එජාපයේ පුංචි මන්ත්‍රීන්ට මොකද වෙන්නේ? | සිළුමිණ

එජාපයේ පුංචි මන්ත්‍රීන්ට මොකද වෙන්නේ?

ම හදන්න ගමේ ඇත්තන් තෝරා පත් කරගත් ගම්සභා වෙනුවට අද ඇත්තේ ප්‍රාදේශීය සභාය. ගමේ ඇත්තන් ඉස්සර ඔවුන්ට ලබා දුන් ගම්සභාවේ බලයට වඩා වැඩි බලයක් අද වන විට මේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට ලැබී තිබේ. ප්‍රධාන පක්ෂවල ප්‍රාදේශීය නියෝජිතයන් ලෙස ගම්වැසියන් ළඟට ගොස් පක්ෂයේ ප්‍රතිපත්ති කෙසේ හෝ ජනතාවගේ ඔළුවට කාවද්දන්නට ඔවුහු සමත් වෙති. මේ නිසා වරෙක එක්සත් ජාතික පක්ෂයටත් තවත් විටක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් බල හුවමාරුව සිදු විය. ගම් මට්ටමින් ඇරැඹෙන මේ බල අරගලය පාර්ලිමේන්තු නියෝජිතයන් තේරීම දක්වා ඇදී යයි.

ප්‍රාදේශීය සභාවත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීන්ද ජාතික තලයේ දේශපාලනයට බොහෝ වැදගත් වන්නේ එහෙයිනි.

පසුගිය 2018 පළාත් පාලන මැතිවරණයෙන් පොදුජන පෙරමුණට අතිවිශිෂ්ට ජයක් අත් වූයේ මන්ත්‍රී ආසන 3369ක් හිමි කරමිනි. එසේම එක්සත් ජනතා සන්ධානයට මන්ත්‍රී ධුර 674ක්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මන්ත්‍රී ධුර 358ක්ද හිමි විය.

එජාපයට හිමි වූයේ මන්ත්‍රී ධුර 2385ක් පමණි. ඒ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ හැරෙන්නටය.

පළාත් පාලන මැතිවරණයෙන් පසුව 2019 වසරේදී ජනාධිපතිවරණය පැවැත්වුණු අතර එහිදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ධුරය අරගලයකින් පසුව ලබා ගත්තේ එහි නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස විසිනි. රනිල් වික්‍රමසිංහ හා කරු ජයසූරියගේ නම් ආරම්භයේදී කරළියට එමින් තිබුණද ඒ අතුරින් අපේක්ෂක සටනින් ජය ලබන්නට සජිත් ප්‍රේමදාසට හැකි විය.

එහෙත් ජනාධිපතිවරණයේදී හැටනම ලක්ෂයක මනාප ලබා ගනිමින් ගෝඨාභය රාජපක්ෂයන් ජය ගැනීමත් සමඟ එක්සත් ජාතික පක්ෂයේ ගැටුම් උග්‍ර විය. මේ උග්‍ර තත්ත්වය කෙසේ වීද යත් නායකත්ව අරගලය දිනෙන් දිනම වර්ධනය වූයේ සීතල යුද්ධය එළිපිටම ගැටුමක් බවට පත්වෙමිනි.

එහි අවසන් ප්‍රතිඵලය වූයේ සජිත් ප්‍රේමදාසයන් විසින් සමගි ජන බලවේගය පිහිටුවා ගැනීමයි. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කළ ඩයනා ගමගේට සම්බන්ධ ‘දුරකථනයද‘ ලකුණ ලෙස ලබාගත් සජිත් පිල සමගි ජන බලවේගයෙන් මැතිවරණ සටනට පිවිසියේය.

සජිත් සමගි ජන බලවේගයෙන් තම පිල මෙහෙයවූ අතර රනිල් වික්‍රමසිංහ මැතිවරණයට පිවිසියේ සුපුරුදු පරිදි එක්සත් ජාතික පක්ෂයෙනි. ඒ සමඟම එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල කාරියවසම් විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් කිසිවෙක් කිසිදු හේතුවක් මත වෙනත් පක්ෂයකට සහාය නොදිය යුතු බවයි. එසේ කළහොත් ඔවුන් පක්ෂයෙන් ඉවත් කරන බවත් එවිට පළාත්පාලන මන්ත්‍රී ධුරය අහෝසි වන බවත් ඔහු පෙන්වා දී තිබුණි.

එහෙත් ඒ වන විටත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන බලකනු රැසක්ම සජිත් වටා එක් රොක් වී තිබුණි. ඒ අතර රංජිත් මද්දුම බණ්ඩාර, ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු පිරිසක් මෙන්ම එක්සත්ජාතික පක්ෂයෙන් ඉවත්ව සිටි තිස්ස අත්තනායක මෙන්ම 2010 වසරේ ජනාධිපති අපේක්ෂක ධුරය දැරූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇතුළු බොහෝ දෙනෙක් සිටියහ. එමෙන්ම තරුණ මන්ත්‍රීවරුන් වූ බුද්ධික පතිරණ, කවින්ද ජයවර්ධන, හර්ෂණ රාජකරුණාද විය.

මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සෝදාපාළුවට ලක් වූයේ එකදු මන්ත්‍රී ආසනයනක් හෝ ලබා ගන්නට නොහැකි වන සේය. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණක් එජාපයට හිමි විය. එම මන්ත්‍රී ධුරයට පාර්ලිමෙන්තු යන්නේ කවුරුන්දැයි යන ප්‍රශ්නය විසඳා ගන්නට එජාපයට මාස 5ක් ගතවිය.

ඒ සමඟම පසුගිය වකවානුවේ සිටම එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා වන වජිර අබේවර්ධන විසින් පවසා සිටියේ සමගි ජනබලවේගයට සහාය දුන් පළාත්පාලන මන්ත්‍රීවරුන්ට පොදු සමා කාලයක් ලබා දෙන්නට හැකි බවත් ඔවුන් යළිත් පක්ෂය හා එක්ව කටයුතු කළ යුතු බවයි.

එහෙත් එයට කිසිදු ආකාරයකින් සවන් නොදුන් පළාත් පාලන මන්ත්‍රීවරුන් පක්ෂයට එරෙහිව අධිකරණයට යන්නට විය. එය අවසන් වූයේ ඔවුන්ට පක්ෂයේ සාමාජිකත්වය අහිමි කරමිනි. එහෙත් පළාත් පාලන මන්ත්‍රීවරුන් එයින් නැවතුණේ නැත. පෙර කතා කළ පරිදි ඔවුහු ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ගොනු කළහ. පෙත්සමේ අදාළ තීන්දුව ලැබුණේ එම පෙත්සම විභාගයටවත් නොගෙන ප්‍රතික්ෂේප කරමිනි.

ඒ සමඟම ගම්පොළ නගරසභාවේ නගරාධිපති ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂයට යළි එක් විය. තවත් පිරිසක් ඒ ලෙසින්ම පක්ෂයට යළි එක් වූ අතර ගම්පොළ නගර සභාවේ මන්ත්‍රීවරුන් සහ නගරාධිපතිවරයා පැවසුවේ ඔවුන්ට සමගි ජන බලවේගයෙන් කිසිදු ආකාරයක සාධාරණයක් ඉටු නොවූ බවයි. ඔවුනට වැරැදි පාරක් පෙන්වූ සජබයෙන් පෙන්වූ බවත් එජාපය මිස වෙනත් සරණක් ඔවුන්ට නැති බව ඔවුහු පැවසූහ‍.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහයන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය භාරගැනීමට කටයුතු කිරීමත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම ප්‍රතික්ෂේප කිරීම නිසා එජාපයෙන් පළාත්පාලන ආයතනවලට තේරීපත්වූ සභිකයන් 69 දෙනකුගේ සභිකධූර අහෝසි කිරීමට මැතිවරණ කොමිසමට සිදුවීම යන කාරණා එකපෙළට ආවේය.

රනිල් වික්‍රමසිංහ එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පත්කරන බව සඳහන් කරමින් මහලේකම් රංගේ බණ්ඩාර මැතිවරණ කොමිසමට ඉකුත්දා අදාළ ලිපිය බාර දුන්නේය.

ඒ අනුව රනිල් වික්‍රමසිංහගේ නම ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළ අතර රනිල් පසුගිය 23 වැනිදා මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන්නේය.

සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය පළ කළ පළාත්පාලන ආයතන සභිකයන් 69 දෙනකුට එරෙහිව කටයුතු කිරීමට එජාපය තීන්දුවක් ගත්තේය. ඒ අනුව එජාප මහලේකම් ඒ බව දැනුම් දෙමින් තවදුරටත් එම සභිකයන් එජාපය නියෝජනය නොකරන බව මැතිවරණ කොමිසමට දැනුම් දී තිබුණි.

පළාත්පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතට අනුව යම් පක්ෂයකින් තේරීපත් වන සභිකයකු එම පක්ෂය හැර යන්නේ නම් ඔහුගේ සභික ධූරය ද අහිමි වනු ඇත. ඒ අනුව සජිත් ප්‍රේමදාසට සහය පළකිරීමේ හේතුව නිසා පළාත්පාලන සභිකයන් 69 දෙනකු පක්ෂය හැරගිය බව සහ ඔවුන් පළාත්පාලන සභිකධූර අතහැර ඇති බව දක්වමින් අදාළ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීහු පසුගියදා ගැසට් නිවේදන නිකුත් කළහ.

එජාප පළාත් පාලන සභිකයන් ගොනුකළ නඩුව ද ප්‍රතික්ෂේප වීම නිසා සහ එජාපය විසින් පළාත්පාලන මන්ත්‍රීවරන්ට ගත් ක්‍රියාමාර්ගය එජාප පළාත් පාලන සභිකයන්ට ධූර අහිමි විය.

