
ශ්‍රී ලංකාවේ ප්‍රවේගයේ ජාන ඇත්තේ උඩුවක ය. එසේ නොවේ නම් ඔප්පු කර පෙන්වන්නැයි රටේ සෙසු නගර, ගම්, නියම්ගම් වැසියන්ට අපි අභියෝග කරමු. අප එසේ කියන්නේ දසක කීපයක් ගත වුව ද හැටන් හි විදුලිපුරයට යළි ලෝකයට අභියෝග කළ හැකි වේගයක් සොයාගැනීමට හැකි වී නැති හෙයිනි. අම්පාරෙන් හෝ ඉබ්බාගමුවේ ද තත්ත්වය එසේම ය. අප වෙසෙසින් විදුලිපුරය, ඉබ්බාගමුව, අම්පාර හෝ බදුල්ල ගැන කියන්නේ පිළිවෙළින් සුගත් තිලකරත්න, ශ්‍රියානි කුලවංශ වැනි සුපිරි ක්‍රීඩකයන් බිහි කළ නගරයෙන් එපිට නියම්ගම් පිහිටියේ එවැනි ප්‍රදේශවල හෙයිනි.
එහෙත් ඔවුන් ජාතික තලයේ දිදුලා දසක දෙකකට අධික කාලයක් ගෙවුණ ද යළි එවැනි ප්‍රවේගයක් හා ජවයක් දිවයිනේ සෙසු කිසිදු ප්‍රදේශයකින් මතුව ආයේ ද නැත. බදුල්ල සම්බන්ධයෙන් ද කිව හැක්කේ එයම ය. බදුල්ලේ හරිජන්ගේ බිහි වීමෙන් අනතුරු ව එහි තත්ත්වයේ ද කිසිදු වෙනසක් නොවිණි. එහෙත් රටට ඔලිම්පික් පදක්කමක් දිනා දුන් උඩුවකින් දීප්තිමත් ආලෝකයක් මතුව එමින් තිබේ. මේ ඒ ආලෝකය සම්බන්ධව ය.
ඈ වඩා නොඋස් ය. සාමාන්‍යයෙන් ඇගේ උස අඩි පහයි අඟල් තුනක් හෝ හතරක් පමණ වන්නට පිළිවන. ඈ උපන්නේ කොළඹට කිලෝ මීටර් පනහක් පමණ දුරින් පිහිටි සුන්දර වරකාපොළ නමැති ප්‍රත්‍යන්තර නගරයේ ගැමි සිරි පිරුණු උඩුවක ග්‍රාමයේ ය.
ඒ හරියට ම මීට වසර විස්සක් සම්පූර්ණ වීමට තවත් දින කීපයක් ඉතිරිව තිබියදී ය. නිසැකව ම කාලවකවානු දක්වන්නේ නම් 2001 වසරේ අගෝස්තු 31 වැනි දා ය.
උපතේ දී මව හා පියා ඈට මේධානී ජයමාන්න යැයි නම් තැබූ හ. ඈ දිනෙක උඩුවකින් උපන් රටේ අනාගත ප්‍රවේගය බවට පත්වනු ඇතැයි මාපියෝ සිතුවා වන්නට පිළිවන. ඇතැම් විට එසේ නොසිතුවා වන්නටත් පිළිවන.
ඇය සත් වැනි විය ගෙවද්දී පියා මෙලොවින් සමුගත්තා ය. ඔවුන් තිදෙනාගේ ජීවිතයට අම්මා එක ම පහන් ටැඹ විණි. මේධානිලා ගේ ජීවිත ගලා ගියේ එලෙසිනි.
එවකට ඈ සිටියේ උඩුවක කණිටු විදුහලේ මූලික අධ්‍යාපනය හදාරමිනි. ක්‍රීඩාවේ දක්ෂතා දැක්වූ හෙයින් ම මේධානිට තෝලංගමුව ඩී.එස්. සේනානායක විදුහලේ දොරටු විවෘත වුණේ ය. එහි දී ඈ කලාප, කොට්ඨාස මලල ක්‍රීඩා තරගවලින් ජයග්‍රහණ කීපයක් අත්පත් කර ගත්තා ය. ඒ උඩුවකින් පීදෙන රටේ අනාගත වේග මාපකයක මඟ ලකුණු පහළ කරමිනි.
