
සංචරණ සීමා ක්‍රියාත්මක කරමින් කොරෝනා තුන්වැනි රැල්ල මැඬ පැවැත්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්යෙන් දැඩි ලෙස අවධානය යොමු කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාත්, මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාත් අදාළ අංශවලට පසුගිය සතියේදි උපදෙස් ලබාදුන්හ.
කොරෝනා මර්දන එන්නත ලබාදීම එක් පැත්තකින් සිදු කෙරෙද්දි, කොරෝනා රෝගීන් හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය කරන ප්‍රතිකාර කටයුතු සිදුකරන ලෙසට ද උපදෙස් ලැබී තිබේ.
මේ අතර විපක්ෂය ප්‍රකාශ කරන්නේ කොරෝනා මර්දනය ගැන කතා කිරීමට සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙසයි.
පොහොට්ටුවේ යාන්ත්‍රණය ක්‍රියාත්මකයි
ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ආණ්ඩුවේ දේශපාලන අධිකාරිය රටපුරා රෝහල් සඳහා ඇඳන් වැඩි කිරීමටත්, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇති කිරීමටත් පියවර ගෙන තිබේ.
මේ සඳහා පොහොට්ටුවේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේ වගකීම බැසිල් රාජපක්ෂ බාරගත් අතර ඔහු ඒ සඳහා පසුගිය දින කිහිපය පුරා කටයුතු කරනු දක්නට ලැබිණ.
ආණ්ඩුවට අමතරව දේශපාලන පක්ෂයක් ලෙස ද කොරෝනා මර්දන වැඩසටහනට සක්‍රීයව දායකවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව තීරණය කර තිබේ.
ජනපතිගෙන් ප්‍රසන්නට ඇමතුමක්
පසුගිය සඳුදා දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගෙන් ඇමති ප්‍රසන්න රණතුංගට හදිසි දුරකථන ඇමතුමක් ලැබුණේය.
“කොවිඩ් එන්නත්කරණ වැඩසටහන දැන් ක්‍රියාත්මක වෙනවා. මේක ගැන ගම්පහ දිස්ත්‍රික්කයේ විධිමත් වැඩසටහනක් හදන්න දිස්ත්‍රික් ලේකම්තුමා, ප්‍රාදේශීය ලේකම්වරු, සෞඛ්‍ය බලධාරින් එක්ක කථා කරන්න.“ ජනාධිපතිවරයා කීවේය.
ඒ අනුව ප්‍රසන්න වහාම ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් ඇමතුවේය. ගම්පහ සියලු ප්‍රාද්ශීය ලේකම්වරු හා සෞඛ්‍ය බලධාරින් කැඳවා ගත්තේය. ජනතාවට කොවිඩ් එන්නත දීමේ වැඩසටහන ගැන සාකච්ඡා කළේය.
“අපිට දැනට ලැබෙන කොවිඩ් එන්නත ලබාදීමේ දී ක්ෂේත්‍ර නිලධාරීන්, ගුරුවරු, බැංකු නිලධාරීන් ඇතුළු සියලු රාජ්‍ය නිලධාරීන්ට වගේම මාධ්‍යවේදීන්ට ප්‍රමුඛතාව දෙන්න පුළුවන් නම් හොඳයි.“ ප්‍රසන්න යෝජනා කළේය.
කැබිනට් මණ්ඩලයට ආ රැවුල වැවූ අය කවුද?
“කොවිඩ් එන්නත හැකි ඉක්මනින් රටේ සියලුම ජනතාවට ලබාදෙන එක තමයි ජනාධිපතිතුමාගේ අපේක්ෂාව. ඒ වෙනුවෙන් විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාත්ක කරන්න ඕනේ අපි හැමෝම එකතු වෙලා.“ ප්‍රසන්න කීවේය.
සාකච්ඡාවේ දී ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් එන්නත්කරණ වැඩසටන විධිමත් ලෙස ක්‍රියාත්මක කිරීම පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණි. මෙම වැඩසටහන සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න යැයි ප්‍රසන්න පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.
පසුගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වූයේ ද වීඩියෝ තාක්ෂණය ඔස්සේය. මෙම රැස්වීමට ඇමති මහින්දානන්ද පැමිණ සිටියේ මූණ පුරා රැවුල වවාගෙනය. “මම මේ බැලුවා කවුද මේ කැබිනට් මණ්ඩලයට ආපු අමුත්තා කියලා.“ ඇමති ඩලස් කීවේය.
