
පසුගිය සතියේ දේශපාලන ක්ෂේත්‍රයේ වැඩිම අවධානයක් යොමු වූයේ පාර්ලිමේන්තුව දෙසටයි. පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී අවස්ථා කිහිපයක්ම පසුගිය සතියේ ඇතිවූ අතර පසුගිය 08 වැනි බ්‍රහස්පතින්දා බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූයේ චමල් රාජපක්ෂ අමාත්‍යවරයා සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා අතර ඇතිවූ දැඩි උණුසුම්කාරී තත්ත්වය හේතුවෙනි.
කළු කොඩි, විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ගී කියමින් මැතිසබය උණුසුම් වෙද්දී එය තවත් උණුසුම් වූයේ චමල් රාජපක්ෂ අමාත්‍යවරයා සහ සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා අතර ඇතිවූ උණුසුම්කාරී දෙබස් නිසා ය.
අයිසේ, බූරුවා, පරයා, තමුසේ යන වචන මෙහිදී හුවමාරු විය.
මෙම උණුසුම්කාරී තත්ත්වයට හේතුව රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් වූ ප්‍රශ්නයයි.
මේ තත්ත්වය හේතුවෙන් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ හා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා අතර උණුසුම් තත්ත්වය ඇතිවන විට දෙපක්ෂයේම මන්ත්‍රීවරුන් පිරිසක් ඊට සහාය දක්වන්නට වූයේ ඇවිළෙන ගින්නට පිදුරු දැමීමට මෙනි.
වර්තමාන කථානායකවරයා රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසි කළාක් මෙන් චමල් රාජපක්ෂ හිටපු කථානායකවරයා ද එවකට තමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට කටයුතු කළ බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියා සිටියේය.
ෆොන්සේකා තරමක් වටපිට බලමින් ප්‍රකාශ කරන විට චමල් රාජපක්ෂ අසුන්ගෙන සිටින බව ෆොන්සේකා දුටුවේය.
“ඒ කාලෙදි මං අභියාචනා 3 ක් ඉදිරිපත් කළා. චමල් රාජපක්ෂ හිටපු කථානායකතුමා මගේ මන්ත්‍රී ධුරය අහෝසි කළා. මට පාර්ලිමේන්තු එන්න දුන්නෙ නැහැ. ආ ඔය ඉන්නේ. එතුමා ඉන්න එක හොඳයි” යනුවෙන් ෆොන්සේකා ප්‍රකාශ කළේය.
“මට දැන් මතක් වෙනවා ඉතිහාසය. තමුන්නාන්සේලාගේ රජය 2010 – 2015 කාලය තුළ කොච්චර තිරිසන් විදියට මට සලකලා තියෙනවාද? කියලා. ඒ වෙලාවේ හිටපු කථානායකතුමා මෙතන වාඩිවෙලා ඉන්නවා.
කැලෑ උසාවියෙන් දඬුවම්
එදා මට යුද හමුදාවේ කැලෑ උසාවියකින් දඬුවමක් දුන්නා. මං මාස 08 ක් හිරකරගෙන හිටියා. අපි උසාවි 3 කට ඇපීල් කළා. ඇපීල් 3 ම තියෙද්දිත් මට දඬුවම දුන්නු දවසේ ඉඳලා මේ කථානායකවරයා මට පාර්ලිමේන්තු එන්න දුන්නේ නැහැ.” යනුවෙන් සරත් ෆොන්සේකා ප්‍රකාශ කළේ ය.
ඊට යම් ප්‍රතිචාරයක් දැක්වීමට චමල් රාජපක්ෂ අමාත්‍යවරයා සූදානම් විය.
“මයික් එක දෙන්න. මයික් එක දෙන්න” යනුවෙන් සරත් ෆොන්සේකා ප්‍රකාශ කරන විට මැතිසබය තුළ යම් උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.
“තමුන්නාන්සේට පාර්ලිමේන්තුවට එන්න අවසර දුන්නේ මමයි. පාර්ලිමේන්තුවේ නීති රීති අනුවයි අවශ්‍ය කටයුතු සිදු කළේ. යනුවෙන් චමල් රාජපක්ෂ ප්‍රකාශ කළේ ය.
“ඒක මොකක්ද?” යනුවෙන් සරත් ෆොන්සේකා විමසා සිටියේය.
“මොකක්ද කියලා අහන්නෙ. තමුන්නාන්සේට පාර්ලිමේන්තුවට එන්න මං අවසර ලබාදුන්නේ නැද්ද?” යනුවෙන් පෙරළා ප්‍රශ්න කරන ලද්දේ චමල් රාජපක්ෂ විසිනි.
