
“මහින්ද පැරැද්දුවේ බැසිල්, මහින්ද පරාද කරපු බැසිල් පැදුරටත් නොකියා ඇමෙරිකාවට ගියා.“ යනුවෙන් රාජපක්ෂ විරෝධීන් ප්‍රකාශ කළේ 2015 ජනවාරි මස 08 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් දින 3, 4කට පසුවය. 2015 ජනවාරි 08 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජය කළ මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කරන්නේ වැඩි ඡන්ද ලක්ෂ 4කිනි. එය තියුණු ඡන්ද ප්‍රතිඵලයකි. එය යම් ආකාරයකට දෙවැනි වන්නේ 2005 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵලවලට පමණි. එවර මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කරනු ලබන්නේ රනිල් වික්‍රමසිංහ වැඩි ඡන්ද එක්ලක්ෂ අසූ දහසකින් පමණ පරාජයට පත්කිරීමෙනි. ඒ අනුව 2005 වසරේදී මහින්ද පරාජය කර මෛත්‍රී ජයග්‍රහණය කරනු ලබන ලක්ෂ 4ක ඡන්ද ප්‍රමාණය විශාල වෙනසක් නොවන්නේ ඊට තවත් හේතු සාධක පවතින නිසාය.
නමුත් රාජපක්ෂවරුන් මෙරට දේශපාලනයෙන් මුළුමනින්ම ඉවත් කර දැමීමට සැලසුම් කළ පිරිසට අවශ්‍ය වූයේ බැසිල් රාජපක්ෂට දෝස්මුරය එල්ල කරමින් දිගට හරහට ප්‍රහාර එල්ල කිරීමටය. රාජපක්ෂ පවුලේ සමගිය දේශීය මෙන්ම විදේශීය පිරිසකට ද ප්‍රබල ගැටලුවක් වී තිබුණු බව රහසක් නොවේ.
රාජපක්ෂ පවුලේ සමගිය බිඳ වැටීමකට ලක් නොකොර රාජපක්ෂ පවුල මෙරට දේශපාලනයෙන් ඉවත් කිරීමට නොහැකි බව රාජපක්ෂවරුන්ට එරෙහි පිරිස් ඉතා හොඳින්ම වටහා ගෙන තිබුණි. ඒ නිසා ඔවුන් වැඩි වශයෙන්ම පහර දුන්නේ බැසිල් රාජපක්ෂටය. මහින්ද රාජපක්ෂගේ දේශපාලන නායකත්වය සඳහා එක් පැත්තකින් ගෝඨාභය රාජපක්ෂගේ සහයෝගය හිමිවන විට අනෙක් පැත්තෙන් හිමිවූයේ බැසිල් රාජපක්ෂ ගේ සහයෝගයයි. 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ දේශපාලන ව්‍යාපාරයේ ප්‍රධාන භූමිකාවක් සිදුකරන ලද්දේ ද බැසිල් රාජපක්ෂ විසිනි. එම ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණයට ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය තීරණාත්මක සාධක වූ බව නොකියාම බැරිය.
එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විමල් වීරවංශ සහ ජාතික හෙළ උරුමයේ පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් එම තීරණාත්මක සාධක වෙනුවෙන් විශාල මෙහෙයක් සිදුකරන විට එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ ඊට අවශ්‍ය කරන පසුබිම සකස් කිරීමට බැසිල් රාජපක්ෂ ද කටයුතු කළ බව නොකියාම බැරිය. 2016 වසරේදී බැසිල් මෙරටට පැමිණෙන විට යහපාලන ආණ්ඩුව විසින් බැසිල් රාජපක්ෂට එරෙහිව නඩු පිට නඩු දමා තිබුණි.
