විප්ලවයෙන් පසු කියුබාව මුහුණ දුන් විශාලතම ජනතා විරෝධතාව | Page 2 | සිළුමිණ

විප්ලවයෙන් පසු කියුබාව මුහුණ දුන් විශාලතම ජනතා විරෝධතාව

පසුගිය ඉරිදා කියුබාවට විශේෂ දිනයක් විය. ඒ 1950 කියුබානු විප්ලවයෙන් පසු ඇති වූ විශාලතම ජනතා විරෝධතා ව්‍යාපාරය එදින දියත් කෙරුණු බැවිනි. එදින හවානාද ඇතුළුව කියුබාවේ නගර කිහිපයකම ජනතා විරෝධතා ක්‍රියාත්මක වූ අතර එම විරෝධතා ආණ්ඩුවට විරුද්ධව සිදු කෙරෙන ජනතා විරෝධය දැක්වීම් ලෙස හඳුන්වා තිබිණි.

මේ විරෝධතා ආණ්ඩුවට එරෙහි විරෝධතා වුවද ඒවාට සහභාගී වී සිටියේ සංඛ්‍යාවෙන් සුළු පිරිසක් වීම විශේෂයක් විය. එසේ වුවද විප්ලවයෙන් පසුව සිදුවූ විශාලතම ජනතා විරෝධතා ව්‍යාපාරය ලෙස එය ලොව පුරා මාධ්‍ය විසින් හඳුන්වා දෙනු ලැබිණි.

බීබීසී සේවය වාර්තා කරතිබූ අන්දමට කියුබාව පුරා ස්ථාන 30කදී විරෝධතා සංවිධානය කර තිබිණි. මේ විරෝධතාකරුවන් ගේ ප්‍රධාන චෝදනාව වී තිබුණේ ජනතාවට නිදහස අවම වීම සහ ආර්ථිකය බිඳ වැටෙමින් පැවතීමයි. ආර්ථිකය බිඳ වැටීමට කෝවිඩ් 19 වසංගත තත්ත්වය මෙන්ම ඇමරිකානු සම්බාධකද හේතු වී තිබෙන අතර විරෝධතාකරුවන්ගේ අදහස වී තිබුණේ කියුබානු පාලනය මේ සියල්ලට වගකිවයුතු බවයි.

1950 දශකයේදී ෆිදෙල් කැස්ත්‍රෝ ප්‍රමුඛ තරුණ විප්ලවවාදින් කියුබාවේ ධනවාදී ආණ්ඩුක්‍රමය විප්ලවයක් මගින් වෙනස් කරමින් කියුබාව සමාජවාදී මාවතට ගෙන ඒමට කටයුතු කළහ. ඒ අවස්ථාවේදී විප්ලවය ජයග්‍රහණය කිරීමට කියුබානු වැසියන්ගෙ දායකත්වය ලැබුණු බවද සඳහන් කළ යුතුය. කියුබාවේ සාමාන්‍ය වැසියන්ගේ සහය නොලැබෙන්නට කැස්ත්‍රෝට විප්ලවය ජයග්‍රහණය කිරීමට නොලැබෙන බවද සිහියේ තබා ගත යුතුය. බොලීවියාවේදී චේ අසාර්ථක වන්නේ එරට වැසියන්ගෙ සහය චේ ඇතුළු පිරිස දියත් කළ විප්ලවයට නොලැබීම හේතුවෙනි. එහෙත් කියුබානු ජනතාව ඊට වඩා බුද්ධිමත් වූ බැවින් ඇමරිකාව පාමුල ඇමරිකාවට විරුද්ධ එහෙත් ඇමරිකාවට පරාජය කළ නොහැකි වූ මේ කුඩා එහෙත් සාර්ථක රාජ්‍යය බිහි කිරීමට ෆිදෙල් කැස්ත්‍රෝ ඇතුළු පිරිසට හැකි විය. එසේ වුවද අමතක කළ නොහැකි කරුණ වන්නේ සෑම විටම සෑම දෙයකම යහපත දකින පිරිසක් මෙන්ම අයහපත දකින පිරිසක්ද වන බවයි. එය පොදුවේ සෑම දෙයකටම පොදු තත්ත්වයකි. සැබවින්ම කියුබාව අද වන විට මුහුණ දෙමින් සිටින්නේ මේ තත්ත්වයට බව පැවසිය හැකිය.

ජනතාව පාරට බැස විරෝධතා පවත්වමින් කියුබානු ආණ්ඩුවට චෝදනා එල්ල කර සිටියේ කල් යල් බලා බව පැහැදිලිය. මේ වන විට ප්‍රබල කැස්ත්‍රෝ නාමය කියුබානු දේශපාලනයේ තවදුරටත් දැකිය නොහැකි අතර අඩ සියවසකටත් පසුව කියුබානු පාලනය ඒ හේතුවෙන් කිසියම් දෙදරීමකට ලක්ව ඇතැයි කිසිවකු අනුමාන කරන්නේ නම් එය සාධාරණය. එමෙන්ම කොවිඩ් වසංගතය හමුවේ කඩා නොවැටුණේ කිනම් රටක ආර්ථීකය දැයි සෙවීම කළුනික සෙවීමටත් වඩා අපහසු බව පිළිගත යුතුය. ඒ අනුව මේ වනාහී අවස්ථාව බලා සිදු කළ මනා සංවිධානාත්මක විරෝධතාවක් බව පැහැදිලිය.

