
දේශපාලන ක්ෂේත්‍රය පසුගිය සතියේ එතරම් උණුසුම් නොවීමට සංචරණ සීමා ද බලපාන්නට ඇත. නමුත් ZOOM තාක්ෂණය ඔස්සේ සිදුකළ මාධ්‍ය හමු, මාධ්‍ය නිවේදනවලින් නම් කිසිදු අඩුවක් නොවීය.
පසුගිය සතියේ කොරෝනාවලටත් වඩා ඇතැම් අවස්ථාවලදී ප්‍රධාන මාතෘකාව බවට පත්වූයේ එක්ස්ප්‍රස් පර්ල් (Express Perl) නෞකාව පිළිබඳ කතාවයි.
මෙය කෙතරම් ප්‍රබල මාතෘකාවක් බවට පත් වූවා ද කියනවා නම් ඇතැම් මාධ්‍ය හමු, මාධ්‍ය නිවේදනවලින් කියවුණේ ආණ්ඩුව විසින් මෙම නෞකාව ගිල්වීම සඳහා ක්‍රියා කර වූ බව හැඟවෙන ආකාරයේ කතාවකි.
ආණ්ඩුව ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ බංකොළොත් දේශපාලන පක්ෂ ගෙනයන අසත්‍ය ප්‍රචාරයන්ට මේ රටේ ජනතාව රැවටෙන්නේ නොමැති බවයි.
රට ගැන හිතන - ජනාධිපති. අයහපත් කාලගුණික තත්ත්වය, කොරෝනා ව්‍යාප්තිය හා රටේ නිෂ්පාදන ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය කිරීමේ අභියෝගයට මුහුණ දෙමින් ඒ පිළිබඳව නිසියාකාර විසඳුම් සොයමින් ඉතා කාර්ය බහුලව කාලය ගත කළ සතියක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය සතිය ගත කරනු ලැබුවේ ය.
ජනපතිට එක පිට එක අභියෝග
මෙහිදී ඔහු ට ආකාර තුනක ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට සිදු විය. සිංහල අලුත් අවුරුදු සමයෙන් පසු ශීඝ්‍ර ලෙස රට පුරා පැතිර ගිය covid 19 රෝගී තත්ත්වයන්ට සෞඛ්‍ය අංශ හා ඒ පිළිබඳ නිපුන වෘත්තිකයින් සමඟ එක් වී විසදුම් සෙවීම හා දැඩි තීන්දු ගැනීම කිසිසේත්ම ලේසි පාසු අභියෝගයක් වූයේ නැත. එහෙත් ඔහු ඔවුන්ගේ විශේෂඥ උපදෙස්වලට මුල් තැන දෙමින් කොවිඩ් වසංගතය මර්දනය කිරීමේ කටයුතු සඳහා ගත යුතු අවශ්‍ය හැම පියවරක්ම පසුගිය දිනවල ගනු ලැබුවේය. දැඩි සංචරණ සීමා පනවා රට වසා දැමීම මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය හා බලවතුන් සමඟ සම්බන්ධීකරණය ඇති කර ගනිමින් කොවිඩ් මර්දන එන්නත් ගෙන්වා රට පුරා බෙදා හැරීම ඒ අතරින් කැපී පෙනෙන කාරණා දෙකක් විය.
එහෙත් එම කටයුතුවලට බාධා කරමින් දවසින් දවස නරක අතට හැරුණු කාලගුණික විපර්යාසයන්ට මුහුණ දෙන්න ද ජනාධිපතිවරයාට සිදු විය. නිසි කළමනාකරණය හේතුවෙන් එම අභියෝගය ද පාලනය කර ගැනීම ජනාධිපතිවරයාට අපහසු වූයේ නැත. කොරෝනා රෝගයෙන් අසරණ වූවන්ට මෙන්ම අයහපත් කාලගුණික විපර්යාස නිසා ද අසරණ වූවන්ට නිසි සහන සැලසීමේ අභියෝගය ද කිසි ලෙසකත් පහසු කරුණක් වූයේ නැත.එහෙත් ජනාධිපතිවරයා එම අභියෝගය ද ජයග්‍රහණය කළේ ය.
