
- ක්ලේමෝ බෝම්බයක් අටවලා තිබෙන බව කියද්දිත් ජනපති මහින්ද එදා කැබිතිගොල්ලෑවට ගියා
- 2002 වසරේ පෙබරවාරි 22වැනිදා රනිල් කළ පාවා දීම නිසා රටට ලොකු හානියක් වුණා
- රාජපක්ෂලාගේ දේශපාලන හයිය නොතිබුණා නම් අද අපට රටක් ඉතිරිවන්නේ නැහැ
- කොටින්ට අවි ආයුධ, මුදල් හදල් පමණක් නොව බංකර් සාදා දීමට සිමෙන්ති ද ජනපති ප්‍රේමදාස ලබා දුන් බවට චෝදනා එල්ල වී තිබිණි
“ඔය මහින්ද දිනුවට මහින්දට යුද්දෙ ඉවර කරන්න බැහැ. බලහන්කො කොටි ගහනකොට මහින්දට මොකද වෙන්නේ කියලා. යුද්ධයක් දිනන්න නම් මහින්දට රටේත්, ලෝකයේත් සහය ගන්න ඕන. මහින්ද ජනාධිපතිවරණය දියුණුවට රට කරගන්න බැහැ. කොටි ගහල මහින්දගේ ආණ්ඩුව විනාශ කරනවා.” යනුවෙන් 2005 වර්ෂයේදී ජනාධිපතිවරණයෙන් පසුව මෙහෙම කීවේ මෙරට ප්‍රකට රාජ්‍ය නොවන සංවිධානයක (NGO) ප්‍රධානියෙකි. මෙම NGO ප්‍රධානියා දිගටම පෙනී සිටියේ මහින්ද රාජපක්ෂට විරුද්ධ කඳවුරේය. ඔහු මිත්‍රකම් පෑවේ කොටි හිතවාදී කඳවුරටයි. බලය විශාල වශයෙන් බෙදිය යුතුයි කියන කඳවුරටයි.
කවදාවත් ගහලා කොටි පරාද කරන්න බැහැ කියලා කිව්වේත් මෙම කඳවුරයි.
කොටි පරාද කරන්න මහින්දට කොහොමත්ම බැහැ. කොටි පරාද නොකර ඔවුන් සමඟ සාකච්ඡාවලට ගොස් කොටින්ට වෙනම පාලනයක් ලබාදී මෙම ගැටලුව විසඳිය යුතු බව කීවෙත් මෙම කඳවුරයි.
පසුගිය යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමට ක්‍රියාකරමින් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා රට ක්‍රමක්‍රමයෙන් අරාජිකත්වයට පත් කිරීමට කටයුතු කළේත් මෙම කඳවුරයි.
ජාතික ආරක්ෂාව දුර්වල කරමින් බුද්ධි අංශ උපක්‍රමශීලීව අඩපණ කළ යුතු බවට පසුගිය යහපාලන ආණ්ඩුවට විවිධ යෝජනා එල්ල කළේ මෙම කඳවුරයි.
පසුගිය යහපාලන ආණ්ඩුව රැකගැනීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් කළේද මෙම කඳවුරයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට හා මෙරට රණවිරුවන්ට එරෙහිව ඇමෙරිකාව සමඟ සම අනුග්‍රාහකත්වය ලබාදෙමින් යෝජනාවක් ගෙන ආවේද මෙම කඳවුරයි.
මේ අනුව මෙම කඳවුර ගමන් කළේ කුමන දිශාවකටද කියා අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත. මේ අවස්ථාවේදී කොවිඩ් - 19 හෙවත් කොරෝනා වසංගතයෙන් මුළු ලෝකයම වෙළා ගනිද්දි මෙරට ඊට මුහුණ දෙන විට රටේ ජනතාවගේ මානසිකත්වය බිඳ දැමීමට කටයුතු කරමින් සිටින්නේ ද මෙම කඳවුර බව රහසක් නොවේ.
කොවිඩ් මර්දන කාර්ය සාධන බළකායේ ප්‍රධානියා බවට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරමින් ආරක්ෂක අංශ කොරෝනා මර්දන කටයුතු සඳහා දායක කරගැනීම ගැන වැඩියෙන්ම චෝදනා නඟන්නේ ද මෙම කඳවුරයි.
