ලියුකේමියාවට ලීව් දමා ඔලිම්පික් සටනට එන සකුරා මල | සිළුමිණ

ලියුකේමියාවට ලීව් දමා ඔලිම්පික් සටනට එන සකුරා මල

 

IKEE rikako

මම සිටියේ මරණය අත්දකින්න සූදානමින්. ආයෙත් මම පාසල් යනවා. මට හැම දෙයක්ම සකසන්න පුළුවන්.

ඒ දේවල් කොච්චර අමාරු උනත් ඒ දේ ලබා ගන්න අධිෂ්ඨානය සහ කැපවීම තමයි මගේ මේ ආශ්චර්යට හේතුව.

“මට එය පුදුමයක් වගේම සතුටක්. කවුරුත් විශ්වාස කළේ නැහැ මම ජීවත් වෙයි කියලා.

අවසානයේ මම මාව නැවත සොයා ගත්තා.”

එසේ කීවේ 2021 දී ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ජපානයේ මීටර් 4x100 කාන්තා මෙඩ්ලි රිලේ පිහිනුම් කණ්ඩායම නියෝජනය කිරිමේ ඉඩකඩ වෙන් කරගත් ඉකී රිකාකෝ ය.

20 හැවිරිදි ඉකී ඔලිම්පික් පරිසාධන තරගවලදී සමනල ආර මීටර් 100 තත්පර 57.77 කින් නිමාකරමින් මෙඩ්ලි රිලේ ඉසව්ව සඳහා සුදුසුකම් ලබා ගත්තේ ලියුකේමියා රෝගයට ගොදුරු වීමෙන් වසර දෙකකට පසුව සහ නැවත තරගයකට පැමිණ මාස හතකට පසුවය.

ඇය සමනළියක් මෙන් යෞවනියකි. වයස අවුරුදු 20 ක් වන රිකාකෝ මාස 10කට වැඩි කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ බරපතල ලියුකේමියා රෝගී තත්ත්වයකට ගොදුරු වෙමිනුයි. ලියුකේමියාවෙන් පෙළී වසර දෙකකට පසුව සහ නැවත තරග බිමට පැමිණ මාස හතකට පසුව ඉකි ජපානයේ පිහිනුම් පෙරහුරු තරගවලදී මීටර් 100 සමනල ආර ජයග්‍රහණය කිරීමෙන් පසු සිය ගමේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගිවීමට නියමිතය. ඉකීගේ තත්පර 57.77ක කාලය තනි ඉසව්වක් සඳහා ප්‍රමාණවත් නොවන නමුත් තත්පර 57.92 ක පරිසාධන කාලයකට අඩුවෙන් දැක්විය යුතුවූ මීටර් 4x100 මෙඩ්ලි රිලේ කණ්ඩායම සඳහා සුදුසුකම් ලැබීමේ කාලය සපුරාලීය.

2018 ආසියානු ක්‍රීඩා උළෙලේ මිටර් 50 නිදහස් ආර (තත්පර 24.53), මීටර් 100 නිදහස් ආර (තත්පර 53.27), මීටර් 100x4 නිදහස් සහාය (විනාඩි 3.36.52), මිටර් 100x4 මෙඩ්ලි රිලේ (විනාඩි 3.54.73) කින්, සමනල ආර මීටර් 50 සහ සමනල ආර මීටර් 100 ඉසව්වලින් රන් පදක්කම් හයකින් තම ගෙළ සරසා ගත් ඇය 2018 පෑන් පැසිෆික් තරගාවලියේ දී මීටර් 100 සමනල ආර තරගයෙන් ද ජය ගන්නේ ටෝකියෝ ඔලිම්පික් පදක්කමට තමන් සුදානම් බවට ඉඟි පල කරමින්ය.

2019 වසරේ පෙබරවාරියේ රෝහල්ගත වන ඇය දෙසැම්බරයේ සුවය ලබන්නීය.

“එය ඇත්තටම ආශ්චර්යක්. මම සිටියේ මර-ණය අත්දකින්න සූදානමින්. ආයෙත් මම පාසල් යනවා. මට හැම දෙයක්ම සකසන්න පුළුවන්.” යැයි ඈ පවසන්නීය.