තත්ත්ව මෙසේ තිබියදී කොළඹ වරායට නාවික සැතපුම් නවයක් දුරින් මහා සාගරයේ සිදු වූ නැව ගිනිගැනීමේ ඛේදවාචකය ද පසුගිය සතියේ ජනාධිපතිවරයා ගේ අවධානය දිනා ගත් තවත් වැදගත් කාරණාවක් විය.
එහෙත් විශේෂත්වය වූයේ මේ සියලු අභියෝග තිබියදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තම ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රකාර තිරසාර සංවර්ධනයක් සඳහා රට තල්ලු කරගෙන යාමේ කටයුත්තද මේ හා සමගාමී ව ම ආරම්භ කිරීමයි.
සංචරණ සීමා දින 7ක් දික්වූ හැටි
පසුගිය සතිය පුරාම ජනාධිපතිවරයාගේ කටයුතු ලෙස අපි අත් දකිනු ලැබුවේ අභියෝග රැසක් මැද ජනාධිපති ගෝඨාභය එකී මෙහෙයුම ක්‍රියාත්මක කරමින් දිවා රෑ පුරා වෙහෙසෙන ආකාරයයි.
දැඩි ලෙස සංචරණ සීමා පනවා කොවිඩ් මර්දන නීති රෙගුලාසි කිසිදු අඩු ලුහුඬුවකින් තොරව ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය පරිසරය සෞඛ්‍ය අංශයට හා ආරක්ෂක අංශ වලට සපයා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා නිවැරදි තීන්දු තීරණ ගැනීම සඳහා අවශ්‍ය කමිටු රැස්වීම් ද ගණනාවක් ම පවත්වනු ලැබීය. සෞඛ්‍ය අංශ සම්බන්ධ කරගෙන පවත්වනු ලැබූ රැස්වීම්වලදී දිගින් දිගටම යෝජනා වූයේ රට පුරා කොරෝනා පැතිරීමේ අවදානම අනෙක් පැත්තට හැරවීමට නම් රට එළඹෙන 7 වැනිදා වන තුරු නොව 14 වැනිදා වන තුරු වසා තබන්නේ නම් මැනවැයි යන්නය.
කොළඹ වරායට ආසන්න තැනක මුහුදේදී විපතට පත් වුණු පර්ල් එක්ස්ප්‍රස් නෞකාව ගැන තීරණාත්මක තීන්දු රැසක් ගැනීමට ජනාධිපතිවරයා පසුගිය සතියේදී සිය අවධානය යොමු කළේ ය. මේ සඳහා විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා (01) හවස 5.00ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. මේ සඳහා වරාය කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, ඩග්ලස් දේවානන්ද, මහින්ද අමරවීර, කංචන විජේසේකර, නාලක ගොඩහේවා, වරාය සභාපති ජෙනරල් දයා රත්නායක, නාවික හමුදාපති, පොලිස්පති, නීතිපති ඇතුළු දේශපාලනඥයෝ හා නිලධාරීහු රැසක්ම පැමිණ සිටියහ.
"ඇත්තටම මොකක්ද මේ නැවේ කතාව. මට ඒක එච්චර පැහැදිලි නැහැ. කවුරුහරි මෙතන තියෙන ඇත්ත තත්ත්වෙ මුල ඉඳලම මට පැහැදිලි කරන්නකෝ... " ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම රැස්වීම සඳහා පැමිණෙමින් ඉඳ ගත්තේ එසේ ප්‍රශ්න කරමිනි.
නැවේ කතාව සංකීර්ණ වූ හැටි
ප්‍රශ්නෙට උත්තර දෙමින් කතා කරන්නට රෝහිත අබේගුණවර්ධන ඉදිරිපත් විය. මෙම නැවේ දිග පළල බර, කන්ටේනර් කොපමණ සංඛ්‍යාවක් තිබුණා ද ඒවා ඇතුළේ මොන මොනා තිබුණාද, ඒවා කොහි සිට කොහාට ගෙන යන්නේද, ආපු ගමන් මඟ කෙසේද යන ආදී වශයෙන් ඔහුගේ විස්තරය තරමක් දිගු එකක් විය.
