විනාඩි 10 ක් බැණ ගනිමින් ජොනී - සජිත් ගේම ඉල්ලති | සිළුමිණ

විනාඩි 10 ක් බැණ ගනිමින් ජොනී - සජිත් ගේම ඉල්ලති

දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ උණුසුම්කාරී තත්ත්වයක් පසුගිය දා සිදු වුයේ පාර්ලිමේන්තුවේදීය. ගෙවී ගිය සතියේ පාර්ලිමේන්තුව 06 වැනි දා සිට 09 වැනි දා දක්වා පැවැත්විණ.

මැති සබය තුළ යම් යම් උණුසුම්කාරී අවස්ථා ඇතිවූයේ විපක්ෂය සිදුකරන ලද උද්ඝෝෂණ හේතුවෙනි. එම විරෝධතාවලට ආණ්ඩු පක්ෂයේ ද පිළිතුරු ලබා දීම නිසා එම තත්ත්වය වඩාත් තීව්‍රර විය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රෝහණ රාජපක්ෂ පසුගිය 08 වැනිදා මුදල් අමාත්‍ය ධුරයේත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේත් දිවුරුම් දීම දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වූ කරුණක් විය.

බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණෙන්නයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරු දැඩිව ඉල්ලා සිටියහ. මේ සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රය තුළ කතාබහක් ඇති විය. බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණෙනවා නම් මේ වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පත් කළ මන්ත්‍රී වරයෙක් ඉල්ලා අස් විය යුතු ව තිබිණි. ජාතික ලැයිස්තුවෙන් පත්කළ පත්කරණ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම ඒ සඳහා ඉදිරිපත් විය. ඒ අතර අලි සබ්රි, සීතා අරඹෙපොළ ,සාගර කාරියවසම්, මහාචාර්ය රංජිත් බණ්ඩාර වැන්නවුන් ද වූහ.

බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු ආගමනය සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල ඇතුළතද කතාබහක් ඇති විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ බැසිල් රාජපක්ෂට පණිවිඩයක් දී තිබුණේ හැකි ඉක්මනින් මුණ ගැසෙන ලෙසයි.

ඒ අනුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මුණගැසුනු බැසිල් රාජපක්ෂට යෝජනාව වූයේ මුදල් අමාත්‍යංශය භාර ගන්නා ලෙසටයි. ඒ වන විටත් අග්‍රාමාත්‍යවරයා යටතේ තිබුණු මුදල් අමාත්‍යංශය භාර ගැනීමට බැසිල් රාජපක්ෂ එකඟ වූයේ නැත.

"මුදල් ඇමතිකම භාරගන්න." අගමැති මහින්ද ස්වේච්චාවෙන්ම මුදල් ඇමති ධූරය සිය සහෝදරයාට යෝජනා කළේය. බැසිල් ඊට ද කැමැත්ත පළ කළේ නැත. ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ පෙරත්ත කිරීම මත බැසිල් පසුව ඊට කැමැත්ත පළ කෙළේය.

බැසිල් රාජපක්ෂ ආණ්ඩුවේ බලවත් අමාත්‍යවරයකු ලෙස සක්‍රීය දේශපාලනයට එකතු වනු ඇති බවට අනාවැකි පළ වූයේ බොහෝ කලක පටන්ය. එහෙත් රාජපක්ෂ පවුලේ කිසිවකුත් ඒ පිළිබඳව කිසිදු අදහසක් පළකරන්නට ඉක්මන් වූයේ නැත. ඔහුට ඇවැසි නම් ඕනෑම විටෙක ඒ සඳහා අවස්ථාව ඇති බව පමණක් රාජපක්ෂවරු පැවසූහ. යම් යම් අවස්ථාවල ඒ සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂගෙන් සතුටුදායක පිළිතුරක් ලබා ගන්නට බොහෝ දෙනා උත්සාහ කළත් ඔහු ඒ සඳහා ඉක්මන් වූයේ ද නැත.

