
‘පසුගියදා සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය ආශ්‍රිතව මතුව ආ ගැටලුවක් සම්බන්ධයෙන් මෙම ලිපිය සම්පාදිත ය. එය තාක්ෂණය සම්බන්ධයෙන් ගැටලුවක් වන හෙයින් මලල ක්‍රීඩා බලධාරීන්ගේ සෘජු පිළිතුරක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් ‘ක්‍රීඩා’ හි මෙලෙස පළකරනු ලබයි.’
දැනට දෙවැනි පෙළින් මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වෙන් (හොඳම කාලය විනාඩි 09.46.76) ඔලිම්පික් වරම් දිනා ගෙන සිටින නිලානී රත්නායක මෙන්ම මෙකී ඉසව්වට තරග කළ සියලුම මලල ක්‍රීඩිකාවන්ට ජාතික මලල ක්‍රීඩා පුහුණු තරගාවලියේ මීටර් 3000 බාධක දිවීමේ දී අමතර බාධාවක් තරණය කිරීමට සිදු වූවා ය.
ඒ සම්මත කඩුල්ලේ උසට වඩා වැඩි උසක් පනිමින් තරග වැදීමට සිදුවූ නිසාය. අන්තර්ජාතික සම්මතය අනුව මීටර් 3000 බාධක දිවීමේ (බාධකයක) කඩුල්ලේ උස ක්‍රීඩකයන්ට නම් අඟල් 36ක් හෙවත් මිලි මීටර් 917ක් ලෙස සැලකෙයි. එය ක්‍රීඩිකාවන්ට නම් අඟල් 30 (මි.මී. 762) කි.
බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වූ බව පැහැදිලිය. එහෙයින් ඊට සහභාගි වූ සියලුම ක්‍රීඩිකාවන්ට වැඩි ජවයක් වැය කිරීමට සිදුවීම හේතුවෙන් ම උපරිම දක්ෂතාව දැක්වීමට නොහැකි වූවාට සැක නැත. මෙකී අමතර බාධාව සමඟින් වුව ද නිලානි මිනිත්තු 9:57.81 කින් තරගය නිම කරද්දී දෙවැන්නා මිනිත්තු 11:04.52, මිනිත්තු 11:15.99, 11:50.46, මිනිත්තු 12:24.53 වශයෙන් සෙසු ක්‍රීඩකෙයා් තරගය අවසන් කළහ.
මෙවන් අතපසුවීම්වලින් සිදු-වන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම පුහුණුකරුවන්ට පවා ඉමහත් අසාධාරණයක් හා සිත් තැවුල් ගැන්වීමක් වුවද කෙදිනකවත් සාධාරණ තීන්දුවක් නොලැබීම අවාසනාවකි.
වෙනත් රටවල නම් මෙවැනි පෙරහුරු තරගාවලි පැවැත්වීම මඟින් සිය ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබා ගැනීමට අවශ්ය ශේණිගත කිරීම් ලකුණු ලබා ගැනීමේ වැඩි උදා කරදිම වුවද, මෙරට සිදුවන්නේ කසි කබල් වැඩ බව පැවැසිය යුතුය. ඔලිම්පික් ක්‍රීඩා උළෙලට මුල් පෙළින් සුදුසුකම් ලබාගැනීමට ඇඟිලි ගනිමින් සිටින නිලානි මේ වන විට ලොව 35 වැනි ස්ථානයේ පසු වෙයි.
මෙකී තරගාවලිය සම්මත නීතින්ට අනුව පවත්වන බවට බලධාරින් පුරසාරම් ගැසුවද , මෙකී තරගාවලියේ දෙවැනි ඉසව්ව ම බල්ලට ගියේ මේ ආකාරයෙනී.
නිලානිට දෙවැනි පෙළින් ඔලිම්පික් වරම්
ටෝකියෝ ඔලිම්පික් උලෙළට ක්‍රීඩක ක්‍රීඩීකාවන් නිර්දේශ කිරීම සඳහා හඳුන්වා දී තිබෙන නවතම ශ්‍රේණී ගත ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවේ මීටර් 3000 බාධක දිවීමේ ජාතක ශූරිය වන නිලානි රත්නායක සුදුසුකම් ලබා තිබේ.
