්මවූ මනුෂ්‍යත්වය පිළිබඳ කදිම කතාවක් මෙමඟින් කියැවුණේ ය.
 
 