ඊට පිළිතුරක් ලබා නොදුන් සරත් ෆොන්සේකා චමල් රාජපක්ෂට කියා සිටියේ ‘අහගෙන ඉන්න’ කියා ය.
“අහගන්න කියන්නේ මොකක්ද? තමුන්නාන්සේට පාර්ලිමේන්තුවට එන්න අවසර දුන්නේ කවුද? මං නොවේද? යනුවෙන් චමල් රාජපක්ෂ ප්‍රකාශ කළේ ය.
මේ අවස්ථාවේදී දෙදෙනාම කතා කළේ උස් හඬින් හා වේගයකිනි.
“අහගෙන ඉන්න” යනුවෙන් සරත් ෆොන්සේකා යළිත් කියා සිටියේය.
“මේ නිකන් තමුන්නාන්සේ බොරුවට තමුන්නාන්සේගේ හයිය පෙන්නන්න එන්න එපා.” යනුවෙන් චමල් රාජපක්ෂ ප්‍රකාශ කළේය.
“මෝඩයා, බූරුවා” කියමින් සරත් ෆොන්සේකා මහතා සමඟ එතන සිටි තවත් මන්ත්‍රීවරු කිහිප දෙනෙකු කෑගසන්නට වූහ.
“මෝඩයා, බූරුවා, තමුසේ” යනුවෙන් චමල් රාජපක්ෂ ප්‍රතිචාර දැක්වීමත් සමඟම මැතිසබය උණුසුම්කාරී විය.
ඉන්පසුව දෙදෙනාම බැණ ගන්නට වූ අතර මැතිසබය එකම ගාලගෝට්ටියක් බවට පත් විය.
ඉන්පසුව යමක් චමල් රාජපක්ෂ පැහැදිලි කිරීමට යනවිට විපක්ෂයෙන් යළිත් කෑගසන්නට විය.
ගහ ගැන්මට පැමිණෙන ලෙසට ද විපක්ෂයෙන් කෑකෝ ගසමින් ප්‍රකාශ කළ අතර ඊට කේන්ති ගිය චමල් රාජපක්ෂ කියා සිටියේ ගහ ගැනීම සඳහා එළියට පැමිණෙන ලෙසයි.
“මෙයා මට ගහන්න එළියට එන්න කියනවා. මෙයාට මං ගැහුවොත් මොනවා වෙයිද දන්නේ නැහැ. යනුවෙන් සරත් ෆොන්සේකා කෑගසමින් කියා සිටියේය.
චමල් කනගාටුව පළ කරයි
ඊට ප්‍රතිචාර දක්වමින් චමල් රාජපක්ෂ කියා සිටියේ ගහගැන්ම සඳහා එළියට පැමිණෙන ලෙසයි.
ඉන්පසුව ආණ්ඩු පක්ෂයේත්, විරුද්ධ පක්ෂයේත් ජනතා නියෝජිතයන් දැඩි ලෙස වාග් ප්‍රහාර එල්ල කරගත් අතර මැතිසබය දැඩි උණුසුම්කාරී වූ නිසා මැතිසබය විනාඩි 5 කට තාවකාලිකව අත්හිටුවීමට මහින්ද යාපා අබේවර්ධන කථානායකවරයා තීරණය කළේය.
යළි සභාව රැස්වීමෙන් අනතුරුව චමල් රාජපක්ෂ ප්‍රකාශ කළේ තමාගේ අතින් පාර්ලිමේන්තුවේදී කිසිවෙකුගේ හිත රිදුණේ නම් තමන් ඒ ගැන කනගාටුවන බවයි.
මෙම සිදුවීමෙන් අනතුරුව චමල් රාජපක්ෂගෙන් ඇතැම් අය මේ ගැන විමසූ විට චමල් රාජපක්ෂ කියා සිටියේ තමා කථානායක ලෙස සරත් ෆොන්සේකාට කිසිදු අසාධාරණයක් සිදු නොකළ බවයි.
එදා 2010 වසරේදී එවකට පැවැති ආණ්ඩුවේ කිහිප දෙනෙක්ම සරත් ෆොන්සේකා මහත්තයා පාර්ලිමේන්තු ගේන්න එපා කියලා කියද්දිත් තමන් නීතිය අනුව ක්‍රියාමාර්ග ගන්නා තෙක් සරත් ෆොන්සේකා මහතාට පාර්ලිමේන්තුවට පැමිණෙන්න අවසර ලබාදුන් බවට ඒ ගැන පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවල සඳහන් වන බවත් චමල් රාජපක්ෂ විසින් පෙන්වා දෙන ලදී.
