කරුණානිධි - ජයලලිතා නැති මැතිවරණයකට තමිල්නාඩුව සූදානම් වෙයි | Page 2 | සිළුමිණ

කරුණානිධි - ජයලලිතා නැති මැතිවරණයකට තමිල්නාඩුව සූදානම් වෙයි

කරුණානිධි සහ ජයලලිතා

ප්‍රේල් මස හයවැනිදාව අපේ අසල්වැසි ඉන්දියාවේ, විශේෂයෙන්ම ආසන්නතම අසල්වැසි තමිල්නාඩුවේ ජනතාවට විශේෂ දිනයක් වනු ඇත. ඒ ඔවුන්ගේ ප්‍රාන්ත මහමැතිවරණයක් එදිනට පැවැත්වීමය. එමෙන්ම මේවර මැතිවරණය තමිල්නාඩු ජනතාවට විශේෂ මැතිවරණයක්ද වන්නේ ය. ඒ වසර ගණනාවකට පසු තමිල්නාඩුවේ ප්‍රධාන පක්ෂ දෙකේ නායකයන් නොමැතිව දෙවැනි පරම්පරාව විසින් මෙහෙයවනු ලබන ප්‍රථම මැතිවරණය එය වීමය. 

තමිල්නාඩුවේ ප්‍රධාන පක්ෂ දෙකකි. ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් සහ ඕල් ඉන්දියා අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් එම ප්‍රධාන පක්ෂ දෙක වේ. මේ අතරින් ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයේ පෙරගමන්කරුවා වූයේ කරුණානිධිය. පසුව තමිල්නාඩුවේ ජය කෙහෙලි නැංවූ සිනමා නළුවකු වූ එම්. ජී. රාමචන්ද්‍රන් දේශපාලනයට පිවිසෙන්නේ අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය පිහිටුවාගනිමිනි.

ඔහුගේ මග යමින් සිනමා නිලි ජයලලිතා දේශපාලනට පිවිසියේ අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයෙනි. පසුව එම පක්ෂය ඕල් ඉන්දියා අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් නම් විය.

මේ පක්ෂ දෙකම මේ දක්වා ජයග්‍රහණය කරා ගිය අවස්ථාවලදී ඒ සඳහා ඒවායේ නායකයන්ගේ බලපෑම විශාල විය. කරුණානිධි මෙන්ම ජයලලිතාද තමිල්නාඩු දේශපාලනයට නැතිවම බැරි චරිත විය. බොහෝ තමිල්නාඩු ජනතාව තම ඡන්දය ලබා දුන්නේ දේශපාලනඥයන් තමන්ට හෝ ප්‍රාන්තයට කළ සේවයට නොව ඔවුන්ගේ ප්‍රතිරූපයට විය. විශේෂයෙන් ජයලලිතා ප්‍රාන්තයේ පොදු දේපොළ සොරා කෑ බවට අධිකරණ තින්දු මගින් තහවුරු කර තිබුණද තමිල්නාඩු ජනතාව ඇයට ‘අම්මා’ යන විරුදාවලිය ලබා දෙමින් අතිමහත් භක්තියෙන් සැලකූහ. ඇය මියගිය පසු ඔවුහු හඬා වැටුණාහ.

දැන් මෙවර තමිල්නාඩු දේශපාලනයේ එම ප්‍රතිරූප චරිත අවසන්ය. තවදුරටත් තමිල්නාඩුවේ අම්මලා හෝ තාත්තලා නැත. සිටින්නේ එම අම්මලා තාත්තලාගේ මග යන්නට මහත් උත්සාහයක් ගන්නා බාප්පලා සහ පුංචි අම්මලාය. මෙවර තමිල්නාඩු මැතිවරණය විශේෂ වන්නේ ඒ නිසාවෙනි.

ප්‍රතිරූප චරිත නොමැති බැවින් මෙවර ජනතා මනාපය දිනා ගැනීමට ප්‍රධාන පක්ෂ දෙක කුමන අන්දමේ උත්සාහයක් දරුණු ඇතිද? , එම උත්සාහය ප්‍රතිඵලයට කිනම් බලපෑමක් කරනු ඇති යන්න දැන ගැනීමට මැතිවරණ ප්‍රතිඵලය එනතෙක් සිටීමට සිදුවනු ඇත.

