
පාර්ලිමේන්තුව පසුගිය සතියේ පැවතියේ දින දෙකක් වුව ද එම දින දෙක ම වඩාත් උණුසුම් වූයේ කොවිඩ් - 19 වත්මන් තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුව කල් තැබීමේ අවස්ථාවේ විවාදය පැවැත්වුණු නිසාය. පසුගිය 04 වැනිදා කොවිඩ් - 19 ගැන පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබුණු අතර 05 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණේ කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව ගැන පාර්ලිමේන්තුව කල් තැබීමේ අවස්ථාවේ විවාදයයි.
කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මහින්ද යාපා අබේගුණවර්ධන කථානායකවරයාට ලැබී නොතිබුණු නිසා 04 සහ 05 යන දෙදින පුරාම පාර්ලිමේන්තුවේ පැවතුණේ කොවිඩ් - 19 සහ එහි වත්මන් තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයයි.
මෙහිදී විශේෂත්වයක් වූයේ සරත්ලා දෙදෙනකු අතර ඇති ඇතිවූ උණුසුම් විවාදයයි.
එක් සරත් කෙනකු වූයේ හිටපු යුද හමුදාපති, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකායි. අනෙක් සරත් වූයේ හිටපු සිවිල් ආරක්ෂක බළකායේ ප්‍රධානි, මහජන ආරක්ෂක ඇමැති විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකරයි.
මෙම මත ගැටුම විනාඩි කිහිපයක් තිස්සේ පැවතීම නිසා මැතිසබය තුළ ඇතිවූයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයකි.
විවාදයට එක්වූ සරත් වීරසේකර අමාත්‍යවරයා ප්‍රකාශ කළේ සරත් ෆොන්සේකා හමුදාව පාවා දෙන ආකාරයට ප්‍රකාශ නිකුත් කරන බවයි.
හමුදාවේ සිටි අයකු ලෙස එවැනි ප්‍රකාශ නිකුත් කිරීම ගැටලු සහගත බව ද සරත් වීරසේකර විසින් පෙන්වා දෙන ලදී.
මිරිසුවිල් සිද්ධියේ දී සුනිල් රත්නායක රණවිරුවාට නිදහස දුන් එක සම්පූර්ණයෙන්ම වැරදි යැයි ෆොන්සේකා පසුගියදා ප්‍රකාශ කළා. ඒ චෝදනා ලැබූ සෙබළුන් සියලු දෙනා හිරේ දැමිය යුතු යැයි ඔහු පැවසුවා. යනුවෙන් සරත් වීරසේකර ප්‍රකාශ කළේය.
මේ අවස්ථාවේදී සරත් ෆොන්සේකා කතා කිරීමට උත්සාහ කරයි.
ඇමැති වීරසේකර:- ඔබතුමා ඉන්න මම කතා කරලා ඉවර වෙනකල්. පොයින්ට් ඔෆ් ඕඩර් එකක් මෙතන නැහැ.
මන්ත්‍රී සරත් ෆොන්සේකා:- යුද්දෙ කතා කියලා රණවිරුවෝ කියලා මිනීමරන්න බැහැ. මිනී මැරුවා නම් කවුරු වුණත් හිරේ යන්න ඕන. කරන්නාගොඩ කළත්, තමුන්නාන්සේ කළත් නීතිය කාටත් එකයි. මම කියපු දේ හමුදාව පාවාදීමක් නෙමෙයි.
ඇමැති වීරසේකර:- දෙමළ සංවිධානයට ඕන විදිහට ඩයස්පෝරාවට ඕන විදිහට ගහෙන් ගෙඩි එන්නා වාගේ මේ වගේ ප්‍රකාශ තමුන්නාන්සේ කරන්නේ ඩොලර්වලටයි.
මන්ත්‍රී ෆොන්සේකා:-
ජිනීවා ගිහිල්ලා කොහෙන්හරි ඩොලර් උස්සගෙන ආවට අපි ඒ තුට්ටු දෙකේ වැඩ කරලා නැහැ.
ඇමැති වීරසේකර:- තමුන්නාන්සේ හමුදාව පාවා දෙන්න එපා.
මන්ත්‍රී ෆොන්සේකා:- අපි එදා යුද්ධ කළේ බෝම්බ කාගෙන.
ඇමැති වීරසේකර:- ඇයි අපි යුද්ධ කළේ නැද්ද? යුද්ධය දිනලා ජාතියේ ප්‍රණාමය ලබාගත්තු පස් දෙනාගෙන් එක්කෙනෙක් මම. දැනගන්නවා, ඔයා විතරක් නෙවෙයි යුද්ධ කළේ.
