![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2021/07/10/333333.jpg?itok=Brk5lfgd)
පසුගිය දින කිහිපයේ කැනඩාවේ උෂ්ණත්වය ඉතා අසාමාන්‍ය ලෙස ඉහළ යෑම නිසා මේ වන විට පුද්ගලයන් 500ක අධික සංඛ්‍යාවක් මියගොස් ඇතැයි වාර්තා වේ. කැනඩාව යනු වසරේ මාස හයකටත් අධික කාලයක් පුරා ඉතා අවම හිරු එළියක් ලබන දැඩි සීතල කාලගුණයක් සහිත රටකි. සීත කාලයට කැනඩාවේ ජනතාවට මුහුණ දෙන්නට සිදුවන්නේ ඉතා කටුක සීතලකටය. එහෙත් පසුගිය දින පහක පමණ කාලයක් තුළදී කැනඩාවේ ඇතැම් ප්‍රදේශවල අධික උෂ්ණ කාලගුණයක් වාර්තා වූ අතර ඒ අධික උණුසුම දරා ගැනීමට නොහැකිව පුද්ගලයන් 500කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
කැනඩාවේ බටහිර ප්‍රදේශයේ පිහිටා ඇති වැන්කුවර් නගරය මෙලෙස අධික උෂ්ණත්වයට ලක් වූ ප්‍රසිද්ධම ප්‍රදේශය වන අතර එයට අමතරව බ්‍රිතාන්‍ය කොලොම්බියා ප්‍රදේශය, ඇල්බර්ටා ප්‍රදේශය සහ ලේටන් නගරයද මෙලෙස අධික උෂ්ණත්වයක් වාර්තා වූ ප්‍රදේශ වේ.
ඇතැම් දිනවල සෙල්සියස් අංශක 50 ට ඉතා ආසන්න උෂ්ණත්වයක්ද මේ ප්‍රදේශවලින් වාර්තා වී ඇති අතර ඒ හැර සෙල්සියස් අංශක 45ට වැඩි උෂ්ණත්වයන් දිනපතා වාර්තා වී තිබිණි. පසුගිය සිකුරාදා දිනයේදී වැන්කුවර් නගරයේ පොලීසිය ප්‍රසිද්ධ කර ඇත්තේ අධික උෂ්ණත්වය හේතුවෙන් එදින පමණක් මරණ 130ක් වාර්තා වී ඇති බවයි. මෙලෙස මියගිය පුද්ගලයන් අතරින් වැඩිදෙනා වැඩිවයස්ගත පුද්ගලයන් වන අතර නොයෙකුත් රෝගාබාධවලින් පීඩා විඳි පුද්ගලයන්ද දැඩි උණුසුම හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ. පසුගිය බ්‍රහස්පතින්දා ලේටන් නගරයෙන් වාර්තා වූ සෙල්සියස් අංශක 49.6ක උස්ණත්වය එතෙක් මෙතෙක් කැනඩාවෙන් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය ලෙස ඉතිහාසගත විය.
මේ අතර වැන්කුවර් නගරයට ආසන්නයේ පිහිටා ඇති ඇමරිකාවේ නගර කිහිපයක්ද අධික උෂ්ණත්වයක් වාර්තා කර තිබේ.
මෙවැනි තත්ත්වයක් හදිසියේ ඇතිවීමට හේතුව මේ ප්‍රදේශ සිසාරා හදිසියේ උණුසුම් වායු දහරාවක් හමා යෑම බව විද්‍යාඥයන්ගේ මතය වී තිබේ. මෙවැනි හදිසි උණුසුම් වායු ධාරා හමා යෑමට හේතුව ගෝලීය උණුසුම ඉහළ යෑම මිස අන් කිසිවක් නොවේ.
කැනඩාවේ වැඩි ප්‍රදේශයක් හිමෙන් වැසී පවතින අතර ග්ලැසියරද දැක ගත හැකිය. එවැනි රටක් හරහා අධික උණුසුම් වායු දහරා හමා යාම යනු අයිස් දියවීමයි. එහි ඇති අතුරු ප්‍රතිඵල යළිත් ගෙන එන්නේ තවත් භයානක අතුරු ප්‍රතිඵල රැසකි.
මෙවැනි උණුසුම් වායු ධාරා ඇතිවීම සම්බන්ධව පසුගියදා ඇමරිකානු ජනාධිපතිවරයාද තම අවධානය යොමු කර තිබේ. පසුගිය සතියේ බටහිර ඇමරිකාවේ නගරාධිපතිවරුන් සමඟ පැවති සාකච්ඡාවකදී ඔහුපවසා ඇත්තේ උණුසුම් වායු ධාරා ඇතිවීම වැළැක්වීමට කළ හැකි සේ සම්බන්ධව අවධානය යොමු කළ යුතුව ඇති බවයි.
පසුගිය සතිය වන තෙක් කැනඩාවේ කිසිඳු ප්‍රදේශයකින් සෙල්සියස් අංශක 45 ඉක්මවූ උෂ්ණත්වයක් වාර්තා වී නොමැති බැවින් මේ උණුසුම් වායු ධාරාව කැනඩාවේ උෂ්ණාධික දින කිහිපය වශයෙන් ඉතිහාසයටද එක්වීමට නියමිතය.