
කිසියම් රටක සංස්කෘතියක ඉතා වැදගත් අංගයක් ලෙස චර්යාධර්ම හැඳින්විය හැකියි. මේ චර්යා ධර්ම යනු කුමක්ද යන්න පැහැදිලි කළහොත්, එනම් හැසිරෙන ආකාරයයි. එහිදි ඒ චර්යා ධර්මයන් අනුව යම් සම්ප්රදායක් තුළ යම් දේ කළ යුතුයි සහ යම් දෙයක් නොකළ යුතුයි යනුවෙන් වේ. මේවා අපි හඳුන්වනුයේ චාරිත්‍ර වාරිත්‍ර ලෙසයි. එසේ නොමැති නම් සිරිත් විරිත් යනුවෙනි. යම් කිසි සාරධර්මයක් ක්‍රියාවට නැංවීම කරනු ලබන දේ චාරිත්‍රය වෙයි. ඒ ගුණධර්මයෙහිම නොකරන දෙය වාරිත්‍රය නම් වෙයි. ඒ කරන දේ අපිට ඇසට පෙනෙන අතර වාරිත්‍රය නීලීන එනම් ඇසට නොපෙනෙන කෘත්‍යයයි.
අපේ සංස්කෘතිය හා බැඳි පවතිනු ලබන මේ චාරිත්‍ර සහ වාරිත්‍ර එකම අර්ථයෙන් එකම ක්‍රියාවක් ලෙස බොහෝ දෙනා එකම අර්ථයේහිලා සලකයි. එහෙත් බොහෝ දෙනකු වාරිත්‍ර පිළිබඳව හරියාකාරයෙන් දැනුම්වත් වී නැති බව පෙනෙයි. වාරිත්රයේ පවතින්නේද චාරිත්‍රයෙහි අපේක්ෂිත නොපෙනෙන යථාර්ථයකි. එනම් යම් ගුණ ධර්මයකි. සිංහල අවුරුදු චාරිත්‍ර පිළිබඳ කතා කිරීමට පෙර අපි චාරිත්රවාරිත්ර පිළිබඳ සරල උදාහරණයකින් පැහැදිලි කරගත යුතුය. එනම්, උදාහරණ ලෙස අප බෞද්ධයන් ලෙස ගරුතර මහා සංඝරත්නයට ගරු කරනු ලබයි. ස්වාමීන් වහන්සේ නිවෙසට වැඩම කරන විට නිවෙසේ ආසනයක් පනවන්නේ සුදු රෙදිකඩක් සහිතවය. එය චාරිත්‍රයක් වන අතර ඒ ස්වාමීන්වහන්සේට අපගේ ගෞරවය පුද කිරීමට සිදුකරන්නකි. ගම්වල මෙය ඉතා හොඳ සිරිතක් ලෙස තවමත් සිදු වෙයි. නමුත් අපි මේ චාරිත්‍රයත් සමඟ නොකරන තව දෙයක් වෙයි. එනම් හාමුදුරුවන් සමඟ එක් අසුනක සමසමව අසුන් නොගැනීමය. එය වාරිත්රයයි.
එමෙන් සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව සාකච්ජා කිරීමේදී අපේ සංස්කෘතිය හා බැඳුණු චාරිත්රවාරිත්ර වෙයි. එහිදීද සිංහල හා හින්දු අවුරුදු චාරිත්රවලත් සිරිත් විරිත් යනුවෙන් දෙකොටසක් වෙයි. එය කරන සහ නොකරන ලෙස හැඳින්විය හැකියි. නොයෙක් හැඩතල අනුව එදා සිට අද දක්වා සිරිත් විරිත්, චාරිත්රවාරිත්ර පවත්වා ගෙන එයි. චාරිත්‍රානුකූලව ගතහොත් නොනගතයේදී කළ නොහැකි කිහිපයක් ක්‍රියා වෙයි. එනම් විරිත් කිහිපයක් වෙයි. නොනගතයේදී ගිනි දැල් විය නොහැකිය. මුළුතැන්ගෙය අලුත් අවුරුද්දේ අලුත්වැඩියා කර හුනු පිළියම් කර නිවසට අලුත් ගින්දරක් දැල්වීම සිදු කරනු ලබයි. නමුත් නොනගතයේ ලිප ගිනි නොදැල්වීම විරිතකි. නොනගතයේදී ජලය සමඟ ද ගනුදෙනු ද නොකරයි. ඒ අවස්ථාවේදී කිසිවෙකුත් ළිඳට නොයයි. කලින් ජලය රැස් කර ගනී.