සාමාන්‍ය පෙළ විභාගය සමත් වූ මේධානි පසුව කොළඹ ලුම්බිණි විදුහලට ඇතුළත් වූවා ය. ඇය එම පාසලට ඇතුළත් කිරීමේ ගෞරවයේ සාඩම්බර හිමිකරුවා ලෝක පූජිත ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ සතු ය.
මේ අතර මේධානි අධ්‍යාපනයට අතිරේක ව වැඩි වශයෙන් ක්‍රීඩාව කෙරේ ආකර්ෂණය වූවා ය. ලුම්බිණි විදුහලේ විදුහල්පති හා ගුරු මණ්ඩලය සැම විටම සැදී පැහැදී සිටියේ වේග බලාගාරයක් සිරුරේ රඳවාගෙන ඇති උඩුවකින් බිහි වූ දැරිවියගේ කායික හා මානසික ශක්තිය පුබුදුවන්නට ය.
එහෙත් එය ලෙහෙසි පහසු ගමනක් වූයේ නැත. බොහෝ දුෂ්කරතා මතුවෙමින් මේධානිගේ ගමනට බාධා සිදු කරන්නට විණි. එවැනි බාධා ඇගේ සිත බිඳ, ක්‍රීඩාව අතහැර දමන්නට සිතිවිලි මතු නොකළා නොවේ. එවැනි නිමේෂ උදා වද්දී ඇගේ සිතේ ශක්තිය වඩවන්නට උපස්ථම්භක වූ ප්‍රධාන වීරයා කලක් මෙරට මලල ක්‍රීඩකයකු වූ පසුව මලල ක්‍රීඩා පුහුණුකරුවකු බවට පත් උමංග සුරේන්ද්‍ර ය.
'මම සුරේන්ද්‍ර සර් යටතේ පුහුණුවීම් පටන් ගත්තේ 2018 වසරේ සිටයි. මගේ පුහුණුකරුවා මාව වේගයෙන් දුවවන්න කෙටිකාලීනව වැඩ කරන කෙනෙක් නොවෙයි. ඔහුගේ ඉලක්කය මාව දිගු කාලීනව ස්වාභාවිකව වේගය තුළට ගොනු කිරීමයි. මම මේ වෙද්දී ලොකු තරග ගණනකට දුවලා නෑ.' මේධානී පවසන්නී ය.
එය සත්‍යයක් වන්නේ ලුම්බිණිය සෙවණේ 2018 සිට ඇරැඹි විධිමත් මලල ක්‍රීඩා පුහුණුව යටතේ 2019 සිට මෙම වසර දක්වා ඇති තරග නිමි කාල දෙස බලද්දී ය. 2019 වසර වන විට ජාතික කනිෂ්ට මලල ක්‍රීඩා තරගාවලියේ අට වැනියා බවට පත්වීමට ඈට අවස්ථාව හිමි විය. එවිට ඈ මීටර් සියය නිම කළේ තත්පර 13.1 කිනි.
මේධානි 2019 කනිෂ්ඨ ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙලේ දී එම ඉසව්ව අවසන් කළේ තත්ත්පර 12.75 කිනි. එය සැලකිය යුතු කාල ප්‍රගතියකි. ඒ කාලය තුළ නිර්මාණය කළ වේගය ඇයට එම ඉසව්වේ තෙවැනි ස්ථානය දිනා දීමට ප්‍රමාණවත් වූයේ ය. එසමය ඇගේ මවගේ හදිසි වියෝව ඈට බලපෑමක් විණි. ඇගේ පුහුණුකරු හා ලුම්බිණියේ ආදි මලල ක්‍රීඩා සංගමය, විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය ඈ වාට සිටි හෙයිනි. ඒ අනුව 2020 වසරේ ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට ක්‍රීඩා කළ මේධානි එහි දී මීටර් 100 ඉසව්ව නිම කළේ එහි හත් වැනියා ලෙසිනි. තරග නිමි කාලය දැක්වුණේ තත්පර 12.39 ක් ලෙසය.