“ඇයි මෙහෙම හොඳ නැද්ද?“ මහින්දානන්ද ඇසුවේය.
“නෑ හොඳයි. මට එකපාරටම අඳුරගන්න බැරිවුණා.“ ඩලස් සිනාසෙමින් කීවේය.
මෙහිදී ද රටේ පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳ විශේෂ අවධානය යොමුවිය. පවතින තත්ත්වය යටතේ ලොක්ඩවුන් පැනවෙන ප්‍රදේශවල ජනතාවට සතොස හරහා අත්‍යවශ්‍ය ආහාර මල්ලක් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට හැකි බව කීවේ ඇමති බන්දුල ය.
“ප්‍රාදේශීය ලේකම්වරු හරහා වැඩපිළිවෙළක් සකසනවා නම් අපිට මේ ගැන කටයුතු කරන්න පුළුවන්.“ බන්දුල කීවේය.
“ජනාධිපතිතුමනි, අද වෙනකොට කොළඹ නගර සීමාවේ 7000කට විතර එන්නත ලබාදීලා තියෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ මම දැන් රැස්වීමක් තියලයි ආවේ. මේ වෙනකොටත් එන්නත ලබාදීම සිදුවෙනවා.“ ඇමති ප්‍රසන්න කීවේය.
“කළුතර කොහොමද?“ ජනාධිපතිවරයා ඇසුවේය.
“සර්. කළුතරත් මේ වෙනකොට එන්නත් වැඩසටන ක්‍රියාත්මක වෙනවා.“ ඇමති රෝහිත උත්තර දුන්නේය.
“ගම්පහටයි, කොළඹටයි 80,000 ගානේ එන්නත් ලැබිලා තියෙනවා. මේ ඉරිදා වෙනකොට එන්නත් දීලා ඉවර කරන්න පුළුවන් කියලයි සෞඛ්‍ය අංශ කියන්නේ.“ ඇමති ප්‍රසන්න කීවේය.
“මේ එන්නත්කරණ වැඩසටහන ක්‍රමවත්ව ක්‍රියාත්මක කරගන්න හැමෝම සෞඛ්‍ය අංශවලට අවශ්‍ය සහාය දෙන්න. ඉදිරි සතියේ ඉඳලා රටට අවශ්‍ය එන්නත් ප්‍රමාණය ගෙන්වන්න අපි කටයුතු කරමින් තිබෙනවා.“ ජනාධිපතිවරයා කීවේය.
“ජනාධිපතිතුමනි, ඔබතුමා කිව්වා වගේ ඉදිරිපෙළ ක්‍රියාකාරි සමෘද්ධි, කෘෂි, ග්‍රාම නිලධාරි වගේ සියලුම ක්ෂේත්‍ර නිලධාරීන්ටත්, ගුරුවරු, බැංකු නිලධාරින් ඇතුළු රජයේ නිලධාරින්ටත්, මාධ්‍යවේදීන්ටත් ප්‍රමුඛතාව දෙන්න කටයුතු කළා. ගම්පහ දිස්ත්‍රික්කයේ ඒ වගේම කොළඹත් ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා කිව්වා.“ ප්‍රසන්න යළි කීවේය.
ඇඳන් ගැන නාමල්ගෙන් වාර්තාවක්
“පසුගිය දින කීපයේ මහනුවර දිස්ත්‍රික්කයෙනුත් කොවිඩ් රෝගීන් විශාල වශයෙන් වාර්තා වුණා. මහනුවර දිස්ත්‍රික්කයේත් කොවිඩ් එන්නත ලබාදීමේ වැඩසටහක් ඉක්මනින් ක්‍රියාත්මක කරන්න වෙනවා.“ ඇමති කෙහෙළිය කීවේය.
“තවත් එන්නත් මිලියන 3ක් චීනයෙන් ඉක්මණින් ගෙන්න ගන්න අපි කටයුතු කරගෙන යනවා. හැකි ඉක්මනින් මෙම එන්නත්කරණ වැඩසටහන අපි ක්‍රියාත්මක කළ යුතුයි. අවශ්‍ය අනෙකුත් එන්නත් ප්‍රමාණයත් ලබාගන්න කටයුතු කරගෙන යනවා.“ ජනාධිපතිවරයා යළි කීවේය.
