සන්ඩේ ඔබ්සර්වර් එස්.එල්.ටී. මොබිටෙල් පාසල් ක්‍රිකට් සම්මාන උළෙල | සිළුමිණ

සන්ඩේ ඔබ්සර්වර් එස්.එල්.ටී. මොබිටෙල් පාසල් ක්‍රිකට් සම්මාන උළෙල

 

වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව සම්මාන දකුණට හිමිවෙයි

ශ්‍රී ලංකාවේ සංවිධානය කරන අභිමානවත් ක්‍රීඩා සම්මාන උළෙල සේ සැලකෙන ‘ඔබ්සර්වර් -එස්එල්ටී මොබිටෙල්’ පාසල් ක්‍රිකට් ක්‍රීඩක සම්මාන උළෙලේදී ඉතිහාසයේ පළමු වතාවට ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝද් පරණවිතාන වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් සම්මාන ලැබීය.

ඔහුගේ සම්මානයෙන් දීප්තිමත් වුණු දකුණු ලකට තවදුරටත් අභිමානය ගෙන එමින් වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩිකා සම්මානය හිමිකරගත්තේ රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ කවිෂා දිල්හාරි විසිනි.

මෙම සම්මාන උළෙල පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වුණේ හතළිස් දෙවැනි වතාවටය. මෙකී සම්මාන උලෙළේදී ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝද් පරණවිතාන වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයාට අමතරව වසරේ හොඳම පිතිකරු සහ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසත්, රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ කවිෂා දිල්හාරි වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාව සහ බාලිකා අංශයේ හොඳම තුන්ඉරියව් ක්‍රීඩිකාව වශයෙනුත් සම්මානිත විය.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයය වසරේ හොඳම ක්‍රිකට් කණ්ඩායමට හිමි සම්මානය දිනා ගැනීමට සමත් වනවිට, වසරේ හොඳම බාලිකා ක්‍රිකට් කණ්ඩායමට හිමි සම්මානය දිනා ගත්තේ රත්ගම දේවපතිරාජ විද්‍යාලයයි. වසරේ ජනප්‍රියම පාසල් ක්‍රිඩකයා සම්මානය කොළඹ ආනන්ද විද්‍යාලයේ අනුද ජයවීර සමත්වනවිට, වසරේ ජනප්‍රියම පාසල් ක්‍රිඩිකාව ලෙස මාරපොළ මැදි මහා විද්‍යාලයේ නිමේෂා විජේසුන්දර සම්මාන ලැබීය.

පළමු කාණ්ඩයේ වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා , හොඳම පිතිකරු සහ හොඳම පන්දු රකින්නාට හිමි සම්මාන ත්‍රිත්වයම දිනා ගත්තේ කොළඹ මහානාම විද්‍යාලයේ පවන් රත්තායක විසිනි. එකී කාන්ඩයේ හොඳම තුන්ඉරියව් ක්‍රිඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ලොහාන් අරෝෂණ ද සොයිසා ය.දෙවැනි කාණ්ඩයේ හොඳම තුන්ඉරියව් ක්‍රිඩකයා ලෙස සම්මාන දිනා ගැනිමට කරන්දෙනිය මැදි මහා විද්‍යාලයේ සමිත් ඉසුරු සමත්විය. තෙවැනි කාණ්ඩයේ හොඳම තුන්ඉරියව් ක්‍රිඩකයා ලෙස සම්මාන දිනුවේ මිගමුව ලොයලා විද්‍යාලයේ හෂේන් ලලේන්ද්‍ර ය.

ඡායාරූප - ජගත් ඉරෝෂණ

Comments