බැසිල් ගුවන් තොටුපොළේදීම අත්අඩංගුවට ගන්නා යහපාලකයන් මධ්‍යම රාත්‍රිය පසුවන විටත් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විවෘත කරමින් නඩු අසා බැසිල් රක්ෂිත බන්ධනාගාරගත කළේය. බැසිල් පොලීසිය මඟින් අත්අඩංගුවට ගන්නා විටත් බන්ධනාගාර බස් රථයක් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ භූමියට කැඳවීම තුළින්ම පෙන්නුම් කෙරෙනුයේ යහපාලන ආණ්ඩුවේ තිබුණු බැසිල් විරෝධී බව නොවේද? 2015 වසරේදී රාජපක්ෂ ආණ්ඩුව පරාජය කිරීමට බෙහෙවින්ම ඉවහල් වූයේ රනිල්, මංගල එක්වී එල්ල කරන ලද මඩ ප්‍රහාර ය.
පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනට ද පසුව එම මඩ ප්‍රහාරවලට හවුල් වන්නට සිදුවිය.
“මහින්දගේ මුදල් ඩුබායිවල හංගලා, ස්විසර්ලන්තයේ හංගලා, නාමල්ට ලැම්බෝ ගිනි ගෙන්වලා, මහින්දගේ දරුවන්ට පිට උඩ යන්න රත්තරං අශ්වයින් ගෙන්නලා, බේබිලාට හෙලිකොප්ටර් ගෙන්නලා, බැසිල්ට හැමතැනම ගෙවල්“ ඇතුළු කතන්දර රනිල්, මෛත්‍රී, මංගල විසින් ගොතන ලද්දේ බලා සිටියාක් මෙනි. කැපී පෙනෙන ගෙයක් දුටුවොත්, වතු බංගලාවක් දුටුවොත් එය බැසිල් රාජපක්ෂගේ බව ඒත්තු ගැන්වීමට එදා විපක්ෂය නොගත් උත්සාහයක් නැත.
කිරුළපන බලපොකුණ පාරේ පිහිටි සුවිසල් නිවස බැසිල්ගේ බවට විශාල ප්‍රචාරයක් ගෙන ගියේය. පසුව සොයා බැලීමේදී හෙළිදරව් වූයේ එම නිවස හවුස් ඔෆ් ෆැෂන් හිමිකරුගේ නිවස බවයි. තවත් අවස්ථාවකදී කියා සිටියේ කොළඹ කෞතුකාගාරය ඉදිරිපිට පිහිටි සුවිසල් මන්දිරය ද බැසිල් රාජපක්ෂගේ කියාය. එම සුවිසල් නිවස අයිතිව තිබුණේ බැසිල් රාජපක්ෂට නොව මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරාටය.
‘දිවිනැඟුම‘ වැඩසටහන බැසිල් සාර්ථකව සිදුකළ අතර එමඟින් ග්‍රාමීය දිළිඳු ජනතාවට හිමිවූ සහන බොහෝය. නමුත් ‘දිවිනැඟුම‘ වැඩසටහනට ද පසුගිය යහපාලන ආණ්ඩුව විසින් චෝදනා ගොනුකරන ලදි.
“බැසිල් බට අරගෙන“ යනුවෙන් ද ඔවුන් චෝදනා එල්ල කරන ලද්දේ බැසිල් රාජපක්ෂට තවත් මඩ බාල්දියක් එල්ල කිරීමේ අරමුණෙනි. පළාත් පාලන ආයතනවලට වසර ගණනාවක් තිස්සේ නොලැබුණු බට බැසිල් මැදිහත් වී බෙදා දුන්නේ එය ජනතාවගේ වැඩකටයුතුවලට අත්‍යවශ්‍ය වන නිසාය.
ප්‍රාදේශීය වශයෙන් සංවිධාන කෙරෙන උත්සව, මංගල උත්සව, අවමංගල උත්සව, ආගමික උත්සව ඇතුළු සියලු උත්සව වලදී කොඩි සිටුවීම සඳහා මෙම යකඩ බට යොදා ගැනෙන අතර එමඟින් උත්සවයට අවශ්‍ය කොඩි ලබා දෙන නිසා ඒ වෙනුවෙන් වියදම් කිරීමට සිදුවන්නේ අවම මුදලකි. බොහෝවිට පළාත් පාලන ආයතන මඟින් මෙම කොඩි කණු ලබාදෙනු ලබන්නේ මුදල් අයකිරීමකින් තොරවයි.