“අපි විදුලිබල මණ්ඩල සේවකයන්ට කොවිඩ් ෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දුන්නා. ඒකට ඔබතුමාට ස්තූතියි.“ ඇමති ඩලස් කීවේය.
දින 10ක් ඇඳන් 10,000ක් සැකසීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය ජනාධිපතිවරයාට වාර්තා කළේ ඇමති නාමල් රාජපක්ෂය.
“අද සවස ඉඳන් අපි ඇඳන් බෙදාහරින්න පටන් ගත්තා. ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළමු අදියර යටතේ රෝහල් 13ක තාවකාලික රෝහල් වාට්ටු ඉදිකර දීමට කටයුතු කරගෙන යනවා බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි. තරුණ සේවා සභාව, වරාය, ගුවන් තෙටුපළ, RDA එක වගේ හැම ආයතනයක්ම, වෘත්තීය සමිති නියෝජිතයෝ අපිට මේකට සහාය දෙනවා.“ නාමල් කීවේය.
සජිත්ලාගේ නූල් සූත්තරයක් බැසිල්ට හසුවෙයි
මේ අතර ආණ්ඩුවට සහාය දෙන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 11 වැනිදා පැවැත්වූයේ අරලියගහ මන්දිරයේදීය.
රජය මේ වන විට කොරෝනා වසංගතය පැතිරයාම පාලනය කිරීම වෙනුවෙන් ගෙන ඇති පියවරත් මෙහිදී පක්ෂ නායකයන්ගේ අවධානයට ලක්විය.
ඒ ඒ ප්‍රදේශවල අතිරේක ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉදිකිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණ.
“මේ එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙනයාමට අවශ්‍යයයි.“ යනුවෙන් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඊට අමතරව කොරෝනා රෝගීන්ට ඇතිවිය හැකි දුෂ්කරතා මඟහැරීම පිළිබඳව ද පක්ෂ නායකයන්ගේ අවධානයට ලක්විය.
ගෙවිඳුගෙන් යුතුකමක්
දැනට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ හා එන්නත් ලබාගැනීමට හා ඇණවුම් කර ඇති තොරතුරු අග්‍රාමාත්‍යවරයා විසින් විමසූ අතර ඊට අවශ්‍ය පිළිතුරු ලබා දුන්නේ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි විසිනි.
“වෛද්‍ය උපකරණ තොගයක් ලබාදෙන්න කියලා මං චීනයෙන් ඉල්ලීමක් කළා. ඒ වෛද්‍ය උපකරණත් ප්‍රදානයන් විදියට අද හෙටම අපිට චීනයෙන් ලැබේවි.“ යනුවෙන් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර සමගි ජනබලවේගයෙන් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙසට කර තිබෙන ඉල්ලීමක් සම්බන්ධයෙන් ද මෙහිදී කතාබහක් ඇතිවිය.
“මේ ඉල්ලලා තියෙන්නේ ජනාධිපතිතුමාගේ හා විපක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්න කියලා. පාර්ලිමේන්තු ප්‍රධානියා අගමැතිතුමා. එහෙම තියෙද්දි විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් කැඳවන්නේ කොහොමද? මේ ඉල්ලීමේම තියෙනවා, ඔවුන්ගේ දේශපාලන අරමුණ මොකක්ද කියලා.“ යනුවෙන් පැවසුවේ බැසිල් රාජපක්ෂය.
‘යුතුකම‘ සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග ද යෝජනාවක් ඉදිරිපත් කළේය.
“අගමැතිතුමනි, සමාජය සමඟ වැඩිපුර ගැටෙන රජයේ සේවකයන්ට කොරෝනා මර්ධන එන්නත ලබාදීමේදී ප්‍රමුඛතාවක් ලබාදෙන්න. විශේෂයෙන්ම ග්‍රාම නිලධාරින්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්න නිලධාරින් මේ දවස්වල වැඩිපුරම ජනතාව සමඟ ගැටෙනවා වැඩියි. එන්නත්කරණයේදී ඔවුන්ට ප්‍රමුඛස්ථානය ලබාදෙන ගමන් හැකි නම් ඔවුන්ට එන්නත් කරගැනීම සඳහා වෙනම ස්ථාන ලබාදෙනවා නම් ඒකත් වඩාත් සුදුසුයි.“ යනුවෙන් ගෙවිඳු කුමාරතුංග කියා සිටියේය.
