
- රසායනික පොහොර භාවිතය තහනම් කිරීම තුළ ගොවීන් දැඩි දුෂ්කරතාවට පත්වී තිබෙනවා නේද?
- මේ වන විට ඇතිවී තියෙන පොහොර හිඟය පොහොර මාෆියාවක් බව ඇතැමුන් චෝදනා කරනවා?
- ගොවීන්ට ප්‍රමාණවත් කාබනික පොහොර නිෂ්පාදනය කිරිමට හැකියාවක් තිබෙනවාද?
- කාබනික පොහොර යෙදු ආහාර බෝග අස්වැන්න අඩු නිසා මිල අධික වුවහොත් එහි අවාසිය පාරිභෝගික ජනතාවට නේද?
- වස විසෙන් තොර ආහාර සුරක්ෂිතතාවක් දක්වා ළඟා වීමට ජාතියක් ලෙස සියල්ලෝම සහාය විය යුතුයි නේද ?
වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ
1යල කන්නයට අවශ්‍ය පොහොර ප්‍රමාණය සංඛ්‍යා ලේඛන අනුව දැනටමත් ගෙන්වා තිබෙනවා. ඒ නිසා ඉදිරි කාලයේදී ගොවීන්ට අවශ්‍ය පොහොර ක්‍රමානුකූලව ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. රසායනික පොහොර ක්‍රමිකව අඩුකරමින් විකල්පයක් ලෙස කාබනික පොහොර හඳුන්වා දෙමිනුයි රසායනික පොහොර භාවිතය අඩුවෙන්නේ. පොහොර රටට ගෙන්වා තිබෙනවා. ක්‍රමානුකූලව ක්‍රමිකවය මෙ පොහොර නිදහස් වෙයි. එවිට මේ ගැටලුව පහව යයි. ඉදිරියේදී මේ පොහොර සහනාධාරය රසායනික පොහොරවලට ලබා දෙනවා. කාබනික පොහොර භාවිතය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් ක්‍රමානුකූලව රසායනික පොහොර භාවිතය නතර කිරීමයි අපේ රජය උත්සාහ කරන්නේ. මෙය එකවර කරන්න බැහැ.
2 - මිල වැඩිවිමක් වෙලා තියනවා කියලා කියනවා. ඒ නිසා පොහොර මිල වැඩිවෙතැයි විශ්වාසයෙන් ඇතැම් වෙළෙඳ මහත්වරුන් විසින් පොහොර සඟවා තබාගෙන සිටිනවා. ඉදිරියේදී අපිට ජනතාවට පැහැදිලි කරලා දෙන්න අවශ්‍ය වෙන්නේ කාබනික පොහොර ලබාදීමක් කරනතෙක් සම්පුර්ණයෙන් මේ රසායනික පොහොර භාවිතය නවතා දමන්නේ නැහැ. කාබනික පොහොර ප්‍රවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ වන්නේ ක්‍රමිකවයි. ඒ අනුව කාබනික පොහොර නිෂ්පාදකයන් කිහිපදෙනෙක් ඉන්නවා. ශ්‍රී ලංකාවේ එම ධාරිතාව මදි වුවහොත් පිටරටින් ගෙන්වීමට අපි කටයුතු කරනවා. ඒ නිසා මෙය ක්‍රමානුකූලව වන්නක් නිසා බිය විය යුතු නැහැ. අපි ගොවි මහත්වරුන්ට කියන්නේ පොහොර ගැන බය වෙන්න එපා කියලා. අවශ්‍ය තරම් රසායනික පොහොර තිබෙනවා.