මෙමඟින් කිසිදු දේශපාලන භේදයකින් තොරව ප්‍රාදේශීයව ජනතාවට ප්‍රතිලාභ රැසක් අත් වූ බව නොරහසකි. නමුත් එවකට පැවති යහපාලන ආණ්ඩුවට අවශ්‍ය වූයේ කෙසේ හෝ බැසිල් රාජපක්ෂට මඩ ප්‍රහාර එල්ල කිරීමටය. මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ යන රාජපක්ෂවරුන්ට එරෙහිව ඒ වනවිටත් මෙහෙයුම් ආරම්භ කර තිබුණි. මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මෙන්ම බැසිල් රාජපක්ෂගේ බිරිඳ පුෂ්පා රාජපක්ෂ ද රාජපක්ෂවරුන්ට එරෙහි දඩයම් ලේඛනයේ සඳහන්ව තිබූ තවත් නම් දෙකකි.
බැසිල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන්ට සහ තවත් පුද්ගලයින්ට එරෙහිව එවකට පැවති යහපාලන ආණ්ඩුව මඟින් සිදු කරන ලද දේශපාලන පළිගැනීම්වලට අදාළ සිද්ධිවලට එක්වූ කරුණු අනුව තවත් මඩ ප්‍රහාරයක් එල්ල කිරීමට ද යහපාලන ආණ්ඩුව කටයුතු කළ බව දන්නේ ස්වල්ප දෙනෙකි.
මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයට (FCID) කැඳවන පුද්ගලයන්ගේ සාක්ෂි සහිත වාර්තා, ජනාධිපති කොමිසමට කැඳවන පුද්ගලයන් ලබාදෙන කට උත්තර, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණ ලබාදෙන කට උත්තරවල තොරතුරු තෝරාගත් මාධ්‍ය කිහිපයකටම ලබාදී තවත් මඩ ප්‍රහාර එල්ල කිරීමේ ක්‍රියාවලියක් එවකට පැවති යහපාලන ආණ්ඩුව මඟින් ආරම්භ කර තිබුණි.
ඇතැම් B වාර්තා අධිකරණයට යෑමටත් පෙර යහපාලන ආණ්ඩුවට හිතවත් වෙබ් අඩවිවල මුළුමනින්ම පළවීමද එකල බරපතළ ප්‍රශ්නයක් වී තිබුණි. ඊට අමතරව එම වාර්තා සති අන්තයේ පළ වූ ඇතැම් විකල්ප පුවත්පත්වලට ද යහපාලන ආණ්ඩුව මඟින් ලබාදි තිබූ අතර ඊට අදාළ කරුණු ගණනාවක්ම එම ඇතැම් විකල්ප පුවත්පත්වළ ද පළවී තිබුණි.
මෙම තොරතුරු තෝරාගත් මාධ්‍යවලට ලබාදීම සඳහා යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමට ක්‍රියා කළ ඇතැම් සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු ද සිටියහ.
බැසිල්ට පමණක් නොව බැසිල්ගේ බිරිඳගේ සාරියේ කටුව ගැසීමට ද හමුදා සෙබළියන් සිටි බව කරුණු ගොතමින් මඩ ගැසුවේ මෙම සිවිල් ක්‍රියාකාරීන් බව දැනටමත් ඔප්පු වී ඇත.
මෙම මඩ ප්‍රහාර 2015 වාගේම 2020 ප්‍රධාන මැතිවරණවලදී යොදා ගන්නා ලදී. මෙම මඩ යොදා ගත්තේ මැතිවරණවලදී පාවිච්චි කිරීමටය. එහිදී මඩ වරුසාවක් එල්ල කරන ලද්දේ බැසිල් රාජපක්ෂටමය.
