
ඉරානය එක්ක යාළු වෙනවා
සෞදි අරාබිය කියයි
ඉරානය සමඟ වඩාත් යහපත් ද්වීපාර්ශ්වික සබඳතා පවත්වා ගැනීමට තම රටට අවශ්‍යව ඇතැයි සෞදි අරාබිය පවසා තිබේ. මේ බව පසුගියදා ප්‍රකාශ කර ඇත්තේ එරට ඔටුන්න හිමි බින් සල්මාන් කුමරුය. ඉරානය මුස්ලිම් රටක් වුවද ලෝකයේ සෙසු මුස්ලිම් රටවල් අතර හුදකලාව සිටින රටකි. විශේෂයෙන් ඇමරිකාව සමඟ එකට එක කරන ඉරානය ඒ හේතුවෙන්ම ඇමරිකාවේ අති ජාත මිත්‍ර සෞදි අරාබිය සමඟද හොඳ හිතින් පසුවන්නේ නැත.
එහෙත් තෙල් බලය විතැන් වෙමින් පවතින වාතාවරණයක ඇමරිකාවේ සුරතලාගේ ස්ථානය අහිමි වෙමින් පවතින වාතාවරණයක තනිව නැඟී සිටිය යුතු බව වටහා ගනිමින් සිටින සෞදි අරාබිය වඩාත් පුළුල් විදේශ සබඳතා කෙරෙහි අවධානය යොමු කරමින් සිටී. සෞදියට ඉරානය සිහිපත් වී ඇත්තේ ඒ හේතුවෙන් යැයි අනුමන කළ හැකිය. මේ සම්බන්ධව ඉරානයේ මතය මේ දක්වා ප්‍රකාශ වී නොමැත.
සිරකරුවන් නිදහස් කරනතුරු කතා බැහැ
ආසියාන් සංවිධානයෙන් මියන්මාරයට නීති
මියන්මාරයද ඇතුළත් වන ආසියාන් සංවිධානය එරට අලුතෙන් පිහිටුවා ගත් හමුදා ආණ්ඩුව සමඟ සාකච්ඡා පැවැත්වීමට සූදානම්ව සිටින නමුදු තවදුරටත් සිරගත කර සිටින සිවිල් වැසියන් නිදහස් කරන ලෙසත්, එසේ නොකරන්නේ නම් සාකච්ඡා සඳහා තමන් එක් නොවන බවත් මියන්මාර හමුදා රජයට දන්වා තිබේ.
මියන්මාරය ඇතුළත් වන ආසන්නතම සංවිධානය වන ආසියාන් සංවිධානය මියන්මාරයේ අභ්‍යන්තර ගැටලුව කෙරෙහි මැදිහත් විය යුතු බව ලෝකයේ බොහෝ රටවල මතය විය.
එක්සත් ජාතින්ගේ සංවිධානයද එසේ කිරීම අනුමත කර ඇති අතර ඒ හේතුවෙන්ම මියන්මාරය සම්බන්ධව සාකච්ඡා කිරීමට ආසියාන් සංවිධානයේ රටවල සාමාජිකයන්ගේ විශේෂ හමුවක් පසුගියදා කැඳවනු ලැබීය. එම හමුවේදී තීරණය කර ඇත්තේ සිවිල් වැසියන් නිදහස් කරන තුරු හමුදා රජය සමඟ සාකච්ඡා පැවැත්විය යුතු නොවන බවයි.
වසංගතය නිසා
ගූගල් කල්ල මරේ
කොවිඩ් වසංගතය හේතුවෙන් ලෝකයේ බොහෝ ව්‍යාපාර උඩු යටිකරු වන විට අන්තර්ජාල සේවා සැපයීමේ සමාගම් ලාභ උපයන්නට වූයේ නොසිතූ අන්දමිනි.