3 දැනටත් කාබනික පොහොර නිෂ්පාදකයන් කිහිප දෙනෙක් ඉන්නවා. ක්‍රමානුකූලවයි නිෂ්පාදනය සිදුවන්නේ. මෙය එකපාරට කරන්න බැරි බව අපි දන්නවා. අවශ්‍ය කාබනික පොහොර නිපදවා ගන්න පුළුවන් කියන ස්ථාවරයට ආවාමයි අපි රසායනික පොහොර භාවිතය ක්‍රමිකව අඩු කරන්නේ. ඒ වගේම පැහැදිලිවම අපි කියනවා අවශ්‍ය වුවහොත් ආනයනය කරන්නත් කටයුතු කරනවා. පොහොර පිළිබඳව විවිධ මතවාද පැතිරෙමින් පවතිනවා. නමුත් අපි රජයක් ලෙස ජනතාවට සහ විශේෂයෙන් මේ රටේ ඉදිරි පරම්පරාවට ගුණාත්මයෙන් යුතු ආහාර ලබාදීමටයි කරන්නේ. ඉහළ අස්වැන්නක් ජාතික ආහාරයක් ගුණාත්මයෙන් ඉහළ ආහාර රටාවක් යන කරුණු සියල්ලම එකවර කරන්න බැරි වෙයි. ඉදිරියේදි ක්‍රමිකව විකාශනයකින් එය සිදු වෙයි. එය ජාතියක් හැටියට අපි ලබන ජයග්‍රහණයක්. ඉදිරියේදි කාබනික පොහොර වලින් නිෂ්පාදනය වන ආහාර රටාවකට හුරු ජාතියක් බවට පරිවර්තනය කිරීමේ මූලාරම්භයක් බව අපි විශ්වාස කරනවා.
4ආරම්භක අවස්ථාවේදී කාබනික පොහොර භාවිතයෙන් අස්වැන්න යම් ප්‍රමාණයකට අඩුවෙනවා කියලා බොහෝ අවස්ථාවල වාර්තා වී තිබෙනවා. නමුත් දීර්ඝකාලීනව පස අනුවර්තනය විමත් සහ කාබනික කොටස් පසට එකතු විම තුළ පස නැවත යථා තත්ත්වයට පත්විය හැකියි. මෙහිදී කාබනික පොහොර භාවිතයෙන් පසේ පෝෂණ තත්ත්වය වැඩිවෙන බව හඳුනාගෙන තිබෙනවා . බොහෝ අවස්ථාවලදී ක්‍රමානුකූලව අස්වැන්න වැඩිවෙලා තිබෙනවා. බහුතරයක් අවස්ථාවලදී මේ ක්‍රමවේද එසේ වුවත් අස්වැන්න අඩුවක් වුවහොත් ඒ හා සම්බන්ධයෙන් අදාළ මුදල් ලබාදෙන්නත් පාරිභෝගික ජනතාව අපහසුතාවට පත් වුවහොත් ඒ සඳහා විකල්ප ක්‍රියාමාර්ගයක් ගතයුතු බවටත් ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා. ඒ අවස්ථානුකූලව ඇතිවන තත්ත්වයන්ට අවශ්‍ය තීන්දු ගන්නවා. එවැනි ආහාර හිඟයක් රට තුළ ඇති නොවන්නට අපි වග බලා ගන්නවා. එවැනි අනියත බියක් ඇති කරගන්න එපා කියලා අපි රජයක් විදිහට ජනතාවට කියනවා.