මෙසේ යහපාලන ආණ්ඩුව විසින් එල්ල කරන ලද සියලුම චෝදනා පදනම් විරහිත බව වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කරන ලද දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේදී ද හෙළි විය.
රන්ජන් රාමනායකලාගේ, ශානි අබේසේකරලාගේ හොරා - පොලිස් සෙල්ලම රටට හෙළි වූයේ නිකම්ම නොවේ. ඒවා හෙළිවූයේ හඬපට ද සමඟිනි. ජනාධිපති විමර්ශන කොමිසමට පැමිණි යහපාලන ආණ්ඩුවේ එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහ ඉතා පැහැදිලිවම කියා සිටියේ FCID ය නීති විරෝධී එකක් බවයි.
එවකට පැවති ආණ්ඩුවේ අගමැතිවරයාම FCID ය නීති විරෝධී ආයතනයක් බව ප්‍රකාශ කරනවා නම් ඊට එහා තවත් කතාවක් නැත.
එම තර්කයෙන් FCID ය විසින් ගොනුකරන ලද සෑම නඩුවක්ම විසිවන්නේය. FCID ය බොරු චෝදනා ගොනුකරමින් එවකට විපක්ෂයේ සිටි දේශපාලනඥයින් 16 දෙනෙකු පමණ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කර තිබුණි.
රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින්, රහස් පොලිස් නිලධාරින්, FCID නිලධාරින්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවේ නිලධාරින්, පොලිස් නිලධාරින් ගෙන්වා සිදු කරන ලද බලපෑම් සම්බන්ධයෙන් රටට සාක්ෂි සහිතව කරුණු හෙළි විය.
නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත්, FCID එවකට හිටපු ප්‍රධානි රවි වෛද්‍යාලංකාර, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාවේ එවකට හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ කරන ලද කරුණු හෙළිදරව් කිරීම් නිසා අරලියගහ මන්දිරයේ සිදු වූ නාටකය ගැන කරුණු රැසක් හෙළිවූ බව නොරහසකි.
FCID නීති විරෝධී පොලිසිය හරහා ඉදිරිපත් කෙරුණු නඩු විසිවන බව ඕනෑම කෙනෙකුට වැටහෙන්නේ එය නීති විරෝධී ආයතනයක් වන නිසාය.
FCID එකෙන් සිදු කළේ ටික කාලයකට ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලනඥයන් බන්ධනාගාරගත කිරීමට අවශ්‍ය පරිසරය සැකසීම පමණි.
එම අරමුණ සාර්ථකව කරගැන්මට යහපාලන ආණ්ඩුවට හැකිවූයේ ඒකාබද්ධ විපක්ෂයේ ජනතා නියෝජතයින් 16 දෙනෙකු පමණ යහපාලන ආණ්ඩුව බලයට පත්වී ටික කාලයක් යන විට බන්ධනාගාරගත කිරීමට හැකිවූ නිසාය. එම නීති විරෝධී FCID පොලිසිය මඟින් ගොනුකරන ලද නඩු ඉදිරියට ගෙනයාමට නොහැකි වන්නේ නීති විරෝධී පොලීසියට අමතරව අසත්‍ය ආකාරයෙන් චෝදනා කිසිවක් ඔප්පු කිරීමට නොහැකිවන ආකාරයෙන් ගොනුකර ඇති බැවිනි.
එසේ නඩු විසිවන විට තවත් අසත්‍ය චෝදනාවක් වර්තමානයේ සිටින සමගි ජනබලවේගය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කරයි.
“අන්න රාජපක්ෂවරුන්ගේ නඩු එකින් එක ඉවත් කරගත්තා. බැසිල්ගේ නඩුත් විසිවෙනවා.“ යනුවෙන් වර්තමාන විපක්ෂය චෝදනා කරයි.
