
අනූනව වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ පළමු අදියරේ දී වසරේ තමන් සහභාගි වූ පළමු තරගයේ දී ම විශිෂ්ට ධාවනයක් ප්‍රදර්ශනය කළ 16 හැවිරිදි තරුෂි කරුණාරත්න කනිෂ්ඨ ලෝක මලල ක්‍රීඩා ශූරතාව ට සුදුසුකම් ලැබීමට සමත්වූවා ය.
අයහපත් කාලගුණික තත්ත්වය යටතේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගාවලියේ දී සුපුරුදු දක්ෂතා අතරට ඒමට බොහෝ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අසමත් විණි. එහෙත් වලල රත්නායක විදුහලේ තරුෂි කරුණාරත්න මීටර 800 තරග ඉසව්ව විනාඩි දෙකයි තත්පර 7.21 ක කාලයකින් නිම කරමින් මේ වසරේ නයිරෝබි නුවර පැවැත්වීමට නියමිත කනිෂ්ඨ ලෝක මලල ක්‍රීඩා ශූරතාව ට සුදුසුකම් සම්පූර්ණ කළා ය.
කනිෂ්ඨ ආසියානු ශූරතා පදක්කම්ලාභී හර්ෂ කරුණාරත්නගෙ නැඟණිය වන තරුෂි ද පුහුණුව ලබන්නේ මලල ක්‍රීඩා පුහුණුරු සුසන්ත ප්‍රනාන්දු යටතේ ය.
කනිෂ්ඨ ලෝක ශූරතා කාන්තා මීටර 800 ඉසව්ව සඳහා ලෝක මලල ක්‍රීඩා ආයතනය හඳුන්වා දී ඇති පරිසාධන මට්ටම වූයේ විනාඩි දෙකයි තත්පර 08.70 ක කාලය කි. මේ වන විට කනිෂ්ඨ ලෝක ශූරතාව සඳහා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනකු සුදුසුකම් ලබා ඇති අතර ඉන් දෙදෙනකු ම සුදුසුකම් සම්පූර්ණ කළේ මීටර් 800 ඉසව්ව සඳහා වීම ද සුවිශේෂී ය. මීට පෙර ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ ශානිකා ලක්ෂාණි ඉසව්ව විනාඩි දෙකයි තත්පර 9.63 කින් අවසන් කරමින් ඊට සුදුසුකම් ලැබී ය.
මුහුදු මට්ටමේ සිට මීටර් 1795 ක් ඉහළින් පිහිටි කෙන්යාවේ නයිරෝබි නුවර දී ක්‍රියාත්මක කෙරෙන මීළඟ කනිෂ්ඨ ලෝක ශුරතා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා 16 හැවිරිදි තරුෂි කරුණාරත්න සහ ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ ඉගෙනුම ලබන 18 හැවිරිදි කේ. ශානිකා ලක්ෂාණි යන ක්‍රීඩිකාවන් මෙන්ම මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ ඉගෙනුම ලබන 18 හැවිරිදි ඉසුරු කෞශල්‍ය අභයවර්ධන ඒ අනුව සුදුසුකම් ලබා ඇත. තරුෂි කරුණාරත්න සහ ශානිකා ලක්ෂාණි මීටර් 800 ඉසව්වේ දී ප්‍රදර්ශනය කළ දක්ෂතා පදනම් කර ගනිමින් ද පිරිමි මීටර් 400 දක්ෂතාව මත ඉසුරු කෞශල්‍ය අභයවර්ධන ද ඊට සුදුසුකම් සපුරා ගත්හ.
මෙවර තරගාවලියේ මූලික ම අරමුණ වූයේ ටෝකියෝ ඔලිම්පික් උලෙළ සඳහා සුදුසුකම් ලැබීමට අවශ්‍ය පරිසාධන කඩඉම් පසු කිරීම වුව ද, එකී බලාපොරොත්තුවෙන් තරග වැදුණු බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සිය සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට නොහැකි විය. කාන්තා මීටර 800 ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටු වූ ඩිල්ෂි කුමාරසිංහ තරගය අතරතුර ආබාධයකට ගොදුරු වීම අවාසනාවන්ත තත්ත්වයකි. ඒ සමඟම තරගයේ වේගය අඩාළ විය. ආසියානු ශ්‍රේණිගත කිරීම්වල තෙවන ස්ථානයේ පසුවන නිමාලි ලියනාරච්චි මෙම තරගය ජයග්‍රහණය කළේ විනාඩි 2යි තත්පර 06.69 ක කාලයකිනි. හිටපු ශූරියක් වන ගයන්තිකා අබේරත්න මෙම තරගයට සහභාගි නොවූ අතර තරගයේ දෙවැනි ස්ථානය දිනා ගත්තේ 16 හැවිරිදි තරුෂි වීම ද විශේෂත්වයකි.