එදා කොටි ත්‍රස්තවාදය පරාජය කරන විට රණවිරුවන්ට චෝදනා කළ මෙම පිරිස්ම මෙදා කොරෝනා මර්දනය කිරීම සඳහා රණවිරුවන් සක්‍රීයව දායක වන විට ද විවිධ අභූත චෝදනා එල්ල කරමින් සිටි.
2009 මැයි මස 19 වැනිදා කොටි ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කර පසුගිය 2021 මැයි මස 19 වැනිදාට හරියටම වසර 12 කි.
වසර 12 කට පෙර මේ රටේ තිබුණු තත්ත්වය ගැන අමුතුවෙන් කිව යුතු නැත. නමුත් 2009 න් පසු ඉපදුණා වගේ කතාකරන හිතන පිරිසක් තාමත් සිටිති.
“රාජපක්ෂලා මොන කෙහෙල්මලක් ද? රටට කළේ” යනුවෙන් ස්වල්ප දෙනකු ප්‍රකාශ කරන්නේ රාජපක්ෂලා කෙරෙහි දැඩි වෛරයකින් නැත්නම් කුහකකමෙනි.
රාජපක්ෂලාගේ දේශපාලන හයිය, දේශපාලන නායකත්වයක් නොතිබෙන්නට අද අපට කතා කිරීමට රටක් ඉතිරි වන්නේ ද නැත. එය කොරෝනාවලින් හරි කොහොම හරි ගොඩ ඒමට වලිකන ඇතැම් බංකොලොත් දේශපාලන ව්‍යාපාර වටහා ගෙන ඇත.
කොටියා පරාද කළ රාජපක්ෂලාට කොරෝනා අමාරු නොවන බව දන්නා මෙම දේශපාලන අනාථයන් උපක්‍රමශීලීව කටයුතු කිරීමට උත්සාහ ගත්තේ කොරෝනා මර්දනය කරමින් රජය යන අභියෝගාත්මක ගමන කෙසේ හෝ අතරමග නතර කර දැමීමටය.
කොරෝනා පළමු රැල්ල, කොරෝනා දෙවැනි රැල්ල වාගේ කොරෝනා තුන්වැනි රැල්ලත් පරාජය කිරීමට ආණ්ඩුව ක්‍රියා කළහොත් තමන්ට ‘ඇඩ්‍රස් නැතිවන‘ බව විපක්ෂයේ බංකොලොත් දේශපාලන නායකයෝ ඉතා හොඳින් දනිති.
නමුත් ගිරුවායේ මහින්ද තවමත් මේ රටේ අගමැති බව මෙම බංකොලොත් දේශපාලනඥයන් නොදන්නවා නොවේ.
ගිරුවායේ මහින්දගේ නායකත්වය නොවන්නට අද අපට කතාකිරීමට රටක් ඉතිරිවන්නේ නැත.
මෙරට පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් මේ රට ත්‍රස්තවාදයෙන් බේරාගත් බව සැබෑය. නමුත් පස්වැනි විධායක ජනාධිපතිට වඩා එහිදී බලවත් වූයේ ගිරුවායේ මහින්දය.
ඊට හේතුව මෙරට විධායක ජනාධිපතිවරුන් සිවුදෙනකුට කිරීමට නොහැකි වූ ඒ ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදය පරාජය කිරීමේ අභියෝගය ගිරුවායේ මහින්ද විසින් ජය ගැනීමයි.
මෙරට ප්‍රථම විධායක ජනාධිපතිධුරයට පත්වූ පත් වූ ජේ. ආර්. ජයවර්ධන ප්‍රකාශ කළේ මෙම විධායක ජනාධිපතිධූරයෙන් කළ නොහැක්කේ ගැහැනියකු පිරිමියකු බවටත් පිරිමියකු ගැහැනියකු බවටත් පත් කිරීම පමණක් බවයි. අන් ඕනෑම දෙයක් මෙම විධායක ජනාධිපතිධූරයෙන් කළ හැකි බව ජේ.ආර්.විසින් පෙන්වා දෙන ලදී.
ජේ.ආර්.එසේ ප්‍රකාශ කළ ද ඔහුට විධායක ජනාධිපතිධුරය සහ පාර්ලිමේන්තුවේ 6/5 ක බලයක් තිබියදීත් ඔහුට කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට නොහැකි වූයේ ඇයි?
