ඇමති විමල් තෙල් හිඳී | සිළුමිණ

ඇමති විමල් තෙල් හිඳී

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කුමාරතුංග ගේ උපන් දිනය ඉකුත් බදාදා දිනට යෙදී තිබිණ. ඒ නිමිත්තෙන් චන්ද්‍රිකා කුමාරතුංග සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබුණේය.

 

"මට දැන් අවුරුදු හැත්තෑ හයක්. මීට අවුරුදු හැත්තෑ හයකට කලින් මම මේ ලෝකෙට ආවේ තනියම; හිස් අතින්. මම විතරක් නෙමෙයි අපි කවුරුත් එහෙමයි. කවදා හරි යන්නෙත් තනියමයි; හිස් අතින්. ඒත් අපි මෙහෙ ලෝකයෙන් යන දවසට එක දෙයක් අරගෙන යනවා. ඒ තමයි අපි මේ ජීවිත කාලය පුරා අප කළ කී දෑ අනුව ඉතිරි වූ හොඳ නම හෝ නරක නම. මේ යථාර්ථය මම කුඩා කල සිටම තේරුම් ගත්තා. ආදී වශයෙන් චන්ද්‍රිකා දිගු පෝස්ටුවක් සිය ෆේස්බුක් ගිණුමට එක් කර තිබිණි.. හිටපු ජනාධිපතිනිය තමාට උපන් දින සුබ පැතුම් එක් කළ පිරිසට සිය ස්තූතිය පිරිනැමීමට ද එහිදී අමතක කර නැත.

 

• ජනාධිපතිවරයාගේ හදගැස්ම

 

පසුගිය සතිඅන්තයේ වටිනා තෑගි බෝග රැසක්ම රැගෙන ජනාධිපතිතුමා හමුවන්නට අමුත්තකු පැමිණ සිටියේය.

අමුත්තා කැළණිය මානෙල්වත්ත විහාරවාසී බෝදාගම චන්දිම හිමිපාණෝ ය. උන්වහන්සේ රැගෙනවිත් තිබුණේ කොවිඩ් වසංගතයේ ප්‍රතිකාර කටයුතු වලට අවශ්‍ය ඉතාම වටිනා නවීන සෞඛ්‍ය ආධාර උපකරණ තොගයකි.

ජනාධිපතිතුමන් වෙත මෙම සෞඛ්‍යාධාර තොගය බාර දෙන අවස්ථාව වෙනුවෙන් පැවැති උත්සව අවස්ථාවට සහභාගී වන්නට රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, රජයේ වෛද්‍ය නිලධාරි සංගමය වෙනුවෙන් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, වෛද්‍ය නලින් ද සොයිසා ඇතුළු වෛද්‍යවරු පිරිසක් ද පැමිණ සිටියහ. ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් හා ජනාධිපති විශේෂ උපදේශක ලලිත් වීරතුංග ද පැමිණ සිටියේය.

"මේවා ඉතාමත්ම හොඳ වැඩ අපේ හාමුදුරුවනේ. ආණ්ඩුව කොවිඩ් මර්දනය වෙනුවෙන් විශාල වැඩපිළිවෙළක් අරගෙන යන්නේ ගොඩාක් අඩුපාඩු දුෂ්කරතා තියාගෙන. සමහර අය දේශපාලන කෝණයෙන් බල බල ඒ අඩුපාඩු දුෂ්කරතා බරපතළ විවේචන වලට ලක් කරනවා මිස රුපියලකින්වත් උදව්වක් කරන්නේ නෑ. එහෙම වාතාවරණයක් යටතේ ඔබ වහන්සේලා මේ වගේ කැපවීම් කරන එක මහා විශාල පින්කමක්; ඒ වගේම සේවයක්."

"මේවා අපි අරගෙන එන්නේ ඒ රටවල් වල ඉන්න පරිත්‍යාගශීලී හිතවතුන්ගෙන්. අපට මීටත් වඩා දේවල් ගේන්න පුළුවන්. ඒ උනාට ඒවා මේ රට ඇතුළට ගන්න ගියාම පුදුමාකාර දුෂ්කරතා ගොඩකට මුහුණ පාන්න වෙනවා"... චන්දිම හිමියෝ තමන් වහන්සේට ගුවන්තොටුපොළවල් වලදී, වරායෙදී මුහුණ පාන්නට වූ දුෂ්කරතා පිළිබඳව ජනාධිපතිවරයාට පැහැදිලි කිරීමක් කළහ.