කෙසේ වුවද පසුගිය සඳුදා පැවති විරෝධතා හේතුවෙන් එක් පුද්ගලයකු මිය ගිය බවද බටහිර මාධ්‍ය ඉතා විශේෂ කොට දක්වා තිබිණි. කියුබාව පුරා ස්ථාන 30කදී රැස් වූ සාමාන්‍ය ජනතා නියෝජනය වත්මන් ජනාධිපති මිගුවෙල් දියෙස් - කැනල්ට ඉල්ලා අස්වන ලෙස බල කළහ. එහෙත් ඒ සමඟම වාර්තා වූයේ රාවුල් කැස්ත්‍රෝ වහාම තත්ත්වය පාලනය කිරීමට අදාළ උපදෙස් ලබා දුන් බවත්, පාලනාධිකාරීන් සමඟ සාකච්ඡාවකටද එක් වූ බවත්ය. එමෙන්ම විරෝධතා ඉරිදා දිනයෙන් පසු පැවැත්වුණු බවත්ද සඳහනක් නැත. එසේ වුවද මේ එක්දින විරෝධතාවය සඳහා බොහෝ බටහිර මාධ්‍ය ඉතා විශාල ප්‍රචාරයක් නම් ලබා දී තිබිණි.

ඒ අතරම ඇමරිකාවේ කියාබුවට ආසන්නයෙන්ම පිහිටා ඇති ප්‍රාන්තය වන ෆ්ලොරිඩාහි අගනුවර වන මයාමි හිදී දිගින් දිගටම කියුබානු රජයට එරෙහි විරෝධතා නම් ක්‍රියාත්මක විය. මේ විරෝධතාවලට එක්ව සිටියේ කියුබාවෙන් ඇමරිකාවට පලා ආ කියුබානු වැසියන්ය. ඔවුන් නිදහස් කියුබාවක් ඉල්ලා විරෝධතා පැවැත්වූ අතර එම විරෝධතා දින කිහිපයක් දක්වා පැතිරී ගිය බවද වාර්තා විය. එහෙත් කියුබාව තුළ නම් විරෝධතා දීර්ඝව පැවැත්වූයේ නැත.

රටේ ජාතික රූපවාහිනී නාළිකාව හරහා ජනතාව ඇමතූ ජනාධිපති මිගුවෙල් දියෙක් - කැනල් පවසා සිටියේ රටේ ආර්ථිකය බිඳවැටීමට හේතුව ඇමරිකානු සම්බාධක මිස අන් කිසිවක් නොවන බවයි. එබැවින් සැබවින්ම විරෝධතා දියත් කළ යුතු වන්නේ ඇමරිකානු සම්බාධකවලට එරෙහිවය. එහෙත් දැන් ජනතාව උසි ගන්වා ඇත්තේ කියුබානු ආණ්ඩුවට විරුද්ධවය. එබැවින් මේ සම්බාධකවල ආරම්භය සිදුවූ කාලය දක්වා ඉතිහාසයක් ඇති පිරිසක් ඉන් වසර ගණනාවකට පසුව වුවද කියුබානු ආණ්ඩුව බිඳ වැට්ටවීමේ තම උත්සාහය අත්හැර දමා නොමැති බව පැහැදිලිය.

සීඑන්එන් මාධ්‍ය මේ එක්දින විරෝධතාවය සඳහා විශාල ඉඩක් ලබා දෙමින් විරෝධතාකරුවන් බලහත්කාරයෙන් පොලිස් අත්අඩංගුවට පත් කළ බවට ඇසින් දුටු සාක්ෂි ඉදිරිපත් කර තිබිණි. මෙන්ම පොලීසිය සහ ජනතාව අතර ගැටුම්ද ඇති වූ බවට මාධ්‍ය වාර්තා කර තිබිණි. නම් සඳහන් නොකළ පුරවැසියන්ගේ අදහස් ඉදිරිපත් කරමින් තමන් දැඩි පීඩාවකින් ජිවත් වන බවත් දිනෙන් දින අසහනය උග්‍ර වෙමින් පවතින බවත් සීඑන්එන් වාර්තා කර තිබිණි. පොලීසිය සහ ජනතාව අතර ගැටුම් තවතවත් පැතිර යනු ඇතැයි සිතුවද අවම ජනතා සහභාගීත්වය හේතුවෙන් එක් මරණයකින් පමණක් ඛේදවාචකයට තිත තැබිණි.

කෙසේ වුවද තත්ත්වය පාලනය කර ගැනීමට මිගුවෙල් දියෙස් - කැනල් ජනාධිපතිවරයා සමත් විය. කියුබාව මේ වන විටත් සාමකාමීව පවතින නමුදු අළු යට ගිනි දලු පවතින බවත් ඒවාට පිදුරු දැමීමට දශක හතකටත් වඩා වැඩි කාලයක් තිස්සේ ප්‍රතිවිප්ලවය සිදු කිරීමට උත්සාහ දැරූ පිරිසම වෙර දරමින් සිටින බවත් කියුබානු පාලකයන්ට අමතකව තිබිය නොහැකිය. එසේ වූයේ නම් කැස්ත්‍රෝ ඇති කළ සමාජවාදී පාලනය බිඳ වැටී මේ වන විට වසර ගණනාවක් ලෙස සඳහන් වනු නොඅනුමානය.

 

Comments