කොවිඩ් හේතුවෙන් ලෝකයම පඹ ගාලක | Page 2 | සිළුමිණ

කොවිඩ් හේතුවෙන් ලෝකයම පඹ ගාලක

කොවිඩ් වසංගතයේ අවසානයක් දැකිය නොහැකි ඉසව්වක ලෝකයම තවමත් සිරවී සිටී. මේ වන විට එන්නත කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරමින් සිටින බටහිර රටවල්ද තම විශ්වාසය පිළිබඳ තමන්ම අවිශ්වාස කිරීමට පටන්ගෙන ඇති බවක් පෙනේ. එහෙත් එය තරමක් අපහසු වන්නේ එන්නත හැර අන් කිසිඳු බලාපොරොත්තුවක් මිනිස් වර්ගයා සතුව නොමැති බැවිනි.

මේ වන විට බ්‍රිතාන්‍ය කොවිඩි ආරක්ෂණ සීමාකම් කිසියම් ප්‍රමාණයක් දක්වා ඉවත් කිරීමට කටයුතු කර තිබුණද රටපුරා කොවිඩ් ව්‍යප්තියේ අති විශාල අඩුවක් දක්නට නොලැබෙන බව විචාරකයෝ පෙන්වා දෙති. මේ වන විටත් ඩෙල්ටා ප්‍රබේදය ආසාදනය වූවන් ද ඇතුළව දිනකට ආසාදිතයන් 40,000 ඉක්මවා වාර්තා වෙමින් පවතින අතර මරණ සංඛ්‍යාව දිනකට සියයකට ආසන්නයේ පවතී.

එසේ වුවද පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට අඛණ්ඩව පවත්වාගෙන පැමිණි දරුණු සංචරණ සීමාකම් කිසියම් ප්‍රමාණයක් දක්වා ඉවත් කරමින් අගමැති බොරිස් ජොන්සන් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘කරුණාකර කරුණාකර කරුණාකර ආරක්ෂිතව කටයුතු කරන ‘ ලෙසයි. සංචරණ සීමා ලිහිල් කළද රජය විසින් ඉල්ලා සිටිනු ලැබූ පමණින් නිරෝධායන කටයුතුවල නිතර වන ලෙසත් එන්නත් මාත්‍රා ලබා ගැනීමට දැනුම් දෙන දිනවල පැමිණ එම එන්නත් මාත්‍රා ලබා ගන්නා ලෙසත් අගමැතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ පින්සෙන්ඩු වෙන්නාක් වැනි ස්වරයකිනි.

මේ අතර ප්‍රංශය එන්නත් ලබා නොගත් ජනතාවට වෙනම නීති පැනවීමට කටයුතු කිරීමට විරෝධය දැක්වූ ජනතාව හේතුවෙන් පසුගිය සතියේ ප්‍රංශ‌යේ වීථිවල පොලීසිය සහ මහජනතාව අතර ගැටුම් ඇති විය. එසේම බටහිර රටවල නිපදවූ එන්නත් ලබාගත් පුද්ගලයන්ට පමණක් තම රටවලට ඇතුළුවීමට අවසර ලබා දෙන බව බොහෝ බටහිර රටවල් පැවසීමත් සමඟ ලෝකයේ මෙතෙක් නොපැවති තවත් ගැටුමක් උද්ගත වෙමින් තිබේ.

මේ සියල්ල අතර ආසියාව ඉතා දරුණු ලෙස කොවිඩ් වසංගතයට ගොදුරු වෙමින් තිබේ.

ඉරානයේ යළිත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යෑමත් සමඟ සංචරණ සීමා පැනවීමට ආණ්ඩුව තීරණය කිරීමෙන් කෝපයට පත්වූ ජනතාව ආණ්ඩුවට එරෙහිව උද්ඝෝණෂය කරමින් වීථිවලට එක් රැස්වී තිබේ. ඔවුන් ඉතිහාසයේ පෙර නුවූ විරූ ලෙස ඉරාන අධ්‍යාත්මික නායකායටද දොස් දෙවොල් තබමින් කෝපයට පත්ව ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී තිබේ.

මේ සියල්ල අතර ආසියාව දිනෙන් දින වඩවඩා කොවිඩ් වසංගතයේ අවදානම් තත්ත්වයට ගමන් කරමින් සිටින බවක් පෙනේ. බොහෝ විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබුණේ ඉන්දියාව තවමත් අවදානම් තත්ත්වයෙන් ඉවතට පැමිණ ඇතැයි පැවසිය නොහැකි බවයි.

ඉතා විශාල ලෙස එන්නත් ලබා දෙමින් පැවතියද තවමත් විශාල ලෙස ආසාදිතයන් වාර්තා වෙමින් තිබේ. ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ඉන්දියාවෙන් කොවිඩ් සංඛයා ලේඛනවල විශාල අඩුලුහුඬුකම් දැකගත හැකිය.

සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැනට වාර්තා වී ඇති සංඛ්‍යාවට වඩා මිලියන ගනනින් වෙනස් විය යුතු බව විචාරකයන්ගේ මතය වී තිබේ. මරණ සංඛ්‍යාවද එසේමය.