මේ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පසුගිය අඟහරුවාදා උදෑසන රැස්වූයේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙනි. පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 2 හි මෙම රැස්වීම පැවැත්විණි.
පාර්ලිමේන්තු සතියේ වැඩ කටයුතු ගැන සාකච්ඡා කිරීමෙන් අනතුරුව සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා අදහස් දැක්වීමට පටන් ගත්තේය.
“මං මේ අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට කියන්නේ. ඔබතුමාලා පාර්ලිමේන්තුවට පැමිණීම ඉතාම දුර්වලයි. උදේ පාර්ලිමේන්තු එන්නේ නැහැ.
පාර්ලිමේන්තු ඇවිල්ලා මාතෘකා කතා කරන්න. පුස්තකාලය පරිහරණය කරන්න. පත්තර බලන්න.” යනුවෙන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක විසින් දෝස්මුරයක් තම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට එල්ල කරන ලදී.
එම කතාබහෙන් අනතුරුව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් වෙනම සාකච්ඡාවන් පැවැත්වූහ.
“ විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තු එන්නේ නැහැ කියලා අපිට දොස් පැවරුවාට අපි ආවයි කියලා උදේ පාර්ලිමේන්තුවේදී එක වචනයක්වත් කතා කරන්න ලැබෙන්නේ නැහැ. දිගටම කතා කරන්නේ විපක්ෂ නායකතුමා.” එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ප්‍රකාශ කළේය.
“මොන මාතෘකාවක් කතා කරන්න අපි හිතාගෙන ආවත් එක මාතෘකාවක්වත් අපිට කතා කරන්න විපක්ෂ නායකතුමා දෙන්නේ නැහැ. මං දියවන්නා ඔයේ ඇල්ගී වර්ගයක් මතුවෙලා තියෙන එක ගැන කතා කරන්න හිතාගෙන ආවේ. මෙන්න විපක්ෂ නායකතුමා දියවන්නා ඔයේ ඇල්ගී ගැනත් කතා කරනවා” යනුවෙන් තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ප්‍රකාශ කළේය.
පසුගිය පස්වැනිදා පාර්ලිමේන්තු කටයුතුවලට සහභාගිවී සිටි ප්‍රසන්න රණතුංග, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ හා රෝහිත අබේගුණවර්ධන ඇමැතිවරුන් සවස දෙක හමාරට පමණ පාර්ලිමේන්තුවෙන් පිටත් වූයේ ජනාධිපතිතුමා හමුවීමටයි. ඒ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වාර්තා විමර්ශනයට පත් කළ කැබිනට් අනු කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයාට භාරදීමටයි. මෙම අවස්ථාවට කමිටුවේ ලේකම් ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (නීති) හරිගුප්ත රෝහණදීර මහතා ද එක් විය.
පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ජනාධිපතිවරයාට පිළිගැන්වීමෙන් පසු ව කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා පෙබරවාරි 19 වැනිදා ජනාධිපතිවරයා විසින් මෙම අමාත්‍ය අනුකමිටුව පත් කරනු ලැබීය.
ජනවාරි මස විසි දෙවැනි දා ජනාධිපති කාර්යාලයේදී පළමු වරට රැස් වුණු එම අනු කමිටුව පසුව නාරාහේන්පිට නිල මැදුරේදී හමුවී පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති කොමිසන් සභා වාර්තාව දීර්ඝ ලෙස අධ්‍යයනය කළේය. නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නිශාන්ත සොයිසා, හා මේජර් ජනරාල් ප්‍රසන්න ද සිල්වා සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමත් මෙහිදී සිදුවිණි.
කමිටුවේ කාලය ඉකුත් වීමට තිබුණේ මාර්තු 15 වැනි දින වුවත් වැඩිදුර විමර්ශනය සඳහා කමිටුව තවත් සති දෙකක කාලයක් ලබා ගත්තේ ය. පසුගිය මාර්තු 23, 24 දෙදින පාර්ලිමේන්තු කමිටු කාමරයකදී නැවතත් කමිටුව රැස් විය. පාස්කු ප්‍රහාරයට පෙර බුද්ධි අංශ විසින් ලබාදී තිබුණු තොරතුරු සහ වාර්තා සම්බන්ධයෙන් බලධාරීන් නිසි අවධානයක් යොමු කර නැති බව එහිදී සාකච්ඡා විය.
