
'ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර ආරම්භ වීමට තවත් ඇත්තේ මාසයකටත් අඩු කාලයකි. එහෙයින් එම තරගාවලිය සම්බන්ධයෙන් විවිධ ප්‍රවෘත්ති නිර්මාණය වෙමින් තිබේ. මෙවර තරගාවලිය සංවිධානය කරනුයේ කෙසේ ද? එය අතහැර දමනු ඇත් ද? එසේත් නැත හොත් පසුගිය වරට සාපේක්ෂ ව මෙවර තරගාවලිය තුළ සිදුවිය හැකි වෙනස්කම් මොනවාද? යන්න සම්බන්ධයෙන් මෙම ලිපිය සංගෘහිත ය.'
එල්.පී.එල්. තරගාවලිය ජූලි 29 වැනි දා සිට අගෝස්තු 22 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් දැනටමත් සැලසුම් කර තිබේ. ඊට මෙවරත් කණ්ඩායම් 5ක් තරග වදින අතර, ඒ ඒ කණ්ඩායම්වලට ඇතුළත් ප්‍රධාන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් (Icon Players) පිළිබඳ තොරතුරු ද මේ වන විට ක්‍රිකට් ආයතනය නිවේදනය කර අවසන් ය.
මෙවර තරගාවලියේ ගිය වර පැවැති තරගාවලියට සාපේක්ෂ ව වෙනස්කම් කිහිපයක් සිදුව ඇත. පසුගිය වසරේ පැවැති තරගාවලියේ දී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ නායකත්වය දැරූ කුසල් ජනිත් පෙරේරා මෙවර කලම්බු කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙස නම් කර ඇත. එමෙන්ම දඹුල්ල වයිකින්ග් කණ්ඩායම නියෝජනය කළ නිරෝෂන් දික්වැල්ල කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙස මෙවර නම් කර ඇති අතර, ධනුෂ්ක ගුණතිලක ගෝල් ග්ලැඩියේටර්ස්, දසුන් ශානක දඹුල්ල වයිකින්ග්, වනිඳු හසරංග ජැෆ්නා ස්ටෑලියන්ස් කණ්ඩායම්වල ප්‍රධාන ක්‍රීඩකයන් ලෙස නම් කර ඇත. එම ප්‍රධාන ක්‍රීඩකයකුගේ වටිනාකම අමෙරිකානු ඩොලර් 60,000 ක් (රුපියල් ලක්ෂ 120ක් පමණ වේ) ලෙස දැක්වේ.
ඊට අමතරව 'අයිකන' හා 'ඩයමන්ඩ්' යන කාණ්ඩ ද්විත්වය යටතේ විදේශීය ක්‍රීඩකයන් දෙදෙනකු ද ප්‍රධාන ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවට පෙර ඒ ඒ කණ්ඩායම් විසින් සිය කණ්ඩායම් තුළට ඇතුළත් කර ගත යුතු ය.
සෑම කණ්ඩායමකට ම ක්‍රීඩකයන් 20 දෙනකුගෙන් යුත් සංචිතයක් තෝරා ගත හැකි අතර, එම ක්‍රීඩකයන් 20 දෙනා අතරට දේශීය ක්‍රීඩකයන් 14 දෙනකු සහ විදෙස් ක්‍රීඩකයන් 6 දෙනකු ඇතුළත් වීම අනිවාර්ය වේ. අවශ්‍ය නම් කණ්ඩායම් කළමනාකාරීත්වයට පසු ගිය වර සංචිතයේ රැඳී සිටි ක්‍රීඩකයන් අතරින් සිව් දෙනකු (දේශීය 2 හා විදෙස් 2) මෙවර තරගාවලිය සඳහා ද රඳවා තබා ගත හැකි ය. මේ අතර කණ්ඩායම් කළමනාකාරීත්වය විසින් ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු තරගාවලි සංවිධායකයන්ට දැනුම් දිය යුත්තේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවට පූර්වයෙනි.