ඉන්දියාවේ බොහෝ දුශ්කර ගම්මානවල සිදුවන කොවිඩ් ආසාදනය වීම් මෙන්ම කොවිඩ් මරණද කිසිවිටෙක කිසිම සංඛ්‍යා ලේඛනයක වාර්තා නොවන බව ඇතැම් මාධ්‍ය සාක්ෂි සහිතව පෙන්වා දී තිබේ. මේ තත්ත්වය ඉන්දියාවට පමණක් නොව ලෝකයේ සියලුම රටවලට පොදු තත්ත්වයක් බවට එකඟත්වයකට පැමිණිය යුතු වන්නේය. ඒ සඳහා හොඳම උදාහරණය වන්නේ චීනයයි.

වරක් චීන ආයතනයක් වූහාන් හි සංඛ්‍යා ලේඛන සම්බන්ධව අදහස් දක්වමින් පවසා තිබුණේ වූහාන් හි පමණක් ආසාදිතයන් ලක්ෂ හත ඉක්මවා වාර්තා වන්නට ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

සංඛ්‍යා ලේඛනවල කිසියම් අඩුවක් සිදුවන්නට ඇති බව තමන්ද පිළිගන්නා බව එම ආයතනය පවසා තිබිණි. ඒ පසුගිය ජනවාරියේදීය.

මේ තත්ත්වය ඉන්දුනීසියාව තුළ මේ වන විට මහා පරිමාණව සිදුවන බව වාර්තා වෙමින් තිබේ. වයිරසයේ ඩෙල්ටා ප්‍රබේදය හේතුවෙන් ඉන්දුනීසියාව මේ වන විට එකම මළගෙයක් බවට පත්ව තිබේ.

බොහෝ ආසාදිතයන් කිසිඳු ප්‍රතිකාරයක් නොමැතිව නිවෙස්වලම මිය යමින් සිටින අතර එම මරණ කිසිඳු සංඛ්‍යා ලේඛනයකට ඇතුළත් නොවන බවද වාර්තා වේ. උද්ගතව ඇති කනගාටුදායක තත්ත්වයට කිසියම් හෝ පහසුවක් ලබා ගැනීම අරමුණු කරගත් ඉන්දුනිසියානු ස්වේච්ඡා සේවකයෝ මේ වන විට ගෙයින් ගෙය යමින් කොවිඩ් මරණ වාර්තා කිරීමටත්, ඒවා නිසි පරිදි අවසන් කටයුතු කිරීමටත් දායකත්වය ලබා දෙමින් සිටිති.

ලෝකයේ ඉතාම හොඳින් කොවිඩ් වසංගතයට මුහුණ දුන් රටක් ලෙස ප්‍රසංශාවට ලක් වූ වියට්නාමය මේ වන විට වසංගතයේ කරවටක් එරී අවසන්ය.

මේ වන විට දිනකට ආසාදිතයන් පන්දහස ඉක්මවා වියට්නාමයෙන් වාර්තා වන අතර මරණ සංඛ්‍යාවද දහස ඉක්මවා වාර්තා වෙමින් තිබේ. මියන්මාරයද නගරවල පවතින ජනතා උද්ගෝෂණ අත‌රේ කොවිඩ් වංසගතයේ දරුණු ව්‍යප්තියක් පෙන්නුම් කරමින් සිටී.

තායිලන්තයද අසරණ වී සිටින අතර සෞඛ්‍ය සේවකයන්ගේද මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව වාර්තා වෙමින් තිබේ.

මේ සම්බන්ධව චීනයේ නිෂ්පාදිත එන්නත්වල ක්‍රියාකාරීත්වයේ ගැටලුවක් ඇතැයි චෝදනා පැමිණිලි ලැබෙමින් පවතින අතර විශේෂයෙන් සිනොවැක්ස් එන්නත් ලබා ගත් පුද්ගලයන් කොවිඩ් ආසාදනය වීමෙන් මරණයට පත්ව ඇතැයි පැවසේ. සිනොවැක්ස් එන්නතේ ශක්‍යතාව සියයට 51ක් බව පැවසෙන අතර එම ප්‍රමාණය වයිරසයේ නව ප්‍රබේදවලින් ආරක්ෂා වීමට ප්‍රමාණවත් නොවන බවද මේ අනුව තහවුරු වී තිබේ.

කෙසේ වුවද මේ වන විට සමස්ත ලෝකයම කොවිඩ් හේතුවෙන් නිර්මාණය වුණු වන අර්බුද රැසකින් පීඩා විඳින බව පැහැදිලිය.

ඇතැම් ඒවා වසංගතය පැතිර යෑමට සම්බන්ධ අතර ඇතැම් ගැටලු එන්නත් ලබා ගැනීම සමඟ සම්බන්ධ වී තිබේ. ඇතැම් ගැටලු ලබා ගත් එන්නත් වර්ග සම්බන්ධයෙන්ද උද්ගත වී තිබේ.

තමන් ලෝකයෙන් උසස්ම යැයි සම්මත කර ගැනීමටත් එය ලෝකයේ සෙසු රටවල් මත පැටවීමටත් උත්සාහ දරන, ඒ ඔස්සේ අනෙකා පාලනය කිරිමටත්, යටපත් කර දැමීමටත් උත්හාස කරන ලොව ප්‍රබල රටවල් කිහිපයක් මෙලෙස කොවඩ් හා බැඳුනු අමතර ගැටලු ලොවට දායාද කරමින් සිටින බව පෙනේ. ඒ අතරතු රයිසරය තවදුරටත් ලොව පුරා තම අණසක පතුරුවමින් සිටී.

 

Comments