ඒ අවස්ථාවේදි සියලු දෙනාම රැස්වී පවුලේ සියලු දෙනා එකතු වී පන්සලට යනු ලබයි. නොනගතයට පන්සලට ගොස් යම් පුණ්යකර්ම කළ හැකියි. සුබ නැකත ලැබුව පසු අඟුරු, සුදු මල් දමා ළිඳ පවිත්‍ර කර ළිඳ සමඟ ගනුදෙනු කරයි. කෘෂි කාර්මික ආර්ථික රටාවකට හුරුවී සිටින ජනතාව නැකතට කුඹුරට හේනට යෑම සිදුකර ඇත. අලුත් හැළියක අලුත් ලිපක අලුත් ජලයෙන් අලුත් සහලින් අලුත් ගින්නකින් අලුත් කිරිවලින් ලිප ගිනි මෙළවීම කරයි. වසරක් ගෙවී නව වසරක උදාවත් සමඟ ජනතාවගේ මනස යළිත් පුබුදුවාලීමට නව ආකාරයෙන් සිතීමක් මෙහිදී සිදු වෙයි.
දරුවන්ට නොනගතයේදී සාම්ප්රායික සංස්කෘතිය හා බැඳුණු ක්රිඩාවන්වල නිරත විය හැකිය. පංච දැමීම, ඔළිඳ කෙළිය, මේවර කෙළිය, දාදුකෙළිය වැනි ක්‍රීඩාවල නිරත වෙයි. අවුරුදු ක්‍රීඩා අනිවාර්යෙන්ම සිංහල අවුරුද්දට කළ යුතු සිරිතකි. එයට හේතුව නොනගතයේදී වැඩ කිරීමට නොහැකි නිසාය; වැඩ නොකිරීම විරිතකි. එමෙන්ම සෙල්ලම් කිරීමෙන් සහයෝගිතාව වර්ධනය වෙයි. අද වන විට මේ සංකීර්ණ සමාජ වටපිටාව තුළ මේ දේවල් ප්‍රායෝගිකව කළ නොහැකි බව ඇතැමුන්ගේ අදහසයි. එහෙත් සම්ප්රදාය සමඟ බැඳුණු මේ දේ කළ යුතුය. ලිප් බැඳ ගිනි මොළවා යනුවෙන් මේ චාරිත්‍ර වෙයි. නැවත ලිප ප්‍රතිසංස්කරණය කර ගිනි මෙළවිය යුතුය.
එය අදට ගැළපෙන ආකාරයෙන් වෙනස් කළ හැකිය. එනම් එහි අදහස ආහාර පිසින තැන සුද්ද පවිත්‍ර කිරීමයි. එදා අතීතයේ මේ ලිප ගිනි මෙළවීම සිදු කරනු ලැබුවේ පිසින ගෙය තුළයි. ලිප මෙළවීම සිදුකරනු ලැබූයේ ලිප් ගල් තුනක් මතයි. ගොම මැටි ගා පවිත්‍ර කරගන්නා ලිපේ අළු ආදී සියලු දේ ඉවත් කර නැවත නව වසරකට සුදානමක් එයින් ඇඟවේ. ළිඳ සමඟ ගනුදෙනු කිරීම යනුවෙන් සඳහන් වුවත් අද බොහෝ විට ළිඳක් නාගරික සමාජවල දක්නට නැත. නමුත් මෙයින් අදහස් කරනුයේද ජලයට ගරු කිරීමයි. වසරක් පුරාම ජලය සපයන ළිඳට ගරු කරන්නයි මෙහිදි ඉගැන්වීමක් වෙයි. ළිඳට නිදහසක්, විවේකයක් දීම එහි අදහසයි. ජලය යනු අපේ ජිවිතයට නැතුවම බැරි දෙයක් බැවින් එයට ගරු කළ යුතුය. මේ සමහර චාරිත්රවාරිත්ර වාච්‍යර්ථයෙන් මතුපිටින් ගැනීමට නොහැකි වෙයි. නැකතට වැඩ ඇල්ලීම සම්බන්ධයෙන් ඇත්තේද එවැනි දෙයකි. මුළු රටක්ම එක මොහොතකදී වැඩ කිරීම තුළ සමගිය, සහයෝගය, සුහදතාව වර්ධනය කරගැනීමේ හැකියාව ඇතිවනු ඇත.