නමුත් FCID නීති විරෝධී ආයතනයක් බව නීතියෙන් ඔප්පු වී ඇති බවක් සහ FCID නීති විරෝධී ආයතනය ගැන නම් වර්තමාන විපක්ෂය වචනයකුදු හෝ ප්‍රකාශ නොකිරීමෙන් හෙළි වන්නේ එදා යහපාලන ආණ්ඩුව මඟින් සිදු කරන ලද දේශපාලන දඩයම නොවේද?
මහින්දානන්ද අලුත්ගමගේ, විමල් වීරවංශ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, නාමල් රාජපක්ෂ, මොහොමඩ් මුසම්මිල්, ජයන්ත සමරවීර ඇතුළු බැසිල් රාජපක්ෂ සමඟ තවත් පිරිසක් රක්ෂිත බන්ධනාගාරගත කළේ දේශපාලන වශයෙන් පළිගැනීමටය.
නුගේගොඩ මහින්ද සුළඟ දිනේෂ්, විමල්, වාසු, ගම්මන්පිලගේ මෙහෙයවීමෙන් ආරම්භ වන විට මහින්ද සුළඟ කුමන දිශානතියකට හැරවිය යුතුද? මහින්ද සුළඟට අවශ්‍ය දේශපාලන යාන්ත්‍රණය සකස් කිරීම ඇතුළු සියලු කටයුතු මනසින් මෙහෙයවමින් සිටියේ බැසිල් රාජපක්ෂයි. ඔහු රක්ෂිත බන්ධනාගාර ගත වී සිටින විටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව පිළිබඳව සැලසුම් සකස් කරමින් සිටි බව දන්නේ ස්වල්ප දෙනෙකි.
මහින්ද සුළඟ හැමීමට මුල්වූ දිනේෂ්, විමල්, වාසු, ගම්මන්පිල ඇතුළු පිරිසට එම ගෞරවය හිමිවිය යුතුය. එහි කිසිදු විවාදයක් නැත. මහින්ද සුළඟට අවශ්‍ය දේශපාලන යාන්ත්‍රණය සකස් කර එය කෙටි කාලයක් තුළ මෙරට ජයග්‍රාහී ප්‍රබලතම දේශපාලන පක්ෂය බවට පත්කිරීමට අවශ්‍ය ප්‍රායෝගික වැඩපිළිවෙළ සකස් කරන ලද්දේ බැසිල් රාජපක්ෂය. ඒ ගැනද කිසිදු භේදයක් නැත.
මෙරට ඉතිහාසයේ නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කර කෙටි කාලයක් තුළ ආණ්ඩු බලය ලබා ගැනීමට සමත් වූයේ දේශපාලන නායකයින් දෙදෙනකු පමණි. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක සහ මහින්ද රාජපක්ෂ එම දේශපාලන නායකයන් දෙදෙනායි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිකර 1956 වසරේදී එම පක්ෂය ප්‍රමුඛ සමගි පෙරමුණු ආණ්ඩුවක් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක විසින් ගොඩනංවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නායකත්ය ලබා දෙමින් වසර 3ක් ඇතුළත මේ රට පාලනය කිරීමේ බලය ලබා ගැනීමට මහින්ද රාජපක්ෂ සමත් වෙයි.
එහිදී මහින්ද රාජපක්ෂට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ යාන්ත්‍රණය නිර්මාණය කරදී යෝධ ශක්තියක් වන්නේ බැසිල් රාජපක්ෂයි. එපමණක් නොව 2008 වසරේදී ලෝකයම අර්බුද කිහිපයකට ලක්වන විට අප රට කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ තීරණාත්මක ඉසව්වකට පැමිණ සිටියේය. ලෝකයේ ආර්ථික අර්බුදයක් ඇති වූයේ යුරෝපයේ සහ ලතින් ඇමරිකානු රටවල බැංකු පද්ධතියේ විශාල කඩාවැටීමක් සිදු වූ නිසාය.
