අපි අපේ හිතවත්තු ඔලිම්පික් රැගෙන ගියේ නෑ | සිළුමිණ

අපි අපේ හිතවත්තු ඔලිම්පික් රැගෙන ගියේ නෑ

සුරේෂ් සුබ්‍රමනියම්

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු සභාපති

 

'ඔලිම්පික් කමිටුව පසුගිය කාලයේ මොනව ද කළේ? තමුන්ගේ හිතවත්තු ටිකක් අරගෙන ජපානයට ගියා විතරක් ද? නිමාලි ලියනාරච්චි සපත්තු නැතිව ඔලිම්පික් ගියායැයි ක්‍රීඩා ඇමැතිවරයාට බොරු තොරතුරු ලබාදුන්නේ ද? රට වෙනුවෙන් නිල ඇඳුමක් සකස් කරන්නට අසමත් වූයේ ඇයි? තිස් දෙවැනි ඔලිම්පික් උළෙල අවසන් වූ පසු ඔලිම්පික් කමිටුවෙන් විසඳාගන්නට ප්‍රශ්න රාශියක් ගොඩනැගුණේ ය.

එකී ප්‍රශ්නවලට විසඳුම් සොයාගනු රිසින් 'ක්‍රීඩා' ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මුණගැසුණේ ය.'

සභාපතිතුමා මොනව ද අලුත් තොරතුරු? ඔබ ඇතුළු ක්‍රීඩා බලධාරීන් ටෝකියෝ නුවරට ගියා?

ඔව්. මම ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරයට පත්වෙලා වසර තුනයි. මේ තමයි ඔලිම්පික් කමිටු සභාපතිවරයා වශයෙන් මම සහභාගි වුණු පළමු ඔලිම්පික් උළෙල. මෙම තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් නව දෙනකු සහභාගි වුණා. ඒ ගැන සතුටුයි.

ක්‍රීඩාවේ එක ම අරමුණ ජයග්‍රහණය යැයි අපි කියන්නේ නෑ. ඒත් අපේ ක්‍රීඩකයන් නව දෙනෙක් ඔලිම්පික් ගියත් එතැනින් කිසිම කැපීපෙනෙන ප්‍රතිඵලයක් දකින්න ලැබුණේ නෑ නේද?

ප්‍රතිඵලය ගැන මම කතා කරන්න උත්සාහ කරන්නේ නෑ. මම ඔබට කිව්වා මේක මගේ පළමු වැනි ඔලිම්පික් ගමන කියලා. ඉතින් අපිට තිබුණු වාතාවරණයට අනුව පදක්කම් ගැන සිතාගන්න පුළුවන්කමක් තිබුණේ නෑ කියන එක ඔබ අවබෝධ කර ගත යුතුයි. නමුත් අපි කෙසේ හෝ ඔලිම්පික් තරගාවලිය නියෝජනය කරන්න හැකි ශ්‍රී ලංකාව වෙනුවෙන් ඊට සහභාගි වෙන්න ක්‍රීඩකයන් නව දෙනකු ටෝකියෝවට යැව්වා.

එතැන ගැටලු රැසක් තිබෙන බවට රට තුළ කතාබහක් ඇති වුණා. ඔලිම්පික් කමිටුව

ඔලිම්පික් ගමන වන්දනාවක් කර ගෙන තමන්ට හිතවත් අයව ටෝකියෝ යැව්වා කියායි ඇතැමුන් චෝදනා කළේ ?

එක එක අය එක එක දේවල් කියාවි. නමුත් ඇත්ත කතාව අපි ඔලිම්පික් යැව්වේ අපිට ඕනෑ අය නොවෙයි. ක්‍රීඩකයෝ නම් පරිසාධන මට්ටම ඉක්මවා ගිය හෝ ඊට අවශ්‍ය කුසලතා මට්ටමේ හිටපු ඒ ඒ ක්‍රීඩා සංගම් විසින් නිර්දේශ කරපු වඩාත් උචිත යැයි කියන ක්‍රීඩකයන් තමයි අපි යැව්වේ. නැතිව වන්දනාවේ ගෙනියන්න සල්ලි වියපැහැදම් කර ගෙන අපි සැලසුම් හැදුවේ නෑ.

ඒ ක්‍රීඩකයොනෙ. ඒත් ඔලිම්පික් සංචාරයට ඇතැම් නිලධාරීන් ගියේ ඔලිම්පික් කමිටුවේ පෞද්ගලික හිතවත්කම්වලට කියලා කියැවුණා නේ?

