ලෝකයේ සිටින හොඳම ගුරුවරයා කියන්නේ පරාජයටයි | සිළුමිණ

ලෝකයේ සිටින හොඳම ගුරුවරයා කියන්නේ පරාජයටයි

YASITH de silva

කාල කළමනාකරණය තමයි ජයග්‍රහණයේ එකම යතුර

ඉලක්ක, අධිෂ්ඨාන, පුහුණුව, නිවැරැදි මිතුරු ඇසුර සාර්ථක මිනිසුන් ගොඩනංවනවා

ජීවිතයේ යමක් දිනන්න තවත් එකක් ඒ වෙනුවෙන් කැප කරන්න බෑ

ඇත්තටම මමත් අසාර්ථකවීම් මැද සාර්ථකත්වය සොයාගත්ත කෙනෙක්

ඔහු යසිත් ද සිල්වා ය. ජාතික ටෙනිස් ශූරයා වශයෙන් මෑතකදී කිරුළු පැලඳුවේ ද ඔහුය. ටෙනිස් ක්‍රීඩාවේ වාසිය උකහා ගනිමින් විදෙස් අධ්‍යාපනය සොයා නොගිය ඔහු මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය ඇසුරේ සිය පළමු උපාධිය අවසන් කිරීමට සමත් වූවෙකි. ‘ක්‍රීඩා’ ඔහු හා පැවැති සංවාදයේ දී පළවූ අදහස් වෙනුවෙන් මෙම අවකාශය ලබාදුන්නේ වයස ඉක්මවන දක්ෂතාවය අගය කිරීමක් වශයෙනි. මේ ඔහුගේ හඬ ය.

සාම්ප්‍රදායික ප්‍රශ්නයකින් අපි සාකච්ඡාව පටන් ගනිමු. ඇත්තටම ඔබ කොහොමද ටෙනිස් ක්‍රීඩාවට පිවිසුණේ ?

ඒ කොළඹ ආනන්ද විදුහලේ අධ්‍යාපනය ලබමින් සිටියදී යි. මම එක වසරේ ඉඳලා ටෙනිස් ක්‍රීඩාව පටන් ගත්තා. ඒ කාලේ මගේ අයියත් ටෙනිස් ක්‍රීඩා කළා. ඒ වුණත් මගේ ටෙනිස් ක්‍රිඩාව ජාතික තලයේ තරග දක්වා විහිදෙන්නේ පාසල් පුහුණුකරු අනූප මත්තෙගොඩ මහතා නිසයි. ඔහු තමයි මට යෝජනා කළේ ටෙනිස් සම්මේලනය සංවිධානය කරන ටෙනිස් තරගවලටත් ක්‍රීඩා කරන්න තරම් මගේ දක්ෂතාවක් තිබෙන නිසා, ඒ ගැනත් අවධානය යොමුකරන්න කියලා. එතකොට මට වයස අවුරුදු 13-14 ක් විතර ඇති. ඒ තමයි මගේ ටෙනිස් ජීවිතයේ ආරම්භය හා විකාශය කියලා මම විශ්වාස කරන්නේ.

සාමාන්‍යයෙන් ටෙනිස් ක්‍රීඩාවේ ඉදිරියට යන්න පාසල් මට්ටමෙන් එහා ගිය පෞද්ගලික පුහුණුවක් ලබාගත යුතු වෙනවා. ඔබ එය ලබාගත්තේ පාසල් පුහුණුකරුගෙන්ම ද?

නෑ. ඔහු තමයි මට ජාතික තලයේ තරග කරන්න අවශ්‍ය විශේෂඥ පුහුණුවක් ලබාගන්නැයි යෝජනා කළේ. ඒ වෙනුවෙන් වෘත්තීය මට්ටමේ පුහුණුකරුවකු සොයාගෙන ඔහු යටතේ පුහුණුව ආරම්භ කරන්න කියලත් ඔහු උපදෙස් දුන්නා. ඒ අනුව තමයි මගේ පෞද්ගලික ටෙනිස් පුහුණුකරු නිරංජන් කාසිසෙට්ටි මහතා ළඟට මම යන්නේ.

