ඉරණම ගැන කම්පාවෙන් දෙවියන් යදින තලේබාන්වරු | Page 2 | සිළුමිණ

ඉරණම ගැන කම්පාවෙන් දෙවියන් යදින තලේබාන්වරු

ඇෆ්ගනිස්ථානයට ඒ නම කියනවාට වඩා ‘දකුණු ආසියාවේ කඳුළු බින්දුව’ යැයි කිව හැකිය. මේ කඳුකර දේශය ඒ තරමට ඉතිහාසය පුරා වරින් වර බලවත් රටවල අතවරයට පත් විය. ජනතාව දුගී බවේ පත්ලේ ගීලී යද්දී බලවත් රටවල් තම අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් මේ රටට පා පන්දුවකට සේ පා පහර දුන්හ. අද එහි උච්චතම අවස්ථාව උදා වී තිබෙන්නේ තමන්ම බලෙන් අල්ලා ගත් රට තමන්ට රිසි වූ අවස්ථාවේදී අත් හැර දමා ගිය ඇමරිකාවේ අන්තනෝමතික ක්‍රියා හේතුවෙනි.

දැන් අන්තවාදී මුස්ලිම් තලේබාන්වරු ඇෆ්ගනිස්ථානය අත්පත් කර ගැනීමට ආසන්න අවස්ථාවකට පැමිණ සිටිති. මේ වන විට මසක පමණ කාලයක් පුරා පියවරෙන් පියවර තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අත්පත් කර ගනිමින් සිටින අතර ඇෆ්ගන් රජය ආධාර පතා තවමත් ඇමරිකාව දෙසට හැරී සිටිනු දැකගත හැකිය.

පසුගියදා ඇෆ්ගනිස්ථානයෙන් ලැබුණු පුවත් ආරංචි මාර්ග වාර්තා කර සිටියේ බටහිර ඇෆ්ගනිස්ථානයේ විශාලතම නගරය තලේබාන්වරුන්ගේ ග්‍රහණයට නතු වීමට ආසන්න අවස්ථාවක ඇති බවයි. බටහිර ඇෆ්ගනිස්තානයේ ඇති විශාලතම නගරය හෙරාත් නගරයයි. එමෙන්ම මේ නගරය ඇෆ්ගනිස්ථානයේ තුන්වැනි විශාලතම නගරයද වේ. මේ නගරයට අති දීර්ඝ ඉතිහාසයක් පවතින්නේ අතිතයේ ක්ෂේමභූමියක් වශයෙන් පැවතීම හේතුවෙනි. සහමුලින් කාන්තාරයෙන් වටවී ඇති හෙරාත් නගරය වර්තමාන‌යේද ලක්ෂ හයකට ආසන්න ජනගහනයක් සහිත ක්ෂේමභූමියක් වශයෙන් හැඳින්විය හැකිය. දැන් තලේබාන්වරුන්ගේ ග්‍රහණයට නතුවීමට ආසන්න තත්ත්වයේ පවතින්නේ එකී නගරයයි. අතීතයේ තලේබාන්වරුන්ගේ ග්‍රහණයේ ඇෆ්ගනිස්තානය පැවති යුගයේදී නිදහස් මතදැරූ බොහෝ දෙනා එම පාලනයට විරුද්ධ වුවද කළ හැකි අන් යමක් නොවූයෙන් ඉවසා සිටියහ. 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසුව ඇමරිකාව විසින් ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කරන්නේ එවකට එරට පාලනය කරමින් සිටි තලේබාන්වරුන් පලවා හරිමිනි. දැන් ඇමරිකානු හමුදා ඉවත්ව යෑමත් සමඟ යළිත් තලේබාන්වරුන් ඇෆ්ගන් රජයේ හමුදාවන්ට පහර දෙමින් රටේ බලය තහවුරු කර ගනිමින් සිටිති. මේ වන විට හෙරාත් නගරයේ කාර්යාල, කර්මාන්තශාලා යනාදිය වසා දමමින් ඒවායේ වටිනා ලියකියවිලි විනාශ කිරීමට ඒවායේ හිමිකරුවන් කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබෙමින් තිබේ. ඇතැම් ආයතන තම සේවකයන්ට පවසා ඇත්තේ ආයතන තුළ ඇති තමාන්ගේ ලිපිගොනු ගෙන යන ලෙසයි.