කිසි කෙනෙක් අපි පෞද්ගලික මිත්‍රත්වයට යැව්වේ නෑ. එක් එක් ක්‍රීඩා සමාජ තමන්ගේ අභිමතය පරිදි නම් කිරීම් සිදු කරලා තිබුණා. ඒ එවපු නම් තමයි අපි ජාත්‍යන්තරයට යවලා ටෝකියෝවට යන්න අවශ්‍ය පසුබිම සකස් කරලා දුන්නේ. එහෙම නැති ව කිසියම් කෙනෙක් අපිට චෝදනා කරනවා නම් ඒක ඔහුගේ හෝ ඇගේ පෞද්ගලික කෝන්තරයකට කරන දෙයක් මිසක් සත්‍ය නොවෙයි.

නිලවරණයක් ළඟ එන නිසා ඔලිම්පික් කමිටුව හිතවතුන් යැව්වා කියලා හිතන්න බැරි ද?

දැන් මම කිව්වානෙ. අපි අපේ අභිමතය පිට කවුරුවත් යැව්වේ නෑ. ඒවා අදාළ සංගම් විසින් තමයි නම් කරලා එව්වේ. ඔබ කියන්නේ බලය සොයන ඇතැම් පාර්ශ්ව කියන කතාන්තර වෙන්න ඇති. නමුත් ඇත්ත ඊට වඩා බොහෝ ම වෙනස්.

එතකොට වෙඩි තැබීමේ ක්‍රීඩාවට ගියේ පුහුණුකරුවකු නොමැතිව නෙ? එහෙම තැනක දී ඔලිම්පික් කමිටුවට ප්‍රශ්න කරන්න බැරි ද?

මෙහෙමනෙ. අදාළ සංගමයේ විධායක කමිටුව විසින් තීරණය කරලා කවුරුන් හෝ එවනවා නම් අපට කරන්න දෙයක් නෑ. මේ දේ තමයි වෙඩි තැබීමේ ඉසව්වේ වුණේ.

ක්‍රීඩකයන්ට ජාතියක් වශයෙන් අභිමානයෙන් ක්‍රීඩා කරන්න නිල ඇඳුමක්වත් සකස් කරලා දෙන්න ඔලිම්පික් කමිටුවට බැරි වුණා කියන එක විශාල චෝදනාවක්. මොකද ඒ ගැන කියන්නේ? ඔලිම්පික් කමිටුවට ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වන ක්‍රීඩකයන් වෙනුවෙන් ජාතික අනන්‍යතාව පෙන්නුම් කරන විධිහට ඇඳුමක් හදාගන්න බැරි වුණා ද? හදපු ඇඳුමට රටේ කොඩිය පවා නෑ කියන චෝදනාව ගැන මොකද කියන්නේ?

ඒකත් පටලවාගෙන කියන ඒවා. අපි ඔලිම්පික් තරගාවලිය වෙනුවෙන් සහභාගි කරවන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලබා ගත හැකි අනුග්‍රාහක ආවරණය ලබා ගන්න අනුග්‍රාහක කමිටුවක් හැදුවා. ඒ කමිටුව නිරන්තරයෙන් කියපු දේ තමයි අනුග්‍රාහකයන් සොයාගන්න අමාරු බව. මේ වන විට ලෝකය තුළ තිබුණු කොවිඩ් ප්‍රශ්න නිසා එවැනි අර්බුදයක් නිර්මාණය වී තිබෙන බව ඔවුන් කිව්වා. අන්තිමට සාකච්ඡා වට කීපයක් ගිහින් මම ඒ වැඩේ භාර අරගෙන මගේ සම්බන්ධතාවයන්ගෙන් අනුග්‍රාහකයන් ගණනාවක් සොයා ගත්තා. ඒ සොයා ගත්තු අනුග්‍රාහක භවතුන් හරහා තමයි ඇඳුම් වගේ දේවල් සැලසුම් කළේ. අනික් කාරණය අපි අපේ ක්‍රීඩකයන්ගේ ඇඳුම්වලට යමක් ඇතුළත් කරනවා නම් ඒක දින එකසිය අසූවක් තුළ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට දැනුම් දෙන්න අවශ්‍යයි. නමුත් අපිට ඇති වුණු අර්බුද එක්ක එවැනි පූර්ව අනුමැතියක් ගන්න හැකි වුණේ නෑ. ඒ නිසා ඒවායේ යම් අඩුපාඩුවක් වුණා නම් සිද්ධ වුණේ ඒක. නමුත් රට ඇතුළේ ඇතැම් පාර්ශ්ව අරන් ගියේ වැරැදි ප්‍රතිරූපයක්. අපි ක්‍රීඩකයන්ට නිල ඇඳුමක් දුන්නේ නෑ. ක්‍රීඩකයෝ කටු ගහලා අංක ගහගෙන තරගවලට ගියේ වගේ දේවල් ගැන ඔවුන් කතා කළා. ඒක සම්පූර්ණයෙන් ම ක්‍රීඩා ප්‍රේක්ෂකයා මුළාවේ දැමීමක්.

