බෝල්ට් ගේ අවඥාවට ඇන්ඩ්‍රේ දුන් ටෝකියෝ පිළිතුර | සිළුමිණ

බෝල්ට් ගේ අවඥාවට ඇන්ඩ්‍රේ දුන් ටෝකියෝ පිළිතුර

 

කැනඩාවේ ඇන්ඩ්‍රේ ඩි ග්‍රැසේ පිරිමි මීටර් 200 ඉසව්වේ සිය රන් පදක්කම දිනා ගත්තේ තත්පර 19.62 ක කාලයකින් තරගය නිමකරමිනි. මේ අනුව මිටර් 200 ඉසව්වේ ලොව අට වන වේගවත්ම මිනිසා බවට පත් වූයේ ඔහු ය. 2016 රියෝ හි දී උසේන් බෝල්ට් තත්පර19.78 කින් රන් පදක්කම දිනා ගනිද්දී, එහි රිදී පදක්කම් ලාභියා වූයේ ඇන්ඩ්‍රේ ය. එදා ඔහුට රිදී පදක්කම දිනා ගැනීමට තත්පර 20.02 ක කාලයක් වැයවිණි. එදා රියෝ හි දී බෝල්ට් ඇන්ඩ්‍රේට කළ විහිළුව බොහෝදෙනා ගේ කතාබහට ලක්වි ය.

2016 ඔලිම්පික් හා 2019 ලෝක ශූරතාවයේ දී මීටර් 100 ලෝකඩ සහ මීටර් 200 රිදී පදක්කම දිනාගත් ඩී ග්‍රැසේ අවසානයේ පසුගියදා ටෝකියෝහි ඔලිම්පික් ක්‍රීඩාංගණයේ දී පැහැදිලි රාත්‍රී අහස යට සිය හැකියාව ලොවට කියාපෑවේ ය.

'රියෝ ද ජැනයිරෝ හි පැවති 2016 ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙන් පසුව මම දැඩි පීඩාවකින් පසුවුණා. ඒ සමයේ මම ළාබාලයි. අත්දැකීම් අඩුයි. නමුත් දැන් මට පදක්කම් ගැන බලාපොරොත්තුවක් තිබෙනවා. මට රන් දිනන්න හැකිබව ලෝකයට පෙන්වන්න අවශ්‍යයි.'

2008 බීජිං ක්‍රීඩා උලෙළේ සිට අඛණ්ඩව ඔලිම්පික් තරග 3 ක දී රන් පදක්කම දිනාගත් ජැමෙයිකානු උසේන් බෝල්ට්ගෙන් පසුව මීටර් 200 ඉසව්වේ ප්‍රථම ඔලිම්පික් ශූරයා බවට පත්වීමට ඔහුට හැකි වූයේ ඒ අනුවය.

මෙවර ඩි ග්‍රැසේ රන් පදක්කම හැර වෙනත් කිසිදු පදක්කමකින් තමන් සෑහීමකට පත්නොවන බව මූලික තරගවල සිට ම හඟවා තිබිණි.

ඔහු තරගයේ අවසාන මීටර් 40 දී ඔහුගේ අමෙරිකානු ප්‍රතිවාදීන් අභිබවා කැනේඩියානු ජාතික වාර්තාවක් සමඟ ජයග්‍රහණය ලබා ගැනීමට සියුම් උපක්‍රම සොයා ගත් බවක් පෙනෙන්නට තිබුණි.

'අමෙරිකානුවන් මාව ඉදිරියට තල්ලු කරන බවක් මම විශ්වාස කළා. ඔවුන් මගේ උපරිම පෞද්ගලික දක්ෂතාවය කරා මා රැගෙන යන බව මම අපේක්ෂා කළා.' තරගයෙන් අනතුරුව ඔහු පැවසීය.

'මගේ පෞද්ගලික සහ හොඳම උපරිමය ලබා වසර පහක් ගතවෙලා, ඒක අලුත් කරගන්න එක හොඳයි කියලා තමයි මම හැමවිටම සිතුවේ.'

මේ අතර අමෙරිකා එක්සත් ජනපදය මෙම ඉසව්ව අවසන් වරට ජයග්‍රහණය කළේ 2004 වසරේ දී ය. ඒ අතර නෝවා ලයිල් 2018 වසරේ දී ලොව හොඳම මීටර් 200 ධාවනය සනිටුහන් කිරීමට සමත් වුණේ තත්පර19.74 කින් ඉසව්ව නිම කරමිනි.

ඔහු ටෝකියෝවට පැමිණි සිටියේ ලෝක ශූරයකු වශයෙන් තම රටේ බලා සිටීම අවසන් කිරීමට ය.

නමුත් ලයිල්ස් හා ඔහුගේ සගයා වන කෙනී බෙඩ්නරෙක් ට සෑහීමකට පත්වන්නට සිදුවුණේ ලෝකඩ හා රිදී පදක්කම් වලිනි.

'මගේ සැලැස්ම වූයේ මුළු තරගයටම නායකත්වය දීමයි. මන්ද මේක මගේ තරගය. මම ලෝකයේ හොඳම ක්‍රීඩකයෙක්. නමුත් අවාසනාවකට එය එසේ සිදුවුණේ නෑ.' අවසානයේ ඔහු පැවසීය.

'ඒ වුණත් රිදී පදක්කමක් හරි ලබා ගැනීම ගැන මම ස්තූතිවන්ත වෙනවා, අනාගතයේ දී මට මේකෙන් ගොඩ එන්න පුළුවන්.' ඔහු පවසා තිබිණි.

බෝල්ට් සතුව තිබූ වයස අවුරුදු 20 න් පහළ ලෝක වාර්තාව තමන් සතුකරගත් 17 හැවිරිදි අමෙරිකානු ක්‍රීඩක එරියන් නයිටන්, පිරිමි මලල ක්‍රීඩා ඉසව්වක ළාබාලතම පදක්කම් ලාභියා බවට පත්වීමේ අවස්ථාව අහිමි කර ගත්තේ මෙම ඉසව්වේ සිවුවැනියා වීමෙනි.

මේ අතර ඇන්ඩ්‍රේ ඩි ග්‍රැසේ මිටර් 100 ඉසව්ව තත්.9.89කින් නිම කරමින් එම ඉසව්වේ ලෝකඩ පදක්කම ද දිනා ගැනිමට සමත්විය.

 

 

Comments