නෙත­න්යාහු ගාසාව සම­තලා කරද්දී ඊශ්‍රායලයේ විප­ක්ෂය බලය අල්ලයි | Page 2 | සිළුමිණ

නෙත­න්යාහු ගාසාව සම­තලා කරද්දී ඊශ්‍රායලයේ විප­ක්ෂය බලය අල්ලයි

සති දෙකකට අධික කාලයක් පුරා පලස්තීනයේ ගාසා තීරයට මිසයිල ප්‍රහාර වැසි වස්සමින් දේශපාලන උපක්‍රමයක් අත්හදා බැලූ ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙත්නයාහු පසුගියදා පරාජයට පත් වූයේය. ඒ ඔහු අගමැති ලෙස ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට ලොවම අනුමත නොකරන දේ සිදු කරමින් සිටියදී විපක්ෂය පාර්ලිමේන්තුවේ බලය ලබා ගනිමින් ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු යෙදීම හේතුවෙනි.

ඊශ්‍රායලය තුළ ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට එරට දේශපාලනඥයන් අසමත් වෙමින් සිටින්නේ අදින් වසර දෙකක පමණ කාලයක සිටය. එම කාලය තුළ මැතිවරණ හතරක් පැවැත්වුවද එරට පාර්ලිමේන්තුව තුළ ප්‍රමාණවත් බහුතරය පවත්වා ගැනීමට ඔවුහු පොදුවේ අසමත් වූහ.

පක්ෂයක් ලෙස බෙන්ජමින් නෙත්නතයාහුගේ ලීකුද් පක්ෂය සෑම විටම පාර්ලිමේන්තුවේ වැඩි ආසන සංඛ්‍යාවක් හිමි කර ගැනීමට සමත් වුවද ඔහුද ආණ්ඩුවක් පවත්වා ගැනීමට අවශ්‍ය බහුතර ආසන සංඛ්‍යාව ලබා ගැනීමට සමත් වූයේ නැත. එපමණක්ද නොව සෙසු පක්ෂ සමඟ එක්ව සන්ධානයක් ගොඩනගා ගැනීමටද මෙවර නෙතන්යාහු සමත් වූයේ නැත. ඔහු ඒ වෙනුවට ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට සිදු කර සිටියේ දේශපාලන සංදර්ශනයකි. ඒ ගාසා තීරය බිමට සමතලා කරමින් මිසයිල ප්‍රහාර එල්ල කිරීමයි.

එහෙත් ඉතා බුද්ධිමත් ඊශ්‍රායෙල් ජනතාව යනු මේ සංදර්ශන මඟින් මුළා කළ නොහැකි පිරිසකි. නෙතන්යාහු මෙලෙස සංදර්ශන පවත්වමින් සිටියදී එරට විපක්ෂය එක්ව නව ආණ්ඩුවක් පිහිටුවන බව පසුගියදා නිල වශයෙන් නිවේදනය කර සිටියහ.

මේ නිවේදනය නිකුත් කර තිබුණේ ඊශ්‍රායලයේ ‘යේෂ් අටිඩ්’ පක්ෂයේ නායකයා වන ‘යේර් ලපිඩ්’ විසිනි. යේෂ් අටිඩ් පක්ෂය යනු නෙතන්යාහුගේ පක්ෂයට පමණක් දෙවැනි වෙමින් පාර්ලිමේන්තුවේ ආසන හිමි කර ගනිමින් සිටින පක්ෂයයි. අවසන් වරට පැවැත්වූ මැතිවරණයෙන් වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට නෙතන්යාහු සමත් වුවද ඔහුට ආණ්ඩුවක් පිහිටුවීමට ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් හිමිවූයේ නැත. එවිට නෙතන්යාහු සිදු කළේ සුළුතර ආණ්ඩුවක් පිහිටුවා ගැනීමයි. එහෙත් පාර්ලිමේන්තු බහුතරය පෙන්වා ආණ්ඩුවක් පිහිටුවීමේ අවස්ථාව සෙසු පක්ෂවලින් ඉවත්ව ගොස් තිබුණේ නැත. නෙතන්යාහු තම සුළුතර ආණ්ඩුව පවත්වා ගැනීමට උපරිම උත්සහා දරද්දී යේර් ලපිඩ් සෙසු පක්ෂවල සහය ලබා ගනිමින් ආණ්ඩුවක් පිහිටුවන බව නිවේදනය කර සිටියේය. ඒ එම අවස්ථාව අහෝසි වී යෑමට ඉතා සුළු වේලාවක් තිබියදීය.