5 මෙය ජාතික වශයෙන් ඉතා වැදගත් තීන්දුවක්. දීර්ඝ කාලයක් පුරා ජනතාවත් බලාපොරොත්තු වන දෙයක්. මේ රටේ වර්ධනය වෙමින් පවතින බෝනොවන සහ පිළිකා ඇතුළු රෝගයන් නිසා අනාගත පරම්පරාවට සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීමේ වටපිටාවක් ඇති කරලීමේ මහඟු කාර්යයකටයි අපි මේ අත ගසා තිබෙන්නේ. ඇත්තවශයෙන්ම මෙය ජාතික කර්තව්‍යයක් ලෙසයි මා දකින්නේ. මෙවැනි ජාතික පියවරයන් ගන්නා විට ගැටලුකාරී තත්ත්වයන් ඇතිවිය හැකියි. එය රජයක් ලෙස කාලානුරූපීව කළමනාකරණය කරමින් කටයුතු කරන්නට අවශ්‍යයි. ඒ සඳහා ප්‍රවේශ ගණනාවකට අවතිර්ණ වී තිබෙනවා. ඒ වෙනුවෙන් අපි කැපවී කටයුතු කරනවා. මේ වනවිට පසට අවශ්‍ය නයිට්‍රජන් පොස්පේට් සහ පොස්පරස්වලට විකල්ප මූල හඳුනා ගැනීමට කටයුතු කරනවා. දැනට යල කන්නයට අවශ්‍ය ප්‍රමාණ මේ සියල්ලම තිබෙනවා. ඒ වගේම රසායනික පොහොර භාවිතය අඩු කිරීමට ඉදිරියේදී ලැබෙන කාබනික පොහොර භාවිතය සංසන්දනය කරමින් ක්‍රමිකව අඩු කරනු ලබනවා. එහිදී ඉදිරි කාලයේදී ප්‍රතිඵල ලබාගැනීමට හැකිවෙයි. විරුද්ධ පක්ෂ ඇතුළු සියලු බලවේග මේ සඳහා සහභාගි වෙයි කියලා විශ්වාස කරනවා. මෙවැනි ජාතික කටයුතුවලට වුවත් විරුද්ධ පක්ෂ ලංකාවේ දේශපාලන ඉතිහාසයේ පුරා සහාය දීලා නැහැ. ඒ නිසා ඒ අය හැමදාම සම්ප්‍රදායික විවේචන කරනවා. නමුත් නිරෝගි ජාතියක් බිහි කරලීමේ මෙවැනි කටයුතුවලට ඒ අයත් ආධාර උපකාර කරනවා නම් එය සමස්ත පරපුරට කරන මහඟු කාර්යයක් මෙන්ම යුතුකමක් ලෙසයි අපි දකින්නේ.
සමස්ත ලංකා ගොවි ජන සංවිධානයේ ජාතික සංවිධායක, ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභිත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න
1අනිවාර්යෙන් ගොවියා අපහසුතාවට පත්වී තිබෙනවා. එක පාරට නින්දෙන් බය වෙලා ඇහැරිලා ගත්ත වගේ මෙහෙම තීන්දු ගැනීම නිසා අපහසුතාවට පත්වෙන්නේ ගොවි ජනතාවයි. මේ තීරණය හරියට ගොවි ජනතාව හත්වටයක් කරකවලා ලියැද්දට තල්ලු කළා වගේ වැඩක්. ගොවි ජනතාවට කරකියාගන්න බැරි තත්ත්වයකට අද පත්වෙලා තිබෙනවා . අපි ගොවියෝ සමඟ ගැටෙනවා. ගොවිපොළට යනවා පොහොර නැහැ, කෘෂිරසායන ද්‍රව්‍ය නැහැ ඒ දේවල්වලට සහනාධාර දුන්නා දැන් මුකුත් නැහැ . මේක ඇතුලේ බරපතළ මංකොල්ල කෑමකට ලක්වෙලා ගොවියො රස්තියාදු වෙනවා පොහොර නැතුව. ගොවියො කියන්නේ පොහොර නැහැ කියලා. ආණ්ඩුව කියනවා පොහොර හංඟලා කියලා . වැඩි මිලට විකුණන්න පොහොර එළියට දාන්නේ නැහැලු. එහෙමනම් මේ තීන්දු ගන්න කලින් ඒ ගැන තක්සේරුවක් ආණ්ඩුවට තිබුණේ නැද්ද? ගොවියාට පොහොර හිඟයක් එනවා කියලා දන්නේ නැද්ද? මේ වනවිට යල කන්නේ රසායන වගාවක් ගොවියෝ කරලා තියෙන්නේ .කාබනික වගාවක් නොවෙයි. මේවාට විකල්පයක් හදන්නේ නැතුව ඇයි තීන්දුවක් ගත්තේ. ආණ්ඩුවේ නොහැකියාව නෙමෙයිද මේ පෙන්නන්නේ? අදාළ සැලැසුමක් සමඟ මේ තීන්දුව ගත්තා නම් ඉතා වැදගත් තීන්දුවක්.