"දැන් අපේ හාමුදුරුවනේ මොනවද මෙතන තියෙන නූතනම උපකරණ. අපි බලමුද මේවා ටිකක්..."

එතන සිටි වෛද්‍යවරයෙක් ඒ උපකරණ තොගය පෙන්වමින් එකින් එක ජනාධිපතිවරයාට විස්තර කළේය...

"මේ උපකරණය අපට ඉතාම පහසුවෙන් කෙනෙක්ගේ ඩයබටික් ප්‍රෙෂර් කොලොස්ට්‍රෝල් වගේ දේවල් බලන්න පුළුවන් මැෂින් එකක්. ඒ විතරක් නෙවෙයි, කෙනෙක්ට අරගන්න පුළුවන් ඔක්සිජන් ප්‍රමාණය, එයාගෙ හදගැස්මේ තරම වගේ හුඟාක් වැදගත් දේවල් මනින්න පුළුවන් උපකරණයක්..." ඔහු ජනාධිපතිවරයාට එම උපකරණය දක්වමින් පැහැදිලි කළේය.

"මගෙත් බලන්න පුළුවන්ද..." ඔහු එම උපකරණයෙන් ජනාධිපතිවරයා පරික්ෂා කරන්නට පටන් ගත්තේය. සුළු මොහොතකින්...

"සර්ගෙ නම් ඔක්කොම දේවල් හොඳයි... හද ගැස්මත් තරුණයෙක්ගේ වගේයි..." ජනාධිපතිතුමා ඔහුට ස්තුති කළේය.

මේ අවස්ථාවේදී වස විස නැති ගොවිතැන ගැන ද පොඩි සංවාදයක් ඇති විය. ආහාර සුරක්ෂිතතාව හා වස විස නැති ගොවිතැන ගැන වෛද්‍ය පාදෙනිය මෙහිදී පුංචි විග්‍රහයක් කළේය...

"ඔබතුමන්ලා මැදිහත් වෙලා මේවා ජනතාවට කියලා දෙන්න.."

"අපි මේ දවස් වල ඒවම තමයි කරන්නේ ජනාධිපතිතුමා.." පාදෙනිය කීවේය.

ජනාධිපති කාර්යාලයේදී එදින හවසම කොවිඩ් මර්දනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් ද පැවැත්විණි. ඒ සදහා වෙනදා සහභාගී වන දේශපාලඥයෝ සියලුම දෙනා පැමිණ සිටි අතර සෞඛ්‍ය බලධාරීන්, ආරක්ෂක අංශ, වෛද්‍යවරු හා නිලධාරීන්ද පැමිණ සිටියහ.

"මොනවද අලුත් නිව්ස්..." කියා අසමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කතාබහ ආරම්භ කළේය.

ආරම්භයේදී ම ඇමති ප්‍රසන්න රණතුංග ලොකු ගෝරනාඩුවක් පටන් ගත්තේය. ඔහු කෙලින්ම සෞඛ්‍ය බලධාරීන්ට චෝදනා කරමින් කතා කළේ ඔවුන් එන්නත හරියාකාරව ජනතාව අතර බෙදා හරිමින් ඔවුන්ගේ වගකීම ඉටු කර නැතැයි කියා චෝදනා කරමිනි.

"වයස අවුරුදු 60 ට වැඩි අයට ගහන්න කියලා තියෙන්නේ. එන්නත් ඇති තරම් ගෙනත් තියෙනවා. ඊයෙයි පෙරේදා යි දවස් දෙකටම මධ්‍යස්ථාන හතරක ගහලා තියෙන්නේ එන්නත් 3000 ගාණයි. මට නම් හිතෙන්නේ මේගොල්ලෝ මේක හිතාමතාම ප්‍රමාද කරනවා..."