වට 20ක් යටතේ පැවැත්වෙන ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවේ දී 15 වන හා 16 වන වටවල දී කණ්ඩායම් විසින් දේශීය නැඟී එන ක්‍රීඩකයන් සිය කණ්ඩායම් සඳහා තෝරා ගත යුතු වේ.ජනවාරි පළමු වැනිදා වන විට අවුරුදු 23 ට අඩු වයසක පසු වූ සහ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කර නොමැති ක්‍රීඩකයන් කණ්ඩායම්වලට ඇතුළත් කගත යුතු ය.
එල්.පී.එල්. තරගාවලියේ දී ඒ ඒ කණ්ඩායම් සඳහා ක්‍රීඩා කරන අවසන් 11 දෙනාගේ කණ්ඩායම සඳහා අවම වශයෙන් විදෙස් ක්‍රීඩකයන් තිදෙනකු ඇතුළත් විය යුතු වේ. එමෙන් ම උපරිම වශයෙන් විදේශීය ක්‍රීඩකයන් සිව් දෙනකු ඇතුළත් කිරීමට කණ්ඩායමකට නිදහස හිමි ය.
තරගාවලියට සම්බන්ධ කර ගත නොහැකි වන ක්‍රීඩකයන් වෙනුවෙන් ආදේශක ක්‍රීඩකයන් තෝරා ගැනීම සදහා එල්.පී.එල් තරගාවලිය ආරම්භයට දින 10 ක ට පෙර ක්‍රීඩක ආදේශ කිරීමේ කෙටුම්පත් අවස්ථාවක් පැවැත්වෙයි. එම ආදේශ කිරීමේ දී ද නව ක්‍රීඩකයන් තෝරා ගත යුත්තේ, තරගාවලියට එක් නොවන ක්‍රීඩකයා අයත් වූ කාණ්ඩයට අයත් ක්‍රීඩක කාණ්ඩයෙන්මය.
ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර සඳහා විදෙස් ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීම පසුගිය දා (21) සිට ආරම්භ කරනු ලැබී ය. ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩවිය ඔස්සේ ජූනි 27 වනදා මධ්‍යම රාත්‍රී 12 දක්වා ලියාපදිංචි කාලයක් ලබා දීමට දැනටමත් කටයුතු යොදා ඇත. එලෙස ලියාපදිංචි වන සියලු ක්‍රීඩකයන් සුදුසුකම් මත පදනම්ව එල්.පී.එල් ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවට ඉදිරිපත් කරනු ඇත.
විදෙස් ක්‍රීඩකයන්
ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවට විදෙස් ක්‍රීඩකයන් තේරී පත්වන්නට නම් ඔවුන් සිය රටේ ජාතික කණ්ඩායම හෝ පළමු පෙළ තරග ක්‍රීඩා කර තිබීම හෝ ප්‍රධාන විස්සයි 20 ලීග් තරගාවලියක් (ප්‍රධාන සාමාජික රටවල්හි පවත්වන) ක්‍රීඩා කර තිබීම අනිවාර්යය. එමෙන්ම එම ක්‍රීඩකයන් ඔවුන්ගේ ක්‍රිකට් ආයතන විසින් පිළිගත් ක්‍රීඩකයන් ද විය යුතුව ඇත.
දේශීය ක්‍රීඩකයන්
දේශීය ක්‍රීඩකයන්, ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාවට ඉදිරිපත් කරනුයේ ජාතික තේරීම් කමිටුවේ නිර්දේශ මත ය. ජාතික කණ්ඩායම, නැඟී එන, සංවර්ධන කණ්ඩායම් සහ ‘ඒ’ කණ්ඩායම නියෝජනය කිරීම මෙන්ම ප්‍රධාන ක්‍රීඩා සමාජ තරගාවලිය ක්‍රීඩා කර තිබීම මෙහි දී සුදුසුකමක් වේ.
කණ්ඩායම් සංයුතිය
ජූලි මස අග දී ඇරඹෙන එල්.පී.එල්. තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරන කණ්ඩායම් 5 සඳහා එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 20 දෙනකුගෙන් යුත් සංචිතයක් තෝරා ගත යුතු ය.
පසුගිය වසරේ ආරම්භ වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මංගල ශූරතාව දිනා ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් පිල පරාජය කළ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් විය.










