ලොව වටා | Page 2 | සිළුමිණ

ලොව වටා

ඉන්දියාවට කරදර පිට කරදර

 

 

පසුගිය සති කිහිපයේ සිටම කොවිඩ් ව්‍යසනයට අමතරව ඉන්දියාවෙන් දිගින් දිගටම ස්වභාවික ව්‍යසනද වාර්තා වූ අතර ඒ අතරින් ඉතා කනගාටුදායකම ව්‍යසනය පසුගිය සතියේදී වාර්තා විය. ඒ ඉන්දු ටිබෙට් දේශසීමාව ආසන්නයේ කඳු සහිත දූර්ග මාර්ගයක ගමන් ගනිමින් තිබූ බස් රථයක් මතට පස් කන්දක් කඩා වැටීමයි. ඒ හේතුවෙන් එම බස් රථය සම්පූර්ණයෙන් වැසී ගොස් තිබූ අතර එහි ගමන් ගත් මගීන් 25 -35 අතර ප්‍රමාණයක් මිය යන්නට ඇතැයි අනුමාන කර තිබිණි. සතිය අවසාන වන විට ඒ අතරින් මෘත ශරීර 10ක් සොයා ගැනීමට මුදා ගැනීමේ කණ්ඩායම් සමත් වී තිබූ අතර තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වන බවද ප්‍රකාශ විය.

 

 

චීනය නරක කැරෝකේ එපා කියයි

 

ලබන ඔක්තෝබර් මස පළමුවැනිදා සිට කැරෝකේ තහනම් කිරීමට චීනය කටයුතු තිබෙනවා. කැරෝකේ යැයි පැවසුවාට එහිදී තහනම් කෙරෙනු ඇත්තේ ජාතික ආරක්ෂාවට, රටේ එක්සත් බවට තර්ජනයක් වන වචන යෙදූ කැරෝකේ පමණක් බවයි චීන සංස්කෘතික සහ සංචාරක අමාත්‍යශය පවසා ඇත්තේ.

අමාත්‍යංශය වැඩිදුරටත් දක්වා ඇති අන්දමට මේ වන විට චීන ජනතාවට 50 000කට අධික කැරෝකේ ක්‍රමවේදයන් භාවිත කිරීමේ අවස්ථාව හිමි වී තිබෙනවා. මේ පහසුකම් යටතේ ගායනා කරනු ලබන සෑම ගීතයක්ම වෙන්වෙන්ව නිරීක්ෂණය කිරීම අපහසු බවද ප්‍රකාශයට පත් වී තිබෙනවා.

කෙසේ වුවත් චීන සංස්කෘතික අමාත්‍යංශය පවසන්නේ මින් ඉදිරියට රටේ ආරක්ෂාවට, ආගමික පසුබිමට හානියක් සිදුවන වචන යෙදූ කැරෝකේ ගීත මෙන්ම, ප්‍රචණ්ඩත්වය කැටි වූ කැරෝකේද තහනම් කරන බවයි.

 

ලෝකයට බලාපොරොත්තු ගෙනෙන

කකුල් තුනේ සිංහයා

 

 

උගන්ඩාවේ වෙසෙන කකුල් තුනක පමණක් ඇති සිංහයකු මේ වන විට ලෝකයේම අවධානය යොමු වෙමින් තිබේ. මේ සිංහයා වයස අවුරුදු හයක් පමණ වයසැති සිංහයෙකි. තම රංචුව සමග කොංගෝවේ විරුංගා වනෝද්‍යානයේදී සිටියදී උගුලකට හසු වීමෙන් මේ සිංහයාට තම පාදයක් අහිමි වී තිබේ. එහෙත් එතැන් සිට මේ දක්වා වෙඩි තැබීමේ උත්සාහයන්, වස දීමේ උත්සාහයන් මෙන්ම කුළු හරකුන්ගේ පහරදීම් රැසක් මධ්‍යයේ තවමත් මේ කකුල් තුනේ සිංහයා නිරුපද්‍රිතව සිටින බව වන ජිවී කැමරා ඇසට නොයෙක් වර හසුවී තිබේ.