“මන්ත්‍රීතුමා දැනටමත් ඒක කරගෙන යනවා. බොහෝවිට එන්නත්කරණයේදී මේ පිරිසට ප්‍රමුඛතාව ලබා දෙනවා. ඒක නිල වශයෙන් තාම ප්‍රකාශ වෙලා නැහැ. සෞඛ්‍ය ඇමතිතුමිය ඒක නිල වශයෙන් ප්‍රකාශ කරනවා නම් හොඳයි“ යනුවෙන් පැවසූ බැසිල් රාජපක්ෂ පවිත්‍රා වන්නිආරච්චිට පැවසුවේ එය නිල වශයෙන් ප්‍රකාශ කිරීම වඩාත් සුදුසු බවයි යනුවෙන් ප්‍රකාශ කරමිනි.
හංගපු පොහොර එළියට ගන්න මහින්දානන්ද සැරසෙයි
රසායනික පොහොර ගෙන ඒම නතර කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වූ අතර එය මෙම සාකච්ඡාවේදි අවධානයට යොමු කළේ වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා විසිනි.
“රසායනික පොහොර ආනයනය සීමා කිරීමේ කාරණයට මං ප්‍රතිපත්තියක් ලෙස එකඟයි. ඒත් ප්‍රායෝගිකව ගොවි මහතුන් දුෂ්කරතාවන්ට පත්නොවන ආකාරයට කටයුතු කළ යුතුයි.“ යනුවෙන් වාසුදේව ප්‍රකාශ කළේය.
“මේ කන්නයට ඇති තරම් පොහොර තියෙනවා. හංගගෙන ඉන්න පොහොර තමයි ප්‍රශ්නය. හංගගෙන ඉන්න පොහොර එළියට ගන්න අපි කටයුතු කරනවා.“ යනුවෙන් පැවසූ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන ලෙසට වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගෙන් ඉල්ලීමක් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද මෙහිදී ප්‍රකාශ කරන ලද්දේ රසායනික පොහොර ආනයනය තහනම් කිරීම විප්ලවීය තීරණයක් බවයි.
රතන හිමි කිව්ව විප්ලවය කුමක්ද?
“රසායනික පොහොර නැතිවුණාම කාබනික පොහොර ඇතුළු විවිධ ජෛව ක්‍රියාවලින් මඟින් ගොවි මහතුන්ට අස්වැන්න වැඩිකරගන්න පුළුවන්. පොල් ගහට වින කරපු පොල් කුරුමිණියා තුරන් කළේ මෙරට ජෛව විද්‍යාත්මක ක්‍රමවේදයකින්. ඒක නිසා පර්යේෂණවලින් මේ දේවල් අපේ ගොවි මහත්වරුන්ට ලබාදෙන්න පුළුවන්.“ යනුවෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පෙන්වා දුන්හ.
පක්ෂ නායක රැස්වීම උණුසුම්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, මහලේකම් සාගර කාරියවසම්, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුනවර්ධන, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ප්‍රධාන ලේකම් අසංක නවරත්න, එක්සත් මහජන පක්ෂයේ ලේකම් ටිරාන් අලස්, ජාතික කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් ඒ.එල්.එම්. අතාවුල්ලා, යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න, පවිත්‍රා වන්නිආරච්චි, බන්දුල ගුණවර්ධන, සී.බී. රත්නායක, එස්.එම්. චන්ද්‍රසේන, ප්‍රසන්න රණතුංග, රොෂාන් රණසිංහ මෙම සාකච්ඡාවට එක්වූහ.
ඊට අමතරව අපේ ජනබල පක්ෂයේ පූජ්‍ය අතුරලියේ රතන හිමි සහ දේශ විමුක්ති ජනතා පක්ෂයේ උප සභාපති පූජ්‍ය ගල්ගම ධම්මරංසි හිමි ද මෙම සාකච්ඡාවට වැඩම කර සිටියහ.
මේ අතර මහින්ද යාපා අබේවර්ධන කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම පසුගිය 13 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණ.
පාර්ලිමේන්තු සභානායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කර ලද්දේ ඉදිරි 18, 19, 20 යන දිනවල පාර්ලිමේන්තුව රැස්වන බවයි.