තමන්ගේ සෙබළුන් පාවා දෙනවා නම් තමුන්නාන්සේ ෆීල්ඩ් මාෂල් කෙනකුට නෙවෙයි, ලාන්ස් කෝප්‍රල් කෙනෙකුටත් සුදුසු නෑ.
මන්ත්‍රී ෆොන්සේකා:-
මම කිව්වේ නඩු තීන්දුවේ තියෙන ඒවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඒවා කිව්වා.
ඇමැති වීරසේකර:- තමුන්නාන්සේ ඒවා කියන්නේ දෙමළ ඩයස්පෝරාවෙන් සල්ලි අරගෙන, නැත්නම් මොකක්ද හේතුව.
(ෆොන්සේකා යළිත් මහ හඬින් කෑ ගසයි)
(ඇමැති වීරසේකරට බැණ වදි)
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්:-
කමෝන්..... කමෝන්.....
ඇමැති වීරසේකර:- යුද්ධයෙන් පස්සේ ජනාධිපතිවරණයේදී ඔබතුමා දෙමළ දිස්ත්‍රික්ක ඔක්කොම දින්නේ කොහොමද? ඔබතුමාට එල්.ටී.ටී.ඊ. දෙමළ ඩයස්පෝරාව එක්ක ගිවිසුමක් තියෙනවා. ඒක ඉතා පැහැදිලියි.
අතරමැදි රෝහල් හදන්න ප්‍රසන්න මුල්වෙයි
මේ අතර කොවිඩ් - 19 යළි ව්‍යාප්ත වීම හා එය මැඬපැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ද දැඩි අවධානය යොමු වී තිබුණි. සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග පසුගිය සඳුදා උදෑසන බස්නාහිර ආණ්ඩුකාර රොෂාන් ගුණතිලකට දුරකථන ඇමතුමක් දුන්නේය.
“ආණ්ඩුකාරතුමා.. අපි වැරැල්ලවත්තේ ඇඳන් 2,000 ක් දාන්න පුළුවන් කොවිඩ් අතරමැදි රෝහලක් හදනවා. ඒක නාවික හමුදාව යොදවලා කරගන්න පුළුවන්. අවශ්‍ය පහසුකම් ටික ගන්න ප්‍රතිපාදන ටිකක් දෙන්න..” ප්‍රසන්න ඉල්ලුවේය. “හොඳයි.. මම අද එන්නම්, එතැන බලලම තීන්දුවක් ගමු...” ආණ්ඩුකාරවරයා කීවේය.
ඒ අනුව ඇමැති ප්‍රසන්න හා බස්නාහිර ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක සඳුදා යක්කල වැරැල්ලවත්තට ගියේ වසා දමා තිබෙන කර්මාන්තශාලාව පරීක්ෂා කිරීමටයි.
“මෙතැන මුල් අදියර යටතේ ඇඳන් 1,000 ක් දාන්න ප්‍රතිපාදන දෙන්න. ඊට පස්සේ ඉතිරි එක කරමු...” ප්‍රසන්න ආණ්ඩුකාරවරයාට කීවේය. ඊට ආණ්ඩුකාරවරයා ද එකඟතාවය පළ කළේය.
ප්‍රසන්න එතැන සිටම ඇමැති නාමල්ට කතා කළේය.
“මල්ලී.. මට පොඩි උදව්වක් ඕනෑ... අපි කොවිඩ් අතරමැදි රෝහලක් හදනවා. නාවික හමුදාව වැඩේ කරනවා. බස්නාහිර පළාත් සභාවෙන් සල්ලිත් හම්බෙනවා. මෙතන වැඩට තව ටිකක් කට්ටිය යොදවගන්න පුළුවන් නම් ඉක්මන් කරගන්න පුළුවන්..” ප්‍රසන්න කීවේය.
ඇමැති නාමල් කීවේ තරුණ සංවිධාන හරහා ඒ සඳහා පිරිසක් යෙදවිය හැකි බවයි.
මේ අතර වැරැල්ලවත්තේ මේ ප්‍රතිකාර මධ්‍යස්ථානය පිළිබඳ පුවත්පත් වාර්තා දුටු හිටපු ඇමැති බැසිල් රාජපක්ෂයන් ද ඇමැති ප්‍රසන්නට කථා කළේය. ඔහු කීවේ මෙය ඉතා හොඳ වැඩක් බවය. ඒ වෙනුවෙන් අවශ්‍ය දෙයක් ලබාදීමට ඔහු ද එකඟතාව පළ කළේය.
පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් මෙවර කැබිනට් මණ්ඩලය පැවැත්වූණේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේයි. සවස 05.00 ට ආරම්භ වීමට නියමිතව තිබු කැබිනට් මණ්ඩලයට ඇතැම් ඇමැතිවරු ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ කලින්ම පැමිණ සිටියහ. ඒ අතර අලි සබ්රි හා එස්.එම්.චන්ද්‍රසේන ඇමැතිවරුන්ට සුබ පැතීමට ද ඇමැතිවරු කටයුතු කළහ. ඒ ඔවුන් දෙදෙනාගේම උපන්දින එදිනට යෙදී තිබුණු බැවිනි.
“මම උදේම ගත්තා. ඔබතුමාව අල්ලගන්න බැරිවුණා සුබ පතන්න. ..” අගමැති මහින්ද අලි සබ්රිට කීවේය.
“ඔව් සර්...මම පස්සේ ඔබතුමාට ගත්තා නමුත් සම්බන්ධ කරගන්න බැරි වුණා....” සබ්රි කීවේ අගමැති මහින්දට කනගාටුව පළ කරමිනි.
ජනපති ඇමැතිවරුන්ට කියපු දේ
“කොවිඩ්වලට තියෙන එකම විසඳුම එන්නත්කරණය. අපි මේ වන විට එන්නත්කරණය සඳහා සියලුම දේ කරමින් ඉන්නවා. ස්පුට්නික් එන්නතත් ගෙන එන්න කටයුතු කරලා තියෙනවා. චීන එන්නතටත් හෙට අනිද්දාට අනුමැතිය හිමිවෙයි කියලා හිතනවා. සෞඛ්‍ය අංශ කියන විදිහට එන්නත දීපු ප්‍රදේශවල රෝගය පාලනය වෙලා තියෙනවා..” ජනාධිපති ගෝඨාභය කීවේය.
“කළුතර දිස්ත්‍රික්කයේ කොවිඩ් වැඩිවෙන නිසා පසුගිය දින දෙක තුන ඇතුළත තියෙන ඇඳන් ප්‍රමාණයට වැඩිය ඇඳන් 1,000 ක් එකතු කර ගත්තා. ට්‍රේනින් සෙන්ටර්ස් වගයක් තමයි ගත්තේ. සමහර වෙලාවට අපේ දිස්ත්‍රික්කයේ රෝගීන් ගෙනියන්නේ නැඟෙනහිර පළාතට. යවන්නේ තියෙන ඇම්බියුලන්ස් එක. එතකොට ගැටලු කීපයක් පැනනගිනවා..” රෝහිත කීවේය.
“වෙන වෙනම ගෙනියන්න ඕනෑ නෑ ඇමැතිතුමා. සියලුදෙනාම එකතු කරලා ගෙනියන ක්‍රමවේදයක් හරිගස්සලා තියෙනවා. රෝගීන් සියලු දෙනාව එක තැනකට ගෙනල්ලා එකවර අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ගෙනියන්න කටයුතු යොදලා තියෙන්නේ..” ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
“අපි නිරෝධායන මධ්‍යස්ථාන දැන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කරලා තියෙනවා. ඇදන් 10,000 ක් අපි සුදානම් කළා..” ජනාධිපතිවරයා කීවේය. “අපිට දිස්ත්‍රික් වශයෙන් මේ රෝගීන් කළමනාකරණය කරගන්න පුළුවන් නම් හොඳයි. ගාල්ලේ ඇදන් 500 ක් වැඩි කරලා.” ඇමැති රමේෂ් කීවේය. “අපි ගම්පහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 03 ක් හදන්න කටයුතු කරගෙන යනවා. වහලා දාපු කර්මාන්තශාලා 03 ක් අරගෙන..”ඇමැති ප්‍රසන්න රණතුංග කීවේය.
“හැම දිස්ත්‍රික්කයේ ම එහෙම තැන් නෑ. පුළුවන් තරම් ඒ පහසුකම් හදාගන්න එක හොඳයි. හැම කෙනෙක්ම ඒ ගැන මැදිහත්වෙලා කටයුතු කරන්න..” ජනාධිපතිවරයා කීවේය. “දිස්ත්‍රික්ක මට්ටමින් දේශපාලන නායකත්වය මේ වෙලාවේ අපිට ලොකු සහායක් දෙනවා. අපි හැම දිස්ත්‍රික්කයකම සෞඛ්‍ය අංශවලට කියලා තියෙනවා දිස්ත්‍රික්කයකට ඇඳන් 1,000 ක් වත් දාන්න පුළුවන් ස්ථානයක් තෝරාගෙන සුදානම් කරලා තියාගන්න කියලා..” පවිත්‍රා ඇමැතිවරිය කීවාය.