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධනට ද මෙතැනදී උත්තරයක් නැති විය. ප්‍රසන්න කතා කළේ ඇඟලුම් කර්මාන්ත ශාලා වැනි, රටට විදේශ විනිමය උපයන ආයතන වලට එන්නත ලබා දෙන්නට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබියදීත් සෞඛ්‍ය අංශ තවමත් ඒ කාර්යය පරක්කු කරන්නේ ඇයිද යනුවෙන් ප්‍රශ්න කරමිනි...

"මුලින් ප්‍රශ්නය තිබුණේ එන්නත නැතිකම. දැන් රටට ඇති තරම් එන්නත් ගෙනල්ලා ගොඩ ගහලා. ඒත් එන්නත ලබාදීම ගැන කවුරුවත් සතුටු වෙන්නේ නෑ. ඇයි මෙහෙම උනේ. මම රට රටවල් ගානේ සංවිධාන ගානේ පුද්ගලිකව කතා කරල මැදිහත් වෙලා ලොකු පරිශ්‍රමයක් දරලායි මේවා ලංකාවට ගෙනාවේ" ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් ලොකු විස්තරයක් කළේය.

"රට සාමාන්‍යකරණයට පත් කරන්න නම් අපි පුළුවන් තරම් වේගයෙන් ජනතාවට එන්නත ලබා දෙන්න ඕන"... රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය කීය.

මේ වෙලාවේ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ඉදිරියේ දී රටට ලැබීමට නියමිත එන්නත් ගැන පැහැදිලි කිරීමක් ද කළේය...

"හැටෙන් ඉහළ අයට එන්නත දෙනකොට ඒ අයට අවශ්‍ය නම් ප්‍රවාහන පහසුකම් එහෙම ඔයාලා සපයන්න..." ජනාධිපති ඇමැතිවරු දෙස බලමින් එසේ කියන විට ඇමතිවරු වික්ෂිප්ත වී මූණෙන් මූණ බලන්නට වූහ...

"ඔයගොල්ල අර ඡන්ද කාලෙට මනාප ගන්න මිනිස්සු අදින්නේ... අන්න ඒ විදිහට වාහනයක් දෙකක් දාලා නැති බැරි අහිංසක මිනිසුන්ට උදව් කලාට කමක් නෑ..." ජනාධිපතිවරයා සිනහවෙමින් කීවේය.

"එන්නත්කරණය ප්‍රමාද වීම වළකන්න අපටත් පුළුවන් මැදිහත් වෙන්න... අපිත් තෝරගත්ත හොස්පිටල් කිහිපයක එන්නත්කරණයට සෙන්ටර්ස් දාල දෙන්නම්..." වෛද්‍ය පාදෙණිය කීවේය.

මේ වෙලාවේ අමාත්‍ය රමේෂ් පතිරණ කතා කළේය. එන්නත්කරණය සඳහා තොරතුරු පද්ධති සකස් කරගැනීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන අකාර්යක්ෂමතාව ඉහළ සෞඛ්‍ය බලධාරීන්ගේ දුර්වලකමක් බව පෙන්වා දෙමින් ඔහු කතා කළේය..

" මේ ඉස්සර අපිත් එක්ක සාමාන්‍ය මට්ටමින් හොඳින් කතා කර කර හිටපු අය. මේ සබ්ජෙක්ට් එකට ආවම මේ ගොල්ලන්ගෙ තියෙන ආඩම්බර. තොරතුරක් ඇහුවට දෙන්නෙ නෑ. කතා කරන්නෙත් ඕනවට එපාවට. කිසි ටීම් වර්ක් එකක් නෑ..."

සෞඛ්‍ය සේවයේ ඉහළ බලධාරීන් පවත්වා ගෙන යන ඒකාධිකාරිය හා ආඩම්බරය දේශපාලනඥයන්ගේ විවේචනයට ලක් විය.

මෙහිදී නාමල් රාජපක්ෂ ඇඟලුම් කර්මාන්ත සේවකයන් එන්නත්කරණය කිරීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් ඉදිරිපත් කළේය...

"ඔබතුමා මැදිහත් වෙලා ඒවා හොයලා බලලා අඩුපාඩු තියෙනව නම් මෙතනට වාර්තා කරන්න.." ජනාධිපති නාමල් ඇමතිවරයාට කීවේය.