ඔහුගේ විස්තරයට අනුව මෙම නැව පසුගිය මාසයේ 09 වැනිදා අදාළ වරායෙන් ගමන් අරඹා ඇතත් අතර මඟ වරායන් දෙකකට ගොස් යම් කන්ටේනරයක රසායන ද්‍රව්‍ය කාන්දුවක් සහිතව කොළඹ වෙත පැමිණ ඇත්තේ පසුගිය 19 වැනිදා ය.
"මේ නැවේ කන්ටේනර් එකක රසායන ද්‍රව්‍ය කාන්දුවක් නිසා ඒ කන්ටේනරය ඉන්දියාවේ බාන්න වරායෙන් අවසර ඉල්ලලා තියෙනවා. එතන පහසුකම් නෑ කියලා එයාලා බෑ කියලා. ඊට පස්සේ 19 වෙනිදා මේක ඇවිත් වරායෙන් පිට නැංගුරම් දානවා. 20 වැනිදා හවස 4 කුත් ගානට තමයි මෙයාලා නැවේ ගින්නක් බව අපේ වරායට දැනුම් දීලා තියෙන්නේ.
වරාය අධිකාරිය නාවික හමුදාවේ සහාය ඇති ව සමුද්‍ර නාවික ප්‍රවාහන සේවාවන්හි නිලධාරීනුත් සමඟ 21 වැනිදා මුහුදට ගොස් මේ ගින්න නිරීක්ෂණය කරලා ඊට පස්සේ තමයි නාවික හමුදා ටග් යාත්‍රාවක් මඟින් නැවට වතුර විදිමින් ගින්න නිවන්න පටන් අරන් තියෙන්නේ. ඉන් පසුව නාවික හමුදාවේ සහයට ගුවන් හමුදාවත් පැමිණියා."
"එතකොට කවුද මේ නැවේ වගකිව යුත්තෝ..." ජනපති විමසීය.
"මේ නැවේ ශ්‍රී ලංකා නියෝජිත ඒජන්සියක් වෙනම ඉන්නවා. මෙය රක්ෂණය කරපු සමාගම ඉන්නවා. ඒ වගේ ම සමුද්‍රාසන්න පරිසරය සම්බන්ධ ආයතන හා සංවිධාන ගණනාවක් ඉන්නවා. ඒ ඔක්කොමත් එක්ක වරාය අධිකාරිය සාකච්ඡා කරන්නේ 22 දා. නෞකාවේ අයිති කරුවන් වෙනුවෙන් බේරුම්කාර සමාගමකුත් ඇවිල්ල තිබුණා"රෝහිත පැවසීය.
කවද්ද මේ ගින්න දරුණු අතට හැරුණේ... ඒ කෙහොමද..? නැවත විමසුවේ ජනපතිය.
"25 වැනිදා මේ නැවෙන් පිපිරීමක් වාර්තා වෙනවා.ඉන් සේවකයෝ තුන් දෙනෙක් තුවාල ලබලා. සියලුම කෘ එක නැවෙන් පිට වෙන්න තීරණය කළේ ඊට පස්සේ"
ඇමැති රෝහිත හා නාවුක හමුදා නිලධාරීහු විසින් ඉන් පසුව ගින්න මැඬලන්නට වෙහෙස වූ ආකාරයත් එහි වූ යම් යම් බහාලුම් ගිනිගෙන මුහුදට වැටී ඇති ආකාරයත් ඒවායේ තිබෙන යම් යම් රසායනික ද්‍රව්‍යයන්ගෙන් රටේ බටහිර වෙරළ තීරය හා මුහුදු ජලය අපවිත්‍ර වූ ආකාරයත් විස්තර කරන්නට වූහ.