යේර් ලපිඩ් මෙලෙස ආණ්ඩුවක් පිහිටවුවද පෙනී යන්නේ ඔහුට වුවද එය පවත්වාගන යෑම පහසු නොවන බවයි. ඔහුගේ සන්ධානයට එක්ව සිටින පක්ෂ දෙස බැලූ විට එය තනිකරම අච්චාරුවක් බව පෙනේ. එම පක්ෂ අතර ඊශ්‍රායලයේ වාමාංශික පක්ෂ මෙන්ම දක්ෂිණාංශික පක්ෂද වේ. එමෙන්ම මුස්ලිම් පක්ෂද ලපිඩ්ට සහය දැක්වීමට එක්ව තිබීම විශේෂයෙන් සඳහන් කළ යුතුය.

ලපීඩ්ගේ සන්ධානයට මුස්ලිම් ර’ අම් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත සිටිමින් සහයෝගය ලබා දෙන අතර පාර්ලිමේන්තුවේ ආසන හිමිකරගෙන සිටින දක්ෂිණාංශික යමීනා පක්ෂය, නිව් හෝප් පක්ෂය, ඊශ්‍රායෙල් බෙයිටෙනු පක්ෂය, මෙන්ම වාමාංශික බිලූ ඇන්ඩ් වයිට් පක්ෂය (ඊශ්‍රාෙයල් ධජයේ වර්ණ වන නිල් සහ සුදු මේ පක්ෂයේ නම ලෙස යොදාගෙන තිබේ) සහ ඊශ්‍රාෙයල් කම්කරු පක්ෂයද, වාමාංශික මෙරෙට්ස් පක්ෂයද, ඇරැබ් ර’ අම් පක්ෂයද ලපිඩ්ගේ සන්ධානයේ සාමාජිකයෝ බවට පත්ව තිබේ.

මේ එක්නෙකට දැඩි සේ ප්‍රතිවිරෝධී මත සහිත පක්ෂ එකට එක්වීම පෙන්නුම් කරන්නේ නෙතන්යාහු විරෝධය මිස අන් කිසිවක් නොවන බව පැහැදිලිය. සැබැවින්ම ඊශ්‍රායෙල් දේශපාලනඥයන්ට අවශ්‍ය කර තිබෙන්නේ වසර 12ක් පැරණි නෙතන්යාහු පාලනය පෙරළා දැමීම මිස අන් කිසිවක් නොවේ.

මේ අනුව රජයක් පිහිටුවීම සම්බන්ධව යේර් ලපිඩ් අදහස් දැක්වුවද නව රජයේ ප්‍රථම වසර දෙක තුළ අගමැති ධූරය හොබවනු ඇත්තේ යමීනා පක්ෂයේ න‌ෆ්ටාලි බෙන්නෙට් විසිනි.

තුන්වැනි සහ සිවු වැනි අවුරුදුවලදී යේර් ලපිඩ්ට අගමැති ධූරය හිමිවීමට නියමිතය. එතෙක් ප්‍රථම වසර දෙක තුළදී ලපිඩ් අතිරේක අගමැති සහ විදේශ ඇමති ධූරයන් හෙබවීමට නියමිතය.

නෙතන්යාහුගේ පාලනයට එරට ජනතාව පැහැදිලිව ජනවරමක් ලබා දී නොමැති වටාපිටාවක මේ අටවා ගත් සන්ධානයට කෙතෙක් ආයුෂ තිබේදයි අනාවැකි පැවසීමට තවමත් කල් වැඩිය. කෙසේ වුවද ඊශ්‍රායෙල් ජනතාව තම පාලකයන්ට ඉතා හොඳ පරීක්ෂණ කාලයක් නම් ලබා දෙමින් සිටින බව පැහදිලිව පෙනෙන අතර එය ලෝකයේ අන් ඔනෑම රටක ජනතාවක් අනුගමනය කළ යුතු අන්දමේ වැදගත් පරීක්ෂණයක් බව නම් පැවසිය යුතුමය.

 

Comments