![නගරයට කැඳවා තිබූ හමුදා රථ ඉදිරිපට උද්ඝෝෂණය කරන ජනතාව](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2021/08/13/0.jpg?itok=5AHHcrVu)
සීලයේ ජනාධිපති බොල්සෙනාරෝ පසුගියදා එරට පාර්ලිමෙින්තුවේ පැවති ඡන්ද විමසීමකින් පරාජයට පත්ව තිබේ. එම ඡන්ද විමසීම පවත්වා ඇත්තේ මැතිවරණ ක්‍රමවේදයට අදාළව නීතියක් සම්පාදනය කර සම්මත කර ගැනීමට උත්සාහ දැරීමේදීය. බ්‍රසීලය තුළ ඉලෙක්ට්‍රොනික ඡන්ද භාවිත කිරීමේ යන්ත්‍ර ක්‍රියාත්මක වන අතර මේ යන්ත්‍ර සඳහා මුද්‍රිත පත්‍රිකාවක් භාවිත කිරීම සඳහා බොල්සෙනාරෝ මෙලෙස තම ව්‍යවස්ථාදායකයෙන් හෙවත් කොංග්‍රසයෙන් අවසර ඉල්ලා තිබේ. එහෙත් කොංග්‍රසය තුළින් ඒ සඳහා අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ලබා ගැනීමට බොලසෙනාරෝට හැකියාවක් ලැබී නැත.
බ්‍රසීල පාර්ලිමේන්තුව හෙවත් කොංග්‍රසය තුළ යමක් සම්මත වීමට නම් ඡන්ද 308ක් හෝ වැඩි සංඛ්‍යාවක් ලබා ගත යුතු වන අතර මෙවර බොල්සෙනාරෝගේ යෝජනාවට ලැබී ඇත්තේ ඡන්ද 229ක් පමණි. කෙසේ වුවද විපක්ෂයද වැඩි ඡන්ද 308 ඉක්මවා ලබා ගැනීමට අසමත් වී තිබූ අතර ඔවුන්ට ලැබී තිබුණේ ඡන්ද 218න් පමණි.
මේ පරාජය ලොව පුරා දේශපාලන විචාරකයන් දක්වා තිබුණේ තවත් අන්ත දක්ෂිණාංශික පාලකයකු ලැබූ පරාජයක් වශයෙනි.
බොල්සෙනාරෝ බ්‍රසීලයේ බලයට පැමිණෙන්නේ හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහයෝගය ලැබීමෙනි.
අන්ත දක්ෂිණාංශිකයකු වන බොල්සෙනාරෝ බලයට පැමිණීමත් සමඟ බ්‍රසීලයේ ආර්ථිකයේ විශාල වර්ධනයක් අපේක්ෂා කර සිටියේ පරිසරය ගැනද තුට්ටුවක මායිම් නොකරමිනි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇමසන් වනයේ අති විශාල ලැව් ගිනි පැතිර ගියේ පෙර නුවූ විරූ පරිද්දෙනි.
එසේ වීමට හේතුව වූයේ බ්‍රසීල රජයේ අනුදැනුම මත වනය වගාවන් සඳහා එළි කිරීමට කටයුතු යෙදීම ලෙස තහවුරු විය. එවර බොල්සෙනාරෝට බ්‍රසීල ජනතාවගෙන් කෙසේ වෙතත් මුළු ලෝකයෙන්ම ඇතිවෙන්නට බැණුම් අසන්නට සිදුවූයේ ලොවටම ඔක්සිජන් ලබා දෙන ඇමසන් වනය විනාශ කිරීමට අනුබල දීම හේතුවෙනි.
දෙවනුව බොල්සෙනාරෝ රටෙන්ම බැණුම් ඇසුවේ ලොව දෙවැනියට කොවිඩ් ආසාදිතයන් බ්‍රසීලයෙන් වාර්තා වීමත් සමඟිනි. ලක්ෂ ගණනින් ජනතාව කොවිඩ් ආසාදනය වීමෙන් මිය යන්නට වූ අතර බොල්සෙනාරෝගේ ආණ්ඩුව සම්බන්ධව ජනතාව තුළ දැඩි කලකිරීමක් ඇතිවන්නට විය.
මෙවර බොල්සෙනාරෝ ව්‍යවස්ථාදායකයේ මතය උරගා බලන්නේ එවැනි පසුබිමක් තිබියදීය. දැන් ඔහුට තමාට ඉදිරියේදී හමුවන ජනතමතය සම්බන්ධව අදහසක් ලබා ගත හැකි වනු ඇත. ඒ බ්‍රසීලය යළිත් මහ මැතිවරණයක් පවත්වන්නේ ලබන වසරේ එනම් 2022 වසරේදී වන නිසාය.