රෝගීන් හා එන්නත්කරණය සම්බන්ධයෙන් තොරතුරු පද්ධතියක් සකස් නොකිරීම ගැන ඇතැමුන් සෞඛ්‍ය බලධාරීන්ට මෙහිදී දෝෂාරෝපණ එල්ල විය...

"අපි හිතන් ඉන්නේ සෞඛ්‍ය සේවයේ තමයි රටේ බුද්ධිමත්ම මිනිස්සු ඉන්නේ කියලා... ඒගොල්ලන්ට බැරි වුණා නම් database එකක් හරියට පවත්වාගෙන යන්න; අපි කොහොමද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ඩේටාබේස් එකක් බලාපොරොත්තු වෙන්නේ.." ජනාධිපතිතුමා ඔහුට තියෙන තවත් ප්‍රශ්නයක් ගැන එසේ අදහසක් පළ කළේය.

ඒ අයුරින් අවසන් වූයේ තවත් දිගු සාකච්ඡා වටයකි.

 

• සෝෂල් මීඩීයා ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

 

මෙම සතිය එතරම් කාර්යබහුල දේශපාලන සතියත් වූයේ නැත. වෙනදාට තරම් සාපේක්ෂව ජනාධිපතිවරයාටද දේශපාලන වැඩකටයුතු කිසිවක් නොවීය.

මෙම සතියේත් ඔහුගේ අවධානය යොමුව තිබූ ප්‍රධාන කාරණා දෙකක් තිබිණි. එකක් කොවිඩ් මර්දන වැඩපිළිවෙළයි. දෙවැන්න කාබනික වගාවට රට හුරු කරවීමේ වැඩපිළිවෙළයි. ජනාධිපති ගෝඨාභය පසුගිය දින කීපය පුරාම ඒ සඳහා වෙහෙස වූ අයුරු අපට දැකගත හැකි විය.

ඒ අතරතුර ජනාධිපති තවත් විශේෂ කාරණාවක් ගැන පසුගිය සතියේ සංවේදීව සිටියේය. ජනාධිපති මාධ්‍ය ඒකකයේ ප්‍රධානීන් හා හිතවත් නිලධාරීන් කිහිපදෙනෙක් හමුවේ ජනාධිපතිවරයා මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කළේය.

''මේ රටේ සංවිධානාත්මකව එක එක මත හදලා ප්‍රචාරය කරන සමහර සමාජ මාධ්‍ය වලටයි ඇතැම් මාධ්‍ය කිහිපයකටයි ඕන වෙලා තියෙනවා රාජපක්ෂ පවුලේ අපි අතර ලොකු බෙඳීමක් තියෙනවා කියලා මතයක් හදලා රටේ ප්‍රචාරය කරන්න. ඒගොල්ලො විශේෂයෙන්ම ‘‘සෝෂල් මීඩියා‘‘ එක පාවිච්චි කරලා මතයක් හදන්න හදනවා බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට එන එකට මමයි මහින්ද අගමැතිතුමයි විරුද්ධයි කියලා. ඒ තුළින් ඒගොල්ල අනවශ්‍ය දේශපාලන වාසියක් විපක්ෂයට අත්පත් කරලා දෙන්න උත්සාහ කරනවා.

හැබැයි ඕකේ ඇත්ත නැත්ත මේ රටේ පොදු ජනතාව හොඳටම දන්නවා. ඔය කොයි කවුරු මොන මොනව කිව්වත් රාජපක්ෂවරු තුන්දෙනා තීන්දු ගන්නේත් වැඩ කරන්නේත් එකටය කියලා ජනතාව දන්නවා. අපි තරහයිලු එතුමා පාර්ලිමේන්තු එනවට. මොන බොරුවක්ද ඒක. මමනෙ එතුමට පාර්ලිමේන්තු එන්න කියලා කිව්වේ.

ජනාධිපති මෙහිදී උපදෙස් දුන්නේ සංවිධානාත්මක කණ්ඩායම් විසින් සැලසුම් සහගතව ගෙන යනු ලබන මෙවැනි වැරදි ප්‍රචාර කෙරෙහි අවධානයෙන් පසුවන ලෙසයි.