බැසිල්ට දුන්න බලගතු තෑග්ග

තත්ත්වය එසේ වුවත් බැසිල් රාජපක්ෂ වැන්නෙක් පාර්ලිමේන්තුවට පැමිණීමේ ඉඩකඩ අසුරා තබන්නට නම් මේ රටේ බොහෝ දේශපාලන බලවේග ක්‍රියාත්මක වන අයුරු අපට පසුගිය දිනවල දැක බලා ගත හැකි විය. සමහර බලවේග ක්‍රියාත්මක වූයේ ඇතැම් ජනමාධ්‍ය හරහා ය. තවත් සමහර බලවේග සංවිධානාත්මකව සමාජ මාධ්‍ය භාවිතා කරමින් රාජපක්ෂ පවුල සම්බන්ධයෙන් විවිධ මතිමතාන්තර නිර්මාණය කරමින් පතුරුවා හැර බලාපොරොත්තු වූයේ බැසිල් පාර්ලිමේන්තුවට පැමිණීම වළකා තබන්නටය.

ඇතැම් සමාජමාධ්‍ය තොරතුරු පළකළේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් දෙදෙනාම බැසිල් පාර්ලිමේන්තු පැමිණීම සම්බන්ධයෙන් විරෝධය පළකර ඇති නිසා බැසිල් ආගමනය තවදුරටත් කල් යාමට ඉඩ ඇති බව ප්‍රසිද්ධ කරමිනි. මේ පිළිබඳ නිවැරැදි තොරතුරු දැනගත් ජනාධිපතිවරයා පසුගිය සතියේ ඒ ගැන විශේෂ රහසක් හෙළි කළේය...

''සමහර මාධ්‍ය සමහර වෙබ් අඩවි සමාජ මාධ්‍ය එකතුවෙලා කතාවක් පතුරවනවා බැසිල් පාර්ලිමේන්තුවට එනවට මමයි අගමැතිතුමයි විරුද්ධයි කියලා. කොහොමද එහෙම වෙන්නෙ... මමනෙ එතුමට පාර්ලිමේන්තු එන්න කියලා ආරාධනා කළේ...''

ජනාධිපතිවරයා ගේ එම කතාවෙන් පසුව බැසිල් සම්බන්ධයෙන් රටේ පැතිර ගිය ඇතැම් වැරදි මත වලට නිසි උත්තරයක් ලැබුණත් බැසිල්ගේ ගමන ප්‍රමාද කරන්නට හේතු වූ තවත් කරුණක් දේශපාලන කරලිය මත තිබිණි. ඒ වූකලී බැසිල්, විමල්, උදය, වාසු වැනි පොහොට්ටුවේ ප්‍රබලම දේශපාලඥයින් කිහිප දෙනෙකු අතර ඇතිව තිබූ දේශපාලන නොහොද නෝක්කාඩුවයි. මෙම ආරවුල සමනය වනතුරු පාර්ලිමේන්තුවට පැමිණෙන්නට බැසිල් රාජපක්ෂට අවශ්‍ය වූයේද නැත.

අවසානයේ එම ප්‍රශ්නය ද සාකච්ඡාවෙන් හා සම්මුතියෙන් විසඳාගන්නට අවශ්‍ය පරිසරය සකසා දෙන්නට ජනාධිපතිවරයාට හැකි විය.

බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා මන්ත්‍රී ධූරයෙන් ඉවත් වන්නට ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම කැමැත්ත පළ කර තිබීමද විශේෂත්වයකි. මුලින් කතාව ගියේ මහාචාර්ය රංජිත් බණ්ඩාර බැසිල් වෙනුවට ජාතික ලැයිස්තුවෙන් ඉවත් වීමට සූදානම් බවකි. එහෙත් නෙළුම් මාවත කාර්යාලයේ සිදුවුණු අභ්‍යන්තර සාකච්ඡා රැසක ප්‍රතිඵලයක් වශයෙන් මහාචාර්ය රංජිත් බණ්ඩාර වැනි ආර්ථික ක්ෂේත්‍රයේ උගතකුගේ සේවය දිගින් දිගටම පාර්ලිමේන්තුවට අවශ්‍ය බව අවධාරණය විය. අවසානයේ ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා සිය අසුන බැසිල්ට ලබා දෙන්නට කැමැත්තෙන්ම ඉදිරිපත් විය. මේ තීරණාත්මක සාකච්ඡා සියල්ල පසුගිය සති අන්තය තුළ නෙළුම් මාවත කාර්යාලයේ පැවැත්වුණු බවට කරුණු ඇත.