ඔය කියන සිදුවීම වුණේ කොයි කාලෙ ද? ඊට පස්සේ කොහොම ද ඔබේ ටෙනිස් ජීවිතය ඉදිරියට ඇදී ගියේ?

ඒ 2009 තරම් ඈතකදියි. එතැනින් පස්සේ මගේ ටෙනිස් ක්‍රීඩාව වඩාත් හොඳින් ගොඩනැඟුණා. මේ විදිහට පුහුණුව අරඹලා වසර දෙකකට පස්සේ අවුරුදු 16 න් පහළ කනිෂ්ඨ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ඩේවිස් කුසලාන තරගාවලියට සහභාගිවන්න මට අවස්ථාව ලැබෙනවා. ඒ තමයි මගේ ටෙනිස් ජීවිතයේ ජාතික තලයේ ලබාගත්ත පළමු ජයග්‍රහණය. ඊට පස්සේ එය වැඩිදුරටත් වර්ධනය වෙලා 2016 වසරේදී මට ඩේවිස් කුසලාන තරගාවලිය වෙනුවෙන් සහභාගිවුණු ශ්‍රී ලංකා ජාතික ටෙනිස් කණ්ඩායමේ සාමාජිකයකු වෙන්න අවස්ථාවත් උදාවුණා. එතැන ඉඳලා 2020 වෙනතුරු මම ඩේවිස් කුසලානයට යන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ස්ථාවර සාමාජිකයෙක්.

ටෙනිස් කියන්නේ ඉහළ පැළැන්තියේ ක්‍රීඩාවක්. ඒක සමාජය තුළ මුල් බැසගෙන ඇති මතයක්. ඔබ වත්මන් ජාතික ශූරයා වශයෙන් මේ තත්ත්වය දකින්නේ කොහොම ද? පෙරකියූ ප්‍රකාශය සමඟ ඔබ එකඟ ද?

ඉස්සර නම් ඒක ඇත්ත. මොකද ඔය කියන අතීතයේ ටෙනිස් ඒ විදිහට පන්තියකට සීමාවෙලා තිබුණා. ඒක මම පිළිගන්නවා. නමුත් දැන් මම දකින විදිහට ඒ තත්ත්වය වෙනස් වෙමින් යනවා. මොකද දැන් කොළඹින් පිට ටෙනිස් ක්‍රීඩා කරන ළමයින් ගොඩාක් අපට හමුවෙනවා. උදාහරණයකට මීගමුව, නුවර, මාතලේ, කුරුණෑගල වැනි ප්‍රදේශවල ඒ තත්ත්වය වැඩිවශයෙන් දකින්න පුළුවන්. අන්තර් පාසල් ටෙනිස් තරගාවලියේ ශක්තිමත්භාවය තමයි ඊට අවශ්‍ය පසුබිම ගොඩනඟා තිබෙන්නේ. මම ක්‍රීඩකයෙක් වශයෙන් ඒ ගැන සතුටු වෙනවා.

ඒ කියන්නේ දැන් ටෙනිස් රාජකීය ක්‍රීඩාවක්ය කියන තැනින් විතැන්වෙමින් තිබෙනවා කියලා ඔබත් විශ්වාස කරනවා?

ඔව්. ඉස්සර තමයි ටෙනිස් ක්‍රීඩාව කොළඹට පමණක් සීමා වුණේ. දැන් අවුරුදු 10 න් පහළ තරගාවලියක් ගත්තෝතින් සාමාන්‍යයෙන් ඒ වෙනුවෙන් ක්‍රීඩකයන් තුන්දහසක් පමණ ක්‍රීඩා කරනවා.

ඔබ ඔහොම කිව්වට පාසල් කාලය පසුකළාට පසුව ක්‍රීඩාව තුළ රැඳෙන ටෙනිස් ක්‍රීඩකයන්ගේ ප්‍රමාණාත්මක වර්ධනයක් දකින්නේ නෑනෙ?