මේ අතර බැසිල් රාජපක්ෂ ද ජනාධිපතිවරයා ගේ මේ කතාවට සමාන අදහසක් පසුගිය සතියේ ඉදිරිපත් කරනු ලැබ තිබිණි. ඔහු කීවේ තමනුත් අගමැතිතුමාත් ජනාධිපතිතුමාත් තීන්දු තීරණ ගැනීමේදී එකට එක්ව වැඩ කරන ආකාරය ගැනය. ලිපක ලිග්ගල් තුනට උපමා කරමින් ඔහු ඔවුන් තිදෙනාගේ සහෝදරත්වය හා අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ අපූරු කතාවක් කියා තිබිණි.

 

• ප්‍රසන්න ආරුගම්බේ

 

නැගෙනහිර පළාතේ සංචාරක නියෝජිතයන් සහ සංචාරක කර්මාන්තයේ නියුක්තිකයන් හමුවීම ඇතුළු සංචාරක ක්ෂේත්‍රයට අදාළ කාර්යයන් කීපයක් සඳහා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඉකුත් බදාදා ආරුගම්බේ ප්‍රදේශයට පැමිණියේය.

අමාත්‍යවරයා හමුවීම සඳහා නවාතැන් ගෙන සිටි ස්ථානයට අමුත්තෙක් පැමිණියේය. ඒ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායකයි. විමලවීර දිසානායක ගේ උපන් දිනය හෙදි තිබුණෙත් එදායි. ඈතදීම ප්‍රසන්න රණතුංග ඇමතිවරයා දුටු විමලවීර දිසානායක" ආ.... ලොක්කා කොහොමද" කීයේ සිය සුපුරුදු ගැමි වාග් විලාසයෙනි. විමලවීර දිසානායක මන්ත්‍රීවරයාට සිටින තැන අදාළ නැත. ගැමිකමට මුල්තැන මුල් තැන දෙන හෙතෙම නිතරම බුලත් විටක් හපමින් සිටියි. මේ අවස්ථාවේද බුලත් විටක් හපමින් පැමිණෙන විමලවීර දිසානායක ඇමතිවරයා හඳුනා ගන්නා ප්‍රසන්න රණතුංග ඇමතිවරයාට එක්වර ම සිහිපත් වූයේ විමලවීර දිසානායක ඇමතිවරයාගේ උපන්දිනය එදිනට යෙදී තිබෙන බවයි.

"සුබ උපන්දිනයක් ඔබතුමාට, ඊළඟ වතාවේ උපන්දිනය කැබිනට් එකේ දි සමරමු" යි ප්‍රසන්න රණතුංග කියන විට විමලවීර දිසානායක ඇමතිවරයා" බලමුකෝ" කියා හඬ නඟමින් සිනහසුණේය.

බැසිල් මහත්තයා පාර්ලිමේන්තු එන එකට මම පෞද්ගලිකව කැමතියි." ප්‍රසන්න රණතුංග ඇමතිවරයා කීවේය.

" ඔව් ඒක ඇත්ත. පහුගිය කාලේ බැසිල් මහත්තයා සංවර්ධන වැඩපිළිවෙළ කරපු හැටි අපි දැක්කා" විමලවීර දිසානායක ඇමතිවරයා පිළිතුරු දුන්නේ ය.

"අද කවුරු මොනවා කිව්වත් 2005 මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට ආපු වෙලාවෙ ගෝඨාභය මහත්තයා යුද්ධෙ කරන්න බාර ගන්න කොට, යුද්ධයෙන් රටේ ආර්ථිකය කඩා වැටෙන්න නොදී ආර්ථිකය ශක්තිමත් කළේ බැසිල් මහත්තයා."

" එක අපි නොදන්නවද. ඒ කාලේ මේ පළාත්වල වැඩක් උනා නම් වුණේ බැසිල් මහත්තයගෙන්"

"ඒ වගේම තමයි එතුමාගේ සංවිධාන ශක්තියත්. 2015 මහින්ද මහත්තයා පැරදුණ වෙලාවේ මමත් හිටියේ මහින්ද සුළඟේ තමයි. ඒ වුනාට මහින්ද සුළඟත් එක්ක ආපු පාර්ලිමේන්තු මැතිවරණය එදා අපි පරාදයි."