ඉන්පසුව මෙරට දෙවැනි විධායක ජනාධිපතිධුරයට පත්වූ රණසිංහ ප්‍රේමදාස කොටින් සමඟ ඉතා මිත්‍රශීලී විය.
කොටින්ට අවි ආයුධ, මුදල් හදල් පමණක් නොව බංකර් සාදා දීමට සිමෙන්ති ද ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් ලබා දුන් බවට පසුව චෝදනා කළේ ප්‍රේමදාස සමඟ එකම කැබිනට් මණ්ඩලයේ සිටි ගාමිණී දිසානායක හා ලලිත් ඇතුළත්මුදලි ය.
කොටි ත්‍රස්තවාදීන් සුරතල් කළ ද අවසානයේ දී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට සිදු වූයේ කුමක්ද? තමන්ගේ සමීපතමයකු ලෙස කාලයක් තිස්සේ කොටි ඔත්තුකරුවකු වශයෙන් සිටි බාබුගේ මරාගෙන මැරෙන බෝම්බයට 1993 වසරේ මැයි 01 වැනිදා කොළඹ ආමර් වීදියේදී ලක්වූ, ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ශරීරය කෑලිවලට කැබලි විය.
ඒ ආකාරයෙන් රටක විධායක ජනාධිපතිවරයකු වන රාජ්‍ය නායකයකු ඝාතනය කිරීමට තරම් කොටි සංවිධානය ප්‍රබල වී තිබුණි. එම ඝාතනය සිදු කරන විටත් ලෝකයේ තවත් ප්‍රබලතම රාජ්‍යයක් වන ඉන්දියාවේ අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ද කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් ඝාතනය කර තිබුණි. කොටි සංවිධානයේ භයානකකම වටහා ගැනීමට මෙම ඝාතන දෙක සිදුකිරීම හොඳටම ප්‍රමාණවත්ය.
මෙරට තෙවැනි විධායක ජනාධිපතිධූරයට පත්වූ ඩී. බී. විජේතුංගට වැඩි කාලයක් ජනාධිපතිධුරයේ සිටීමට නොහැකි විය.
මෙරට සිවුවැනි විධායක ජනාධිපතිධුරයට පත්වන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයි. ඇයගේ ජයග්‍රහණය වෙනුවෙන් උතුරු - නැගෙනහිර දෙමළ ජනතාවගෙන් ද විශාල සහයෝගයක් හිමිවිය.
කොටි සංවිධානයට අවශ්‍ය වූයේ චන්ද්‍රිකා සමඟ දේශපාලන වශයෙන් හෝ යුදමය වශයෙන් මෙම ගනුදෙනුව බේරා ගැනීමටය. නමුත් විසඳුමක් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ චන්ද්‍රිකා ඒ යුගයේ දී බලය බෙදීම ගැන පුළුල් සංවාදයක් සමාජය තුළ ඇති කළ අතර තවලම, සුදු නෙළුම වැනි ව්‍යාපාර ද බිහි විය.
කෙතරම් සංවාද පැවැත්වුවද කොටි සංවිධානයට ඊළමෙන් මෙපිට විසඳුමක් අවශ්‍ය වී තිබුණේ නැත. එය චන්ද්‍රිකාද දැනගන්නා විට ප්‍රමාද වැඩිය. කොටි සංවිධානය චන්ද්‍රිකා වටේ යවමින් ඔවුන් ක්‍රම ක්‍රමයෙන් ශක්තිමත් වී තිබුණි. මෙරට ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන (NGO) දිගට හරහට කොටි සංවිධානය වෙනුවෙන් පෙනී සිටීමට කටයුතු කරන්නේද මෙම කාලයේදීය.
කෙතරම් සුදු නෙළුම් පිපෙන්න හැරියත් කෙතරම් තවලම් ගියත් අවසානයේ දී කොටි සංවිධානය ක්‍රම ක්‍රමයෙන් ශක්තිමත් වූ අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරියට සිදු වූයේ කොළඹ මහ නගර සභා පිටියේ දී පැවති ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරයේදී එල්ල වුණු කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ඇසක් අහිමි කර ගැනීමටය.
චන්ද්‍රිකා ජනාධිපතිධුරය දරන විට වසර 02 ක් පමණ අග්‍රාමාත්‍යවරයා වූයේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහයි.