හරි... දැන් මට තියන්න ඔතන වර්තමාන තත්ත්වය මොකක්ද කියලා... යළිත් ජනපති විමසීය.
අපි මෙතනට එන්න පැයකට දෙකකට කලින් අපේ කණ්ඩායමක් නැව ළඟට ගියා. තුන් දෙනෙක් නැවට ඇතුළුවෙලා නිරීක්ෂණය කළා. නැවේ වතුර පිරිලා තියෙනවා. දැන් තියෙන ප්‍රශ්නය තමයි කොයි වෙලේ හෝ නැව ගිලෙන්න පුළුවන්. එහෙම වුණොත් එවිට බරපතළ පරිසර විනාශයක් වෙනවා. නැවේ තියෙන තෙල් ටිකක් මුහුදට එකතු වුණොත්...."
සමුද්‍රීය පරිසර අධිකාරියේ නිලධාරීහු එසේ වුවහොත් සිදුවන පරිසර විනාශයේ තරම ගැන විස්තර කරන්නට වූහ.
" නැවට ටික ටික වතුර පිරෙනවා. නැව ගැඹුරු මුහුදට ඇදගෙන ගියොත් තමයි සර් හොඳ...."
"ඒක අපට තීරණය කරන්න බැහැ නේ... ඒක තීරණය කරන්න ඕන මේ පිළිබඳ එක්ස්පර්ට්ලා. එයාලා මොකද කියන්නේ..."
"අපේ නිරීක්ෂණය අනුව ගින්න නිවන්න ගහපු වතුර විශාල ප්‍රමාණයක් මෙහි තියෙනවා. ඒ වගේම සිදුරකින් වතුර ඇතුළු වෙන බව පේනවා. නිසැකවම නැව ගිලෙනවා. මේ වෙලාවේ නැව අයිති සමාගමත් ඉල්ලනවා නැව ගැඹුරු මුහුදට ඇදගෙන යන්න. අපෙත් මතය ඒකයි. මෙතන නැව ගිලුණොත් ලංකාවේ පරිසරයට වෙන විනාශය වැඩියි." නාවික හමුදාපති කීවේ ය.
"මේ වෙලාවේ නැවේ තියෙන තෙල් ටික ඇදලා පිටට ගන්න පුළුවන් තරම් බාචි පහසුකම් තියෙනව ද...."
"ඒ තරම් ලොකු ඒවා අපට නැහැ සර්... ඒ වගේම නැව අදින්න තරම් ශක්තිමත් යාත්‍රා අපට නෑ..." නාවික හමුදාපති කීය.
"විශ්වවිද්‍යාලවල සමහර ආචාර්ය මහාචාර්යවරු කතා කරලා කියනවා එයාලාගෙන් උපදෙස් ගත්තෙ නැහැ කියලා..."
මහින්ද අමරවීර එසේ කියද්දී ජනාධිපතිවරයා ඊට උත්තර දුන්නේ ය.
"හරි ඉතින් ඒගොල්ලන්ගෙනුත් උපදෙස් ගන්නකෝ...."
ඒ විතරක් නෙවෙයි ජනාධිපති තුමා... අපි මේ නැවේ ගින්න නිවන්න ලොකු වෙහෙසක් දැරුවා. නිලධාරීහු මෙහිදී විවිධ අදහස් පළ කළහ.
කොරෝනා වෙනුවෙන් රු. බිලියන 259 ක්
ඇමැති මහින්ද අමරවීර, රාජ්‍ය ඇමැති නාලක ගොඩහේවා, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර ද විවිධ අදහස් ඉදිරිපත් කරමින් මතු වී තිබෙන බරපතළ ගැටලුවේ තරම ජනාධිපතිවරයාට පැහැදිලි කළහ.
"මට දැන් ඔය අරක මේක කිය කිය ඉන්න එපා. ඕව කිය කිය මේක දැන් මෙතන තියාගෙන මක්කරන්නද. ඉක්මනට ඇදලා ගිහින් දාන්න බලන්න... අවසාන වශයෙන් ජනාධිපතිතුමා තරමක් දැඩිව කියා සිටියේය.