" ඒ ඡන්දෙදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිව රැවැට්ටුවා"

" එදා සිද්ද වුණේ කබලෙන් ලිපට වැටුණා වගේ දෙයක්. ඊට පස්සේ මේ රටේ පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරන්න, පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරන්න ජනාධිපතිවරණය වැඩි බලයකින් ජයග්‍රහණය කරන්න නායකත්වය දුන්නේ පොහොට්ටුව නිර්මාණය කරලා බැසිල් මහත්තයා."

" ඔව්. බැසිල් මහත්තයා තමයි මේ පළාත්වලත් පොහොට්ටුවේ ශාඛා සමිති හදලා බලාගැන්නුවේ"

 

• සේවකයන් ඉවත් නොකර ඔවුන් රැකගන්නැයි අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලීමක්

 

සේවකයන් ඉවත් කිරීම වෙනුවට ඔවුන් රැකගනිමින් මෙම වසංගත තත්ත්වය හමුවේ මුහුණ පා ඇති අභියෝගවලට මුහුණ දෙන්නැයි මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ජුනි 30 දින සියලුම කර්මාන්තකරුවන් සහ ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා ඇඟළුම් සන්නාම සංගමය (SLABA) හා ශ්‍රී ලංකා සිල්ලර වෙළඳුන්ගේ සංගමය (SLRA) මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේ දී පැවති අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

බැංකු ණය සහන ලබා ගැනීම, ණයවර ලිපි විවෘත කිරීමේ දී ඇති ගැටලු විසඳා ගැනීම, ඇඟළුම් සේවකයන් සඳහා එන්නත්කරණය, කොවිඩ් මාර්ගෝපදේශ වලට අනුව නිමි ඇඳුම් වෙළඳසැල් විවෘත කිරීමට අවසර ලබා ගැනීම, සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තයන්ගේ බාර අරමුදල් ගැටලු සම්බන්ධයෙන් පැමිණ සිටි නියෝජිතයෝ අදහස් දැක්වූහ.

බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන කාර්යය වෙනුවෙන් වෙනම අමාත්‍යංශයක් හඳුන්වා දීම සම්බන්ධ ව ශ්‍රී ලංකා ඇඟළුම් සන්නාම සංගමයේ සභාපති ලලන්ත වතුදුර මෙහි දී අග්‍රාමාත්‍යතුමාට සිය සංගමයේ ප්‍රණාමය පිරිනැමුවේය.

 

• පුංචි මන්ත්‍රීලාට රනිල්ගෙන් උපදෙස්

 

ඉකුත් සඳුදා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සිරිකොත පක්ෂ මූලස්ථානයට ගියේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු තනතුරු අහිමිවූ පළාත් පාලන ආයතන නියෝජිතයන් 69 දෙනෙකු වෙනුවෙන් පත් කළ පිරිසට පත්වීමේ ප්‍රදානය කිරීමටය. එහිදි ආණ්ඩු මාරුවන විට දේශපාලඥයන්ට වෙනස් කළ නොහැකි යකඩ ප්‍රතිපත්තිරාමුවක අවශ්‍යතාව ඔහු පැහැදිලි කළේය.

එක්සත් ජාතික පක්ෂයේ නිල පුවත්පත වන සියරට පුවත්පත කාලයක් තිස්සේ ප්‍රකාශයට පත් නොවූ බැවින් එය නැවතත් ඊ පුවත් පතක් ලෙස එදින එළිදැක්වුණේ නායකයාගේ සුරතිනි. සමන් රත්නප්‍රිය හා මාධ්‍යවේදිනියක වූ නදීරා මඩුගල්ල විසින් මෙය ප්‍රකාශයට පත් කිරීමේ වගකීමට උරදරා සිටයි. උත්සවයෙන් අනතුරුව නවක මන්ත්‍රීවරුන් නායකයා අසලට ගොස් කතා බස් කළ අතර නායකයා ඔවුනට උපදෙස් දුන්නේ හරියට ගම වටේ දිව්වොත් පාර්ලිමේන්තු යන එක අමාරු දෙයක් නොවන බවයි. ඒ උපදේශය අගය කරමින් ඔවුන් ගම්බිම් බලා පිටත්වූවේ නව ජවයකිනි.