‘ඇත්තට ම ගොඩක් සතුටුයි. පහසුකම් පසුපස යනවාට වඩා තියෙන දේවලින් ඉදිරියට යන්න බලනවා. මම තවමත් උත්සාහ කරන්නේ මගේ ටයිමිංවලට යන්නයි. ඒ උත්සහය අත්හැරලා නෑ.‘
පසුගිය පෙබරවාරි මාසයේ සිට ලොව පුරා පැතිර ගිය කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ටෝකියෝ නුවර දී පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් ක්‍රීඩා උලෙළ මේ වසර දක්වා කල්දමන ලදී.
කොවිඩ් 19 බලපෑමෙන් අපහසුතාවට පත්වූ රටවල් පිළිබඳ සැලකිලිමත් වෙමින් අන්තර්ජාතික මලල ක්‍රීඩා සම්මේලනය නියමිත පරිසාදන මට්ටමට ළඟාවීමට අපොහොසත් වන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා නවතම ලකුණු ක්‍රමය හඳුන්වා දී තිබේ. ඒ අනුව නිලානී මීටර 3000 බාධක දිවීමේ ඉසව්වේ මේවන විට ලෝක ශ්‍රේණිගත කිරිම්වල 35වැනි ස්ථානයේ පසුවෙයි.
‘පසුගිය ආසියානු තරගාවලිය, ලෝක හමුදා මලල ක්‍රීඩා තරගාවලිය සහ ජාතික තරගාවලියට ගියා. මේ තරගවලින් තමයි ශ්‍රේණිගත ලකුණු එකතු වෙන්න ඇත්තේ.’ ශ්‍රී ලංකා ක්‍රීඩිකා නිලානි රත්නායක එම ලකුණු ක්‍රමයට අනුව දෙවැනි පෙළ (ග්‍රීන් කාඩ්) සුදුසුකම් ලබා ගැනීමට සමත්ව සිටියි. ඒ මීටර 3000 බාධක දිවීමේ ඉසව්වෙනි. ‘2018 දී ලංකාවේදී විනාඩි 09.46.76 කට දිව්වා. නිලානිගේ හොඳම කාලය මෙන්ම ජාතික වාර්තාව ද මෙයයි. 2019 දී ඔක්තෝබර් 22දා ලෝක යුද හමුදා තරගාවලියේ 5 වැනියා වුණේ විනාඩි 9.48.38 කදී. 2019 අප්‍රේල් 23දා ආසියානු තරගාවලියේ විනාඩි 9.58.55 කට දිව්වා.’ හැබැයි ඒ තරගයේදී වැටිලා හතරවැනියා වුණා.
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 3000 කාන්තා බාධක දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම වෙනුවෙන් බහරේන් ක්‍රීඩිකාව සමඟ අවසන් මීටර් 50 දක්වා කරට කර සටනක නිරතවූ නිලානී රත්නායක හදිසියේම ධාවන පථයේ ඇද වැටීමෙන් සිවුවැනි ස්ථානයට පත් වූවාය. කලීෆා ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ අවසන් මීටර් පනහේදී දකුණු පසින් බහරේන් ක්‍රීඩිකාව පසු කිරීමට නිලානී ගත් ප්‍රබල උත්සහයේදී සමබරතාව ගිලිහී ගොස් ඇය සම්පූර්ණයෙන්ම ඇද වැටුණු අතර තත්පර කිහිපයකදී නැවැත නැඟිට තරගය අවසන් කළද එවිට සියල්ල සිදුවී හමාර විය.