අවසානයේ ඉකුත් පස් වැනිදා පස්වරු 3.45 ට අනු කමිටු වාර්තාව ජනාධිපතිවරයාට භාර දුන්නේය. ජනාධිපති කොමිසන් වාර්තාව දීර්ඝ ලෙස අධ්‍යයනය කළ කමිටුව නිර්දේශ 78 ක් හඳුනාගෙන තිබිණි. එම නිර්දේශ ක්‍රියාත්මක කරන ආකාරය, ක්‍රියාත්මක කරන ආයතන සම්බන්ධයෙන් වාර්තාවේ දැක්වේ.
වාර්තාවේ තියෙන දේවල් මිනිස්සු දැනගන්න ඕන බව ප්‍රසන්න කියයි.
‘බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් මේ සිද්ධිය වුණ බව ජනාධිපති කොමිසමේ වාර්තාවෙන් පැහැදිලි වෙනවා” ජනාධිපතිවරයා කීවේය.
“ජනාධිපති කොමිසන් සභා වාර්තාව අධ්‍යයනය කරගෙන යනකොට අපිට ඒක හොඳින්ම වැටහුණා” ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා පිළිතුරු දුන්නේය.
“නිර්දේශ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පියවර ඉක්මනින්ම ගන්නවා” ජනාධිපතිවරයා නැවතත් කීවේය.
“නිර්දේශ ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා වගේම ඒ නිර්දේශ ක්‍රියාත්මකවීම හරිහැටි සිදු වෙනවාද කියලා පසු විපරමක් කෙරෙන්න ඕන නේද ජනාධිපතිතුමනි” ඇමැති ප්‍රසන්න ඇසුවේය.
“ඔව් ඒක සහතික ඇත්ත. නිර්දේශ ක්‍රියාත්මක වෙනවාද කියන දේ ගැන අපි පසු විපරම් කරනවා. අගතියට පත්වූ පිරිස සාධාරණය බලාපොරොත්තුවෙන් සිටින්නේ” යි ජනාධිපතිවරයා කීවේය.
ජනාධිපතිවරයාට අනුකමිටු වාර්තාව භාරදීමෙන් පසුව ඇමැතිවරු කැබිනට් සාකච්ඡාවට සහභාගිවීම සඳහා ජනාධිපති කාර්යාලයේ මඳ වේලාවක් රැඳී සිටියහ. ඒ අතරතුර ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල ද එතනට ආවේය. ඒ එන අතරේදී ජනමාධ්‍ය ඇමැතිවරයා සමඟ සාකච්ඡා කර අමාත්‍ය මණ්ඩල අනු කමිටු වාර්තාව සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීම සඳහා මාධ්‍ය හමුවක් පැවැත්වීමට ද සාකච්ඡා විය.
“වාර්තාවේ කියන දේවල් මිනිස්සු දැන ගන්න ඕනේ” ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා පැවසීය.
“ඔව් ඒක නං ඇත්ත. අපි කෙහෙළිය ඇමැතිතුමාත් එක්ක කතා කරගෙන මාධ්‍ය හමුවක් තියලා මේ ගැන ජනතාව දැනුම්වත් කරන්න ඕනේ” ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා කීවේය.
“කල් දාන්න හොඳ නෑ ඒක අපි ඉක්මනටම කරන්න ඕනේ” ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා පෙරළා පැවසීය.
පසුවදා (06) සවස දෙකට ඇත්ත දැනගන්න, පාස්කු කොමිසන් වාර්තා ඊළඟ පියවර මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි. මෙම මාධ්‍ය හමුවට අමාත්‍ය අනුකමිටුවේ සභාපති වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණදීර යන මහත්වරු එක්වූහ.
එක්සත් ජාතික පක්ෂ නායකයාට ඉකුත් සතිය කාර්ය බහුල සතියක් විය. ඒ වෘත්තීයවේදීන් රැසක් ඔහු හමුවීමට වේලාව ඉල්ලා තිබූ බැවිනි. වෛද්‍යවරු, නීතිඥයන්, ඉංජිනේරුවන් ආදී ලෙස වෙන වෙනම වෘත්තීයවේදීන් හමුවීමට නායකයා දින හා වේලාවන් වෙන් කරගෙන තිබුණි. නායක රනිල් වික්‍රමසිංහ සමඟ මෙම සාකච්ඡාවන්ට පක්ෂ සභාපති වජිර අබේවර්ධන ද එක්ව සිටියේය.