2පොහොර මාෆියාවක් ඇතිවෙලා තමයි මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ, පොහොර නැහැ, පොහොර වැඩිගණන්වලට විකුණනවා. ආණ්ඩුව එකිනෙකාට ඇඟිල්ල දිගු කරනවාට වඩා ආණ්ඩුව සමත් විය යුතුයි මේ ආකාරයේ මාෆියාවක් ඇති නොවෙන්න වග උත්තර බැඳලා මේ වගේ තීන්දුව ගන්න. එසේ නොකිරීමෙන් ආණ්ඩුව එවැනි පොහොර මාෆියාවක් ඇති වීමට වපසරිය නිර්මාණය කරලා තියනවා.
3රටට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට හැකියාව තිබෙනවා.එකපාරට කරන්න බැහැ. නමුත් රටට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කරන්න නම් වසර ගණනාවක් යනවා කියලා කාබනික පොහොර නිෂ්පාදකයන් කියන්නේ. එහිදී ඊට අදාළ යටිතල පහසුකම් සම්බන්ධයෙන් ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය පිළිබඳව අධ්‍යයනයක් අවශ්‍ය වෙනවා. හරිත විප්ලවයක් අපේ රටේ තිබුණා. 1965 ගණන්වල එය පටන් ගත්තේ. 1940 ගණන්වලදි ලෝක ජනගහනයට සරිලන ආහාර සැපැයීමට නොහැකි ප්‍රශ්නයක් මතු විමත් සමඟ. මේ සඳහා විකල්ප ලෙස දෙමුහුණු බීජ හදුන්වා දුන්නා. කෙටිකාලීන බීජ වර්ග හඳුන්වා දුන්නා. එයට ගැළපෙන විදිහට රසායනික පොහොර හඳුන්වා දුන්නා. කාබනික වගාව දීර්ඝකාලීන වගාවක්. රසායනික පොහොර වගාව කෙටිකාලීන ක්‍රමවේදයක් . ක්ෂණිකව වර්ධනය කරන දෙයක්. කෙටිකාලීන වගාවන්ට ක්ෂණිකව ප්‍රධාන මූල ද්‍රව්‍ය ගසට දෙන්නේ කෘතිමවයි. ඒ ගස් හුරුවෙලා ඉන්නේ ඒ දේට. ඒක ඉක්මනින් වෙනස් කරන්න බැහැ. කෘතිමව දුන්න නිසා තමයි එහි පලදාව වැඩියි. වස විසත් වැඩියි. කොහොම වුණත් රසායන වගාව තුළ පස විනාශ වෙලා වායුගෝලය විනාශ වි තිබෙනවා. ක්ෂුද්‍ර ජීවි ක්‍රියාවලිය අඩපණ කරලා තියෙන්නේ. ඇත්තටම අපේ පස මරලා තියෙන්නේ. මේ දේවල් වෙනස් වෙන්න ඕන. විකල්ප හොයන්න අවශ්‍යයි. ඒ ගැන තර්කයක් නැහැ. නමුත් විකල්පය සාම්ප්‍රදායික වගාව ඉදිරියට ගෙන ඒම කරන්න අවශ්‍ය ක්‍රමිකව. එහිදී එයට ගැළපෙන බීජ වර්ග පරිසර තත්ත්වය සියල්ල සැලකිල්ලට ගත යුතුයි. මේ පිළීබඳ පැහැදිලි සැලසුමක් ගේන්න අවශ්‍යයි. එක පාරට වෙනස් වෙන්න බැහැ. ආණ්ඩුව හඳුන්වා දෙන කාබනික වගාවට වෛර කරන තත්ත්වයකට ගොවියා හුරුවෙලා තිබෙනවා. ගොවියා කාබනික කීවාම කිපෙන තත්ත්වයක් ඇවිත් තිබෙනවා.