නිලානී රත්නායක ක්‍රීඩිකාවන්ගේ පොකුරෙන් මිදී අවසන් මීටර් 200දී ඉදිරියට පැමිණීමෙන් තරගයේ වේගය වැඩි වුණි. මේ හේතුවෙන් රන් පදක්කම දිනාගත් බහරේනයේ මුටීල් වින්ෆ්‍රීඩ් (මි. 9:46.18) හා රිදී පදක්කම දිනාගත් චීනයේ ෂුවන්ග් ෂී (මි. 9:51.78) පියවර කිහිපයක් ඉදිරියට ඇදුණු අතර තෙවැනි තැනට නිලානී හා ලෝකඩ පදක්කම දිනාගත් බහරේනයේ ටයිගස්ට් මෙකොනෙන් (මි.9.53.96) අතර උණුසුම් සටනක් නිර්මාණය වුණි. වැටී වැටී නැඟිට තරගය නිම කළ නිලානී ගත කළ කාලය වූයේ මිනිත්තු 9.58.55ක් ලෙස සිවුවැනි ස්ථානයටය.
නිලානී රත්නායක තරගයෙන් අනතුරුව පැවැසුවේ ඇතිවූ තත්ත්වය පිළිබඳ විශාල කනගාටුවකින් පසුවු බවයි. “තෙවැනි තැනට පැමිණි බහරේන් ක්‍රීඩිකාව මට තරගයේ යෙදෙද්දී කිහිප වතාවක්ම අතින් පහර දුන්නා.”
නව ලකුණු ක්‍රමයට අනුව කිසියම් රටක පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ද වටිනාකමක් ලැබී තිබේ. එහිදී නියමිත ඉසව්වේදී ජයග්‍රහණයක් අත්පත් කර ගන්නා ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට ලකුණු 100ක් එකතු වෙයි.
ටෝකියෝ ඔලිම්පික් උලෙළ වසරකින් කල් යාමෙන් පසුව ඒ සඳහා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුදුසුකම් සපිරීමේ තවත් සහන කාලයක් ලබන දෙසැම්බර් 1 වනිදා සිට 2021 ජුනි 29 වැනිදා දක්වා අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමය ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මෙම වසරට නියමිත 98 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය දෙසැම්බර් මාසයෙන් පසුව පැවැත්වීමට අපේක්ෂාවෙන් පසුවේ. ඒ ටෝකියෝ ඔලිම්පික් උලෙළ සඳහා නව ලකුණු ක්‍රමය යටතේ මෙරටින් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් කීපදෙනකු සොයා ගැනීමේ අභිප්‍රායෙනි. “මම රත්නපුර සුමන බාලිකා විද්‍යාලයෙන් තමයි ක්‍රීඩාවට යොමු වුණේ. ඒ පාලිත සර් යටතේ. ඊට පස්සේ සජිත් ජයලාල් සර් යටතේ පුහුණුවීම් කරලා තමයි අද මේ තැනට ඇවිත් ඉන්නේ. යුද හමුදාවෙන් උපරිම සහයෝගය ලබා දෙනවා.”
ටෝකියෝ ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලද 32 හැවිරිදි නිලානී රත්නායක කත්මණ්ඩු සාග් ක්‍රීඩා උලෙළේදී මීටර 1500, මීටර 5000 යන කාන්තා ඉසව් දෙකේම රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූවාය. මීටර 3000 – බාධක දිවීම (කාන්තා) ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවට ද හිමිකම් කියන ඇය මීටර 5000 (කාන්තා) ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියයි.
“පවුලේ අම්මයි තාත්තයි දෙන්නම තේ දලු නෙළනවා. නංගිලා දෙන්නා පාසල් කාලයේ ක්‍රීඩා කරලා නතර කරලා දැම්මා. අම්මා තමයි මාව ක්‍රීඩාවට යොමු කළේ. මුලින් ම ගියේ බටේවල කනිෂ්ඨ විද්‍යාලයට. ඊට පස්සේ බඹරබොටුව විද්‍යාලයට ආවා. එතැනින් තමයි සුමන බාලිකා විද්‍යාලයට ආවේ. පසුගිය සාග් තරගාවලියේ මීටර් 1500 සහ 5000 ඉසව්වල රන් පදක්කම් දිනා ගත්තා” යැයි නිලානි වැඩිදුරටත් පවසයි.
ඡායාරූප - ජගත් ඉරෝෂණ