“අද අපි උසස් අධ්‍යාපන ආයතන කීපයක්ම හොස්ටල් කීපයක්ම මේ සඳහා ලබා දුන්නා...” කීවේ අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල් ය.
අගමැති මහින්ද ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ මුලසුනට
ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) පසුගිය (05) පස්වරුවේ පැවති 54 වන වාර්ෂික මහා සභා රැස්වීමේ දී 2021/2022 වර්ෂය සඳහා ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ මුලසුනට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා තේරී පත්විය.
මුදල් අමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා මෙම තනතුරට පත්වනවිට ශ්‍රී ලංකාවේ ආසියානු සංවර්ධන බැංකු (ADB) අධිපතිධුරය හොබවමින් සිටියේය.
ජෝර්ජියාවේ ටිබිලිසි හි පැවැත්වීමට නියමිතව තිබූ මෙම වාර්ෂික මහා සභා රැස්වීම වර්තමානයේ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණි. ඔස්ට්‍රියාවේ සහ මොන්ගෝලියාවේ ඒ.ඩී.බී අධිපතිවරුන් මෙම රැස්වීමේ දී ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරු ලෙස තේරී පත්වූහ.
ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන වාර්ෂික මහා සභා රැස්වීම ලබන වසරේ කොළඹ දී පැවැත්වීමට නියමිතය.
දෙවැනි වරටත් 12 දෙනෙක් පක්ෂ නායක රැස්වීම වර්ජනය කරති
මේ අතර මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා කැඳවා තිබුණු පක්ෂ නායක රැස්වීම ආණ්ඩුවට සහයෝගය පළ කරන දේශපාලන පක්ෂ 12 ක නායකයන් විසින් දෙවනිවරටත් වර්ජනය කිරීම දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වෙමින් තිබේ.
අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවති මෙම රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහභාගී වී සිටි අතර ආණ්ඩුව නියෝජනය කර මහජන නියෝජිතයන් 50 ක් පමණ ඊට සහභාගී වී ඇති බව ද වාර්තා වේ.
රැස්වීම වර්ජනය කළ එම දේශපාලන පක්ෂ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය දක්වන දේශපාලන පක්ෂ 14 ක නායකයන් පමණක් කැඳවා සාකච්ඡාවක් පවත්වන ලෙසයි.
යුතුකම ගෙවිඳු අගමැතිතුමාගෙන් ඉල්ලුවේ කුමක්ද?
ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පසුගිය 04 වැනිදා දහවල් 12.00 ට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි කමිටු ශාලා අංක 1 දීය.
කොවිඩ් ගැන මැති ඇමැතිවරු මන්ත්‍රීවරු එහිදී අදහස් දක්වන්නට වුණා. රාජ්‍ය ඇමැතිනී වෛද්‍ය සීතා අරඹේපොළ කියා සිටියේ යම් යම් සංචරණ සීමා පැනවීමට ක්‍රියා කරනවා නම් වඩාත් හොඳ බවයි.
එන්නත්කරණ වැඩසටහන ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කළේ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන විසිනි. පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග කියා සිටියේ මීට පෙර අවස්ථාවලදී උණු වතුර පානය කිරීම, දුම් ඇල්ලීම, ආම්ලික පලතුරු ආහාරයට ගැනීම වැනි දේවල් ගැන සමාජයේ අවධානය පෙරට වඩා යොමු කළ යුතු බවයි.
චීනයේ ජනතාව දිනකට පස් වතාවක් උණුවතුර පානය කරන්නත්, උණු තේ බොමින් ඉතා පරිස්සමින් සිටින බවත් ඔවුන් දිනපතාම මේ දේවල් සිදු කරන්නේ යහපත් සෞඛ්‍යයට එමඟින් තිබෙන බලපෑම නිසා බවත් ගෙවිඳු කුමාරතුංග මෙහිදී පෙන්වා දෙන ලදී.
මැති ඇමැතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් මෙම සියලු කරුණු ගැන අවධානය යොමු කරන බව මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
සූම්, ටීම් හා වට්ස්ඇප් මඟින් රනිල් වැඩ
කොවිඩ් - 19 රෝගීන් නැවත වරක් වැඩි වැඩියෙන් වාර්තාවීමට පටන් ගැනීමත් සමඟ එක්සත් ජාතික පක්ෂය ද සිය පක්ෂ කටයුතු, මහජන හමු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළේය. අන්තර්ජාල පහසුකම් ඔස්සේ කටයුතු කරනවා විනා මහජන හමු හෝ වෙනත් රැස්වීම් නොපවත්වන ලෙස නායක රනිල් වික්‍රමසිංහ පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාරට උපදෙස් දී තිබුණි.