අවසානයේ තීන්දු කළේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ බලතල ප්‍රකාරව කටයුතු කරමින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැඹුරු මුහුදට ඇද ගෙන යාමේ කටයුතු වලට හැකි තරම් ඉක්මනින් සහයෝගය ලබාදීමට ය.
එදා හවස පැය දෙකකට ආසන්න කාලයක් මෙම කතාබහ සඳහා වැය කරන්නට ජනාධිපතිවරයාට සිදු විය.
"අපේ රජය කොයි තරම් උත්සාහ කරනවා ද මේ කොයිඩ් අර්බුදයෙන් ගොඩ එන්න. විපක්ෂය සහය දෙන්නේ නැහැ. හැම දෙයක්ම විවේචනය කරනවා විතරයි. මේ වෙනකොට covid මර්දනය කරන්න රජය රුපියල් බිලියන දෙසිය පනස් නවයක් වියදම් කරලා ඉවරයි. අපේ රටේ අවශ්‍ය සෑම අයෙකුට ම කොවිඩ්වලින් ආරක්ෂා වෙන්න අවශ්‍ය පරිදි එන්නත විදින්න සියලු සැලසුම් සකස් කරල ඉවරයි.
දුගී දුප්පත් ජනතාව සඳහා ජීවත්වෙන රුකුලක් දෙන්න රුපියල් පන්දහසේ දීමනාව බෙදා හරින්නත් අපි රුපියල් බිලියන 27 ක් වියදම් කරලා තියනවා. මේ එකක්වත් රජයකට ලේසි පහසු වැඩ නෙවෙයි.
සබ්රිගේ එන්නත් ප්‍රශ්නයට ජනපතිගෙන් පිළිතුරු
අපි කර්මාන්තශාලා වහලා දමන්නෙ නැත්තේ රටේ වියදම් දරන්න ආදායමකුත් අවශ්‍ය නිසයි. ඒ වගේ ම රටේ ජනතාවට හිඟයකින් තොරව ආහාර ද්‍රව්‍ය ලබා දීමත් අවශ්‍යයි. වී ගොවියා, එළවළු ගොවියා, පලතුරු ගොවියා, හේන් ගොවියා රැක ගැනීම අවශ්‍යයි. ඔවුන්ට ආදායමක් ලැබෙනවා වගේම රටේ ජනතාවට ආහාර ලැබෙනවා. ඔබලා තමයි මේවා කළමනාකරණය කරන්න ඕනේ. ඒ කිසි දෙයක් කඩා වැටෙන්න දෙන්න බෑ.ජනාධිපතිවරයා එසේ පැවසුවේ පසුගිය අඟහරුවාදා ආණ්ඩුකාරවරුන්ගේ සහ දිසාපතිවරුන්ගේ රැස්වීමේදීය.
මෙවර ද අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වුණේ zoom තාක්ෂණය හරහායි. මේ දිනවල දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති සහ විපක්ෂයේ ද ප්‍රධාන මාතෘකාවක් වී ඇති සයිනොෆාම් එන්නත මිලදීගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් විය.