කටු ගහපු කතාව සමාජ මාධ්‍ය තුළත් විශාල පෙරළියක් ඇති කළ ප්‍රවෘත්තියක් වුණා.

ඔව් නෙ. ඒ ගැන නොදන්න අය කියපු නිසා තමයි එහෙම වුණේ. ඔබ දන්නවා ක්‍රීඩකයන්ට තරග වදින අංක ලැබෙන්නේ අවසන් මොහොතේ දී බව. ඒවා අපිට අංක බලලා මුද්‍රණය කර ගෙන යන්න හැකියාවක් නෑ. ලෝකයේ සෑම රටක ම ක්‍රීඩකයන් දිව්වේ අංකය දුවන ඇඳුමට තියලා කටු ගහගෙන තමයි. එහෙම නැත්නම් ස්ටිකර් එකක් සිරුරේ අලවා ගන්න හැකියාව තිබුණා. නමුත් බොහෝමයක් දෙනෙක් ඒ විදිහට කළේ නෑ. මේක නොදන්න අය කිව්වා කටු ගහලා අපේ ක්‍රීඩකයෝ දුවනවා කියලා. ඒක හරියට දෙල් කොළ උඩට බෙලි ගෙඩිය වැටුණාම අහස කඩාගෙන වැටෙනවා කියලා දුවපු හාවාගේ කතාව වගේ එකක්.

හරි අපි ඒ දේ පිළිගනිමුකො. දැන් නිමාලි ලියනාරච්චි සපත්තු දෙකක් නැති ව ඔලිම්පික් ගියා කියලා කතාවක් ගොතපු එකට මොකද කියන්නේ?

කවුද ගෙතුවේ, මම ද? මම නම් ඒ වගේ මෝඩ වැඩ කරන කෙනෙක් නොවෙයි. නිමාලි සපත්තු ජෝඩුවක් නොවෙයි ජෝඩු දෙකක් අරගෙන ටෝකියෝ ගියා. ඒ සපත්තු නැති වෙයි කියලා බයට ඒවා අතේ ගෙනියන බෑග් එක ඇතුළේ තියාගෙනයි ටෝකියෝවට යනකං ගියේ. මම ඒක දැක්කා. හැබැයි ජපානයට ගියාට පස්සේ ඒ ළමයාට තවත් සපත්තු දෙකක් ගන්න ආසා හිතිලා ඒක කියලා තිබුණා. ඒ කතාව කවුරුහරි හෙංචයියෙක් ඇමැතිතුමාට කියලා දුර්මතයක් හදලා තිබුණා. ඒක මම කිව්වා කියලා කාටහරි කියන්න පුළුවන් ද? එහෙම කිව්වොත් මගෙන් ඕක අහන්න.

නිමාලි සපත්තු දෙකක් අරන් දෙන්න කියලා ඔලිම්පික් කමිටුවෙන් උදවු ඉල්ලලා තිබෙන බවක් කියැවුණා නේද?

ඔව්. ඇය සපත්තු දෙකක් ගන්න බලලා බැරි වුණාම අර විදිහට ඔලිම්පික් කමිටුවෙන් උදවු ඉල්ලලා තිබුණා. මට ඕක දැනගන්න ලැබුණාම මම කිව්වා එකක් නෙවෙයි දෙකක් අරන් දෙන්න බලන්න කියා. නමුත් මෙවර ලෝකයේ තත්ත්වය වෙනස් නෙ. අපිට හිතෙන හිතෙන විදිහට දේවල් කරන්න බෑ. සපත්තු දෙකක් පවා ඇණවුම් කරලා දවස් කීපයක් ගිහිල්ලයි ලබා ගන්න වෙන්නේ. ඒ නිසා එතැන දී අර්බුද ඇති වුණා.

දැන් ඔලිම්පික් ගිය අපේ ක්‍රීඩකයන්ගෙන් උපරිම දක්ෂතා මතුවුණේ නෑනෙ? ඒ ගැන ඔලිම්පික් සභාපතිවරයා වශයෙන් ඔබ මොකද කියන්නෙ?