නායකයා සූම් තාක්ෂණය ඔස්සේ පක්ෂය ක්‍රියාකාරී හමුවීම් කිහිපයක් ද පැවැත්වූ අතර අනතුරුව බ්‍රහස්පතින්දා පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයට ගොස් පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිහිපයක් ද පැවැත්වීය.

"පොහොර ප්‍රශ්නය වැඩියෙන්ම දැනෙන්නේ අපේ ප්‍රදේශවල ජනතාවට. ආණ්ඩුව කිසි දෙයක් කරන්නේ නෑ. ගොවියෝ වගා කරගන්න බැරිව දුක කියනවා." සංදිත් සමරසිංහ නායකයා දෙස බලමින් කීවේය.

"ගොවියන්ගේ කරෙන් ආපු ආණ්ඩුවට ගොවියා ගැන හෝ කෘෂිකර්මය ගැන දැන් අගයක් නෑ. නායකතුමා තමයි නිවැරදිවම කාබනික පොහොර රටට හදුන්වා දෙන වැඩපිළිවෙල සකස් කළේ. කාබනික පොහොර නිෂ්පාදනය කරන ස්ථාන 06 ක් හදලා කාබනික පොහොර නිෂ්පාදනය වැඩි කරලා තමයි එතුමා රසායනික පොහොර අඩු කරන්න හැදුවේ." වජිර ද කතාවට එකතු වූවේය.

"ආණ්ඩුවට සල්ලි නෑ. ඒ නිසා පොහොර ගෙන්වන්න විදියක් නෑ. නිසි සැලසුමක් නැතිව පොහොර ගෙන්වීම නතර කළොත් රටේ මිනිස්සුන්ට කන්න නැති වෙනවා. අපි ගමට ගිහිල්ලා මේ ඇත්ත ගොවියාට කියන්න ඕනේ. ගොවි සටනට අපෙත් සහාය දෙන්න කියන්න." නායකයා රංගේ දෙස බලමින් කීවේ එවැන්නකි.

 

• ජනාධිපතිගේ ජාතිය ඇමතීමට සජිත්ගේ ප්‍රතිචාර

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය ඇමතීමට සූදානම් වන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට කල් තියාම ආරංචි විය.

"හෙට ජනාධිපතිවරයා ජාතිය අමතනවා"

සජිත් මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට කීවේය. ඒ එක්කම ඔහු මේ පිළිබඳව ඇත්ත නැත්ත සොයා දැනගත්තේය.

‘‘එහෙනම් ජනාධිපතිතුමා මේ වෙලාවේ රටේ ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලු හයකටම විසදුම් ලබා දේවිනේ’’ මහ ලේකම් කීවේය.

‘‘එහෙම කරන එකක් නෑ. ඒත් අපි බල කරමු. සමාජයේ පහළම තලයේ සිට ඉහළම තලය දක්වා තෙල් මිල ඉහළ යෑම තුළ පීඩනයට අසහනයට අසරණභාවයට පත්වෙලා සිටිනවා.

අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතුමාගේ ප්‍රකාශයෙන් නැවතත් වරක් තිබුණු මිලටම තෙල් මිල පහළ දමන්නට කටයුතු කරයි කියන කාරණාව. ඒ වගේම පොහොර නැති ගොවීන්ට පොහොර ලබා දීම, අර ගිනිගත්ත නැව නිසා රැකියා අමිහි වුණ ධීවරයන්ට සහන ලබා දෙන ආකාරය විතරක් නෙමෙයි මුහුදු පරිසරය ආරක්ෂා කිරීමට ගන්නා පියවර ගැනත් ජනාධිපතිවරයා කියන්න ඕන. ඔන්ලයින් අධ්‍යාපනය නිසා පීඩාවට පත් ළමුන්ට සහන ලබා දෙන ආකාරය, කොරෝනා මර්දනයට ගන්නා පියවර ගැන ජනාධිපතිවරයා කරුණු ඉදිරිපත් කරන්න ඕන’’ සජිත් එහෙම කීවා පමණක් නොව විශේෂ ප්‍රකාශයක් ද කරමින්ද එය අවධාරණය කළේය.

ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේ කතාව අවසන්වූ වී විනාඩ් දහයක් යාමට පෙර මන්ත්‍රීවරු කණ්ඩායමක් සූම් ඔස්සේ සාකච්ඡාවට එක්වූයේ ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීම ගැන අවධානය යොමු කිරීමටය.

