උසට උසේ උස පැන බාර්ෂිම් සහ තම්බෙරි තැබූ සදා ඔලිම්පික් වාර්තාව | සිළුමිණ

උසට උසේ උස පැන බාර්ෂිම් සහ තම්බෙරි තැබූ සදා ඔලිම්පික් වාර්තාව

 

'හදවත් විශාල වූවෝ ලෝකයට දෙන්නේ බලාපොරොත්තු ය, ආදරය ය, අපේක්ෂාව ය එසේ නැතහොත් සදාකාලික මතක සැමරුම් ය. මේ සියල්ල දෙන්නට උත්සුක වන්නෝ සීමා සහිත වන්නට පිළිවන. එහෙත් එවැන්නෝ අසීමිත ය. ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී එවන් සදාකාලික ආදරය ලොවට පෙන්වූ නිමේෂයක් පසුගිය දා ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පිටියේ ඉසව්වක දී මතුව ආයේ ය. ඒ ලෝකයටම දීර්ඝ කාලීන මතකයක් හා ආනන්දයක් එක් කළඉතාලි - කටාර් හි උස් හදවත් එක්ව බිහි කරන ලද සදාකාලික මතක වාර්තාව ය.'

ඔලිම්පික් ක්‍රීඩා උළෙලක පළමු වරට මලල ක්‍රීඩා ඉසව්වක රන් පදක්කමක් ක්‍රීඩකයින් දෙදෙනකු බෙදා ගනු ලැබුවේ මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි උස පැනීමේ ඉසව්වේ දී යි. එහි දී කටාර් රාජ්‍ය නියෝජනය කළ මුටාස් එසා බාර්ෂිම් සහ ඉතාලිය නියෝජනය කළ ජියන් මාර්කෝ තම්බෙරි මෙලෙස එම රන් පදක්කම බෙදා ගනු ලැබූහ.

ඔවුහු දෙදෙනා ම අවසන් තරගයේ දී කිසිදු බාධාවකින් තොරව මීටර් 2.19 සිට මීටර් 2.37 දක්වා උස, පළමු අවස්ථාවේ දී ම තරණය කිරීමට සමත් වූ හ. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාට පසුව ලබා දුන් මීටර් 2.39 ක උස තරණය කිරීම අපහසු විය. අනතුරුව රන් පදක්කම දිනා ගන්නා ක්‍රීඩකයා තේරීම සඳහා තවත් උසක් තරණය කරන්නේ දැයි තරග විනිසුරුවන් එම ක්‍රීඩකයන් දෙදෙනාගෙන් විමසා සිටි අතර එහි දී එම ක්‍රීඩකයන් දෙපළ තරග විනිසුරුවන්ගෙන් විමසා සිටියේ මෙම රන් පදක්කම බෙදාගැනීමට නොහැකි ද යන්නයි.

අනතුරුව තරග විනිසුරුවන් ඊට එකඟතාව පළ කළ අතර ඒ අනුව කටාර් ක්‍රීඩකයා සහ ඉතාලි ක්‍රීඩකයා අතරේ පිරිමි උස පැනීමේ ඉසව්වේ රන් පදක්කම බෙදී ගියේ ය. මෙම සිදුවීම පිටියේ දී සහෝදරත්වය ප්‍රදර්ශනය කළ අවස්ථාවක් ලෙස ක්‍රීඩා

විචාරකයෝ සදහන් කළහ.

ඔවුන් දෙදෙනාගේ වයස් පර-තරය යන්තමින් වසරකි. බාර්ෂිම් 30 හැවිරිදි ය. තම්බෙරිගේ වයස 29 කි. දෙදෙනාම මීටර් 2.37 ක උස තරණය කිරීමෙන් අනතුරුව මීටර් 2.39 ක උස තරණය කිරිමට උත්සාහ කළ ද එය දෙදෙනා අතින්ම ව්‍යර්ථ වී ගියේ ය.

එම උස තරණයට ගත් අසාර්ථක උත්සාහයන් තුනකට පසුව, ඔලිම්පික් නිලධාරියෙක් මුලින්ම ජයග්‍රාහකයා තීරණය කිරීමට නව පියවරක් සැකසිය යුතු බව ප්‍රකාශ කළේ ය.

අපට රත්තරන් පදක්කම් දෙකක් ලබා ගත හැකි ද?

බාර්ෂිම් ඔහුගෙන් විමසී ය.

නිලධාරියා හිස සැලූ අතර ක්‍රීඩකයන් දෙදෙනා දෑත් බැඳගෙන ප්‍රීති ඝෝෂා නැඟූ හ.

'මම ඔහු දෙස බැලුවෙමි. ඔහු මා දෙස බැලී ය. අපි එකිනෙකාගේ සිතැඟි හඳුනමු. අපි එකිනෙකා දෙස බැලූ විට අපිට ඒ බව දැනිණි. මෙහි ඇත්තේ එපමණකි. අප ඒ අනුව කටයුතු කර ඇත.'බාර්ෂිම් පසුව පවසා තිබුණේ ය.

බාර්ෂිම් උස පැනීමෙන් ලෝකඩ පදක්කම ක් හා රිදී පදක්කමක් දිනාගෙන ඇත්තෙකි. ඒ ලන්ඩන් හා රියෝ ඔිම්පික් උලෙ හි දී ය. 2017 සහ 2019 වසර වල දී ලෝක ශූරතා දෙකක් දිනා ගැනීමට ද ඔහුට හැකිවිණි.

'ඔහු මගේ හොඳම යාළුවෙක්. ක්‍රීඩා පිටියේ පමණක් නොවෙයි, පිටියෙන් පිටතත් ඔහු මගේ යහළුවෙක්. අපි එකට වැඩ කරනවා. මෙය සිහිනයක් සැබෑ වීමකි. සැබෑ ආත්මය ඇත්තේ ක්‍රීඩාව තුළයි. අපි එය බෙදා ගත්තා.' තම්බේරි පවසා තිබිණි.

2016 රියෝ ක්‍රීඩා ඔලිම්පික් උ‌ළෙලට දින කිහිපයකට පෙර වළලුකර බිඳ ගත් ඉතාලි ජාතිකයාට මෙවර ටෝකියෝව බලාපොරොත්තු ඉටු කළ ජයග්‍රාහී ක්ෂේම භූමියක් විය.

“මගේ තුවාලවලින් පස්සේ මට නැවත නැඟිටීමට අවශ්‍ය වුණා. ඒ වෙනුවෙන් සිහින දැක්කා. දැන් මේ රත්තරන් මා සතු යි. ඒක ඇදහිය නොහැකි යි.” ඔහු පැවසීය.

“2016 දී මට කිව්වේ රියෝවලට පෙර මට තවදුරටත් තරග කිරීමට නොහැකි වීමේ අවදානමක් තිබූ බවයි. එය දිගු ගමනක්.”

බෙලරුසියාවේ මැක්සිම් නැදසේකාව් ලෝකඩ පදක්කමට හිමිකම් කීවේ ය.

මෙම සිදුවීම කිසිවකුට සිතා ගත නොහැකි දෙයකි. අවසන මලල ක්‍රීඩා නීති පොත පවා වෙනස් කර නව සම්ප්‍රදායක් ගොඩනැඟීමට බාර්ෂිම් සහ තම්බේරිට හැකි වූයේ ය. එය පිටු 135 ක මලල ක්‍රීඩා නීති පොත වෙනස් කිරීමකැයි සමාජය තුළ කතාබහට ලක්වුයේ එහෙයිනි.

 

Comments