ඈ දින දින වයසින් මුහුකුරා යද්දී දක්ෂතාවයන්ගෙන් ද මුහුකුරා ගියා ය. මේධානි 2021 වසරේ පැවැති ජාතික තේරීම් තරගයේ මීටර් 100 ඉසව්වේ තෙවැනියා වූයේ එලෙසිනි. එම තරගාවලියේ දී තම ඉසව්ව ඈ අවසන් කළේ තත්පර 12.21 කිනි
ඈ දෙවැනි තේරීම් තරගයට ඉදිරිපත්ව එය තෙවැනියා ලෙසින් ම අවසන් කළේ තත්පර 12.15 කින් තරගය නිම කරමිනි. ජාතික මට්ටමේ මීටර් 200 ඉසව්ව වෙනුවෙන් තරග වදින පළමු අවස්ථාව සනිටුහන් කළ ඇය එම ඉසව්ව තත්පර 24.60 කින් අවසන් කර එම ඉසව්වේ දෙවැනියා බවට පත්වූවා ය. ඒ සමඟ මේධානිට පළමු විදේශීය තරගාවලියට එක්වීමේ අවසරය උපයා දුන්නේ ය. ඒ ඈ මීටර් 100 සහය දිවීමේ කණ්ඩායමේ ක්‍රීඩිකාවක වශයෙන් ඉන්දියානු ජාතික මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව හිමි කර ගනිමිනි.
'මේධානිට මීටර් 200 තරගයට දුවන්නත් අවස්ථාවක් හදලා දෙන්න. ඇයට 2021 කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන ලෝක ශූරතා කනිෂ්ඨ තරගාවලියට යන්න ප්‍රමාණවත් දක්ෂතා තිබෙන බව පෙනෙනවා. ඒකට අවශ්‍ය පරිසාධන මට්ටම හදාගන්න මේ තරගාවලිය ප්‍රයෝජනයට ගන්න ඇයට හැකි වේවි.' පුහුණුකරු උමංග මලල ක්‍රීඩා සංගමයට යෝජනා කළේ ය. ඔහුගේ යෝජනාව සාර්ථක වූ අතර මලල ක්‍රීඩා සංගමය ඇයව ඉන්දීය ජාතික ශූරතාවයේ මීටර 200 ඒකල ඉසව්වට ද ඇතුළත් කරනු ලැබිණි.
ඉන් ප්‍රයෝජන ගත් ඈ එම තරගය තත්පර 24.08 කින් අවසන් කරමින් නයිරෝබි තරගාවලියට පිටත්ව යෑමට අවශ්‍ය පරිසාධන මට්ටම පසු කර ගියා ය. ශ්‍රී ලංකාව තුළ කනිෂ්ඨ තේරීම් තරගාවලියේ දී මීටර් 100 ඉසව්ව තත්පර 11.85 කින් නිම කර එම ඉසව්වේදී ද ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලට යෑමට සුදුසුකම් සම්පූර්ණ කළා ය.
එහි ඇති සුවිශේෂත්වය වනුයේ මෙරට විශිෂ්ටතම මලල ක්‍රීඩිකාව වන සුසන්තිකා ජයසිංහ මෙන් ම තවත් සුවිශේෂී මලල ක්‍රීඩකයන් වන සුගත් තිලකරත්න, ශ්‍රියානි කුලවංශ, දමයන්ති දර්ශා හෝ ශ්‍රියන්ත දිසානායක වැනි ක්‍රීඩකයන් පවා මෙම වයසේ දී මෙවැනි දස්කම් පෙන්වා නොමැති වීම ය.