ඇත්ත. ඒක විශාල ප්‍රශ්නයක්. ළමා කාලයේ ආරම්භ කළ ටෙනිස් අවුරුදු 20 න් පස්සේ ගහන්න ඉදිරිපත් නොවෙන එක විසඳිය යුතුයි. ඒක ලංකාවේම ටෙනිස් ක්‍රීඩාව තුළ තිබෙන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නයට විසඳුම් සොයන්න වෙන්නේ ටෙනිස් සම්මේලනයට හා ටෙනිස් ක්‍රීඩා කරන දරුවන්ගේ මව්පියන්ට තමයි.

ඒ කියන්නේ ටෙනිස් සංස්කෘතියක් රට ඇතුළේ ඇති කළ යුතුයි කියලානේ. එවිට යොවුන් ක්‍රීඩකයෝ ක්‍රීඩාව තුළ වැඩි වශයෙන් රඳවා ගන්න පිළිවන් වෙනවා. ඒත් පවතින අධ්‍යාපන යුද්ධය නිසා මව්පියෝ ටෙනිස් ක්‍රීඩාව සඳහා තමන්ගේ දරුවන් යොමු කරවන්නේ විදෙස් අධ්‍යාපනය ලබාගන්න අවශ්‍ය ශිෂ්‍යත්වයක් දිනාගත හැකි තාවකාලික ලැගුම් පොළක් වශයෙන් නේද ?

ඒක විසඳාගත යුතු තත්ත්වයක්. ඔබ කියන එක ඇත්ත. මව්පියෝ සැමවිටම වැඩිබර තබන්නේ අධ්‍යාපනයට. තමන්ගේ දරුවන් සාමාන්‍ය පෙළ, උසස් පෙළ මට්ටමට ආපුවහම ක්‍රීඩාව නවත්වන්න ඔවුන්ව පොළඹවන්නේ ඒ නිසයි. මේ හේතුවෙන් දක්ෂ ටෙනිස් ක්‍රීඩකයන් විශාල ප්‍රමාණයක් ක්‍රීඩාවෙන් ඉවත් වෙනවා. නමුත් මේ තත්ත්වය වෙනස් කරන්න වැඩපිළිවෙලක් ගොඩනංවන්න පිළිවන් නම් අපේ ටෙනිස් මීට වඩා දියුණු වෙනවා.

යසිත් පාසල් ක්‍රීඩකයකු වශයෙන් සිටියදී ඔය කියන අභියෝගයට මුහුණ දුන්නේ නැද්ද? දැන් ඔබ පාසලෙන් ගිහිල්ලත් ටෙනිස් ක්‍රීඩාවේ නියැලෙනවා ?

දැන් මට අවුරුදු 25 යිනෙ. මේ වෙද්දී මම කොළඹ විශ්ව විද්‍යාලයෙන් මගේ පළමු උපාධිය ලබාගත්තා. මොකද මම අධ්‍යාපනයයි, ක්‍රීඩාවයි දෙකම සමබරව කරන්න උත්සාහ කළා.

බාරදූර කටයුත්තක් වගේ පෙනුණට එය තමයි නිවැරැදිම ක්‍රමවේදය. ඒත් ඒක කළේ කොහොම ද කියන එක තමයි අපේ සමාජයට වැදගත් වෙන්නේ. ඒ නිසා යසිත්ගේ අත්දැකීම් ගැන කතාකරමු?

මම හිතන්නේ ජීවිතයේ එක දෙයක් ලබාගන්න තවත් දෙයක් කැප කරන්න අවශ්‍ය නෑ කියලයි. අපිට එකවර ඒ දෙකම ජය ගත හැකි ධාරිතාවක් තිබෙනවා. ඒ නිසා මම හැමවෙලාවෙම සිතුවේ ක්‍රීඩාව කරන ගමන්, එය අත නොහැර, අධ්‍යාපන කටයුතු නොපිරිහෙලා සිදුකරන්න අවශ්‍යයි කියලයි. කාලසටහනක් සහිතව, කාල කළමනාකරණයකින් යුක්තව, ඉලක්ක සහිතව වැඩකරන්න පුරුදු විය යුතුයි. ඒ වගේම සැමවිටම තමුන් තමුන්ට අවංක වෙන්න ඕනෑ. එතකොට තමන් තුළ ජීවිත සමබරතාවය කියන කාරණය නිර්මාණය වෙනවා. මේ දශක දෙක හමාරකට වැඩි මගේ ජීවිතයේ අනුදත් ප්‍රධාන සංසිද්ධියක් තමයි ඒක. හරියට ක්‍රියාත්මක කරනවා නම් එය අසීරු නැහැ.