කොරෝනා තත්ත්වය නිසා මැතිසබය කැඳවන්නේ නොමැතිව සිටින ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, රවුෆ් හකීම්, එම්.ඒ. සුමන්තිරන් ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයෝ ඉල්ලා සිටියහ. සෞඛ්‍ය උපකරණ සහ ඖෂධ ගෙනඒමට අදාළ රෙගුලාසි කිහිපයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවත් එම සෞඛ්‍ය උපකරණ මේ අවස්ථාවේදි ගෙන ඒම අනවශ්‍ය බවත් ඊට අදාළ රෙගුලාසි, යෝජනාවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සඳහා ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව දිනේෂ් ගුණවර්ධන විසින් පෙන්වා දෙන ලදි.
“එදා කොරෝනා වෙලාවේ පාර්ලිමේන්තුව කැඳවන්න කියලා කෑගහපු ඔබතුමන්ලා දැන් කියනවා පාර්ලිමේන්තුව කැඳවන්න එපා කියලා.“ යනුවෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු කියා සිටියේය. සෞඛ්‍ය උපකරණවලට අදාළ යෝජනා, ඖෂධ නිෂ්පාදනවලට අදාළ යෝජනා 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව දිනේෂ් ප්‍රකාශ කළද සජිත් එය පිළිගත්තේ නැත.
Bullshit (බුල්ෂිට්) යනුවෙන් සජිත් තරමක් නෝක්කාඩු ස්වරූපයෙන් ප්‍රකාශ කළේය.
ඉන් අනතුරුව දිනේෂ් වහාම නිලධාරියාට පැවසුවේ 18 වැනිදා විවාදයට ගැනීමට නියමිත යෝජනා ගැන තොරතුරු ඉදිරිපත් කරන ලෙසයි.
එය දුටු සජිත් sorry යැයි කියමින් සමාවන්න කීවේය.
ඒ සමඟම ඩිලාන් පෙරේරා ඇතුළු පිරිසක් කීවේ Bullshit කියන වචනය ගැළපෙන්නේ නැහැ. එය වහාම ඉල්ලා අස්කරගන්නා ලෙසයි.
Bullshit වචනය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් ද සජිත් සමාව ඉල්ලා සිටියේය.
විපක්ෂය විරුද්ධ වුවත් රටේ අවශ්‍යතාව අනුව වැදගත් පනත් කිහිපයක් සම්මත කරගැන්මට අවශ්‍ය බව පවසමින් 18, 19, 20 යන දිනවලදී සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් අනුව පාර්ලිමේන්තුව රැස්කිරීමට ආණ්ඩු පක්ෂය විසින් තීරණය කරන ලදි.
විපක්ෂ නායක කාර්යාලයේ කතාබහ
“වසර 70 ක් රටේ ආර්ථිකය ගොඩගන්න බැරිවුණා. දින කීපයක් වැහුවම ආර්ථිකය ඉවර බව තර්ක කිරීම විහිළුවක්“ සජිත් කීවේ සිය කාර්යාලයේදීය.
“ලංකාව දූපතක් වෙලත් බේරගන්න බැරිවුණේ ආණ්ඩුවේ බැරිකම හා ඔවුන්ට බිස්නස් න්‍යාය පත්‍ර තිබූ නිසයි“ කිරිඇල්ල කී දේ කවුරුත් පිළිගත්හ.
“වියට්නාමෙ ජනගහනය මිලියන 90 යි. මිය ගියේ 35 යි. එන්නතෙනුත් ලංකාව ෆේල්. රටවල් 50 ක එන්නත දීල නැතිලු. දුබලම රටවල් හා සසඳා කතා කිරීමෙන්ම ආණ්ඩුවේ බැරිකම පේනවා“ ඉරාන් කීය.
“තායිවානයේ අපේ ජනගහනයමයි ඉන්නේ. රෝගීන් 1000යි මරණ 12යි.“ පාඨලී හඬ අවදි කළේය.
“ඇමෙරිකාව යුරෝපය ඉන්දියාව වගේම ලංකාවත් බැලුවෙ ආර්ථික පැත්ත වුණත් ඉහතකී රටවල් ගොඩගියේ නිවැරදි දේශපාලන නායකත්වය හා සෞඛ්‍ය අංශ වලට වගකීම් දුන් නිසයි.“ පාඨලී විග්‍රහ කළේය.