බ්‍රහස්පතින්දා වෙනදාටත් වඩා වේලාසනින් ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලය වෙත පැමිණ සිටියේය. උදේ 8 50ට පමණ යෙදුණු සුබ මොහොතින් බැසිල් රාජපක්ෂ රජයේ මුදල් කැබිනට් අමාත්‍යවරයා ලෙසත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දීමට නියමිතව තිබිණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් හා ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර සමග කාර්යාලයේ ඒ සඳහා සූදානම්ව කතාබහ කරමින් සිටියහ.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂත් බැසිල් රාජපක්ෂත් එකම වාහනයකින් ජනාධිපති කාර්යාලය වෙත පැමිණියහ. ඒ වන විට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා ද පැමිණ සිටියේය. මෙම උත්සවයට සහභාගි වූ අනෙකුත් එකම දේශපාලනඥයා වූයේ නාමල් රාජපක්ෂය. ඒ හැරුණු විට එතැන සිටියේ ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ඉහළ නිලධාරීන්, ජනාධිපති ලේකම් කාර්යාලයේ හා ජනාධිපති මාධ්‍ය අංශයේ අත්‍යාවශ්‍යම නිලධාරීන් කීප දෙනා පමණි.

සුබ නැකතින් බැසිල් රාජපක්ෂ මහතා වත්මන් රජයේ මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබීය. සියලු නිල කටයුතු නිසි වේලාවන් වලටම ඉටු විය.

ඉන් අනතුරුව සියලුම දෙනා පැමිණියේ ජනාධිපති ලේකම්වරයා විසින් සූදානම් කර තිබූ උදේ තේ පැන් සංග්‍රහයට ය. කැවුම් කිරිබත් ඇතුළු සුවිශේෂී දේශීය ආහාරපාන වලින් එම තේ මේසය වර්ණවත් වී තිබෙන අයුරු කාටත් දැක ගත හැකි විය.

''දැන් ඉතින් පාර්ලිමේන්තුවටත් ගිහිල්ලා තව ලොකු වැඩ කටයුතු ගොඩක් කරන්න තියෙනවා...'' ජනාධිපති කීවේය.

'' ඔව්... එතනත් තව දිවුරුම් දීමක් තියෙනවා... ඊට පස්සේ අමාත්‍යංශයට ගිහිල්ලා වැඩ භාරගැනීමත් කරන්න ඕන...'' බැසිල් කීවේය. මේ අයුරින් ටික වේලාවක් කතාබහ කරමින් සිටි නව ඇමතිවරයාත් අගමැතිවරයාත් නාමල් රාජපක්ෂත් ජනාධිපතිවරයාගෙන් සමුගෙන වෙන වෙනම පිටත්ව ගියේ පාර්ලිමේන්තුවට යාම සඳහා සූදානම් වීමට අවශ්‍යව තිබූ නිසාය.

පුරාවිද්‍යාව ගැන අගමැතිගෙන් වටිනා කතාවක්

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අවුරුදු 131 පිරීම නිමිත්තෙන් පැවැත්වුණු විශේෂ සංවත්සර උත්සවයක් හා සාකච්ඡාවක් පසුගිය 7 වන බදාදා උදේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයෝ වූහ.

උත්සවය ආරම්භ වූවාට පසුව උත්සව සභාවේ අරමුණ පැහැදිලි කරමින් පුරාවිද්‍යා ජනරාල් මහාචාර්ය අනුර මනතුංග විශේෂ කතාවක් කළේය. ඔහු ගේ දේශනය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවුරුදු 131 අතීතය පිළිබඳ සාරගර්භ සංක්ෂිප්ත හරස්කඩක් බඳු විය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් එදා කළ දේ අද කරන දේ සහ හෙට කරන දේ පිළිබඳ අපූර්ව පැහැදිලි කිරීමක් ඔහු කරනු ලැබීය.