නැකත යනු හොඳ වේලාව යන්නයි. නව වසර සඳහා ලිප ගිනි මොළවන තෙක් නොනගතයයි. මේ කාලය තුළ නැකතත් නොමැති බව පැරණි ජනයා විශ්වාස කළහ. ඒ කාලය තුළ සියල්ලෝම සියලු වැඩ නවතා විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරත වෙති.
ලිප ගිනි මොළවන නැකත උදාවත්ම නැවත නිවෙසේ වැඩ ඇල්ලීම ආරම්භ වී ක්‍රියාශීලී වෙයි. අලුතින් බැඳි ලිප මත අලුත් හැළියක අලුත් සහලින් කිරි බතක් පිසීමට සැම නිවෙසකම මව කටයුතු කරයි. පළමුව අනුභව කරන ආහාරවේලට කිරිබත්, කැවුම්, කෙසෙල් නොවරදී. මේසයට සුදු රෙද්දක් එළා ඒ මත අහාර තබා පොල් තෙල් පහනක් තැබීම සිරිතකි. සියල්ලෝම එකම නැකතකට ආහාර අනුභව කරති. එයින් පවුලේ සහජීවනය සමගිය උදාවෙයි. වැඩ ඇල්ලීම හා ගනුදෙනු කිරීම සිරිතකි. කෘෂිකාර්මික ක්‍රමවේදයක් ඇති පැරුන්නෝ උදැල්ල ගෙන නැකතට වැඩ කරති; පැළයක් හෝ සිටුවයි. ගෘහණිය ද චාරිත්‍රානුකූලව වැඩ ඇල්ලීම කරයි. ළමයින් පාසල් පොත්වල වැඩ කටයුතුවල නිරත වෙයි.
හිස තෙල් ගෑමේ චාරිත්‍රයේදී අවුරුද්දෙන් පසුව සිදුවන අතර ඖෂධ ගුණ ඇති කොළ වර්ගවලින් සෑදු තෙල් ගල්වා සියලු දෙනා නැකතට ස්නානය කරයි. එදා නැකතට ස්නානයට නාන කාමර නොතිබුණ අතර එකල බෙහෙත් තෙල් ගල්වා සියලු දෙනා ළිඳ ළඟ රැස්වී නැකතට ස්නානය කරයි. පසුගිය වසරේ ඇතිවූ යම් යම් ගැටලු, නොහොඳ නෝක්කාඩු විසඳා ගැනීමට හොඳම කාලය මෙයයි. සුහද හමුවීමක් එහිදී වෙයි.
අලුත් අවුරුද්ද සමයේ තම දරු පවුලත් සමඟ නෑදෑ හිතවතුන් දැකීමට ගොස් නෑදෑ හිතමිතුරුකම් වර්ධනය කරගැනීම, අමනාප දුරු කරගැනීම ද සිදුවෙයි. මෙලෙසින් ජාතියේ මහා සංස්කෘතික මංගල්‍ය වන සිංහල හින්දු නව අවුරුද්ද තුළ සාම්ප්‍රදායික සිරිත් විරිත් සහ උරුමයන් වෙයි. සිංහල ගැමි සමාජයේ ආගමික, සමාජ, සංස්කෘතික, සමාජ විශ්වාස සහ ඇදහිලි, ආගමික සංකල්ප සමඟ එකට ගැට ගැසී මේ අවුරුදු සිරිත් විරිත් ගොඩනැඟී ඇත.