දැන් මේ සිංහයා සැලෙකෙන්නේ කිනම් බාධක පැමිණියද ඒ සියල්ල යටපත් කරගෙන නැගී සිටිය යුතු බවට වන පරමාදර්ශයක් වශයෙනි. විශේෂයෙන්ම ලොවම වසංගතය හා බැඳුණු මරණ බිය, රෝ බිය සහ අපේක්ෂා භංගත්වය හමුවේ පීඩනයෙන් සිටියදී ‘ජේකොබ්’ යනුවෙන් නම් ලබා සිටින මේ සිංහයා දෙස බැලීමෙන් බලාපොරොත්තු අලුත් කර ගත යුතු බව වන ජිවී ඡායාරූප ශිල්පීන් පවසා තිබේ.

 

මියන්මාර ජනතාව

බඩගින්නේ මැරේවි

 

 

ලබන ඔක්තෝබර් මාසය වන විට මියන්මාර ජනතාව කොවිඩ් වසංගතය සහ ආහාර හිඟය හේතුවෙන් ඉතා දැඩි අසීරුතාවන්ට පත් වීමට බොහෝ ඉඩ ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගියදා ප්‍රකාශයට පත් කර සිටියේය. එක්සත් ජාතින්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවකට අනුව මේ වන විටත් මියන්මාර් ජනතාව අතරින් මිලියන 3ක් කුසගින්නේ පසුවෙති. ඔවුන් ගණනය කිරීම්වලින් පසු පෙන්වා දෙන්නේ ලබන ඔක්තෝබර් මාසය වන විට මේ සංඛ්‍යාව දෙගුණ වනු ඇති බවයි. එමෙන්ම කොවිඩ් වසංගතයද ඉතා ප්‍රබලව ව්‍යප්ත වෙමින් පැවතීම මේ තත්ත්වය වැඩි දියුණු කිරීමට හේතු වී තිබේ.

කෙසේ වුවද මියන්මාරය හමුදා පාලනයට නතු වීමෙන් පසුව එරට ජනතාව තම ජිවිත නොතකා විරෝධතාවලට එක් වූ අතර ඒ කිසිවකින් යළි අහිමි වූ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යළි ලබා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණේ නැත.

 

හයිටි ජනාධිපති ඝාතනයට

තවත් පිරිසක් අල්ලයි‍

 

හයිටි ජනාධිපතිවරයා ඝාතනය කර මාසයකටත් වඩා වැඩි කාලයක් ඉක්ම ගොස් තිබියදී මේ වන විට 44 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ. පසුගිය ජූලි 7 වැනිදා රාත්‍රියේදී හයිටි ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි ජෙඑනාල් මොයිසි ඝාතනයට ලක් වූ අතර ඒ සම්බන්ධව විවිධ පාර්ශ්වයන්ට චෝදනා එල්ල විය. එහෙත් මේ දක්වා ඒ සම්බන්ධව නිශ්චිතව වග කිව යුතු වන්නේ කවුදැයි තහවුරු කර ගැනීමට හැකියාවක් ලැබී නොමැති අතර කිසිවකු එම ඝාතනයේ වගකීමද බාරගෙන නැත.

හයිටියේ උප ජනාධිපතිවරයා මේ ඝාතනයේ අග මුල සෙවීමට ඇමරිකාවෙන්ද සහය ඉල්ලා සිටි අතර වහාම ඇමරිකානු ආරක්ෂක සාමාජික කණ්ඩායමක්ද හයිටි වෙත එවනු ලැබීය. එහෙත් මේ දක්වා ජෙඑනාල් මොයිසිගේ ඝාතකයන් කවුරුන්දැයි තහවුරු කර ගැනීමට හැකියාවක් ලැබී නැත.

Comments