“පකිස්ථාන්, මැලේසියා රාමසාන් තිබිලත් වැහුවා. ලංකාවෙ දරුණුම වයිරස් තිබෙන බව දැන දැනම අවුරුදු කන්න ඇරියා“ මුජිබර් කීවේය.
“එන්නත් චීනෙටම දෙන්න හෝ එයාලා එක්ක මෙහේ හදන්නයි ට්‍රයි. බිස්නස් කරන්නම බලනවා.“ මනූෂ කී දේ කාගේත් අවධානයට යොමුවිය.
ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිතවරිය විපක්ෂ නායකයා හමුවූයේ ඔහුගේ කාර්යාලයේදීය. එම සාකච්ඡාවට වෛද්‍යවරු එකතු කරගැනීමට සජිත් ක්‍රියාකාරීම පැසසුමට ලක්වූහ. නෝර්වේ තානාපති ද ඔහු හමුවිය.
“අපට උදව් කරන්න. ඉන්දියාව මට්ටමට අපට වැටෙන්න බෑ. ඇමෙරිකා වොෂින්ටන් සරසවිය කියන්නෙ සැප්තැම්බර් වෙද්දී ලංකාවේ 21,000 ක් මිය යාවි කියලයි“ සජිත් කීවේ ඉතා හැඟීම්බරවය.
“අපේ දරුවන් රැකගන්න උදව් දෙන්න“ සජිත් ඉල්ලුවේ එ ජාතීන්ගේ ළමා අරමුදලේ නියෝජිතවරිය ඔහු හමුවීමට පැමිණි විටය.
රනිල‍්ගේ ප්‍රකාශයට පැසසුම්
“කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය බරපතළයි. ඔබතුමා රටටත්, ජනතාවටත් මේ වෙලාවේ යමක් කියනවා නම් තමයි හොඳ“ බොහෝ දෙනෙකු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගෙන් ඉකුත් සතියේ කළේ එවැනි ඉල්ලීමකි. වසර 40 ට අධික කාලයක් දේශපාලඥයකු ලෙස කටයුතු කිරීමෙන් ද කිහිප වතාවක් අගමැතිවරයෙකු ලෙස කටයුතු කිරීමෙන් ද ලද පළපුරුද්ද හා පළපුරුද්ද අනුව කොවිඩ් වසංගතය හමුවේ රට වෙනුවෙන් ප්‍රකාශයක් කිරීමට නායකයා වගබලා ගත්තේය.
ජංගම දුරකථනයෙන් තමන්ම පටිගත කරන ලද වීඩියෝ පටය මාධ්‍ය වෙත යොමු කරන ලෙස දැනුම් දෙමින් නායකයා පක්ෂ මාධ්‍ය ඒකකය වෙත එය යැව්වේද අන්තර්ජාල පහසුකම ඔස්සේය. නායකයා ඉකුත් සඳුදා කළ ප්‍රකාශය පක්ෂ විපක්ෂ දේශපාලඥයන් මෙන්ම තානාපති ප්‍රජාව ද පැසසුමට ලක් කොට තිබුණි.
“අද කැබිනට් මණ්ඩලය වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයත් පැත්තකට දාල වැඩ වෙන්නේ. ආණ්ඩුව හා විපක්ෂය දෙකම එක කාසියේ දෙපැත්ත වගේ.
අත්දැකීම් සහිත නායකයෙකු ලෙස ඔබතුමා කළ ප්‍රකාශය අපට බොහෝ ශක්තියක් වුණා.“ දේශපාලඥයකු නායකයාට කතා කොට කියා තිබුණේ එවැන්නකි.
“මගේ වගකීම මම කළා. ඔබතුමන්ලාගේ වගකීම ඔබතුමන්ලා ඉටු කරන්න. මොකද අපි හැමෝටම දේශපාලනය කරන්න නම් මේ රටේ මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕනානේ.“ නායකයා තමන්ට දුරකථනයෙන් කතා කළ දේශපාලඥයට කීවේය.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් මේ සතියේ ද ගත කළේ නිවසේ රැඳෙමිනි. පවතින වසංගතය හමුවේ පක්ෂ ක්‍රියාකාරීන් සමඟ නායකයා කතා කළේ දුරකථනයෙන් හා අන්තර්ජාල මෙවලම් උපයෝගී කර ගනිමිනි.