ඔවුන් පළමුව මුණගැසුණේ රටේ විවිධ දිස්ත්‍රික්කවල රජයේ රෝහල්හී රාජකාරියේ නියුතු වෛද්‍යවරුන් කණ්ඩායමකි. රාත්‍රි ආහාරය ද සමඟ එම හමුව පැවැත්වුණේ නායකයාගේ හිතවතෙකුගේ නිවසේදීය.
මෙවර මැයි දිනයට එජාප පෙළපාළි නැහැ
“ඔබතුමාගේ අඩුව මුලින් ම දැනිලා තියෙන්නේ අපි වගේ කණ්ඩායම්වලට. දැන් රෝහල් පද්ධතිය කඩා වැටෙනවා. ඔබේ පාලනය යටතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අඩුපාඩු තිබුණේ නෑ. එදා අපි ඔබේ කඳවුරේ නොසිටියත් දැන් අපට තේරෙනවා. මේ රට හදන්න පුළුවන් පරිණත නායකයෙකුට පමණයි කියලා. ඉදිරියේදී සාමාන්‍ය ජනතාවටත් මෙය වැටහේවි” වෛද්‍යවරයෙකු කීවේ දැඩි ස්ථාවරයෙනි.
“රෝහල්වල අඩුපාඩු ඉහළ ගොස් බව මටත් දැනගන්න ලැබුණා. තියෙන පහසුකම්වලින් රෝගීන්ගේ ජීවිත බේරාගන්න ඔබතුමන්ලා කරන සේවය මිල කරන්න බෑ.” රනිල් ප්‍රතිචාර දැක්වූවේ එලෙසිනි.
පැමිණ සිටි වෛද්‍යවරුන් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම වූවේ ඉක්මනින් පාර්ලිමේන්තුවට ගොස් විපක්ෂයට නායකත්වය දෙන ලෙසය. පරිණත නායකත්වයක අඩුව විපක්ෂයේ භූමිකාවෙන් පැහැදිලිව පෙනෙන බව ද වෛද්‍යවරු බොහෝ දෙනෙකු කියා සිටියහ.
වෛද්‍යවරුන්ගේ හමුවෙන් පසුදින නීතිඥවරුන් ද, ඉංජිනේරුවන් ඇතුළු තවත් වෘත්තීයවේදීන් රැසක් හමුවීමට නායකයා කටයුතු කළේය. ඔවුන් බොහෝ දෙනෙකුගේ අදහස වූවේ රටේ පවතින ආර්ථිකමය සමාජමය ප්‍රශ්නවලට වර්තමාන රජයෙන් ලැබෙන විසඳුම් ප්‍රායෝගික නොවන බව ය. එම නිසා ඉක්මණින් රටේ බලය ලබාගෙන රට යළිත් නිවැරැදි මාවතට ගන්නා ලෙසද ඔවුන් නායකයාගෙන් ඉල්ලා සිටියේය.
මැයි දිනය සැමරිය යුතු ආකාරය ගැන විමසා සිටියේ මහලේකම් රංගේ බණ්ඩාරය.
“කොවිඩ් අර්බුදය නිසා අපිට ගියවරත් මැයි දිනය සමරන්න බැරි වුණා. නමුත් අපි අන්තර්ජාලය හරහා මැයි දිනය සැමරුවා. මෙවරත් අපි පෙළපාළියකට හා මහ රැලියකට යා යුතු නෑ. මොකද කොවිඩ් තාම ඉවර නෑ. මුලින් ම අපි හිතන්න ඕනේ ජනතාවගේ ආරක්ෂාව ගැන. මගේ නම් අදහස අපි චාම් ආකාරයට මැයි දිනය සැමරිය යුතු බවයි.” නායක රනිල් කීවේ එවැන්නකි.
රන්ජන් වෙනුවෙන් සජිත් පෙරට
රන්ජන්ගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් පසුගිය සතියේ දී දැඩි ආන්දෝලනයක් ඇති වුණේ ය. ඒ පිළිබඳව සුපුරුදු පරිදි විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවේදී හඬ අවදි කළේ ය.
මේ අතර මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී චෝදනා කර තිබුණේ රන්ජන් ජිනීවා රැගෙන යාමට සමගි ජනබලවේගයේ සූදානමක් ඇති බවය.
“ඔබතුමා රන්ජන් වෙනුවෙන් අසීමිතව පෙනී සිටිනවා. කොන්දේසි විරහිතව පෙනී ඉන්න කියලා ඔබතුමා තමයි නිතරම කීවේ. එහෙම තිබියදී මහින්දානන්ද ඇමැතිවරයා මේ වගේ බොරු කියන්නේ කොහොමද” මන්ත්‍රීවරු සජිත්ගෙන් විමසූහ.