ඒක ගැන මට කියන්න තියෙන්නේ ක්‍රීඩකයන් ලෝක මට්ටමේ දක්ෂතා අතරට රැගෙන ඒමේ වගකීම තිබෙන්නේ ඒ ඒ සංගම්වලට කියායි. අපි ඉන්නේ ඔවුන් යම් උපකාරයක් ඉල්ලනවානම් එය ජාත්‍යන්තර මට්ටමෙන් ඔලිම්පික් කමිටුව හැටියට ජාත්‍යන්තර සම්මේලනය ඔස්සේ ලබා දෙන්න. යම් යම් පුහුණු වැඩමුළු සංවිධානය කරන්න. හැබැයි ක්‍රීඩාවේ ක්‍රීඩකත්වය පෝෂණය කිරීමේ පූර්ණ වගකීම තිබෙන්නේ ක්‍රීඩා සංගමයට. එහෙමත් නැත්නම් සම්මේලනයට. ඔවුන් අපේ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ සහයෝගය සහිතව ඒ දේ කළ යුතුයි.

හැමදාම කරනවා වගේ ජාත්‍යන්තරඔලිම්පික් කමිටු නිලධාරීන් යොදවාගෙන ක්‍රීඩා ඇමැතිවරයාව අන්දවන්න, බය කරවන්න ඔලිම්පික් කමිටුව කටයුතු කළා කියලා චෝදනාවක් සමාජගත වුණා. ඒ චෝදනාවල ඇත්තක් තිබෙනව ද?

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු නිලධාරීන් හා ක්‍රීඩා ඇමැතිවරයා අතර හමුවක් සංවිධානය කරන්නේ අපේ ක්‍රීඩාව වෙනුවෙන් ලබා ගත හැකි සහයෝගය තවත් පුළුල් කර ගන්නයි. එතැන දී අපි ක්‍රීඩා ඇමැතිව බිය පත් කරන්න සැලසුම් කළේ නෑ. අනික ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු නිලධාරීන් මම තවම හරියට අඳුරන්නෙත් නෑ. මොකද මම බලයට ඇවිත් වසර තුනක් නිසා. එහෙම චෝදනා කරන අයට මොළේ අමාරුවක් ඇති. නැති දේවල් කියලා මොනවද ඔවුන් අපේක්ෂා කරන්නෙ.

ක්‍රීඩා ඇමැති හා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අතර හමුවක් සංවිධානය කරලා ක්‍රීඩා පනත ගැන කතා කෙරෙව්වේ ඇමැතිව හිර කරන්න නොවෙයි ද?

අපි මොකටද ඇමැතිව හිර කරන්නෙ. එයා රටේ ක්‍රීඩාවේ ප්‍රධානියානෙ. අපේ රටේ ක්‍රීඩාවේ ප්‍රධානියාව හිර කරන්න අපිට පිස්සුවක් තියෙනවා ද? මෙතැන දී ක්‍රීඩා පනත සංශෝධනය කිරීම ගැන කතා වුණා. ඒක කාලීන අවශ්‍යතාවක්. පැරැණි පනතෙන් ජාත්‍යන්තරය සමඟ ගැටෙන විට ගැටලු ඇති වෙනවා. ඒ නිසා නව පනතක් අවශ්‍යයි. ජාත්‍යන්තර ප්‍රඥප්තීන්ට ගැළපෙන ආකාරයට, ඒවා හා නොගැටෙන ආකාරයට ක්‍රීඩා පනතක් සකස් විය යුතුයි. එය ඇමැතිවරයාත් පිළිගත්තා. ඔබ දන්නවා ද අපි හැර සෙසු කිසිම රටක් පැරැණි ක්‍රීඩා පනතේ රැඳී නොසිටින බව. අවසානයේ ඉරාකයත් ඔවුන්ගේ ක්‍රීඩා පනත ඔලිම්පික් ප්‍රඥප්තීන් සමඟ ගැටුම් ඇති නොවෙන ආකාරයට සකස් කළා. ඇත්තෙන්ම ඒකෙන් අපේක්ෂා කරන්නේ ජාතික ඔලිම්පික් කමිටුවට බලය ලබා ගන්න නොවෙයි. එසේ ක්‍රීඩා පනත ශක්තිමත් කිරීමෙන් අනුබද්ධ ක්‍රීඩා සංගම්වලට ස්වාධීනත්වය ලැබෙනවා. ඔවුන්ට ජාත්‍යන්තර සංගමය සමඟ සෘජුව නිදහස් ව ගනුදෙනු කළ හැකි වෙනවා. නැති ව මේ අපිට මොනවා හරි පෞද්ගලික ලාභයක් ලබා ගන්න හිතලා නොවෙයි ක්‍රීඩා පනත සංශෝධනය කරන්න කියන්නේ.

හිටපු බොහෝ ක්‍රීඩා ඇමැතිවරු සහ ජාතික ඔලිම්පික් කමිටුව අතර විරසකයක් තිබුණා. වර්තමාන ක්‍රීඩා ඇමැති එක්ක ඔබලාගේ ගනුදෙනුවේ ගැටලු මතුවෙලා නැද් ද?

ඉතාම සතුටුදායකයි. අපි යම් ඉල්ලීමක් කළ සැණින් වත්මන් ඇමැතිවරයා යහපත් ප්‍රතිචාර දක්වනවා. එතුමාට ඉතා හොඳ දැක්මක් තිබෙනවා. ක්‍රීඩාව කොහොමද ලෝකය තුළට ගෙනියන්නේ හා ඒ ක්‍රීඩාවෙන් රටක් වශයෙන් නෙළාගත හැකි වෘත්තීය වාසි මොනවාද කියන දැක්ම එතුමා සතුයි. ජාතික ඔලිම්පික් කමිටුව සතුරෙක් කියලා එතුමා දකින්නේ නෑ. අපිටත් ක්‍රීඩා අමාත්‍යාංශය කියන්නේ වහකදුරු වුණු තැනක් නොවෙයි. අපියි, ක්‍රීඩා අමාත්‍යාංශයයි, ක්‍රීඩා සංගම් ඒකාබද්ධ නොවී ජාත්‍යන්තරය දිනන්න බෑ.

ඔබ කාලයකට ඉස්සර බොහෝ ම උද්ධච්ච ප්‍රකාශයක් කරලා තිබුණා. ඒ තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් සල්ලි අපිට එපා ඒවා ක්‍රීඩා සංගම්වලට දෙන්න කියලා. මොකද ඔලිම්පික් කමිටුවට සල්ලි වැඩි ද?

අපේ කමිටුවට සල්ලි වැඩියි කියලා මම කිව්වේ නෑ. අනික මම ශ්‍රී ලංකා ක්‍රිකට් සල්ලි අපිට ඕනෑ නෑ කිව්වේ අවංකව මිස උද්දච්චකමට නොවෙයි. ඔවුන්ට ලංකාවේ ක්‍රීඩාව දියුණු කරන්න ක්‍රීඩා සංගම්වලට උපකාර කරන්න පුළුවන්. උදවු අවශ්‍ය, පදක්කම් දිනන ක්‍රීඩකයෝ හදන්න පුළුවන් ක්‍රීඩා සංගම් බොහොමයක් ඉන්නවා. ඉතින් ඔවුන්ට උදවු කරන එක වැදගත්. නැත්නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉන්න නිලධාරීන් එක්ක මගේ අමනාපයක් නිසා නොවෙයි. ඔවුන් ඉතා හොඳ මිත්‍රයෝ.

අවසන් වශයෙන් කියන්න පැරිස් ඔලිම්පික් තරගාවලියත් දක්ෂතා සම්බන්ධයෙන් බොල් හීනයක් වෙයි ද? ඒක එහෙම නොවෙන්න මොනවාද කරන්න හිතාගෙන ඉන්නේ?

මම ඔබට කිව්වා ක්‍රීඩකයන් පදක්කමකට සූදානම් කිරීම ලොකු වැඩක් කියලා. ඒත් ඒක කළ හැකි දෙයක්. මම ඔලිම්පික් සභාපතිවරයා වශයෙන් මේ සටන අතහරින්නේ නෑ. ක්‍රීඩා සංගම්වලට උපකාර කරලා හැකි තරම් ක්‍රීඩකයන් විදේශීය පුහුණුවට යවලා ඔලිම්පික් සිහිනය සැබෑ කර ගන්න උත්සුක වෙනවා. අපිට යුපුන්ලා, තිවංකලා වගේ එක ම ඉසව්ව නියෝජනය කරන ක්‍රීඩකයන් කීප දෙනෙක් විදේශීය පුහුණුවට යවන්න ඕනෑ. ඔවුන් අතර ඇති වන තරගය තමයි විශිෂ්ට දක්ෂතා පුබුදුවන්නේ. අපේ මේ සිව් වසරේ ඉලක්ක අතර එයත් ප්‍රමුඛ කාරණයක්.

 

 

ඡායාරූප - ජගත් ඉරෝෂණ

Comments