මෙම ප්‍රශ්නය අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කළේ අධිකරණ අමාත්‍ය අලි සබ්රි අමාත්‍යවරයායි. "චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතේ මිල ගණන් පිළිබඳව මේ දවස්වල වැඩි වශයෙන් කතාවට ලක් වෙනවා. ඒ එන්නත ලංකාවට ලබා දෙනවාට වඩා අඩු මුදලකට බංගලාදේශයට ලබාදෙන්න චීනය සූදානම් බව කියවෙනවා. " ෂබ්රි කීවේය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කළේ එන්නත් මිලදී ගැනීමේ ක්‍රියාවලිය විනිවිදභාවයෙන් යුතුව ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුවම සිදුවී ඇති බවයි." මම මේ ගැන ලෝක බැංකුව සමඟත් සාකච්ඡා කළා. ඖෂධ නිෂ්පාදනයේ යෙදෙන සමාගම් නොයෙකුත් මිල ගණන් යටතේ ඖෂධ විකිණීම නතර කරන්න බෑ. අපේ ප්‍රමුඛ අවධානය යොමුකර තිබෙන්නේ හැකි ඉක්මනින් වැඩි එන්නත් ප්‍රමාණයක් රටට ගෙන්වාගෙන ජනතාවට ලබාදීමටයි." ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
" විපක්ෂය නඟන ඔය චෝදනාව සම්බන්ධයෙන් මෙරට පිහිටි චීන තානාපතිවරයා උත්තරයක් දීලා තිබුණා. ඒක සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙනවා. ඔහු කියලා තිබුණේ අදාළ මිල ගණන් සම්බන්ධයෙන් බංගලාදේශය සමඟ එකඟත්වයක් තවමත් පළවෙලා නැති බවයි” ඇමති ප්‍රසන්න රණතුංග කීවේය.
රු. 5000 ගැන අගමැති කිව්වේ මොනවා ද?
මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා රුපියල් 5000 දීමනාව ලබාදීමේ වැඩපිළිවෙල ගැන ඇමති මණ්ඩලය දැනුම්වත් කළේය. “පවුල් ලක්ෂ 60 කට ආසන්න සංඛ්‍යාවකට අපි මේ රුපියල් 5000 දෙන්න ලෑස්ති කරලා තියෙනවා. දැනටමත් ග්‍රාමීය කමිටු ඒ ගැන කටයුතු කරගෙන යනවා. විශේෂයෙන්ම මේ 5000 බෙදා දීමේ වැඩපිළිවෙලේදී එය සුදුස්සන් අතට ලැබෙන ක්‍රමවේදයක් අපි හදලයි තියෙන්නේ.” අගමැතිවරයා පැහැදිලි කළේය.
“ඒක හොඳයි, ඒ වගේම දේශීය ගොවීන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමේ ක්‍රමවේදයකුත් හදන්න ඕනේ. අපි ඒවා මිලදී අරගෙන නොමිලේ බෙදා හැරියත් කමක් නෑ. මොකද සමහර පළාත්වල එළවළු සහ පලතුරු විකුණා ගැනීමේ විවිධ දුෂ්කරතා මතුවී තිබෙනවා කියලා සමහරු කියනවා.” ජනාධිපති ගෝඨාභය කීවේය.
“සර් අපි එළවළු මිලදී ගැනීමේ ක්‍රියාවලිය පටන් අරන් තියෙන්න. ඊයෙත් එළවළු කිලෝ ලක්ෂ 80ක් ගත්තා. බෙදා හැරීමේ යාන්ත්‍රණයකුත් හැදුවා.” ඇමති මහින්දානන්ද කීවේය.
“කෙසෙල්, ගස්ලබු වගේ පලතුරු අලෙවි කරගන්න විදියක් නෑ කියලයි සමහරු කියන්නේ” ඇමති මහින්ද අමරවීරද කතාවට එක්වෙමින් කීවේය.
“සෞඛ්‍ය ඇමතිතුමියත් මට ඔය ගැන කිව්වා. අපි ඒ ගැනත් කටයුතු කළා.” ඇමති මහින්දානන්ද පිළිතුරු දුන්නේය.
එළවළු, පලතුරු මිලදී ගත්ත හැටි ප්‍රසන්න කියයි
“සර් අපි ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාවලින් එළවළු පලතුරු තොග වශයෙන් මිලදී අරගෙන ගම්වලට ගිහිල්ලා බඩු විකුණන්න අවසර තියෙන අයට ලබාදීමේ ක්‍රමවේදයක් හැදුවා.” ඇමති ප්‍රසන්න පැහැදිලි කළේය.