උත්සවය අමතා ජනාධිපතිවරයා කතා කළේ නැත. එහෙත් අගමැති මහින්ද රාජපක්ෂ හරි අපූරු විශේෂ කතාවක් කරමින් පුරාවිද්‍යාව යනු එක් ජාතියකට එක් ආගමකට හෝ එක් සංස්කෘතියකට කොටු වූ දෙයක් නොවන බව පැහැදිලි කළේය. ලංකාවේ පුරාවිද්‍යාව යනු ලංකාවේ ජීවත් වන අප සැමගේ ම උරුමය බව ඔහු පෙන්වා දුන්නේය.

131 වන සංවත්සරය නිමිත්තෙන්, මේ රටේ පුරාවිද්‍යාව වෙනුවෙන් ඉතා විශිෂ්ට සේවාවක් කළ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් සම්මාන ප්‍රදානයක් ද මෙහිදී ජනාධිපතිතුමා ගේ අතින් සිදු කෙරිණි.

මැතිසබය අත්හිටවූ විට කලාතුරකින් සිදුවන සිද්ධියක් ජූලි 7දා දින මැතිසබය තුළ සිදුවූයේ දිවා විවේකය සඳහා දහවල් 12.30 ට මැතිසබය අත්හිටුවූ අවස්ථාවේදී ය.

රනිල්ට වැඩ ගොඩයි ආසනවලට අලුත් මුහුණු

කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් දිවා ආහාරය සඳහා දහවල් 12.30 ට මැතිසබය අත්හිටුවන විට අදහස් දක්වමින් සිටියේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ය. විපක්ෂය විසින් මීට පෙර ආණ්ඩු පක්ෂයට එල්ල කරන ලද චෝදනාවලට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පිළිතුරු ලබාදෙමින් සිටින විට දිවා විවේකය සඳහා සභාව අත්හිටවූ කථානායකවරයා පිටව ගියේය.

මේ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු ද සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ප්‍රමුඛ විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද සභා ගර්භයෙන් පිටවීම සඳහා තම ආසනවලින් නැඟී සිටීමට සූදානම් වූහ.

මේ සමඟම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යමක් ප්‍රකාශ කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු යමක් පැවැසුවේය.

පසුව දෙදෙනාම මහත් උස් හඬකින් අදහස් ප්‍රකාශ කරගනිමින් කතා කරන්නටවූ අතර පසුව එය උණුසුම්කාරී විවාදයක් බවට ක්‍රමයෙන් පත්විය.

ක්‍රම ක්‍රමයෙන් දෙදෙනා අතර විවාද උණුසුම් වූ අතර “උඹ දැනගනින්, උඹේ කනට ගහනවා, පලයන් යකෝ යන්න, පුළුවන් නම් වරෙන්” යනුවෙන් තවත් උණුසුම් වචන සමඟ දෙදෙනා අතර දැඩි වාග් සංග්‍රාමයක් සිදු විය.

සජිත් ප්‍රේමදාස සිදු කළ තවත් ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ ඔයාගේ තාත්තාටවත් තමා බිය නොවූ බවයි.

එක්සත් ජාතික පක්ෂ නායකයාට ඉකුත් සතිය කාර්යය බහුල වූවේ පාර්ලිමේන්තු කටයුතු සහ පක්ෂ කටයුතු වෙනුවෙන් කාලය වෙන් කිරීමට වූ නිසාය. කොවිඩ් අර්බුදය හේතුවෙන් පක්ෂ හමුවීම් සාකච්ඡා නොපවැත්වුණ ද මෙම සතියේ දින පහම නායකයා සිරිකොත පක්ෂ මූලස්ථානයේ රැඳී සිටියේ ය.

නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහලේකම් රංගේ බණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන, සාගල රත්නායක ආදී පක්ෂ ක්‍රියාකාරීන් මෙන්ම පාක්ෂිකයන් ද සිරිකොතට පැමිණ සිටියහ. එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත්ව වෙනත් පක්ෂයකට සහාය දැක්වීමට ගිය ප්‍රාදේශීය සභා, නගර සභා මන්ත්‍රීවරු පිරිසක්ද ඉකුත් අගහරුවාදා හා බදාදා සිරිකොතට පැමිණ සිටිය හ.