4කාබනික පොහොර යෙදු ආහාර බෝග ඵලදාව අඩුවන නිසා මිල අධික වෙතැයි විශ්වාසයක් තිබෙනවා .එසේ නම් එහි අවාසියත් පාරිභෝගිකයාටම තමයි. කාබනික වගාව අධ්‍යයනය කරන අය ඉන්නවා. එහි අස්වැන්න අඩුවෙන්නේ නැහැ කියලා කියනවා. කාබනික වගාවේ ක්‍රමවේදයන් ගොඩක් තිබෙනවා..එහි සියයට එකක් දෙකක් පමණයි. අපි ප්‍රායෝගිකව පාවිච්චි කරන්නේ . ඇතැම් අය කියනවා මෙහි ඵලදාව අඩු බව. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ගත්විට මත කිහිපයක් තිබෙනවා.ආණ්ඩුව මෙහිදී ගොවියාට වැඩි මිලක් දෙනවාලු. ඒ දෙනකොට ප්‍රශ්න දෙකක් මතුවෙනවා. පාරිභෝගිකයාට එහි ලාභය යන්නේ කොහොමද? එසේ නැතිනම් හිඟයක් ඇතිවුවහොත් රටින් ගෙන ඒමට සිදුවනවා, එසේ නම් රටින් ගේන්නේ කොහොමද? ඒවා ලංකාවේ තිබෙන ඒවාට වඩා විස සහිතයි.
5අනිවාර්යෙන් සහාය විය යුතුයි. එයට හේතුව මෙරට ජනතාව වෙනුවෙන් එවැනි තැනකට යා යුතුයි. අපි එයට සහාය දක්වනවා. එයට අදාළ සහාය දෙන්න අවංකවම කැපවෙනවා. ඊට අදාළව ගොවි ජනතාව දැනුම්වත් කරනවා. කාබනික පොහොර සඳහා දිරි ගන්වමින් මේ රසායන වගාවෙන් අපි ඉවත් විය යුතුයි කියලා පැහැදිලි කරලා දෙනවා. නමුත් එකපාරට නෙමෙයි කාලයක් යන්න ඕන, ජනතාව එය තේරුම් ගැනීමට. මේ ක්‍රමය හොඳ දෙයක් බව අපි කියනවා. ගොවීන්ට කාබනික පොහොර සමඟ වෛර බදින්න එපා කියලත් අපි කියනවා. ගොවියා දැනට තියන ප්‍රශ්නය සමඟ කාබනික පොහොර සම්බන්ධයෙන් තියෙන්නේ වෛරයක්. එතැන නොවෙයි වරද කියලා අපි කියනවා ආණ්ඩුව හදිසියේ ගත්ත තීන්දුවත් සමඟයි වරද තියෙන්නේ. හොඳ දේ වෙනුවෙන් අපි පෙනී සිටිනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී, සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ලේකම් නලින් බණ්ඩාර ජයමහ
1මේ තීන්දුව අරගෙන තියෙන්නේ ආණ්ඩුව කිසිදු විද්‍යාත්මක පදනමක සිට නොවෙයි, සියයට සියයක් කාබනික පොහොරවලට එකවර පරිවර්තනය වීම ලේසි පහසු කාර්යයක් නොවෙයි. අනෙක් කාරණාව මෙවැනි දේවල් පැය විසි හතරින් කරන්න බැහැ. එයට බොහෝ කාලයක් ගත වෙනවා. ආණ්ඩුවට ගහෙන් ගෙඩි එන්න වගේ මේ වගේ දේවල් කරන්න බැහැ. රජයට පොහොර සහනාධාරය දීගන්න බැරි නිසා බොරුවට වස විසෙන් තොර ආහාර නිෂ්පාදනයක් ගැන දැන් කතා කරනවා. මේ වගේ ව්‍යසනයක් වෙච්ච අවස්ථාවක ජනතාවට කන්නත් නැතිවෙන තැනකටයි ආණ්ඩුව වැඩ කරන්න හදන්නේ.' වස විසෙන් තොර රටක්' කියලා 'කාබනික පොහොර' කියලා බෝඩ් ලෑල්ලක් ගහගෙන කෘෂි රසායනික ද්‍රව්‍ය පළිබෝධ නාශක පොහොර සහනාධාර නතර කරන්න රජය තීරණය කරලා තියෙන්නේ, ගොවිතැනක් බතක් කරපු පොල්ගහක් රබර් ගහක් වවපු මිනිස්සු දන්නවා මේ දේ එක පාරට කරන්නේ බැරි බව. මේ අය ඒක දන්නෙත් නැහැ. මෙය කිසිසේත් එකපාරට කරන්න පුළුවන් දෙයක් නොවෙයි කියලයි අපි කියන්නේ .මෙයත් රජය ගත්ත තවත් වැරදි තීන්දුවක් ලෙසයි අප දකින්නේ.