“ඒක හොඳයි, කෘෂිකර්ම ඇමතිතුමා මේ එළවළු සහ පලතුරු මිලදී අරගෙන එය බෙදා හැරීමේ වැඩපිළිවෙළ ගැන බලන්න. මොනවා හරි ගැටලුවක් අඩුපාඩුවක් තියෙනවා නම් ඒවා ඉක්මනින් විසඳන්න. මොකද සංචරණ කාල සීමාව තුළ ජනතාවට අවශ්‍ය බඩු බාහිරාදිය ගෙවල් අසලටම යන එක විධිමත් කරන්න අවශ්‍යයි. ඒ ගැන හැමෝම සොයා බලන්න.” ජනාධිපති ගෝඨාභය උපදෙස් දුන්නේය.
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේත්, විරුද්ධ පක්ෂයේත් ජනතා නියෝජිතයන්ගෙන් කොවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරසයෙන් නූලෙන් බේරි සිටින්නේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ලය.
කිරිඇල්ල කොරෝනා ආසාදිත වූ ජනතා නියෝජිතයන් දෙදෙනෙකුටම මැදිවී කොරෝනාවෙන් බේරී සිටීම ඊට හේතුවයි.
කිරිඇල්ලගේ වම් පසින් මැති සබය තුළ අසුන්ගෙන සිටින්නේ විපක්ෂ නායක, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාසය.
කිරිඇල්ලට දකුණු පසින් සිටින්නේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්ය.
කිරිඇල්ලගේ දෙපැත්තේ සිටි දෙදෙනාගෙන් මුලින්ම කොරෝනා ආසාදනය වූයේ රවුෆ් හකීම්ටය.
රවුෆ් හකීම් පාර්ලිමේන්තුව තුළ කිරිඇල්ල සමඟ ද කතා බස් කොට තිබුණේය.
කිරිඇල්ල ද PCR පරීක්ෂණයට මුහුණ දුන්නද ඔහුට කොරෝනා ආසාදනය වී තිබුණේ නැත.
සජිත් ප්‍රේමදාසට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ පසුවද කිරිඇල්ල PCR පරීක්ෂණයකට මුහුණ දුන්නේය.
ඊට හේතුව සජිත් ප්‍රේමදාස සමඟ කිරිඇල්ල කිහිපවතාවක්ම සමීපයේ සිට කතාබහ කිරීම නිසයි.
එවර කිරිඇල්ල ද PCR පරීක්ෂණයකට මුහුණ දුන්නද ඔහුට කොරෝනා ආසාදනය වී තිබුණේ නැත.
කිරිඇල්ල පාර්ලිමේන්තුව තුළ දැඩි ලෙස සෞඛ්‍ය උපදෙස් පිළිපදින ස්වභාවයක් දක්නට ලැබුණි.
මුඛ ආවරණ පැලඳීම හා විසබීජ නාශක දියරවලින් දෑත් සේදීම කිරිඇල්ලගෙන් නිතරම සිදුවිය.
“කිරිඇල්ල මන්ත්‍රීතුමා කොරෝනාවලින් බේරී සිටීමේ රහස මොකක්ද?” විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ කිහිප දෙනෙක්ම කිරිඇල්ලගෙන් විමසූ අතර “පෙර පින තමයි” කියමින් කිරිඇල්ල සිනාසෙමින් පිළිතුරු ලබා දුන්නේය.
රනිල්ගේ නම ඒකමතිකව සම්මත වූ හැටි
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගිය සතියේ සඳුදා රැස්වූවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදීය.
පවතින දේශපාලන වටා පිටාව ගැන කතා කළ වජිර පක්ෂයට හිමිව තිබෙන එකම මන්ත්‍රී ධූරයට රනිල් වික්‍රමසිංහට යා යුතු බවට කීවේ නායකයා දෙස බලමිනි. "මේ වෙලාවේ විපක්ෂයේ බලවේගයක් අවශ්‍යමයි. ඒ බලවේගයට පාර්ලිමේන්තුව තුළ නායකයෙක් නෑ. ඒ නිසා මම යෝජනා කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට නායකතුමා යා යුතුයි කියලා." වජිර කීවේය.