මෙවැනි ලිපි ගොනු මෙන්ම වැදගත් ලියවිලි තලේබාන් සංවිධානය අතට පත්වීම හේතුවෙන් ඔවුන් ඉදිරියේදී පළිගැනීම් කිරීමට ඉඩ ඇති බව අනුමාන වී තිබේ. නැතහොත් ඔවුන් එම ලියවිලි විනාශ කිරීමට ඉඩ තිබේ. තලේබාන් සංවිධානය සෑමවිටම තමන්ගේ පාලන තත්ත්‍රයක් ස්ථාපිත කිරීමට උත්සාහ දැරූ බවට ඉතිහාසය සාක්ෂි සපයන්නේය.

බටහිර දිශාවෙන් ඇෆ්ගනිස්ථාන මායිම වන ඉරානය මේ වන විට තම දේශසීමා කෙරෙහි අවධානය යොමු කර ඇති අතර තලේබාන් සංවිධානය එම දේශසීමාවේ ඇෆ්ගන් ප්‍රදේශවල බලය තහවුරු කර ගෙන සිටිති. ඉරානය මෙන්ම තුර්මෙනිස්ථානය ද ඇෆ්ගනිස්ථානයේ අසල්වැසියන් වන අතර මේ රටවල් සම්බන්ධ කෙරෙන මුරපොළවල මේ වන විටත් තලේබාන් සංවිධාන සාමාජිකයන් කටයුතු කරමින් සිටිති.

හෙරාත් බේරා ගැනීමට නැතහොත් ආරක්ෂා කර ගැනීමට අතිරේක හමුදා එවීමට මේ දක්වාද ඇෆ්ගන් රජය අපොහොසත් වී තිබේ. ඒ සඳහා ප්‍රමාණවත් භට පිරිස් නොමැති බව ඇෆ්ගන් රජය පවසන අතර ඇමරිකානු හමුදා කෙටි කාලයක් තුළ එරටින් ඉවත්ව යෑම හේතුවෙන් හමුදාව ශක්තිමත් කර ගැනීමට කාලයක් ඇෆ්ගන් ආණ්ඩුවට ලැබුණේ නැත.

මේ වන විට වැඩි වශයෙන් තලේබාන් පාලනයට නතු වී තිබෙන බටහිර ඇෆ්ගන් ප්‍රදේශවල සිට දකුණු ප්‍රදේශ දක්වා ජනතාව විශාල වශයෙන් පළා එමින් සිටින බවටද මාධ්‍ය වාර්තා කර තිබේ. ඇතැම් ස්ථානවලින් බෝම්බ පිපිරීම්ද වාර්තා වී තිබේ.

පසුගිය මැයි මාසයේදී ඇමරිකානු හමුදා ඉවත්වීම ආරම්භ වීමෙන් පසු තලේබාන් සටන්කාමීන් අත්පත් කර ගත් විශාලතම නගරය ලශ්කාර් ගර් වූ අතර එම නගරය ලක්ෂ දෙකක පමණ ජනහගණයකින් යුක්ත විය. මේ නගරය අත්පත් කර ගැනීමේදී සිවිල් වැසියන් සියයකට ආසන්න පිරිසක් මිය ගිය බවට වාර්තා ලැබී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ මේ වන විට තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ දිස්ත්‍රික්ක අතරින් අර්ධයක පමණ බලය තහවුරු කර ගෙන සිටින බවයි. මේ වන විට ඇෆ්ගන් අගනුවර වන කාබුල් නගරයෙන්ද බෝම්බ ප්‍රහාර පිළිබඳ පුවත් වාර්තා වෙමින් පවතින්නේ තලේබාන්වරුන්ගේ මීළඟ ඉලක්ක පිළිබඳ අදහසක් ලොවට ලබා දෙමිනි.

තලේබාන් පාලකයන් තවදුරටත් තමන්ගේ ආරක්ෂාව ඇමරිකාව විසින් සපයා දෙන තෙක් බලා සිටින නමුදු ඇමරිකාව මේ දක්වා ඔවුන්ට සතුටුදායක පිළිතුරක් ලබා දී නැත. ඒ වෙනුවට ඔවුන් කඳවුරු පිටින් දින කිහිපයක් තුළදී හිස් කරමින් තම භටයන් පෙරළා තම රටට කැඳවමින් සිටිති.

මේ අතර කාගේවත් අවශ්‍යතා මත තම ජීවිත කනගාටුදායක ඉරණමක් වෙත ගොදුරු කළ අසරණ ඇෆ්ගන් ජනතාව යළිත් වරක් ජීවිත කුණාටුවකට මුහුණ දෙමින් සිටිති. මේ සියල්ල දෙස බලමින් ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ ‘දෙවියන් කොහේද?’ යනුවෙන් පමණි.

Comments