වසංගත කාලසීමාවේදී තමන්ගේ ගනුදෙනු සම්බන්ධව වාර්තාවක් ඉදිරිපත් කරමින් ගූගල් සමාගම පසුගියදා දක්වා තිබුණේ කොවිඩ් වසංගතය අතර තමන් ඉපයූ අධික ලාභය සම්බන්ධ කදිම විස්තරයකි.
එයට අනුව ගූගල් සමාගම වසංගත කාලය තුළ සියයට 162කින් ලාභ උපයා තිබේ.
වසංගත කාලය තුළ නිවෙස්වලට කොටු වූ ජනතාව අති විශාල වශයෙන් අන්තර්ජාල සේවා සමඟ සම්බන්ධ වෙමින් සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යෑමට උත්සාහ දැරූහ. ගූගල් සමාගම මෙන්ම ෆේස්බුක් සමාගමද, වට්ස්ඇප් සමාගමද, සූම් මෘදුකාංගය නිපදවූ සමාගමද සියයට සියය ඉක්මවූ අධික ලාභ ලබා ඇතැයි වාර්තා වේ.
රුසියා ඇමරිකා නයි මුගටි සටන් යළි ඇරඹේ
රුසියාව සහ ඇමරිකාව අතර සබඳතා ඉතා දරුණු ලෙස පහත වැටී ඇතැයි වාර්තා වේ. ජෝ බයිඩ්න් ජනාධිපතිවරයාගේ පැමිණීම සමග එය එසේ වනු ඇතැයි අනාවැකි පැවසුණු අතර දැන් එම අනාවැකි සැබෑ වෙමින් පවතින බව දැනගන්නට ලැබී තිබේ.
පසුගියදා රුසියානු ආරක්ෂක ඇමති සර්ජි ලැව්රොව් පවසා සිටියේ රුසියා ඇමරිකා සබඳතා සීතල යුධ සමයේ තිබුණාටත් වඩා දරුණු ලෙස පහත වැටී ඇති බවයි.
රුසියානු පාර්ශ්වය ලෙස වොෂිංටනය සමඟ සබඳතා යහපත් අතට ගෙන ඒමට තමන් උත්සාහ දරන නමුත් ඇමරිකාව රුසියාව සහ චීනය සතුරන් ලෙස සැලකීම නවතා දැමිය යුතු බවද ඔහු පවසා සිටියේය.
එන්නත අරගෙන නම්
මාස්ක් අත්‍යවශ්‍ය නැහැ
එන්නත් මාත්‍රා දෙකම නිසි පරිදි ලබා ඇත්නම් පිරිස නොගැවසෙන ස්ථානවල මුව ආවරණ නොමැතිව සිටිය හැකි බව ඇමරිකාව තම ජනතාවට දැනුම් දී තිබේ.
ඇමරිකාව කොවිඩ් වසංගතයේ දරුණු ලෙසම පහර කෑ රට වූ අතර එමෙන්ම ඉතා විධිමත් ලෙසම ජනතාවට එන්නත් ලබා දුන් රටද විය.
මේ වන විට එරට ජනගහනයෙන් සියයට 70කට වඩා එන්නත්කරණයට ලක් කර ඇති අතර කොවිඩ් ආසාධිතයන් වාර්තා වීමේ පැහැදිලි අඩුවක්ද දැකගන්නට ලැබී තිබේ.
ඒ අනුව ඇමරිකානු බලධාරීන් තම ජනතාවට දැනුම් දී ඇත්තේ එන්නත් මාත්‍රා නිසි පරිදි ලබා ගෙන ඇති පුද්ගලයන්ට මුව ආවරණ නොමැතිව ජනයා නොගැවසෙන ස්ථානවල රැඳී සිටිය හැකි බවයි.
ඇමරිකාව තම ජනතාවට ලබා දුන්නේ නිරවද්‍යතාව සියයට 95ක් දක්වා තහවුරු කර ඇති, මිලෙන් ද අධික ෆයිසර් ඇන්ඩ් බයෝටෙක් එන්නතයි.