මේ වන විට ඈ දේශීය වශයෙන් ජාතික මට්ටමේ තරග හයකට පමණක් තරග වැදී ඇති අතර කෙන්යානු සංචාරයට යැමට පෙර සහභාගි වී ඇත්තේ එක් විදේශීය සංචාරයකට පමණි. ඒ ඉන්දීය තරග සංචාරයයි.
ඒ වෙනුවෙන් ඇ පිටත්ව යද්දී ගමන් වියදමට අවශ්‍ය මුදල් ලබා දුන්නේ ද ලුම්බිණියේ සහෘදයන් ය. 'අපේ පාසලෙන් රටට හඳුන්වලා දෙන අනාගත වේග රැජින ඇයයි. නමුත් ඇය ලුම්බිණි විදුහලේ පමණක් බූදලයක් බවට පත්කර ගන්න අපි හදන්නෙ නෑ. අපි උත්සාහ ගන්නේ සමස්ත රටේ ආදරණීය දෑත්හි සුරක්ෂාව යටතට ඇයව භාර දෙන්න. ඒකට අවශ්‍ය මූලික අඩිතාලම අපි හදනවා.' ලුම්බිණි ආදි මලල ක්‍රීඩා සංගමයේ දිනේෂ් ‘ක්‍රීඩා’ පුවත්පත හා පැවසී ය.
මේධානි දැන් ජීවත් වන්නේ කොළඹ පුරවයේ නේවාසිකව ය. ඇගේ නවාතැන වෙනුවෙන් මසකට රුපියල් විසි දහසක් පමණ වැය බරක් දරනුයේ ලුම්බිණි විදුහලේ ආදි මලල ක්‍රීඩක සංගමය, විදුහල හා එහි ආදි සිසු සිසුවියන් විසිනි. මේධානිට පුහුණුවෙන් අනතුරු ව පාසලට පැමිණ අධ්‍යාපන කටයුතුවල නිරතවීමට විශේෂ නිදහසක් විදුහල්පතිවරයා විසින් ලබා දී තිබිණි.
පාසල පැවැති කාලයේ ඇයට අවශ්‍ය උදෑසන ආහාර සලාකය ද විදුහලේ ආපන ශාලාවෙන් විශේෂයෙන් සකස් කර දී තිබුණේ ය. නමුත් දැන් ඈ පාසලෙන් නික්ම යන කාලය එළඹෙමින් ඇත. ඒ මෙම වසරේ උසස් පෙළ විභාගය පැවැතුණහොත් ඈට ඊට පෙනී සිටීමට සිදුව ඇති හෙයිනි.
එසේ වූවා කියා මේධානි කොළඹ පුරවරයේ තනි කර දමන්නට ඇගේ පුහුණුකරු, ලුම්බිණි ආදි මලල ක්‍රීඩක සංගමය, විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලය හෝ ලුම්බිණි ආසි සිසු සහෘද කැළ සූදානම් නැත.
දැන් ලුම්බිණි විදුහල හා ඇගේ පුහුණුකරු එක්ව මේධානි ජයමාන්නට දිව යන්නට ධාවන පථයක් අඳිමින් සිටී. ඒ ධාවන පථය ජාතික තලය ඔස්සේ ජාත්‍යන්තර පිටිය දිග් විජය කිරීම දක්වා විහිදී ඇත්තකි.
'අපිට මේධානිගේ කීර්තිය බදාගන්න අවශ්‍ය නෑ. එයින් යැපෙන්න උවමනාත් නෑ. නමුත් ඈව ජාතිය සමඟ එක්ව බෙදා ගන්න අපි කැමතියි. ක්‍රීඩා අමාත්‍යාංශය ඇයව භාරගෙන ඇගේ අනාගතයේ ප්‍රතිදීප්තියෙන් රටේ පදක්කම් හිඟය පියවා ගන්න කියලයි අපි යෝජනා කරන්නේ.' ලුම්බිණි විදුහල් ආදි මලල ක්‍රීඩා සංගමය මේධානිව දකින්නේ එලෙසිනි.