එදා කැවිලි සෑදීම සිදු කරනු ලැබුයේද මහ පොළොවෙන් බිහිවන ධාන්‍යවලිනි. කැවුම්, මුංකැවුම් ආදී කැවිලි කිසිවක් ශරිරයට අහිතකර නොවෙයි. සිරිත් මෙන්ම සාම්ප්‍රදායික වෙද හෙදකමත් වෙයි. අවුරුදු කාලවලදී නාගරික ජනයා ගම්බිම් බලා යන්නේ අපේ සංස්කෘතියට තවමත් ගරු කරන නිසාවෙනි. එය ඉබේම වාගේ සිදුවන ක්‍රියාවකි.
වත්මන් ඇතැම් පිරිස්වලට නව වසර උදාවේ නියම අරුත වැටහී නැත. අවුරුද්දක් ගතවී අලුත් අවුරුද්දක් උදා වීම ගැන හැඟීමක් තිබුණ අප අවුරුදු සමරන්නේ ඇයිද යන්න පිළිබඳ එතරම් දැනුම්වත් වීමක් නැත. කැලැන්ඩරයක කොළයක් මාරුවීමට වඩා දෙයක් මෙහිදී සිදු වෙයි. කායික වශයෙන් අලුත් ඇඳුම්, නිවෙස් අලුත්වැඩියා කිරීම, උයන පිහින ස්ථාන සියල්ල නැවුම් වීම තුළ වෙහෙස කර ජන ජීවිතය නැවත නවීකරණය වීමක් සිදු වේ. පරණ දෑ ඉවත් කිරීම, හිත මිත්‍ර නෑදෑයන් අතර අමනාපකම් දුරුවී සියලු සම්බන්ධතා අලුත් වීමක් සිදු වෙයි.
අපේ සිංහල හින්දු චාරිත්‍ර යල් පැන නොයන අතර, අවුරුදු චාරිත්‍ර යල් පැන ඇතැයි සීතිමට හේතු කාරණාව වන්නේ එහි උඩු අරුත එනම් වාච්‍යාර්ථය පමණක් ගැන්වූ විටයි. එහි යථාර්ථය අපි දැනගත යුතුයි. සමගිය, සහජීවනය, කෙෙළහි ගුණ සැලකීම, ගින්න, ජලය, කිරි යන අංග සමඟ අපේ ජීවිත බද්ධ වී පවතී. සාම්ප්‍රදායික ජීවන රටාව තුළ ජනතාව නිරෝගිමත් සහජීවනයෙන් යුතුව ජීවත් වූ අතර සංකීර්ණ සමාජ වටපිටාවෙන් මිදී සාම්ප්‍රදායික අපේ ජිවන රටාවට නැවත වරක් කැඳවා ගෙන යාමක් වසරක් පාසා ම සිදුවෙයි. මෙය අපි සැමරිය යුතු වන්නේද ඒ හේතු කාරණා මුල් කරගෙනයි.
පැරණි වෙදකම් ඥාති මිත්‍රකම් නැවත අලුත්වැඩියා කරගැනීම නැවත සමාජ සම්බන්ධතා ගොඩනැඟීමට හැකි වීම වැනි දේ මෙන්ම එකම වෙලාවක, රටම එකම කටයුත්තක යෙදීම තුළ සහයෝගිතාව ගොඩනැඟීමට සහ ජාතික සහජීවනය ඇති කරගැනීමක් සිදු වෙයි.
සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට මාරු වීම එදා සිට අද දක්වා සමරනු ලබයි. to renew යන කරුණ මෙහි අදහස වෙයි. මතුපිට වන වාච්‍යාර්ථයේ ඇති අදහස නොවෙයි. අද වෙන විට සමාජ ක්‍රමය වෙනස් වුවත් මතු පිටින් ඇති වාච්‍යාර්ථයෙන් ගෙන අපේ සිරිත් විරිත් සම්බන්ධයෙන් යථාර්ථය වටහාගත යුතුයි. මෙරට නූතනයට පමණක් නොව බටහිර රටවලට පවා අපේ සංස්කෘතිය හා බැඳුණු චාරිත්‍ර වාරිත්‍ර ඉතාමත් වැදගත් වෙයි. සර්වකාලයටම ගළපා ගැනීමට මේ වසරක් පාසා වන නැවත අලුත් වීම වැදගත් වෙයි.