"ඔබතුමාගේ අවශ්‍යතාව රටටත්, ජනතාවටත් වෙනදාටත් වඩා අද දැනිලා තියෙනවා. ජනාධිපති කකුලෙන් අදිද්දි ඔබතුමා කරපු වැඩ කොටස දැන් තමයි ජනතාවට තේරෙන්නේ. ඒ අය තමන් ගත්තු තීරණය ගැන අද පසු තැවෙනවා." සිරිකොතට පැමිණි වැඩිහිටියෙකු නායකයා සිය නිල කාමරයට යන අතරතුරදී නවතා ගෙන කීවේ ය.

"ජනතාව අපිව අමතක කළාට අපි ජනතාව අමතක කළේ නෑ. මිනිස්සු එහෙම තමයි ඉක්මණින් හැම දේම අමතක කරනවා. ඇත්ත දැන ගන්නේ පරක්කු වෙලා." නායකයා කීවේ ඔහුගේ උරහිසට තට්ටුවක් දමමිනි.

නායකයා නිල කාමරයට යද්දී ඒ පසුපසින් රුවන්, රංගේ, වජිර, සාගල ඇතුළු පිරිස ද පැමිණියේ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු ගැන සාකච්ඡා කිරීමටය. රුවන් හා රංගේ පළමුව ප්‍රාදේශීය සභා, නගර සභා මන්ත්‍රීවරු යළි පක්ෂයට එකතුවීමේ කටයුතුවල ප්‍රගතිය කියා සිටියහ.

"මේ කට්ටියට අලුත් වගකීම් දෙන්න. එයාලට ගමට ගිහින් වැඩ කරන්න කියන්න." නායකයා කීවේ රුවන් හා රංගේ දෙස බලමිනි.

"ආසන සංවිධායකවරු අලුතින් පත් කරන්නත් තියෙනවා. ගමට ගිහිල්ලා වැඩ කරද්දී මේ ගැනත් කල්පනා කරලා වැඩපිළිවෙළක් සකස් කරන්න වේවි." සාගල ද කතාවට එක්වූවේ ය.

"ඔව් අපිට සෑම අාසනයකටම කමිටුවක් පත් කරන්න පුළුවන්. ඒ කමිටුව හරහා ආසනයේ වැඩ කටයුතු කරන්න පුළුවන්." කී වජිර පක්ෂ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් ගෙන තිබෙන ප්‍රගතිය හා ඉදිරි කටයුතු ගැන දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කළේ ය.

"අපිට අලුත් මුහුණු හා අලුත් වැඩපිළිවෙලක් සමග තමයි ඉදිරියට යන්න වෙන්නේ. මේක සැහැල්ලුවෙන් ගන්න එපා. ලබන සතියේ ඉදන් මේ වැඩේට බහින්න. කමිටු හදන වැඩේ ඉක්මන් කරන්න." යැයි නායකයා කීවේ දැඩි ස්වරයෙනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අපේ රටේ සිරිත් පරිදි සතිපතා පැවැත්වෙන රැස්වීම් කිහිපයක් තිබේ. කොවිඩ් මර්දනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ රැස්වීම ද දැන් එවැන්නක් බවට පත්ව ඇත.

එන්නත් වැඩ පිළිවෙළ සාර්ථකයි

පසුගිය සති අන්තයේත් මේ රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, ප්‍රසන්න රණතුංග, පවිත්‍රා වන්නිආරච්චි, රමේෂ් පතිරණ වැනි දේශපාලනඥයින් කිහිප දෙනෙකුට අමතරව මේ සඳහා නිතිපතාම පැමිණෙන ආරක්ෂක ප්‍රධානීහු සෞඛ්‍ය බලධාරීන් වෛද්‍ය සංගමයේ ප්‍රධානීන් හා රාජ්‍ය නිලධාරීහු සියලු දෙනාම මෙවරද එම රැස්වීමට පැමිණ සිටියහ.

මෙවර මුලින් ම ජනාධිපතිවරයාගේ අවධානය දිනාගත් කාරණාව වූයේ එන්නත්කරණයයි. එන්නත්කරණයේ වර්තමාන තත්ත්වය විමසමින් ඔහු සාකච්ඡාව ආරම්භ කළේය...