ඔබ එහෙම කියන්නේ ඔබට මේ වෙනුවෙන් අවශ්‍ය උපරිම ආර්ථික පිටුබලය ගෙදරින් ලැබුණ නිසා වෙන්න ඇතිනෙ?

ඇත්ත. එතැනදි මම වාසනාවන්තයි. මොකද මගේ මව්පියෝ මට ටෙනිස් ක්‍රීඩා කරන්න අවශ්‍ය පහසුකම් ලබාදුන්නා. කොළඹ ආනන්ද විද්‍යාලයට යන දවස්වල මාත් ටෙනිස් ක්‍රීඩාව පුහුණුවෙන්න පෞද්ගලික පුහුණුකරු ගාවට ගිහින්, අතිරේක පන්තිවලට ගිහින් කාර්ය බහුල කාලසටහනක් ඇතුළේ වැඩකළා. ඒ අර අධිෂ්ඨානය නිසයි. හැබැයි මුදල් ගෙවලා මට උගන්වන්න මගේ මව්පියන්ට සිද්ධ වුණේ නැති නිසා ඔවුන්ට බර දරාගන්න වුණේ මගේ ක්‍රීඩාවේ වියදම් වෙනුවෙන් පමණයි.

සුවහසක් නව යොවුන් පාසල් ක්‍රීඩකයන් තුළ ඇතිවෙන ගැටලුව තමයි ඔබ ඔය විදිහට කිව්වට කොහොම ද අපි අධ්‍යාපනයයි, ක්‍රීඩාවයි සමබරව කරන්නේ කියලා. උදාහරණයකට පෞද්ගලිකව ටෙනිස් පුහුණුවට යන්න, ටියුෂන් යන්න වගේ කටයුතු වලට කාර්ය බහුල වෙද්දී ඒ වෙනුවෙන් වෙන් කළ වාහනයක් තියෙන්න අවශ්‍ය වෙනවා?

ඔබ නඟන තර්කයේ සත්‍යතාවයක් තිබෙනවා. මොකද අපේ රටේ විභාග ක්‍රමය සංකීර්ණයි. මව්පිය, නෑදෑ හිතවතුන් වගේම අප දන්නා හඳුනන සමාජය, අපෙන් බලාපොරොත්තු වෙන දේවල් විශාලයි. ඒත් මම මේ දේවල් බොහෝ විට සිදුකළේ සාමාන්‍ය ශිෂ්‍යයකු ලෙසයි. මොකද බොහෝ වෙලාවට බස් එකේ ගිහින් තමයි මම පුහුණු වුණේ. පාසල් ආවේ. සතියට දින කීපයක් උදේ 5.30 ට පුහුණු කටයුතු අරඹලා, හවස 2.30 ඉදළා 4.00 වෙනකනුත් යළි ටෙනිස් පුහුණු වෙලා අවශ්‍ය අතිරේක පන්තියකට සහභාගි වෙන්නත් කාලය තිබුණා.

මට මගේ අම්මා කියලා දීලා තිබුණේ, දෙයක් ලබාගන්න තවත් දෙයක් කැප කරන්න එපා කියලයි. ඒ විදිහට එකක් විතරක් කරනවා නම් අපි සාමාන්‍යයි. නමුත් සමාජය තුළ විශේෂ වෙන්නේ හැමදේම සමබරව කරනකොටයි. ඒක මගේ ඔළුව ඇතුළේ අදහසක් ලෙස ප්‍රබලව තැන්පත් කළ බීජයක්. මට කියලා වාහනයක් හිමිවුණෙත් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට ඇතුළු වුණාට පසුවයි. නැත්නම් ඒ හැම දෙයක්ම කළේ සාමාන්‍ය පාසල් සිසුවෙක් විදිහටම තමයි.