2001 වසරේ දෙසැම්බර් මස 05 වැනිදා පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පොදුජන එක්සත් පෙරමුණ පරාජය කරමින් ජය ගන්නේ එක්සත් ජාතික පක්ෂයයි.
ඉන්පසුව 2002 වසරේ පෙබරවාරි මස 22 වැනි දා රට විශාල පාවාදීමකට ලක් කෙරෙන්නේ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහය. ඔහුගේ ආශීර්වාදයෙන් ශ්‍රී ලංකා රජය සහ කොටි සංවිධානය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලබන්නේ සටන් විරාමයක් ද සමඟිනි.
මෙම සටන් විරාමයෙන් කොටි සංවිධානය තවත් ශක්තිමත් වන්නේ රජයේ ආරක්ෂක අංශ ක්‍රමක්‍රමයෙන් දුර්වල වන අවස්ථාවකදීය.
මෙම සටන් විරාමයෙන් කොටි සංවිධානය ආයුධ අංශයෙන්ද, බංකර් තැනීම ඇතුළු යුධ උපක්‍රම අංශයෙන්ද ශක්තිමත් වෙන අතර යළිත් වරක් සාම සාකච්ඡා සඳහා පැමිණෙන්නේ ජාත්‍යන්තර වශයෙන් ඔවුන්ට පිළිගැනීමක් ද ලබා ගැනීම සඳහාය.
කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවේද එකම අරමුණ වූයේ කොටි සංවිධානයට ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ලබා දීමටය.
ජාත්‍යන්තර වශයෙන් කොටි සංවිධානය පිළිගැනීමට ලක් කිරීමේ උපාය සාර්ථක වූවා නම් ශ්‍රී ලංකාවේ ඒකීයභාවය රැකගැනීමට නොහැකි වනු ඇත.
ඊට හේතුව සටන් විරාමය පැවතුණු කාලය වන විට ද කොටි සංවිධානය උතුරු නැගෙනහිර පළාත්වල ක්‍රියා කළේ වෙනම රාජ්‍යක් පවත්වා ගෙන යන හැටියටය.
එම සටන් විරාමය තුළ කොටි සංවිධානය කෙතරම් ශක්තිමත් වූවා ද කියනවානම් කොටි සංවිධානයට වෙනම අධිකරණ පද්ධතියක්, වෙනම පොලිස් ඒකකයක් ඇතුළු වෙනම පරිපාලනයක් නිල නොවන මට්ටමින් පවත්වාගෙන යාමට ද කටයුතු කර තිබුණි.
ඇතැම් කොටි සාමාජිකයන් හමුදා කඳවුරු ඉදිරිපිටට පැමිණ හමුදා සෙබළුන්ට පෙනෙන්න මුත්‍රා කළේ සටන් විරාමය නිසාය.
එවැනි සටන් විරාම ගිවිසුමක් වෙනුවෙන් එදා පෙනී සිටි එක්සත් ජාතික පක්ෂය හා ඔවුන්ගේ තවත් ශාඛාවක් වන සමගි ජනබලවේගය අද කතා කරන්නේ මොනවාද?
ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා එදා 1987 වසරේදී ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි සමඟ ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කිරීමට හේතු වූයේ කුමක්ද?
1987 දී එවකට ආරක්ෂක අමාත්‍ය ලලිත් ඇතුළත්මුදලිගේ මෙහෙයවීමෙන් වඩමාරච්චි මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණ.ඒ අවස්ථාවේදී කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් අවසන් වර්ග කිලෝමීටරයට කොටුකර ගැනීමට සෙන්පතියන් වූ ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න රණවිරුවන් කටයුතු කරන විට ඉන්දියාව ගුවනින් බලහත්කාරයෙන් පරිප්පු දමා වඩමාරච්චි මෙහෙයුම නතර කළේය.
ඒ අවස්ථාවේදී ජේ. ආර්. අභීතව දේශපාලන තීන්දු ගත්තා නම් වඩමාරච්චි මෙහෙයුම ක්‍රියාත්මක කර ප්‍රභාකරන් අල්ලා ගැනීමට හැකියාව තිබුණි.
නමුත් මහින්ද රාජපක්ෂ මේ රටේ විධායක ජනාධිපතිධූරයට පත්වනතුරු කිසිම රාජ්‍ය නායකයකුට මෙම ත්‍රස්තවාදය පරාජය කිරීමට නොහැකිව තිබුණු බව හොඳින් පසක් වනු නොඅනුමානයි.