"බස්නාහිර පළාතේ හැටට වැඩි අය වෙනුවෙන් අපි මුලින්ම අවධානය යොමු කළා. දැන් එහි වැඩ බොහෝ දුරට අවසන්. ඔවුන් වෙනුවෙන් දැන් දෙවැනි එන්නතත් පටන් අරගෙන ඉවරයි. දැන් අපි පිට පලාත්වල එන්නත්කරණය ආරම්භ කරලා තියෙනවා... කොළඹ අනුගමනය කරපු ක්‍රමයටම අපි ඒ පළාත් වලත් එන්නත්කරණය කරගෙන යනවා..."

සෞඛ්‍ය බලධාරීන් එසේ පවතින තත්ත්වය විග්‍රහ කරද්දී ජනාධිපතිවරයා එන්නත් ගෙන්වීමේ නව ප්‍රවණතා විමසා බැලිය...

"මුලින්ම අපි මූණදුන්නෙ එන්නත් හිඟ කමකට. ඒක හින්දා අපිට බොහෝම ප්‍රශ්න මතු වුණා. දැන් මුළු ලෝකයෙම රටවල් අපට එන්නත ලබා දෙනවා. අපි දැන් ඒක ඉක්මනට ජනතාවට දෙන්න බලමු. බස්නාහිර පළාතේ අවදානම වැඩි නිසා අපි 30 ට වැඩි හැමෝටම දෙමු. එන්නත්කරනය හැරෙන්න අපට වෙනත් විකල්පයක් නෑ..." ජනාධිපති පැහැදිලි කළේය. 

"අපි දැන් හොස්පිට්ල්වල සෙන්ටර්ස් ඇරලා තියනවා. කැමති කෙනෙකුට කැමති තැනකට ගිහිල්ලා අදාල ලියකියවිලි දීලා එන්නත විද ගන්න පුළුවන්..." වෛද්‍යවරු පැහැදිලි කළහ.

"යුද හමුදාවත් ඒ වගේ සෙන්ටර්ස් ඇරල තියෙන්නෙ. එකවර විශාල පිරිසකට දෙන්න පහසුකම් අපට තියෙනවා... අපේ එන්නත් කරන වැඩපිළිවෙළ ඉතාම සාර්ථකයි...'' හමුදාපති පැහැදිලි කළේය..

"බොහොම හොඳයි.. මේ විදියට මේ වැඩපිළිවෙළ ඉදිරියට අරන් ගියොත් අපිට සැප්තැම්බර් වෙනකොට රට සම්පූර්ණයෙන්ම සාමාන්‍යකරණය කරන්න පුළුවන්. එහෙම කළේ නැත්නම් මේක ගොඩ ගන්න බෑ. විශේෂයෙන් ආර්ථිකය ගොඩ ගන්න නම් ඉක්මනට අපි මේ බැරියර්ස් අරින්න වෙනවා. ඒ වගේම තමයි ළමයින්ගේ අධ්‍යාපනය ගැනත් අපි විශේෂයෙන් බලන්න වෙනවා. එන්නත් කිරීමේදී ගුරුවරුන් ගැන විශේෂ අවධානය යොමු කරන්න ... පාසල් අරින්න නම් නම් ගුරුවරුන් නිරෝගී වෙන්න ඕන.." ජනාධිපති පැහැදිලි කළේය.

ඉන් පසුව ජනාධිපතිවරයා විමසා බැලුවේ ''ෆයිසර්'' එන්නතේ පැමිණීම ගැනය.

"ෆයිසර් එන්නත දැන් දිගින් දිගටම එනවා. දැඩි අවදානම් තියෙන කට්ටියට දෙන්න තියන හොඳම එන්නත ෆයිසර්..." ප්‍රසන්න ගුණසේන පැහැදිලි කිරීමක් කළේය.

ඉන් අනතුරුව වෛද්‍යවරුන් හා දේශපාලනඥයන් අවධානය යොමු කරමින් කතා කළේ හෙද හෙදියන්ගේ වැඩවර්ජනය ගැනය...

"අපි මේක මේගොල්ලන්ගේ වෘත්තීය සමිති එක්ක කතා කරලා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්ට ඕන... අද මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ සාකච්ඡා කරන්න එනවා" ජනාධිපති කී‌වේය.

Comments