ක්‍රීඩාවයි, අධ්‍යාපනයයි අතර ඔබ පැවැත්වූ සමබරතාවය සලකද්දී ආනන්ද විද්‍යාලය ඇතුළේ ඔබ දීප්තිමත් ශිෂ්‍යයෙක් වුණා ද?

ඇත්තටම කියනවා නම් අධ්‍යාපනයයි, ක්‍රීඩාවයි දෙකම කරන නිසා මම පන්තියේ පළමුවැනියා වුණේ නෑ. යසිත් ද සිල්වා කියන්නේ අපේ වයසේ දීප්තිමත් ශිෂ්‍යයෙකුත් නෙවෙයි. මම සාමාන්‍ය ශිෂ්‍යයෙක්. නමුත් විභාගවලට මහන්සි වුණා. ක්‍රීඩාව වෙනුවෙන් තරගාවලි තිබියදී මහන්සිවුණා. විභාග ළඟදී ක්‍රීඩාව වෙනුවෙන් අවධානය යම් ප්‍රමාණයකට අඩුකළා. විභාගය ඉවරවුණාම ටෙනිස් වෙනුවෙන් අවධානය වැඩිකරනවා. මේ විදිහට කළමනාකරණය කරලා තමයි මම සාර්ථක වුණේ.

දැන් ඉන්න යෞවනයාට පරිගණකය, අන්තර්ජාලය, සමාජ ක්‍රමය තුළ විවිධ නව්‍ය අත්දැකීම්වලට මුහුණ දෙන්න අවස්ථාව හිමිවෙලා තිබෙනවා. මෙවැනි සංස්කෘතික වටපිටාවක් ඇතුළේ ඔය කියන සමබරතාවයේ යෂ්ටිය රැගෙන ජීවිතයේ ඉදිරියට යන එක අභියෝගයක්. ඒකට ඔබ මුහුණ දුන්නේ කොහොම ද?

ඒක ඇත්ත. නමුත් අපි මිතුරන් තෝරාගනිද්දී ඉතා බුද්ධිමත් විය යුතුයි. ක්‍රීඩාවයි, අධ්‍යාපනයයි දෙකම කරනවා නම් අපි ඇසුරු කළයුත්තේ ඒ වගේ සමබරතාවයක් සහිත ජීවිතයක් ගතකරන්න උත්සාහ කරන හිතමිතුරන්වයි. එහෙම නැත්නම් ක්‍රීඩාව නොකරන, අධ්‍යාපනය පමණක් කරන යාලුවෝ ඇසුරු කරන්න ගියෝතින් ක්‍රීඩාව කරලා මම කොයිතරම් පීඩනයක් ගන්නවා ද වගේ සෘණ අදහස් මතුව එනවා. නිදහසේ ඉඳලා ජීවිතය කොයිතරම් විඳිය හැකි ද වගේ දේවල් ඔළුවට එන්න පිළිවන්. ඒ වගේමයි අධ්‍යාපනය නොකර ක්‍රීඩාව පමණක් කරන අය ඇසුරු කළොත් එතැනදිත් ගැටලු නිර්මාණය වෙනවා. ඉතින් මේ දෙකම කරන කෙනාගේ ඇඟිලි තුඩු ඉදිරියට ලෝකය කොයිතරම් වේගයෙන් ආවත් තමන්ගේ අරමුණුවලින් පිට පනින්න වෙලාවක් නැතිවෙනවා. අධ්‍යාපනයට අමතරව ක්‍රීඩාව හෝ කලාව සිදුකළ යුතු වෙන්නේ ඒ නිසයි. තවත් විදිහකින් කියනවා නම් කවුරු කුමන දේ කළත් තමන්ට තමන් ගැන විශ්වාසයක් තිබියි යුතුයි. කරන දේ ගැන නිසි අවබෝධයකින්, පාලනයකින් තමයි වැඩකළ යුත්තේ. එහෙම නැතිව කරන්නන් වාලේ දේවල් කරලා හරියන්නේ නැහැ.