ඈ මහා නුග ගස් යට හුදෙකලා කර ඇගේ වර්ධනය බාල කරන්නට අප සූදානම් නැත. මේධානිලාට පතාක යෝධ සෙවණැලි නොවැටී ස්වාධීනව වැඩෙන්නට ධෛර්ය දිය යුත්තේ එහෙයිනි.
අභියෝග, ප්‍රතිවිරෝධතා, කම්කටොළු උඩුවක ග්‍රාමයේ උපන් වේග ජාන තවදුරටත් දියුණු තියුණු කරන බව අපි දනිමු. ඊට ඉතිහාසගත සාක්ෂි ඕනෑ තරම් තිබේ. මේධානිට ඒ ගමන යන්නට උමයංග වැනි පුහුණුකරුවන්ට මෙරටට මලල ක්‍රීඩාවේ පුහුණුකරුවන්ගේ පතාක
යෝධයකු ලෙස සැලකිය හැකි දිවංගත ඩර්වින් පෙරේරා මහතා වැනි මිනිසුන්ගේ මතකය සජ්ජායනය කරන්නට අවශ්‍යව ඇතැයි අපි යෝජනා කරමු. ඒ මතකයන් මැදින් උමයංගලාට මේධානිලා ලෝකයේ විශිෂ්ට උරුමයන් අතර රඳවන්නට මඟහසර නිමවා දිය හැකි ය.
එසේම අප තවත් යෝජනාවක් කරන්නේ නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමැතිවරයාට ය. ඔහු සොයන පදක්කම් ලබා දිය හැකි මෙරට විශිෂ්ටතම ජාන සම්පතක් දැන් උඩුවකින් පිබිදී ලුම්බිණියේ දිදුලමින් තිබේ. තවත් කල් නොයවා ඈ ජාතිය වෙනුවෙන් බලාගන්නට කාලය එළඹ ඇත.
නයිරෝබියේ ප්‍රතිඵලය මත නොව පසුගිය කාලවකවානුවේ ඈ දැක්වූ දක්ෂතාවයන් හි කාල ප්‍රගතිය ගණනය කර ඊට පෙරමුණ ගන්නැයි නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයාට අපි යෝජනා කරමු. එවිට ඈ කොතරම් ප්‍රභාමත් අනාගතයක සාඩම්බර හිමිකාරිනියක් වනු ඇත්දැයි තේරුම් ගන්නට පිළිවන.
මේධානි ජයමාන්න, ලුම්බිණිය සෙවණට රැගෙන ඒමේ ගෞරවය මෙරට වේග රැජින සුසන්තිකා ජයසිංහයන් සතු ය. එය අන් කිසිවකුටත් ගත නොහැකි ය. එසේම ඇගේ දක්ෂතා වියැකී යන්නට නොදී බලාගැනීමේ ගෞරවය ලුම්බිණි විදුහල්පති, ගුරු මණ්ඩලය, පුහුණුකරු උමයංග සුරේන්ද්‍ර, ලුම්බිණි ආදි මලල ක්‍රීඩා සංගමය හා ආදි විදුහල් සහෘදයන් සතු වන්නේ ය.
ඇය ලෝකය දිග්විජය කරවීමේ ගෞරවය හිමි කර ගැනීමේ අයිතිය නාමල් රාජපක්ෂ ප්‍රමුඛ ක්‍රීඩා අමාත්‍යංශය මෙන් ම මෙරට වෙසෙන දෙකෝටි විසිලක්ෂයක් වන බදු ගෙවන ජනතාවට හිමි ය. ඉඩෝරයට පොද වැස්සක් ව පදක්කම් නියඟයෙන් රට මුදා ගැනීමට විභවතාවක් ඇති මේධානි ජයමාන්නව අපි අනාගතය වෙනුවෙන් ප්‍රවේශම් කර ගනිමු ද?
 
 