බොහෝ දුරට එම මැතිවරණයෙන් බොල්සෙනාරෝ ඉවතටම විසි වන්නට ඉඩ ඇති බව මේ ව්‍යවස්ථාදායක මත විමසුම සලකුණු පෙන්වා දෙන්නේය.
ලතින් ඇමරිකාවේ වාමාංශික නායක රැල්ලක් හට ගත්තේ අදින් දශක දෙකකට පමණ ඉහත සිටය. වෙනෙසියුලාව, උරුගුවේ මෙන්ම බ්‍රසීලයද එවන්වූ වාමාංශික නායකයන්ගේ පාලනයට නතු වූයේ කියුබාවේද ආශිර්වාදය ලබමිනි.
ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා යනු එම වාමාංශික ධාරාව යටතේ බ්‍රසීලය පාලනය කළ නායකයාය. ඔහු සිරගත කිරිමට බොල්සෙනාරෝ පාලනය කටයුතු කළද පසුව ඔහු නිදොස් කොට නිදහස් කරනු ලැබීය. දැන් ඔහු ලබන වසරේදී බොල්සෙනාරෝගේ ප්‍රතිවාදියා ලෙස මැතිවරණ සටන් බිමට පිවිසීමට නියමිතය.
දැන් බොල්සෙනාරෝට තමන්ගේ ආණ්ඩුවක ව්‍යවස්ථාදායකය තුළ බලය තහවුරු කර පෙන්වීමට නොහැකි පසුබිමක් තුළ ලෝකයේ නම රැන්දූ අසාර්ථකවීම් සහිත පාලන කාලයකින් පසු ජනතාව ඉදිරියට යා හැකි වන්නේ කෙසේදැයි කල්පනා කරමින් සිටිනවා විය හැකිය.
දැන් දැන් පෙනෙන සලකුණු අනුව ඔහු තම පැවැත්ම සඳහා බ්‍රසීල මිලිටරි යාන්ත්‍රණය යොදා ගැනීමට සිතනවා විය හැකිය.
පසුගියදා ව්‍යවස්ථාදායක ඡන්ද විමසීම පැවති අවස්ථාවේදී පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අවට හමුදාව රඳවා තැබීමට කටයුතු යොදා තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේය. යුද ටැංකි පවා එම ගොඩනැගිල්ල අසලට කැඳවා තිබූ අතර ඡන්ද විමසීමෙන් පසු එම ස්ථානවලින් හමුදාව ඉවත් කිරිමට කටයුතු යොදා තිබිණි.
මෙය බොහෝ විදෙස් මාධ්‍ය හඳුන්වා තිබුණේ පාලනයට හමුදා බලය යොදා ගැනීමක් වශයෙනි. ඇතැම් විට මැතිවරණ ජයග්‍රහණයක් උදෙසා ද හමුදාව යොදවා ගැනීමට බොල්සෙනොරෝ පසුබට නොවනු ඇති බවට අනාවැකිද ඒ සමගම පළවී තිබිණි.
මෙවර ව්යස්ථාදායකට ඉදිරිපත් කර තිබූ ඉලෙක්ට්‍රොනික ඡන්ද විමසීමේ මුද්‍රිත කඩදාසි ක්‍රමය ව්‍යවස්ථාදායකය විසින් අනුමත නොකර තිබුණේද ඒ මඟින් මැතිවරණ වංචා කළ හැකි බවට, ඡන්ද මිලදී ගත හැකි වන බවට අනාවැකි පවසමිනි.
මේ සියල්ල අනුව තම අනාගතය බොල්සෙනාරෝ දන්නා බවත්, ඒ අනුව කෙසේ හෝ බලයේ සිටීමට උත්සාහයක් දරමින් සිටින බවත් අනුමාන කළ හැකිය. ඇතැම් විට ඔහුට බලයට ඒමට මග පෑදු ට්‍රම්ප් හිටපු ජනාධිපතිවරයාගෙන් අනුබලද නිසැකයෙන්ම ලැබෙනු ඇත.
එහෙත් මේ සියල්ල කළ හැකි වන්නේ බ්‍රසීල ජනතාවගේ කැමැත්ත ඔහු වෙත හිමි වන තාක් පමණක් බව විශේෂයෙන් පැවසිය යුතු නැත.