ක්‍රීඩාවට අමතරව ඔබ කලාවත් පරිහරණය කරලා තිබෙනවා ද?

මගේ පවුල තුළ කලාව හා සමීප සම්බන්ධයක් තිබුණා. ඇත්තටම ක්‍රීඩාව එක්ක දැඩිව සම්බන්ධ වද්දී මගේ අතින් කලාව ගිලිහුණා කියලා මට හිතෙනවා. ඒත් මම ගීතය හා සිනමාව ඇසුරේ ගතකරන්න කැමති අයෙක්. ජීවිතයේ යම් අවධියක කලාව කියන භාවනාව ඇතුළට ගොනුවෙන්න අපිට සිදුවෙනවා. ඒ සඳහා අවශ්‍ය රස භාව මා තුළ ඇතැයි මට වැටහෙනවා. දැනටත් ක්‍රීඩකයෙක් වශයෙන් තරගවලට පෙරත්, තරගවලට පසුත් අපි ගී රස විඳිනවා. කොටින්ම කියනවා නම් ජීවිතයක් සම්පූර්ණ වෙන්න කලාවත් අත්‍යවශ්‍යයි.

හොඳයි, ශ්‍රී ලංකාවේ ටෙනිස් සංස්කෘතිය තුළ ක්‍රීඩකයෙක් බොහෝවිට ජාත්‍යන්තර විශ්ව විද්‍යාල හා ගොනුවෙන වටාපිටාවක් තිබියදී ඔබ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය වෙත ආකර්ශනය වුණා. ඒකට විශේෂ හේතුවක් තිබුණා ද?

අපේ විශ්ව විද්‍යාල පද්ධතිය සම්බන්ධයෙන් ලෝකය තුළ ඇති පිළිගැනීම ගැන සලකද්දී විදේශීය අධ්‍යාපනයක් ගැන බලන්න මට අවශ්‍ය වුණේ නැහැ. අපේ උසස් පෙළ විභාගය ලෝකයේ විශාල හා තරගකාරී විභාගයක්. ඒ වගේමයි මම ඉගෙන ගත්ත කොළඹ විශ්ව විද්‍යාලය කියලා කියන්නෙත් ලෝකයම පිළිගන්න සරසවියකට. උසස් පෙළ සමත්වෙලා මට නිදහස් අධ්‍යාපනය ඇතුළේ ඒ වගේ විශ්ව විද්‍යාලයකට යන්න ලැබෙද්දී ඇයි මම ඒක කැපකරලා විදේශීය විශ්ව විද්‍යාලයකට යන්නෙ.

ඒත් විදේශයකට ගියානම් ටෙනිස් ක්‍රීඩාවේ යම් ප්‍රතිපෝෂණයක් ලබාගන්න ලැබෙනවා කියලා ඔබ හිතන්නේ නැද්ද?

ඇත්ත. එතැන පුංචි පාඩුවක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ ටෙනිස් ක්‍රීඩාව ඇසුරේ ඒ තරගකාරිත්වය ගොඩනඟාගන්න අමාරු බව මම දන්නවා.

අවසන් වශයෙන් අපිට මේකට උත්තරයක් දෙන්න. යසිත් කියන්නේ හැමදාම දිනපු කෙනෙක් ද? නැත්නම් පැරදි පැරදි දිනපු කෙනෙක් ද?

ඇත්තටම මමත් අසාර්ථකවීම් මැද සාර්ථකත්වය සොයාගත්ත කෙනෙක්. හැම තරගයම මම දිනුවේ නෑ. පරදින්න පරදින්න තමයි අලුත් පාඩම් ඉගෙන ගත්තේ. පරාජය කියන්නේ හොඳ ගුරුවරයෙක්. අද මට ලංකාවේ ජාතික ටෙනිස් ශූරයා වෙන්න අවස්ථාව උදාවුණේ ඔය කියන ගුරුවරයා ඇසුරු කරමින් පාඩම් ඉගෙන ගනිමින් අධිෂ්ඨානයෙන් ඉදිරියට ගිය නිසයි.

Comments