නායකයා ද පස් වන පටුමඟේ පිහිටි සිය නිවසේ රැදීමට තීරණය කළ අතර මැයි මස මුල් සති දෙක නිවසින් බැහැර නොයන්නැයි නායකයාට විද්වතුන් මෙන්ම වෛද්‍යවරුන්ද උපදෙස් දී තිබිණි. ඒ අනුව නායකයා ද සියලු හමුවීම් සූම්, ටීම් හා වට්ස්ඇප් මඟින් කිරීමට තීරණය කළේය.
කාර්ය බහුලත්වයෙන් මිදි නිවසට කොටුවූ කාලය ආසියානු දේශපාලනය සම්බන්ධයෙන් තමන් සකස් කරමින් පවතින පොතේ කටයුතු නැවත ආරම්භ කිරීමට ද නායකයා පියවර ගෙන තිබුණි. නව තාක්ෂණය ඔස්සේ පක්ෂ ක්‍රියාකාරීන් හමුවී සාකච්ඡා කරන අවස්ථා හැර අන් සෑම අවස්ථාවක්ම අලුත් පොත ලිවීමේ කටයුතුවලට වෙන් කිරීමට නායකයා වගබලා ගත්තේය.
සජිත් තානාපතිවරුන්ට කීවේ මොනවාද?
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට පසුගිය සතියම බෙහෙවින්ම කාර්යබහුල විය. ඒ රාජ්‍යතාන්ත්‍රික හමුවීම් රැසක් මෙන් ම පාර්ලිමේන්තුවේ විශේෂ කටයුතු රැසක් ද යෙදී තිබුණ බැවිනි.
යුරෝපා සංගමයේ තානාපති Denis Chaibi, ප්‍රංශ තානාපති Mr.Eric Lavertu, ඉතාලි තානාපතිනි Ms. Rita giuliana Mannella, ජර්මන් තානාපති Mr. Holger Seubert", රොමේනියානු තානාපති Mr.Victor chiujdea යන රාජතාන්ත්‍රික නිලධාරීන් ගිය සතියේ හමුවූ සජිත් එදිනම හවස තවත් තානාපතිවරු පිරිසක් හමු වූහ.
රුසියානු තානාපති, ජපන් තානාපති සහ කැනේඩියානු තානාපති මෙන් ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත හැනා සිංගර් ද මේ සතියේ හමුවීමට විපක්ෂනායකවරයා අමතක කළේ නැත. මෙහි විශේෂත්වය වූයේ මේ හමුවීම සඳහා ඉල්ලීම් කොට තිබුණේ ද එම රටවල්වල තනාපතිවරුන් විසින්ම වීමය.
“දිගටම නායකතුමා විදෙස් තානාපතිවරු හමුවෙනවා. මොකක්ද රහස?” එහෙම ඇසුවේ ගයන්ත කරුණාතිලක ය. “ඒකනේ, සති දෙකක් ඇතුළත සෑහෙන තානාපතිවරු පිරිසක් හමුවුණා. ඒක වාර්තාවක් වෙන්නත් පුුළුවන්” මනූෂ කීවේ අසල සිටි නලින් බණ්ඩාර සමඟය.
“ඇත්තටම මම නොවේ හමුවුණේ. එතුමන්ලා තමයි ඉල්ලීම කළේ. හැබැයි එහෙම අවස්ථා අපි උපරිමව රට වෙනුවෙන් ප්‍රයෝජනයට ගන්නවා.” සජිත් කීවේය.
“හරින් ගැන ඔබතුමා තානාපතිවරු එක්ක සාකච්ඡා කළ එක හොඳයි. මේක විපක්ෂය දඩයම් කරන ආණ්ඩුවක්.” හෙක්ටර් අප්පුහාමි කීවේය.
“හරින්ගේ රිපෝර්ට්ස් දැක්කම මම පුදුම වුණා. හැමෝගෙන්ම පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා. එතුමා බලන්න නිතර යන්න එපා. ඒකෙන් එතුමට ඩිස්ටර්බ් වෙන්න පුළුවන්. මේ ටික දවස විවේක අරගෙන එතුමා ආපහු පුරුදු සටන් බිමට එනවා. එතෙක් එතුමට විවේක ගන්න දෙමු.” සජිත් කීවේය.
“මේ දවස්වල හරින් පොත් කියවනවාලු” හර්ෂණ කීවේය. “ඒක ඉතාම හොඳයි” එහෙම කීවේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරය.