
එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන විපක්ෂය කොතෙක් අපට කීවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) පිහිටෙන් ගොඩයෑමට ගොස් පසුගිය රජය වලේ වැටුණා මෙන් අපත් වලේ වැටීමට සූදානම් නැතැයි මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කරයි.
මනාව ආර්ථිකය කළමනාකරණය කර ගනිමින් රටේ ආර්ථික වර්ධනයත්, ජනතාවගේ සුබසාධනයත්, සංවර්ධනයත් එක ලෙස ඉටු කරමින් ජය ගැනීම අරමුණ බවද සිළුමිණ සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අජිත් නිවාඩ් කබ්රාල් අවධාරණය කර සිටී.
මේ වන විට සැබෑ ලෙසම ආර්ථිකයට මුහුණදීමට සිදුවී තිබෙන අභියෝගය කුමක්ද?
ඇත්තටම මේ අවස්ථාවේ අප මුහුණ දෙන ආර්ථික අභියෝගය තමයි අපේ විදේශ විනිමය ප්‍රමාණය අඩු වීම. මේ අඩු වීම මුළුමනින්ම අපගේ රටේ හෝ ආණ්ඩුවේ වරදකින් සිදු වූවක් නොවේ. මෙය පසුගිය යහපාලන රජය 2015 - 2019 කාලයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇති කළ දුර්වලතාවන් වාගේම කොවිඩ් වසංගත තත්ත්වයත් ඒ වගේම ඒ තුළින් මතු වූ අභියෝගතාත් නිසා සිදුවූවක්.
අපේ රටේ පාලන බලය ලබා ගෙන රට හදන බවට ඕනෑම පක්ෂයක් බලයට පැමිණීමට පෙර කියනවා. පැමිණ බලය ලබාගැනීමෙන් පසු එලෙස ක්‍රියා නොකරන බවට චෝදනාවක් තියෙනවා. මෙය තට්ටු මාරු ක්‍රමයට එකිනෙකාට දොස් කියමින් ජනතාව රවට්ටන බවට මතයක් ගොඩනැඟී තිබෙනවා. ඔබ ප්‍රකාශ කරන්නෙත් එවැනි කතාවක්ද?
නැහැ. සාම්ප්‍රදායිකව බලයෙන් බැහැර වු පක්ෂයට දොස් කීම මගේ ප්‍රතිපත්තිය නොවේ. නමුත් මම තර්කානුකූලව දත්ත විශ්ලේෂණය කරමින් තමයි මාගේ විවේචනය ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ දේශපාලන අරමුණකින් තොරව ඇත්තටම යහපාලන රජය කාලේ අපේ රටේ ආර්ථිකය දුර්වල වුණ හැටි ඉලක්කම් සහිතව පෙන්වාදීමයි මම කරන්නේ.
එසේ නම් දත්ත තොරතුරු මත ඔබට එම රජයේ දුර්වල ආර්ථික කළමනාකරණය හා එහි ප්‍රතිඵල පැහැදිලි කරදීමට හැකිද?
ඔව් අපි වසර 2005 සිට 2014 දක්වා අවස්ථා දෙකකදී මේ රටේ ආර්ථිකය මනාව කළමනාකරණය කරා. සාමාන්‍යයෙන් ආර්ථික වර්ධන වේගය 6.8% මට්ටමේ පැවතුණා. නමුත් යහපාලන රජය 2015 සිට 2019 වන විට ආර්ථික වර්ධන වේගය සාමාන්‍යයෙන් 2.3%ට අඩු තැනකට තල්ලු කර තිබුණා. අපි ඒ අයට රට බාරදෙනකොට අපේ ඒක පුද්ගල ආදායම එක්සත් ජනපද ඩොලර් 3819ක්. ඔවුන් අපට රට බාර දෙන කොට එම ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් 3852ක් වුණා. මේ අවුරුදු 5ටම එක්සත් ජනපද ඩොලර් 33කින් පමණයි ආදායම වැඩිවෙලා තිබුණෙ. රටේ දළ දේශීය නිෂ්පාදිතය එක්සත් ජනපද ඩොලර් බිලියන 80 සිට බිලියන 84දක්වා පමණයි වැඩිවී තිබුණේ. රටේ ණයබරතාව දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 72%ක මට්ටමෙන් අප රට බාර දෙනකොට තිබුණෙ. ඒ අය මේ ප්‍රතිශතය 80%ක් දක්වා වැඩි කළා. එපමණක් නොව රටේ මුළු ණය තොගය රුපියල් ට්‍රිලියන 7.5 සිට 13 දක්වා වැඩි කළා.
අය වැය හිඟය 5.7% සිට 9.6% දක්වා වැඩි වුණා. සේවා නියුක්තිය මිලියන 8.4 සිට මිලියන 8.2 දක්වා අඩු වුණා. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය රුපියල් 131 සිට රුපියල් 185 දක්වා 39%කින් අවප්‍රමාණය වුණා.
තවත් ඔවුන් කළ දේවල් නිසා ආර්ථිකයේ ඇතිවූ දුර්වලතා බොහෝමයි.
විපක්ෂය අද නගන ප්‍රධාන චෝදනාවක් තමයි මේ රජය පැමිණි වහාම රජයේ ආදායම් මාර්ග ලිහිල් කිරීම නිසා ආදායම අඩුවී දැන් ජනතාවට විශාල ලෙස බර පැටවීමට ක්‍රියා කරන බව. එහි ඇත්තක් තිබේද?
ඔවුන් කියන ලෙස වසර 2015 සිට 2019 දක්වා රාජ්‍ය බදු ආදායම 65%කින් වැඩි කර ගත්තත් රුපියල අවප්‍රමාණය වීම, පොලී අනුපාත ඉහළ යාම, ආර්ථික වර්ධනය අඩුවීම නිසා එහි වාසිය ආර්ථිකයට ලැබීම ගිලිහී ගියා. අපි එවැනි දුර්වලතා මඟ හැරවීමට තමයි බදු ආදායම් කැප කරගනිමින් මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ආදායම් බදු ගෙවූ බොහෝ පිරිසකට සෙත සැලසෙන සහන යෝජනාවලියක් ලබා දුන්නේ. එය ඵල දැරීමට පෙරාතුව අවාසනාවකට කොවිඩ් වසංගතය නිසා අපේක්ෂා කළ සුබවාදී කටයුත්ත සිදු වුණේ නැහැ.
කොවිඩ් වසංගතය නිසා ආර්ථිකයේ අංශ ගණනාවක් බිඳ වැටුණා. එය සමස්ත ආර්ථිකය තවදුරටත් දුර්වල කිරීමට දායක වුණාද?
ඔව් කොවිඩ් වසංගතය නිසා දින 66ක් පමණ රට සම්පූර්ණයෙන්ම වැසීම ඉදිරියේ වසර 2020 ආර්ථික වර්ධන වේගය ඍණ 3.6ක් බවට පත් වුණා. එමෙන්ම ඒක පුද්ගල ආදායම ඩොලර් 3682ට අඩු වුණා. දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 81ක් දක්වා අඩු වුණා. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ණය බරතාවය 87% සිට 101% දක්වා වැඩි වුණා. ණය තොගය රුපියල් ට්‍රිලියන 13 සිට 15.1 දක්වා වැඩි වුණා. රුපියලේ අවප්‍රමාණය නිසා ණය තොගය රුපියල් බිලියන 356කින් වැඩි වුණා. සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 4.5කින් අඩු වුණා. ණය ශ්‍රේණිගත කිරීම් ආයතන විසින් ලංකාවේ තත්ත්වය පහළට දමා තිබෙනවා. අපනයන ආදායම් ලැබීම් වැඩි කර ගනිමින් ආනයන සීමා හරහා ආනයන අපනයන හිඟය ඩොලර් බිලියන 6ට අඩු කර ගැනීමට අපට හැකි වුණා.
මේ වන විට ආර්ථිකයේ මතුවී ඇති අභියෝගය කුමක්ද?
අපි මුලින් කිව්වාක් මෙන් රාජ්‍ය ආදායම අපේක්ෂිත මට්ටමට වඩා පහල වැටීම නිසා මූල්‍ය කළමනාකරණය පීඩනයකට ලක්වී තිබෙනවා. කොවිඩ් නිසා සංචාරක ලැබීම් විදේශ ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ ලැබීම් අඩුවී තිබෙනවා. ඒත් එක්කම මේ මාසයේ එක්සත් ජනපද ඩොලර් බිලියනයක ස්වෛරීත්ව බැඳුම්කර කල්පිරීමක් ගෙවීමට සිදුවී තිබෙනවා. කෙතරම් අභියෝග තිබුණත් එම ගෙවීම ඉතාම හොඳින් ඉටු කිරීමට අපට පුළුවන්. මෙහි ඇති විශේෂත්වයකුත් තිබෙනවා.
ඩොලර් බිලියනයක ගෙවීම සම්බන්ධයෙන් පවතින විශේෂත්වය කුමක්ද?
ඇත්තටම මෙම ඩොලර් බිලියන 1න් ඩොලර් මිලියන 300ක් ශ්‍රී ලාංකිකයන් සතු ස්වෛරීත්ව බැඳුම්කර වලට ගෙවිය යුතු ඒවායි. ඉතිරි මිලියන 700 පිටරට අයගේ ඒවා. ඒ නිසා මේ ගෙවීමේදී ශුද්ධ වශයෙන් විදේශ විනිමය ගලා යන්නේ ඩොලර් මිලියන 700ක් පමණයි.
අපේ රටේ විදේශ නිල සංචිතය මේ වන විට කොපමණද? එය වැඩි කර ගන්නේ කෙසේද? විපක්ෂයේ ආණ්ඩුවට අභියෝග කර අසා සිටිනවා. ආණ්ඩුව සතුව මෙය ජය ගැනීමට සැලසුම් තිබේද?
අනිවාර්යයෙන්ම ඔව්. අප සතුව ඉතාම පුළුල් ඒ වගේම විධිමත් සැලැස්මක් තිබෙනවා. දැනට ඩොලර් බිලියන 4ක සංචිතයක් අප සතුයි. මෙය ඩොලර් බිලියන 2කින් වැඩිකර ගැනීමට අපි කටයුතු කර තිබෙනවා. එහිදී ලෝකයේ විවිධ රටවල් සමඟ ඒ වගේම ඒ ඒ රටවල මහ බැංකු සමඟ ද්විපාර්ශ්වික වශයෙන් එකඟතා ගිවිසුම් අනුව විදේශ මුදල් ලබාගැනීමට අප පියවර ගන්නවා. අපි ඒ නිසා දැනටමත් චීනයේ පීපල්ස් බෑන්ක් ඔෆ් චයිනා මගින් ඩොලර් බිලියන 1.5ක ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ඊට අමතරව බංගලිදේශයෙන් (ඩොලර් මිලියන 200) ඉන්දියාවෙන් (ඩොලර් මිලියන 400ක්) මහ බැංකුව හරහා විදේශ මුදල් ලබාගැනීමට සූදානම්. ඒ වගේම චීනයෙන් තවත් ඩොලර් මිලියන 200ක්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 780ක් ලබාගැනීමට සූදානම්. ඒ අතර විදේශ විනිමය වෙළඳපොළෙන් ඩොලර් මිලියන 500ක් ලබාගැනීමට පියවර ගනිමින් ඉන්නේ. අපේ ආනයන සීමා කිරීම නිසා ඩොලර් මිලියන 700ක් අඩුවෙනු ඇතැයි අපේක්ෂා කරනවා. ඒ වගේම විදේශීය රටවල වාණිජ මණ්ඩලවලින්ද ද්විපාර්ශ්වික සාකච්ඡා කරමින් විදේශ විනිමය ලබාගැනීමට අප සූදානම්. මේ තුළින් විදේශ විනිමය සංචිතය ඉහළ නැංවීම සිදු වෙනවා.
පිටරටින් මෙරටට ලැබෙන විදේශ විනිමය අපේ අපනයනකරුවන් රටට ගෙන ඒම ප්‍රමාද කිරීමකින් තොරව සිදුකළහොත් වඩාත් පහසුවක් සැපයෙනවා නේද?
අවංකවම ඔව්. අපේ අපනයනකරුවන් තමන්ට ලැබෙන විදේශ විනිමය මේ අවස්ථාවේ රටට ගෙනවිත් රුපියල් බවට පත් කර ගැනීමට ක්‍රියා කිරිම තාවකාලික අපහසුතාවයෙන් ගොඩඒමට විශාල රුකුලක් වෙනවා. ඒ වගේමයි අපේ ආනයනකරුවන් හැකිතරම් මේ අවස්ථාවට අවශ්‍ය ප්‍රමාණයේ ආනයන පමණක් සිදු කොට විදේශ විනිමය පිටරට යෑම නවත්වාලීමට ක්‍රියා කළ යුතුයි. එය රටට හිතෛශී ආනයන අපනයනකරුවන්ගේ යුතුකමක් හා වගකීමක් බව මේ අවස්ථාවේ කිව යුතුයි.
මේ ආකාරයට විදේශ විනිමය වැඩිකර ගැනීමට අත්‍යාවශ්‍ය භාණ්ඩ සුඛෝපභෝගී භාණ්ඩ ලෙස නම් කොට සීමා කිරීමට ආණ්ඩුව සූදානම්ද?
ශ්‍රී ලංකා මහ බැංකුව විදේශ විනිමය ආරක්ෂා කිරිම සඳහා විවිධ යෝජනා රජයට ඉදිරිපත් කරනවා. නමුත් ඒවා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට පෙර ජනතාවට වග කියන රජයක් ලෙස අප ඒ ගැන පාර්ශ්ව පැති කිහිපයකින් සොයා බලනවා. එසේ සොයා බැලීමෙන් පසුවයි තීන්දුවක් ගන්නේ. දැනට සුඛෝපභෝගී භාණ්ඩ හෝ ජංගම දුරකථන වැනි දේ පිටරටින් ගෙන්වීමට සීමා කිරීමට ගත් තීරණය ක්‍රියාත්මක නොකරන බව වගකීමෙන් මම කියනවා.