පසුගිය ඔලිම්පික් උලෙළ නියෝජනය කළ සුමේධ රණසිංහ හෙල්ල විසි කිරීමෙන් දෙවැනි ස්ථානය දිනා ගනිද් දී, හිටපු ජාතික වර්තා ලාභියා වූ වරුණ ලක්ෂාන් මීටර 75.91 ක් වාර්තා කරමින් ප්‍රථම ස්ථානය දිනා ගත්තේ ය.
කාන්තා හෙල්ල විසි කිරීමෙන් 2008 ඔලිම්පික් උලෙළ නියෝජනය කළ නදීකා ලක්මාලි දෙවනි තැනට ඇද දමමින් දිල්හානි ලේකම්ගේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේ මීටර 52.88ක් වාර්තා කරමිනි.
බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙවර තරගාවලියේ දී ඉහළ දස්කම් දැක්වීමට නොහැකි වුවත් මේ වනවිටත්
ටෝකියෝ ඔලිම්පික්
ශ්‍රේණිගත කිරීම්වල සුදුසුකම් ලැබීමේ වැඩි අවස්ථා හිමි මලල ක්‍රීඩිකා නිලානි රත්නායක මීටර 3000 බාධක දිවීමේ තරගයේ දී දැක් වූ විනාඩි 9 යි තත්පර 53.96 ක දක්ෂතාවයකි.
මෙ අතර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලැබීමේ අවස්ථා උදා කර ගැනීමට මෙරට මුල් පෙළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනකු ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගවලට සහභාගි කරවීම සඳහා මලල ක්‍රීඩා සංගමය ඉල්ලා සිටියද එම අවස්ථා අහිමි වී තිබිණි.
මීටර 400 සඳහා කාලිංග කුමාරගේ, නදීෂා රාමනායක, හෙල්ල විසි කිරීමේ ඉසව් සඳහා සුමේධ රණසිංහ, නදීකා ලක්මාලි, මීටර 800 ඩිල්ෂි කුමාරසිංහ හා නිමාලි ලියනාරච්චි, යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථා දීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මෙලෙස උත්සාහ ගෙන තිබුණේ ය.
අමෙරිකාවේ පුහුණු වීම් කරන උස පැනීමේ ශුර උෂාන් තිවංක තුළ දැනට ගොඩනැගී ඇති විශ්වාසය මත මීටර් 2.33 ක දක්ෂතාවක් ඉදිරියේ දී පෙන්නුම් කරනු ඇතැයි විශ්වාස කළ හැකි බැවින් ඔහු වෙනුවෙන් යුරෝපීය තරගාවලියක් තුළ ඕනෑම ඩයමන්ඩ් ලීග් තරගාවලියක් ලබා ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ඉල්ලා සිටිය ද එම උත්සාහය ද ව්‍යර්ථව ඇත. මේ වන විට මීටර් 2.30ක දක්ෂතාවක් දක්වා ඇති උස පැනීමේ ක්‍රීඩක උෂාන් තිවංකට ඔලිම්පික් උලෙළට සෘජුව සුදුසුකම් ලබා ගැනීම සඳහා පරිසාධන මට්ටම මීටර 2.33 කි.
එයට අමතරව දැනට කටාර්හි පුහුණුවීම්වල යෙදී සිටින තුන් පිම්ම ශූර ග්‍රේෂන් ධනංජය සහ දුර පැනීමේ ක්‍රීඩිකා සාරංගි ද සිල්වා යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනා වෙනුවෙන් ද දෝහා ඩයමන්ඩ් ලීග් තරගාවලියේ ස්ථාන ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය කටයුතු යොදා ඇත. ලෝක මලල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීමේ දී ග්‍රේෂන් ධනංජය 59 වැනි ස්ථානයට පත්ව සිටින අතර, සාරංගි සිල්වා ලෝක මලල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවට ඇතුළත්ව නැත.
ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලිය මේ මස 28 වැනි දා දෝහාහි දී පැවැත්වෙයි. ලෝක මලල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීමේ දී නිමාලි ලියනාරාච්චි 71 වැනි ස්ථානයේ සිටින අතර, ගයන්තිකා අබේරත්න 61 වැනි ස්ථානයේත් ඩිල්ෂි කුමාරසිංහ 84 වැනි ස්ථානයේත් ස්ථානවගතව සිටිති. මේ ක්‍රීඩිකාවන්ට තරග අවස්ථා ඇති වුව හොත් ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණීමේ අවස්ථා විවර වනු ඇත. කාලිංග කුමාරගේ තත්පර 45.99 ක සිය පෞද්ගලික හොඳම කාලය වාර්තා කළ සිටිය ද ඔලිම්පික් උළෙල සඳහා සෘජුවම සුදුසුකම් ලැබීමට තත්පර 44.90ක දක්ෂතාවක් වාර්තා කළ යුතු වේ.
ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර, මීටර 3000 බාධක දිවීමේ ධාවන ශූරී නිලානි රත්නායක ලෝක මලල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීමේ 39 වැනි ස්ථානයේ සිටින හෙයින් තවත් තරගාවලි කිහිපයකට එක් වුව හොත් ටෝකියෝ ක්‍රීඩා උලෙළට එක්වීමේ බලාපොරොත්තු රඳවා ගත හැකි ය.
යුපුන් අබේකෝන් ජර්මනියේ පැවැති තරගාවලියකට සහභාගී වෙමින් මීටර් 100 ඉසව්වෙන් තත්පර 10.09 දක්ෂතාවක් දැක්වීමට සමත් විය.
සුළඟේ වේගය +2.2 ලෙස සටහන් වීම හේතුවෙන් මෙය ශ්‍රී ලංකා වාර්තාවක් ලෙස නොසැලකෙන නමුත් එය සැලකෙන්නේ ඕනෑම තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකා ක්‍රීඩකයකු මීටර් 100 ඉසව්වේ දැක්වූ වේගවත්ම කාලය ලෙස ය.
යුපුන්ගේ ඉලක්කය තත්පර 10.05ක් වූ ඔලිම්පික් පරිසාධන මට්ටම පසු කරමින් ටෝකියෝ නුවර මෙවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලැබීමය.
ජෛව ආරක්ෂිත බුබුළක් යටතේ මෙවර ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ පළමු අදියර ක්‍රියාත්මක කර තිබිණි.
පිරිමි තරග ප්‍රතිඵල
මීටර් 100
1. ඩබ්ලිව්.කේ. හිමාෂ ඒෂාන් (තත්.10.45)
2. සහන් ටී. රාජපක්ෂ ( තත්.10.69)
3. වයි.සී.එම්.යෝධසිංහ ( තත්.10.76)
මීටර් 400
1. කේ. එච්.කාලිංග කුමාරගේ
(තත්. 46.12)
2. එස්. අරුණ දර්ශන (තත්. 46.45)
3. ආර්. එම්. ආර්. එන්. රාජකරුණා. (තත්. 47.21)
දුර පැනීම
1. ජනක ප්‍රසාද් විමලසිරි (මීටර් 07.80)
2. එච්. බී. එම්. වයි. බී. ආර්. හේරත් (මීටර් 07.69)
3.කේ. කේ. එම්. කේ. කරුණාසේකර. ( මීටර් 07.58)
හෙල්ල විසිකිරීම
1. ආර්. පී. වරුණ ලක්ෂාන් දයාරත්න (මීටර් 75.91)
2. ආර්. එම්. සුමේධ ජේ. රණසිංහ
( මීටර් 74.51)
3. ඩී. එස්. රණසිංහ ( මීටර් 73.25)
කාන්තා තරග ප්‍රතිඵල
මීටර් 100
1. ඩී. ටී. අමාෂා ද සිල්වා (තත්.11.89)
2. ෂෙලින්ඩා ජෙන්සන් ( තත්. 12.20)
3. බී. අයි. එම්. ජයමාන්න ( තත්. 12.21)
මීටර් 400
1. නදීෂා රාමනායක (තත්.53.52)
2. බී. එස්. එල්. මෙන්ඩිස් ( තත්. 55.68)
3. එස්. ඒ.කේ. තත්සරණි ( තත්. 55.94)
මීටර් 800
1. ඩබ්ලිව්. කේ. එල්. නිමාලි (මි.02.06.69)
2. ඩී. එම්. තරුෂි ඩී. කරුණාරත්න (මි.02.07.21)
3. කේ. ජී. එන්. එම්. ඒ. කුමාරි (මි.02.08.30)
මීටර් 3000 බාධක දිවීම
1. යු. කේ. එන්. රත්නායක (මි.09.53.96)
2. ඩබ්ලිව්. එච්.. එන්. කුමාරි
( මි.10.58.11)
3. ඒ. එන්. එල්. අරියදාස ( මි.11.03.31)
හෙල්ල විසි කිරීම
1. එච්.එල්.එන්.ඩී.ලේකම්ගේ
(මීටර් 52.88)
2. බී. එල්. නදීකා ලක්මාලි
(මීටර් 48.55)
3. එච්. පී. ඩී. එච්. මධුවන්ති
(මීටර් 48.16)
සපුමල් වීදියබණ්ඩාර