2. වෙළෙඳපොළේ පොහොර නැති වුණාට පස්සේ වල් නාශක කෘමිනාශක ටික වැඩි මිලට දෙන්න හංගගන්නවා කළුකඩ කාරයෝ. ඒ සාමාන්‍ය ස්වභාවයක්. ඒකට කාටවත් ඇඟිල්ල දිගුකරලා වැඩක් නැහැ, දේශපාලඥයෝ කරන දෙයක් නොවෙයි. ඒ වෙළෙඳපොළක ඇතැම් අවස්ථාවල සිදුවන දෙයක්.එයට වග කියන්න ඕන විපක්ෂය නෙමෙයි රජය. රජය මේ විදිහට අදූරදර්ශී ආකාරයට කටයුතු කළ විට එහි වාසිය ගන්න කළු කඩමුදලාලිලා කටයුතු කරනවා. මෙය කොයි ආණ්ඩු යටතේත් සිදුවූ දෙයක්.
3එකපාරට කාබනික පොහොර නිෂ්පාදනය කරන්න අපහසුයි. ප්‍රමාණවත් කාබනික පොහොර සැපැයීමට හැකියාවක් තියෙනවා ද යන කාරණාව ගැන අපිත් සොයා බැලුවා. මේ විෂය සම්බන්ධයෙන් දන්න විශේෂඥයෝ කියන්නේ එක පාරට ප්‍රමාණවත් ප්‍රමාණයට කාබනික පොහොර සපයන්න බැහැ කියලයි. කාබනික පොහොර කිව්වාට එක් එක් බෝගයන් අනුව පොහොර වෙනස් විය යුතුයි. විවිධාංගීකරණයක් තිබිය යුතුයි. එළවළුවලට දාන පොහොර හාල්වලට හරියන්නේ නැහැ .ඒ පොහොර වෙනත් බෝගවලට දාන්න බැහැ. පොල් වලට රබර්වලට තේ වලට කියලා වෙනම පොහොර භාවිත කළ යුතුයි. මේවා එකවර කඩිනමින් කරන්න පුළුවන් දෙයක් නොවෙයි. පිටරටින් පෝර ටික ගෙන්න ගන්න අවශ්‍ය මුදල් නැතිකමට පොහොර සහනාධාර දීගන්න බැරිකමට බොරු සටන් පාඨයක් ඇති කරගෙන කටයුතු කරන්නට උත්සාහ කරනවා. මේ දේවල් කිසිදු ආකාරයකට කළ නොහැකියි ප්‍රාෙයා්ගික නැති දේවල් හැමදාම මේ අය කරන්නේ.