 

• තෙල් හිඳින ඇමති

 

දේශීය පොල් තෙල් කර්මාන්තකරුවන් මුහුණ දී සිටින අමුද්‍රව්‍ය හිඟයට පිළියම් ලබා දී වස විසෙන් තොර ගුණාත්මකභාවයෙන් ඉහළ පොල් තෙල් මෙරටදීම නිපදවා ජූලි මස අවසන් වීමට පෙර, ජනතාවට සහන මිලට ලබා ගැනීම සඳහා වෙළඳපොළට නිකුත් කිරීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශගේ උපදෙස් මත කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක ව තිබේ.

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින බීබීසී ලංකා සමාගමේ මැදිහත් වීමෙන් සිදු කරන මෙම වැඩපිළිවෙළේ ප්‍රගතිය විමසා බැලීමට ජූනි (28) විශේෂ සාකච්ඡාවක් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම වැඩපිළිවෙළ යටතේ බීබීසී ලංකා සමාගම, දේශීය පොල් තෙල් නිෂ්පාදකයන් මුහුණ දී සිටින අමුද්‍රව්‍ය හිඟයට පිළියම් යොදමින් තත්වයෙන් උසස් කැබලි පොල් ආනයනය කර නිසි ක්‍රමවේදයකට එකී නිෂ්පාදකයන්ට බෙදාදීමට නියමිත ය. එම අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කෙරෙන පොල්තෙල්වල ගුණාත්මකභාවය පිරික්සීමට නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන ලෙස ද මෙහිදී අමාත්‍යවරයා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.

එසේම මෙම පොල් තෙල් වෙළඳපොළට නිකුත් කළ හැකි අවම මිල ගණන් පිළිබඳව ද අමාත්‍යවරයාගේ අවධානය යොමු වූ අතර දැනට වෙළඳපොළෙහි පවතින මිල ගණන්වලට වඩා, ඉතා සහනදායී මිලකට මෙමගින් පොල් තෙල් නිෂ්පාදනය කර, බෙදා හැරීමට හැකි බව, එහිදී දේශීය පොල් තෙල් නිෂ්පාදකයෝ පැවසූහ.

තවද බීසීසී ලංකා ආයතනයේ සභාපති චමින්ද වෙලේගම සහ පොල් තෙල් නිෂ්පාදකයන් මෙහිදී සඳහන් කළේ, ජූලි මාසය අවසන් වීමට පෙර මෙම අමුද්‍රව්‍ය මගින් පොල් තෙල් නිෂ්පාදනය කර වෙළඳපොලට නිකුත් කිරීමට කඩිනමින් කටයුතු කරන බව ය. පිළිකා කාරක නොමැති ගුණාත්මකභාවයෙන් උසස් පොල්තෙල් සහන මිලට ජනතාවට ලබාදීම එකම අරමුණ කරගත් මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ගත හැකි සියලු පියවර ගන්නා ලෙස විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

 

• පිරිවෙන්වලටත් නාමල්ගෙන් ටැබ්

 

මාර්ගගත හා දුරස්ථ අධ්‍යාපනික කටයුතු පවත්වාගෙන යාම සඳහා පරිගණක හා ටැබ් යන්ත්‍ර ඇතුළු තාක්ෂණික උපකරණ හා ඩිජිටල් යටිතල පහසුකම් සපයාදීමේ වැඩපිළිවෙළ යටතට පිරිවෙන් අධ්‍යාපනය ද ඇතුළත් කර පිරිවෙන් 300 ක් සඳහා ටැබ් පරිගණක 10 බැගින් ලබාදෙන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසීය.

පිරිවෙන්වල ඉගෙනුම ලබන භික්ෂූන් වහන්සේලාගේ හා සිසුන්ගේ අධ්‍යාපනික හා විෂය සමගාමි ක්‍රියාකාරකම් සාර්ථකව පවත්වාගෙන යාම සඳහා මේ දිනවල අත්‍යවශ්‍ය වන අන්තර්ජාල හා තාක්ෂණික පහසුකම් සැලසීම විධිමත්කිරීම සම්බන්ධයෙන් පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Comments