ඒ සමඟම ලොව තෙල් අර්බුදයක් ද ඇති විය. මැදපෙරදිග රටවල ඇති වූ ගැටුම්කාරි තත්ත්වයන් ද මෙයට බලපා තිබුණි.
ලෝක වෙළෙඳ පොළෙහි බොර තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 150ට ආසන්න අගයක් ගන්නේ බොර තෙල් මිල අහස උසට ගමන් කරමිනි.
ඒ සමඟම තවත් පැත්තකින් ලෝක ආහාර අර්බුදයක් ඇති විය. බොහෝ රටවල කෘෂි අස්වැන්න බරපතළ ආකරයට පහත වැටී තිබුණි. ඇතැම් රටවලට සාගත තත්ත්වයක් ද ඇති විය. ලෝක ආර්ථික අර්බුදය, ලෝක තෙල් අර්බුදය, ලෝක ආහාර අර්බුදය එකවර මතුවීම හා ඊට එකවර මුහුණදීම එසේ මෙසේ අභියෝගයක් නොවේ. ශ්‍රී ලංකාව 2008 වසරේදී පමණ එම අර්බුදයට මුහුණ දෙන විට කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ මානුෂික මෙහෙයුම නැඟෙනහිර පළාත ඉලක්ක කරගෙන එම කාලය තුළ සිදු විය.
තොප්පිගල ප්‍රදේශය අත්පත් කරගත් රණවිරුවන් කොටි ත්‍රස්තවාදි ඉලක්ක විනාශ කරමින් ඉදිරියට ගමන් ගත්තේ රට වෙනුවෙන් ගනු ලැබූ පියවර ආපස්සට නොගැනීමේ දැඩි අධිෂ්ඨානයකිනි. මේ අවස්ථාවේදී රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අපි වවමු, රට නගමු, දිවි නැඟුම, මඟ නැඟුම වැනි වැඩසටහන් ඇතුළු දේශීය කෘෂි ආර්ථිකය නැංවීම සඳහා ද බැසිල් රාජපක්ෂ විසින් වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවූ බව නොරහසකි.
ඒ අවස්ථාවේදී පුරන් කුඹුරු යළි අස්වැද්දීම ඇතුළු පාළුවට ගිය ඉඩම් යළි වගා කිරීමට අවශ්‍ය බීජ පැළ ලබාදීම ඇතුළු එම ක්‍රියාවලියට මුල් වූයේ ද බැසිල් රාජපක්ෂයි. බැසිල් රාජපක්ෂ දිවි නැඟුම, අපි වවමු රට නගමු වැඩසටහන් සඳහා බීජ බෙදා දෙන විට එවකට පැවති විරුද්ධ පක්ෂය අපහාස කළේ බැසිල් ඇට බෙදනවා බව ප්‍රකාශ කරමිනි.
නමුත් බැසිල් ඇට බෙදුව නිසා 2008 වසරේ සිට මානුෂීය මෙහෙයුම අවසන් කරන තුරු කිසිඳු සාගතයක්, ආහාර හිඟයක් මෙරටින් වාර්තා නොවුණි.
එදා දුටු ගැමුණු මහ රජතුමා රට එක්සේසත් කිරීමේ මහා යුද්ධයක් සිදුකරන විට රුහුණු, මාගම්පත්තුව සහලින් ස්වයංපෝෂිත කර තිබුණේ දුටුගැමුණු මහ රජතුමාගේ සොහොයුරු සද්ධාතිස්ස කුමාරයා විසිනි. එමඟින් සිහිපත් කෙරෙන්නේ මහින්ද රාජපක්ෂ 2009 වසරේදී මානුෂීය මෙහෙයුම සිදුකිරීම සඳහා දේශපාලන නායකත්වය ලබාදෙන විට රටේ ආර්ථිකය රැකබලා ගැනීමට මහින්ද රාජපක්ෂට විශාල සහයෝගයක් ලබා දුන්නේ බැසිල් රාජපක්ෂ බවයි.