එදා මහින්ද රාජපක්ෂ මේ රටේ පස්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ත්‍රස්තවාදය පරාජය කිරීමට කටයුතු කරන විට අද වාගේම දේශීය, විදේශීය බලවේග කිහිපයක්ම කකුලෙන් ඇද්ද බව රහසක් නොවේ.
එදා කැබිතිගොල්ලෑවේ බස් බෝම්බය පිපිරීගොස් ජනතාව තුවාල ලබා සිටිය දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ ප්‍රදේශයටම ගොස් තුවාලකරුවන් ගැන සොයා බැලුවේ නියම ජනතා නායකයෙකු ලෙසය.
“සර් දැන්ම එන්න එපා. කොටි තවත් ක්ලේමෝ බෝම්බයක් අටවලා තියනවාලු. සර් ආවොත් පුපුරවන්නයි එහෙම කරලා තියෙනවා කියලා කියන්නේ. ඒක නිසා සර් දැන්ම එන්න එපා. අපි මෙහෙ වැඩ කටයුතු බලා ගන්නම්.” යනුවෙන් දුරකථනයෙන් එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට දැනුම් දුන්නේ එවකට උතුරු මැද පළාතේ මහ ඇමති බර්ටි ප්‍රේමලාල් දිසානායකය.
“බර්ටි, මගේ රටේ මිනිස්සු මෙහෙම මරලා දාලා තියෙනකොට මං කොහොමද කොළඹට වෙලා ඉන්නේ. ඒක නිසා මං දැන් එනවා.” යනුවෙන් පැවසූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කැබිතිගොල්ලෑව බලා පිටත්ව ගියේය.
එහිදී මියගිය කුඩා පිරිමි දරුවෙකු බදාගෙන වැලපෙන තාත්තා කෙනෙකු ඉල්ලා සිටියේ කුමක්ද?
“සර්, තවත් මේ මගේ දරුවට වගේ තවත් දරුවන්ව මරන්න කොටි සංවිධානයට ඉඩ දෙන්න එපා.” යනුවෙන් එම පියා කෑගසමින් හැඬුවේය.
කොටි සංවිධානයකට මේ රටේ තවත් කිසිවකු බිලි දෙන්නේ නැහැ කියමින් කොටි සංවිධානයට තේරෙන භාෂාවෙන් පිළිතුරු දීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එදා අදිටන් කර ගත්තේය.
එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මානුෂීය මෙහෙයුම ආරම්භ කරන විට අද වාගේම විපක්ෂය කකුලෙන් ඇද්ද බවට ඕනෑතරම් උදාහරණ ඇත.
නැගෙනහිර මෙහෙයුම ක්‍රියාත්මක වනවිට 2007 වසරේ අය - වැය පරාජය කිරීමට විපක්ෂය දැඩි උත්සාහයක් ගත්තද රටේ වාසනාවට එදා විපක්ෂයේ කුමන්ත්‍රණය ව්‍යාර්ථ විය. එදා රාජගිරියේ පිහිටි HSBC බැංකුව ඉදිරිපිටට ගිය එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අපූරුතම උද්ඝෝෂණයකට සහභාගි වූහ.
“ශ්‍රී ලංකාවට ණය දෙන්න එපා. දැන් දෙන ණය අපේ ආණ්ඩුවක් ආවම ගෙවන්නේ නැහැ.” යනුවෙන් ප්‍රකාශ කරමින් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කෑගසමින් උද්ඝෝෂණය කළහ.
වර්තමානයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් එදා HSBC බැංකුව ඉදිරිපිට පැවති විරෝධතාවට සහභාගී වූ අතර සමගි ජන බලවේගයේ ආර්ථික විද්වතකු වශයෙන් සැලකෙන ආචාර්ය හර්ෂ ද සිල්වා මෙම විරෝධතාවට එක්වෙමින් පැවසුවේ ශ්‍රී ලංකාවට ණය ලබා නොදෙන ලෙසයි.