එහෙත් ඒ වන විටත් ඇතැම් පළාත් පාලන නියෝජිතයන් හා එජාප ජ්‍යෙෂ්ඨයන් අතර පොදු එකඟතාවක් ද ඇතිකර ගෙන තිබුණේ පොදු සමාවද ප්‍රයෝජනයට ගනිමිනි.. ඇතැම් සභිකයෝ දිව්රුම් ප්‍රකාශ ලබා දී තමන්ගෙන් වරදක් සිදුවූ බවත් එම වරද නිවැරැදි කරගෙන ඉදිරියට එජාපයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන බවටත් සහතිකයක් ලබා දීමට කටයුතු කළහ එසේ නොවන සභිකයන් වෙනුවට අලුත් මන්ත්‍රීවරුන් පත් කෙරෙනු ඇත.

මේ ජරමර අස්සේ රනිල් වික්‍රමසිංහයන් පාර්ලිමේන්තුවට පැමිණීමත් පළාත් පාලන සභිකයන් පිරිසක් නැවත එජාපයට එකතුවීමත් හේතුවෙන් සමගි ජනබලවේගය පක්ෂය තුළ යම් කැලඹීමක් ඇතිව තිබේ.

මේ සම්බන්ධයෙන් සිළුමිණ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධනගෙන් විමසුවෙමු. ඔහු පැවසුවේ පළාත්පාලන සභිකයන් කිහිප දෙනකු මේ වන විටත් දිවුරුම් පෙත්සම් ලබා දී යළිත් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වී ඇති බවයි. වෙනත් දේශපාලන පක්ෂවලට මහ මැතිවරණයේදී යම් ලෙසකින් උපකාර කළද තව දුරටත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් මෙන්ම පක්ෂය ප්‍රවර්ධනය කිරීම පිණිස කටයුතු කරන බව පවසා ඔවුහු දිවුරුම් ප්‍රකාශ ලබා දුන්හ.

පොදු සමා කාලයේදී පක්ෂයට පිරිසක් සම්බන්ධ වූ බවද වජිර අබේවර්ධන පෙන්වා දුන්නේය. ඒ අනුව එම සභිකයන්ට තව දුරටත් පළාත්පාලන ආයතනයේ සිටිය හැකි වනු ඇත.

එසේම අවශ්‍ය නම් තව දුරටත් පොදු සමා කාලයක් ලබා දිය හැකි බවද වජිර අබේවර්ධනයන් පෙන්වා දුන් අතර එසේ නොවුවහොත් ඉදිරි සතියේදී නවක සභිකයන් පත් කරන බවද ඔහු පෙන්වා දුන්නේය.

ඒ අනුව අදාළ ප්‍රාදේශීය සභාවට හෝ නගර සභාවට පක්ෂයෙන් ඉවත් කළ අය වෙනුවට මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින අපේක්ෂකයාට වරම් හිමිවන බවද වජිර අබේවර්ධන පෙන්වා දුන්නේය.

එහෙත් කාන්තාවක් ඉවත් කළහොත් පත් කළ යුත්තේද කාන්තාවකි.

මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායකගෙන් විමසූ විට ඔහු පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම පෙත්සම ප්‍රතික්ෂේප කර ඇත්තේ තාක්ෂණික දෝෂයක් නිසා බවයි. එමනිසා පළාත්පාලන මන්ත්‍රීවරුන් යළිත් පෙත්සමක් ගොනු කරන්නට කටයුතු යොදා ඇති බවද ඔහු පැවසීය.

රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු ආගමනයත් සමඟම ඇතිව තිබෙන කසුකුසුවක් වන්නේ පාර්ලිමේන්තුවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඔහුත් සමඟ එකතුවන බවයි. එම රාවයත් සමඟ එජාපය හා සමගි ජන බලවේග අතර යළිත් සීතල අරගලයක් මතුවන ලකුණු පෙනෙන්නට තිබේ.

කෙසේ වෙතත් මේ ගැටුමට මැදි වූ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ අනාගතය නම් සුබ නොවනු ඇත.

එසේම නවක මන්ත්‍රීවරුන් පත්වුවද පවත්නා කොවිඩ් 19 වසංගතය හා ඔවුනට හිමි කෙටි කාල සීමාව නිසා ඔවුන්ටද ක්‍රියාකාරීවීමට හැකියාවක් නොවනු ඇ ත‍

පළාත්පාලන මැතිවරණය පැවැත්වූයේ ඉකුත් 2018 වසරේ පෙබරවාරි මස 10 වැනි දාය. පළාත් පාලන ආයතනයක නිල කාලය වසර හතරකි. ඒ අනුව 2022 වසරේ පෙබරවාරි මස 9 වැනි දා ප්‍රාදේශීය සභා නිලකාලය අවසන් වනු ඇත. ඒ අනුව තවත් ඇත්තේ මාස 7 ක පමණ කෙටි කාලයකි. එම නිසා මේ අර්බුදය පක්ෂ දෙකේ අනාගතයට නම් කිසිදු බලපෑමක් එල්ල කරන බවක් නොපෙනේ. එහාට මෙහාට පනින්ට ගිය පළාත්පාලන නියෝජිතයන්ට පක්ෂවලින් මෙන්ම මනාප දුන් අයගේ ඊළඟ පියවර කුමක් විය හැකිද යන්න අස්ථිරය.

Comments