"මමත් එම යෝජනාව සමඟ එකතු වෙනවා. විපක්ෂයේ පක්ෂ අතරින් අපට එන ආරංචි බැලුවාම නායකතුමා අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු යා යුතුයි. විපක්ෂයේ ලොකු නායකත්ව හිඩැසක් තියෙනවා. අත්දැකීම් ඇති නායකයෙක් විපක්ෂයට නෑ. ඒ නිසා මාත් යෝජනා කරනවා පක්ෂයට හිමි එකම මන්ත්‍රී ධූරය නායකතුමා භාරගත යුතුයි කියලා." දයා පැල්පොළ ද වජිරගේ යෝජනාවට එක්වූවේ එසේ කියමිනි. දෙදෙනාගේ යෝජනාව ස්ථිර කරනු ලැබූවේ ආනන්ද කුලරත්න විසිනි.
පැමිණ සිටි කෘත්‍යාධිකාරි මණ්ඩල සභිකයන් කිසිවෙකුගෙන් යෝජනාවට විරුද්ධව අදහස් පළ වූවේ නැත. පැමිණ සිටි කෘත්‍යාධිකාරි මණ්ඩල සභිකයන් විසි පස් දෙනා අතරට රවි කරුණානායක, නවීන් දිසානායක හා අර්ජුණ රණතුංග ද එක්ව සිටියහ.
"පක්ෂය මගේ නම යෝජනා කිරිම ගැන කෘතඥ වෙනවා. මම මේ ගැන තවම තීන්දුවක් අරගෙන නෑ. නමුත් සුදුසු අවස්ථාවේ සුදුසු තීරණය ගන්න පසුබට වෙන්නෙත් නෑ." නායකයාගේ ප්‍රතිචාරය වූවේ එයය.
ඇමති විමල් රුසියාවට
2021 ජූනි 02-05 දක්වා රුසියාවේ පැවැත්වෙන 24 වැනි ශාන්ත පීටර්ස්බර්ග් අන්තර්ජාතික ආර්ථික සමුළුවට (SPIEF 2021) ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සහභාගි වීමට නියමිතය.
රුසියානු ෆෙඩරේෂණයේ ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ලොව පුරා රටවල් 120ක පමණ ඉහළ මට්ටමේ රාජතාන්ත්‍රිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම අන්තර්ජාතික ආර්ථික සමුළුවට අන්තර්ජාතික ආර්ථික සංවිධානවල ප්‍රධානීහු, රුසියානු සහ වෙනත් රටවල රාජ්‍ය හා පෞද්ගලික සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීහු ද ඇතුළු පිරිසක් එක් වීමට නියමිතය.
වෙඩි තැබීමේ ජයක් සොයන්න නාමල් වෙහෙසෙයි
වෙඩි තැබීමේ ක්‍රීඩාවෙන් ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ හිමිකර ගැනීමේ අරමුණ ඇතිව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඔප්නැංවීම සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂයන් ශ්‍රී ලංකා ජාතික වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලනය සමඟ ගිවිසුම්ගත වෙමින් ඔවුන්ට මූල්‍ය ප්‍රදානයක් ලබා දුන්නේය.
කොහුවල අලුතින් ඉදිවන ජාතික වෙඩි තැබීමේ මධ්‍යස්ථානයේදී අදාළ ගිවිසුම්ගතවීම හා මූල්‍ය ප්‍රදානය සිදුවිය.
තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය වෙනුවෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය සහ ශ්‍රී ලංකා ජාතික වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලනයේ සභාපති ශිරාන් පීරිස් අදාළ ගිවිසුමට අත්සන් තැබූහ.
වෙඩි තැබීමේ ක්‍රීඩාවේ නිරත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වැඩිදියුණු කරමින් ඔවුන්ව දිරි ගැන්වීමේ අරමුණ ඇතිව අමාත්‍ය නාමල් රාජපක්ෂගේ උපදෙස් පරිදි රුපියල් 12,135,020/-ක මුදලක් මෙලෙස ප්‍රදානය කෙරිණි.