අලිමංකඩ යනවා කියා පාමංකඩ යනවා කිව්වේ ද මේ පිරිසය. කිලිනොච්චි යනවා කියා මැදවච්චි යනවා කිව්වේ ද ඔවුන්ම ය. ඕනෑ කෙනකුට යුද්ධ කරන්නට පුළුවන් යැයි කීවේද එම කඳවුරමය. තොප්පිගල කියන්නේ මහ විශාල කැලෑවක් කියා කීවේද ඔවුන් මය.
මේ ආකාරයෙන් එදා කකුලෙන් ඇද්ද පිරිස් අද කොරෝනා මර්දනයට එරෙහිව මෙන් ම කොළඹ වරාය නගරයට එරෙහිව ද කෑකෝ ගසමින් සිටිති.
කෙතරම් දේශීයව මෙන්ම විදේශීය බලපෑම් ආව ද ඉන් එකකටවත් සැලුණේ මහින්ද රාජපක්ෂ නොවේ; ඒ මහින්ද රාජපක්ෂගේ හැටිය.
විදෙස් රටවල් රැසකින් මහින්දට දිගින් දිගටම බලපෑම් කළ අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ එකකින්වත් නොසැලුණේ තමන් මේ රටේ පස්වැනි විධායක ජනාධිපතිවරයාටත් වඩා තමන් නියම ගිරුවාපත්තුවේ මහින්ද බව ලෝකයටම ප්‍රකාශ කරමිනි.
2007 වර්ෂයේදී වරක් විදෙස් මාධ්‍යවේදියෙක් අහනවා මහින්දගෙන් “What happen to Prabhakaran?” කියලා. මහින්දගෙ උත්තරේ “He had to go another place. May be Norway or no way”කියලා.
2009 වසරේදී අල්ජසීරා රූපවාහිනී සේවය මහින්දගෙන් අහනවා ජාත්‍යන්තර චෝදනා ගැන. මහින්ද සැරෙන් කියනවා “You dont ask that from USA or UK. What happen in Afghanistan? So be fair with us. Dont treat Sri Lanka this way” කියලා.
ඒ තමයි ත්‍රස්තවාදය යුද්දෙන් ඉවර කරපු මහින්ද.
අද රාජපක්ෂ රාජපක්ෂ ගගා කෑ ගහන, 2009 න් පස්සෙ ඉපදුණා වගේ “මහින්ද මොනාද කළේ?” කියලා අහන අයට කියන්න තියෙන්නේ එක දෙයයි....
“පෞරුෂයක් නැති මිනිස්සු හැමදාමත් පෞරුෂ තියෙන මිනිස්සුන්ට වෛර කරනවා.”
කොරෝනා ගැන දිගටම එක එක කතා කිව්වට ඵලක් නොවන නිසා දැන විපක්ෂයේ අලුත්ම කතාව කොළඹ වරාය නගරයයි.
කොළඹ වරාය නගරය මඟින් රට දෙකඩ වන බවත් රට චීනයට පාවා දෙන බවත් විපක්ෂය කියයි. සමගි ජනබලවේගයත්, ජනතා විමුක්ති පෙරමුණත්, දෙමළ ජාතික සන්ධානයත් මෙම චෝදනා එල්ල කරයි. රට කොටියාගෙන් බේරා ගත් රාජපක්ෂවරුන්ට මේරට පාවා දීමට කිසිසේත්ම වුවමනා නැත. යුද්ධය අවසන් කිරීමෙන් පසුව රට සංවර්ධනයකට ගෙන යාම සඳහා මහින්ද රාජපක්ෂ ක්‍රියා කළ බව රහසක් නොවේ. කොළඹ වරාය නගරය රටේ ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍ය බවට පත්වනවාට විපක්ෂය බිය වී තිබෙන්නේ ඇයි?
එදා යුද්ධය අවසන් කිරීමට ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂ පත්කිරීම මඟින් මහින්ද රාජපක්ෂ පෙන්වූයේ දුරදක්නා නුවණයි.
ගෝඨාභය රාජපක්ෂයන් ජනාධිපති අපේක්ෂක කර පසුව ජනාධිපතිධුරයට පත්කර රටේ වගකීම බාර දීමට මුල් වූයේ ද මහින්ද රාජපක්ෂයනුයි.
වර්තමානයේදීත් අග්‍රාමාත්‍යවරයා විදිහට තම සොහොයුරා වන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ශක්තියක් ලබා දීම මඟින් පෙන්නුම් කරන්නේද ඔහු ගිරුවායේ මහින්ද බව නොවේද?