මානුෂීය මෙහෙයුමෙන් ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසුවත් මෙරට ක්‍රියාත්මක වූ සංවර්ධන කටයුතු සඳහා බැසිල් රාජපක්ෂගේ ද සුවිශේෂී දායකත්වයක් හිමිවිය.
“උතුරු වසන්තය“ සහ “නැඟෙනහිර නවෝදය“ වැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිවලින් සිදු කළේ වසර ගණනාවක් තිස්සේ කොටි ත්‍රස්තවාදීන් විසින් එම ප්‍රදේශවල සිදු කළ විනාශය වෙනුවට එම පළාත් පිළිසකර කර සංවර්ධනය කිරීමයි. 2007 වසරේදී නැඟෙනහිර මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක වෙද්දි පාර්ලිමේන්තුවේ අයවැය පරාජය කොට ආණ්ඩුව පෙරළා දමා මානුෂීය මෙහෙයුම නතර කිරීමට ජාත්‍යන්තරයේ සහයෝගය ද ඇතිව යම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක විය. එම කුමන්ත්‍රණයේ එක් මොළකරුවකු වූයේ මංගල සමරවීරයි.
නමුත් මෙම කුමන්ත්‍රණය පරාජය කිරීම සඳහා දෙදෙනෙකු දැඩි ලෙස වෙහෙස මහන්සි වූ බව රහසක් නොවේ. එක් අයෙකු එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, වර්තමානයේ ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශය. අනෙක් පුද්ගලයා බැසිල් රාජපක්ෂය. විමල්ලා, ගම්මන්පිලලා සහ බැසිල් රාජපක්ෂ අතර යම් මත ගැටුමක් නිර්මාණය කර බොරදියේ මාළු බාමින් ආණ්ඩුව යම් අස්ථාවර තත්ත්වයකට පත්කිරීමේ යම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව විමල්, ගම්මන්පිල පාර්ශ්වයත්, බැසිල් රාජපක්ෂ පාර්ශ්වයත් ඉතා හොඳින් තේරුම් ගත යුතුය.
යහපාලන ආණ්ඩුව සමයේදී විමල්, ගම්මන්පිල මෙන්ම බැසිල් ද මහ උළුගෙර යකඩ කූරු ගැන ගැන සිටීමට යැව්වේ පසුගිය යහපාලන ආණ්ඩුවයි. එම යහපාලන ආණ්ඩුවේ යම් යම් අවතාර තවමත් හොල්මන් කරමින් සිටින අතර ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ ඉතා ඉක්මණින්ම වර්තමාන ආණ්ඩුව තුළ යම් බෙදීමක් ඇති කිරීමටයි. ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වූ ජනාධිපති කාර්යය සාධක බළකායේ ප්‍රධානියා ලෙස බැසිල් රාජපක්ෂ වර්තමානයේ සිදු කරනු ලබන කාර්යභාරය ගැන හොඳ තක්සේරුවක් ලබාගත හැක්කේ කොවිඩ් වසංගතය අවසන් වූ කාලයේදීය.
බැසිල් ගැන කියමින් බැසිල් භීතිකාවක් මැවීමට විපක්ෂය මෙවරත් කටයුතු කරන්නේ ඇයි? සජිත්ගේ සමගි ජනබලවේගය, රනිල්ගේ එක්සත් ජාතික පක්ෂය, අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුණ බැසිල්ට දිගට හරහට ප්‍රහාර එල්ල කරන්නේ බැසිල් පාර්ලිමේන්තු එනවාට බියෙනි.
“මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාද කළේ මම නම් මං ආපහු මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ බලයට ගේනවා“ යනුවෙන් 2016 වසරේදී බැසිල් ප්‍රකාශ කළේය. 2017 වසරේදී බැසිල් කිව්වේ රුසියාවේ පුටින්ගේ ක්‍රමයට යළි මහින්ද රාජපක්ෂ බලයට ගෙනෙන බවයි. එය එලෙසින්ම සිදුවිය.