4කාබනික පොහොර යොදා වගා කරන කුඩා පිරිසක් දැනටමත් ඉන්නවා, ඒවායේ මිල අධිකයි, සාමාන්‍ය ජනතාවට ගන්න බැහැ. අපි දන්නවා කාබනික පොහොර යෙදීම නිසා අස්වැන්න අඩුයි. ශ්‍රමය යෙදීම් වැඩියි. මේ නිසා මිල අධිකයි. කාබනික පොහොර යොදා වගා කළ පසු අඩුවන ආහාර බෝගවලට විකල්පය මොකක්ද? යළිත් පිටරටින් ආනයනය කිරීම නොවෙයිද ?එහිදී එම රටවල් කල් තබා ගන්න රසායනික ද්‍රව්‍ය යොදන්නේ නැද්ද?මේවා ප්‍රාෙයා්ගික වැඩ නෙමෙයි. කොරෝනා උවදුර සමඟ ආර්ථිකය කඩා වැටිලා ඉන්න වෙලාවක බොහොම අමාරු ආර්ථික වටපිටාවක ජනතාව ඉන්නේ. ජීවත් වෙන්න හුඟක් අමාරුයි. ජනතාවට එදිනෙදාට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගන්න ආර්ථිකයක් නැති මිනිස්සුන්ට ලොකු වියදමක් කරලා ආහාර බෝග සපයගන්න බැහැ. හැම පැත්තකින්ම මෙයින් වෙන්නේ අකටයුත්තක්.එක් පැත්තකින් ගොවියා වඩා පීඩාවට ලක්වෙනවා, අනෙක් පැත්තෙන් ජනතාව අධික මිලකට අත්‍යවශ්‍ය ආහාර බෝග ලබා ගැනීමේදී පීඩාවට පත්වෙනවා. රටේ පවතින තත්ත්වයත් සමඟ මේ දේවල් කරන්න අපහසු දේවල් කියලා අපි කියන්නේ ඒ නිසයි. මෙවැනි දේවල් කිරීම ඉතාමත් අපහසුයි. රෝගවලින් ජනතාව මැරෙනවා,ඒ වගේම ආහාර අහේනියක් ඇවිත් ජනතාව මිය යන්න පුළුවන් මේ තත්ත්වය නිසා. මෙය සියලු පැත්තෙන්ම ජනතාවට අවදානමක්. මෙය කරන්න තිබුණේ කෙටිකාලීන ,මධ්‍යකාලීන දීර්ඝකාලීන ලෙස සැලසුම් සකස් කරලා ක්‍රමිකවයි. මෙවැනි ව්‍යසනයක් පවතින වෙලාවේ කන්නත් නැතිව මිනිසුන්ට විශාල දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න වෙයි. මේ කොටසින් කොටස කාබනික පොහොර සඳහා කැමැත්ත දක්වන අයට කොටස් වශයෙන් භාවිතය හුරුකරලා. ඒ අය දිරිගැන්වීම මෙන්ම පහසුකම් ලබා දී ඒ සඳහා අවශ්‍ය පර්යේෂණ කිරීමට අදාළ ආයතනවලට අවශ්‍ය සම්පත් ටික ලබාදිලා කටයුතු කරන්නයි තිබුණේ . මේ හරහා ඉදිරියේදි ආහාර හිඟයක් ඇතිවිය හැකියි. එක පාරට කාබනික පොහොරවලට අනුගත වීමට නොහැකියි. නිෂ්පාදනයේ ඵලදායිතාව සැලකිය යුතු ප්‍රමාණයක්, නිෂ්පාදනයේ සියයට හතළිහක් පමණ අඩුවෙතැයි කියලා විශ්වාසයක් තිබෙනවා. මේ සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ කෘෂිකර්ම විශේෂඥයන්ගෙන් ක්ෂේත්‍ර නිලධාරින්ගෙන් අහලා ඒ අයගෙන් උපදෙස් අරගෙනයි
5. අනිවාර්යෙන් අපි එයට එකඟයි. නමුත් මේ අවස්ථාවේදී රටේ තියෙන්නේ වෙනත් ගැටලුවක්.මේ වෙලාවේ ජනතාවට කන්නත් නැතිවෙන එක වළක්වන්නයි අපි උත්සාහ කරන්නේ. මේ දේවල් එකපාරට කරන්නේ කොහොමද ? රජය කටයුතු කරන්න ඕන දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ඔස්සේ . බරපතළ ආහාර හිඟයක් ගොවියාට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇතිවෙනවා නම් පාරිභෝගිකයාට මිල වැඩිවෙනවා නම් වස විස නොවෙයි කන්න නැතිව මිනිසුන් මැරෙන්න පුළුවන්. රටේ ප්‍රමාණවත් ආහාර නිෂ්පාදනයක් නැති නම් රටින් ගේන්න වෙනවා. එසේ නම් ඊට වඩා වියදමක් අපිට කරන්න වෙයි. ආහාර පිටරටින් ගෙනාවොත් පොහොරවලට වඩා මුදලක් වැයකරන්න වෙයි .ජනතාවටයි මේ සියල්ලේ බලපෑම එන්නේ. මෙය ප්‍රායෝගිකත් නැහැ; විද්‍යාත්මකත් නැහැ.