ලොව වටා | Page 2 | සිළුමිණ

ලොව වටා

හැරීට මේගන්ට පවුල තුළ සිටීමට ලැබේවා මිෂෙල් ඔබාමා පතයි

කෙනෙක්ට වැදගත්ම දෙය වන්නේ පවුල බැවින් හැරීට සහ මේගන්ට ස්වකීය පවුල තුළම සිටීමට ලැබේවා යැයි හිටපු ඇමරිකානු ජනාධිපති ආර්යාවක වන මිෂෙල් ඔබාමා පවසා තිබේ. ඒ හැරී සහ මේගන් ඔප්රා වින්ෆ්‍රී සමග පැවැත්වූ සාකච්ඡාව පිළිබඳව තම අදහස් දක්වමිනි. පවුල තුළ සෑමවිටම සාමය, ආදරය සහ සමාව පවතින බැවින් හැරී සහ මේගන් යළි තම පවුල සමග එක්වනු දැකීම තම සතුට බවද ඇය වැඩිදුරටත් පවසා තිබේ.

මිෂෙල් ඔබාමාද කළු ජාතික කාන්තාවක් වන අතර, මේගන් ගේ මව කළු ජාතික කාන්තාවක් වූ බැවින් හැරී මේගන් යුවළගේ දරුවාගේ සමේ වර්ණය බ්‍රිතාන්‍ය රජ පවුල තුළ කතාබහට ලක්ව තිබිණි. කෙසේ වුවද මිෂෙල් ඔබාමා පවසා ඇත්තේ තමා ප්‍රාර්ථනා කරන්නේ හැරී මේගන් තම පවුල සමග සතුටින් ජීවත් වනු දැකීම බවයි.


ටැන්සානියාවේ ජනාධිපති කෝවිඩ්වලින් මරුට

ටැන්සානියාවේ ජනාධිපති ජෝන් මගුෆුලි දින 17ක් පුරා අතුරුදන්ව සිටි බවට එරට මහජනතාව අතර ප්‍රචාරයක් පැතිර ගිය අතර මේ වනවිට ඔහු කොවිඩ් වැළඳීමෙන් මියගිය බවට ‍තහවුරු වී තිබේ.

ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම සම්බන්ධව කිසිඳු නිල හේතුවක්ද එරට රජය විසින් ප්‍රකාශයට පත් නොකළ අතර ජනතාව ඒ සම්බන්ධව විවිධ කටකතා පැවසූහ. පසුව තහවුරු වී ඇත්තේ ජනාධිපතිවරයා කොවිඩ් වැළඳීමෙන් මරුමුවට පත්ව ඇති බවයි. එහෙත් එරට රජය පවසා ඇත්තේ ජනාධිපතිවරයාගේ මරණයට හේතුව හෘදයාබාධයක් බවයි.

පසුගිය මැයි මාසයේ සිට ටැන්සානියාවේ කොවිඩ් ආසාධිතයන් පිළිබඳ තොරතුරු වාරණය වූ අතර ඔවුන් මේ දක්වා එන්නත් ලබා ගත් බවක්ද වාර්තා වී නැත.


ඕස්ට්‍රේලියාව එක්ක යාළු වෙන්න බයිඩ්න් චීනයට කියයි

චීනය ඕස්ට්‍රේලියාව සමග සබඳතා තර කර ගත යුතුව ඇතැයි ඇමරිකානු පාලනය විසින් චීනයට පවසා ඇතැයි වාර්තා වේ.

චීනයට මේ බව පවසා ඇත්තේ ඇමරිකානු ජනාධිපතිවරයාගෙ ඉන්දු - ෆැසිපික් කලාපයේ උපදේශක කර්ට් කැම්ප්බෙල් විසිනි. එසේ කළහොත් එය ‘ආර්ථික නිවැරදිකිරීමක්’ වනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් පවසා තිබේ. ඕනෑම අවස්ථාවකදී ඕස්ට්‍රෙලියාව කොන්දේසි විරහිතව ඇමරිකානු පාර්ශ්වය ගන්නා අතර ඒ හේතුවෙන් චීනයේ ප්‍රතික්ෂේපයටද ලක්ව තිබේ. මීට පෙර චීනය සමග සබඳතා වර්ධනය කර ගත යුතු බව නවසීලන්තයද ඕස්ට්‍රේලියාවට පවසා තිබේ.


පිලිපීනය - ඉතාලිය යළිත් වසා දමයි

කොවිඩ් ආසාදිතයන් ගණන යළිත් ඉහළ යෑමට පටන්ගෙන ඇති බැවින් ඉතාලියේ කඩසාප්පු වසා දැමීමටත් රාත්‍රී කාලයේ එළිමහනේ ගැවසීම නතර කිරීමට කටයුතු කරන බවත් බලධාරීහු ජනතාවට දැනුම් දී තිබේ.

මේ අතර පිලිපීනය පසුගියදා තම දේශසීමා විදේශිකයන් සඳහා වසා දැමීමට කටයුතු කරණු ලැබුවේ අඛණ්ඩව වර්ධනය වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව හේතුවෙනි.

මහාපරිමාණ එන්නත්කරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුවද ඉන්දියාවද යළිත් ජනතාවට සංචාරණ සීමා පැනවීමට සිදුවනු ඇතැයි බිය පළ කර තිබේ. මේ වන විටත් මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.

මේ අතර බ්‍රිතාන්‍යයේ මවක් ස්වභාවිකව කොවිඩ් සඳහා ප්‍රතිදේහ සහිත දරුවකු බිහිකර ඇතැයි වාර්තා වේ. ඒ අනුව එම දරුවා මෙලොව උපත ලද කොවිඩ් සඳහා ප්‍රතිදේහ සහිත ප්‍රථම මිනිසා ලෙස ඉතිහාසගත වීමට නියමිතය.


පකිස්තාන පාර්ලිමේන්තුවට වැඩි පඩි නෑ

පකිස්තාන මහජන නියෝජිතයන්ගේ වැටුප සියයට පනහකින් වැඩි කරන ලෙසට යෝජනා කරමින් ඉදිරිපත් කර තිබූ යෝජනාව අගමැති ඉම්රාන් ඛාන් විසින් ඉවත දමා ඇතැයි වාර්තා වේ.

පසුගිය මාර්තු 9 වැනිදා මේ යෝජනාව පකිස්තාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර, බලාපොරොත්තු වන ආර්ථික ඉලක්කවලට ළඟා වන තුරු වැටුප් වැඩි නොකරන බව පවසමින් අගමැතිවරයා එම යෝජනාව ඉවත දමා ඇතැයි වාර්තා වේ.

පකිස්තානයේ දීර්ඝ කාලීන ආර්ථික අවපාතය හේතුවෙන් එරට පාර්ලිමේන්තු සාමාජිකයන්ට බොහෝ කලකින් වැටුප් වැඩිවීමක් සිදු වී නොමැති බවට දෝෂාරෝපණයක්ද නැගෙමින් ඇතැයි පැවසේ.

Comments