2024 පැරිස් ඔලිම්පික් තරගය ගැන පමණක් ඉතිරි කළ ඇගේ බලාපොරොත්තුව එළඹෙන ටෝකියෝ උළෙලේදී මල් පල ගැන්වෙන්නේ මීටර 100 සමනළ ආර ඉසව්ව තත්පර 57.77 කින් නිම කරමින් ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවූ ක්‍රීඩිකාවක් ලෙසිනි.

එහිදී එම ඉසව්වේ කේවල තරගය වෙනුවෙන් සුදුසුකම් නොලැබුව ද මීටර් 100 මෙඩ්ලි සහාය පිහිනුම් ඉසව්වට සුදුසුකම් ලැබූ ඇය, ඉදිරි සතියේ දී නිදහස් ආර මීටර 50 සහ 100 කේවල ඉසව් වෙනුවෙන් සුදුසුකම් ලැබීමේ තරග වලට පෙනීසිටින්නේ ජපන් ක්‍රීඩා ලෝලීන් මවිතයට පත් කරමින්ය.

“ඇත්තටම සිදුවුණේ මොකක්ද කියල මට හිතා ගන්න බැහැ. මේ වගේ දෙයක් මට මගේ ජීවිතේ මීට කලින් දැනිලත් නැහැ. දේවල් කොච්චර අමාරු උනත් ඒ දේ ලබා ගන්න අධිෂ්ඨානය සහ කැපවීම තමයි මගේ මේ ආශ්චර්යට හේතුව.’’ ඈ පවසා ඇත්තේ එලෙසිනි.

කෙසේ වෙතත් ජපානයේ ප්‍රධාන පුහුණුකරු හිරායි නොරිමාසා පැවසුවේ ඉකී ජයග්‍රහණය කිරීම ගැන තමා පුදුම නොවන බවයි.

ඔහු පුදුමයට පත් කළේ ඇගේ කාලයයි.

"මම ප්‍රධාන පුහුණුකරු. ඒ නිසා මම අනාවැකි නොකිය යුතුයි. නමුත් මම හිතුවා ඇය අද දිනයි කියලා", හිරායි පැවසීය.

"මා කම්පනයට පත් කළේ ඇගේ කාලයයි. ඇය ඒ සියල්ල එකට තැබුවා. තාක්ෂණය, මානසික ශක්තිය, මේ සියල්ල ඈ එකට කැටි කර ගත්තා. ඒක ඉතා ආකර්ෂණීය සිද්ධියක්.".

ටෝකියෝ නැවතත් රේඩාර් මත

ඇය රියෝ 2016 දී පිහිනුම් ඉසව් හතෙන් ඉකිගේ හොඳම ප්‍රතිඵලය වූයේ පස්වන ස්ථානයට පත්වීමයි

පසුගිය වසරේ නැවත පැමිණි දා සිට ඇය දිගින් දිගටම අවධාරණය කළේ 2024 දී පැරීසියේ පැවත්වෙන ක්‍රීඩා උළෙලට නැවත පැමිණීම තම අරමුණ බවයි.

එම සැලසුම් දැන් වෙනස් වී ඇත. එක් අවස්ථාවක ටෝකියෝ 2020 අතහැර දැමූ සිහිනයක් ලෙස පෙනෙන්නට තිබුණි. නමුත් එය දැන් සැබෑවක්මය.

‘’මෙම තරගය මට ඇදහිය නොහැකි විශ්වාසයක් ලබා දෙනවා. ඇත්තටම එය මටම සිතාගත නොහැකි තරම් සතුටක් නිර්මාණය කරනවා. මම ඔලිම්පික් උළෙලට ගිය පසු වඩා හොඳින් දක්ෂතා දැක්වීමට හැකි සෑම දෙයක්ම කරනවා. නමුත් මම හිතන්නේ පැරිසියේ පැවැත්වෙන ඔලිම්පික් උළෙල සඳහා ටෝකියෝවේ අත්දැකීම් බොහෝ ඉවහල් වේවි කියායි.’’

හුරුබුහුටි හා විශේෂයෙන් විශිෂ්ට දක්ෂතා දක්වන මෙම සකුරා මල අපේ රටේ ක්‍රීඩාවේ අතරමං වූ බොහෝ යෞවනයින්ට කදිම ආදර්ශයක් බව කිවයුතු.

 

Comments