ජයලලිතා තමාගේ අනුප්‍රාප්තිකයා ලෙස පන්නීර්සෙල්වම්ට බලතල ලබා දී තිබූ අතර ඔහු ඇයගේ සුවච ගෝලයා ලෙස පැවතියා මිස තම ප්‍රතිරූපය නංවා ගැනීමට යමක් කිරීමට අසමත් වූයේය. කෙසේ වුවද තමිල්නාඩුවේදී මධ්‍යම රජයේ බලය උසුලන අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ සහය හිමි වන්නේ ජයලලිතාගේ පක්ෂයටය. පසුගියදා ප්‍රාන්ත මැතිවරණය මූලික කරගත් රැස්වීමකදී අගමැති මෝදි ජයලලිතාට සහ එම්.ජී.රාමචන්ද්‍රන්ට මහත් ගෞරවනීය වදන් භාවිත කරමින් ඔවුන්ගේ දේශපාලන කැපකිරීම් අගය කර සිටියේය.

කරුණානිධිගේ පක්ෂයට ඉන්දීය කොංග්‍රසයෙන් සහය ලැබෙන අතර මේ වන විට මෝදිගේ වංගු හමුවේ කොංග්‍රසය පත්ව සිටින්නේ කිසිදා නොසිටි තරමේ අසරණ කමකිනි. පසුගිය ලෝක් සභා මැතිවරණයේදීද කොංග්‍රසයට බලාපොරොත්තු විරහිත මහා පරාජයක් හිමි වූ අතර මෙවර තමිල්නාඩු මැතිවරණයේදී එය කෙසේ වනු ඇත්දැයි අනාවැකි කිව නොහැකි වන්නේ තමිල්නාඩුව යනු ප්‍රතිපත්ති නොව, ජාතිකත්වය නොව, පුද්ගල ප්‍රතිරූප පමණක් විපර්යාස සිදු කරන දේශපාලනයක් ක්‍රියාත්මක වන ප්‍රාන්තයක් වන බැවිනි.

තමිල්නාඩුවේ පමණක් නොව ලබන අප්‍රේල් 6 වැනිදා ඉන්දියාවේ තවත් ප්‍රාන්ත කිහිපයකම මැතිවරණ පැවැත්වීමට නියමිතය. ඒ ඇසෑමය, බටහිර බෙංගාලය, පොන්ඩිචෙරි සහ කේරළයයි. තමිල්නාඩු, කේරළ සහ පොන්ඩිචෙරි ප්‍රාන්තවල එක් අදියරක් යටතේ මැතිවරණය පැවැත්වීමට නියමිත බවත්, අනෙක් ප්‍රාන්ත වන ඇසෑමයේ අදියර තුනකින් සහ බටහිර බෙංගාලය තුළ අදියර අටකින් මැතිවරණය පැවැත්වීමට නියමිත බව ඉන්දියාවේ මැතිවරණ කොමසාරිස් සුනිල් අරෝරා දක්වා සිටියේය.

ඒ අනුව බටහිර බෙංගාලයේ මැතිවරණය නිම වීමට මැයි මස අග වනු ඇති අතර ප්‍රතිඵල නිකුත් කිරීම සිදුවනු ඇත්තේ ජුනි මාසයේදීය. අපේක්ෂකයන් 824ක් මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත අතර, ඡන්ද දායකයන් මිලියන 180ක් ඡන්ද මධ්‍යස්ථාන ලක්ෂ 2.7කදී ඡන්දය පාවිච්චි කිරීමට නියමිතය.

2019 මහ මැතිවරණයෙන් ලැබූ අනපේක්ෂිත පරාජයෙන් පසු සංවිධාන කටයුතු අවම බව පෙන්වමින් සිටින කොංග්‍රස් පක්ෂය පවසා සිටියේ තමන් මැතිවරණයට සූදානම් බවය.

එම පක්ෂයේ ප්‍රධානියකු වන කේ.සී. විනූගෝපාල් පවසා සිටියේ තම පක්ෂය ප්‍රාන්ත මැතිවරණයේදී තමන්ට හිතවාදී පක්ෂ ජයග්‍රහණය කරවීමට කැපවෙමින් සිටින බවයි.

මහමැතිවරණ පරාජයෙන් පසු දේශපාලනයේ නිරත නොවන බව පැවසූවද පක්ෂය අත්හැර නොගොස් තවමත් තම පවුල් උරුමය වෙනුවෙන් කැපවෙන රාහුල් ගාන්ධි ද මැතිවරණය වෙනුවෙන් රැස්වීම් පවත්වමින් කොංග්‍රසයට හිතවාදී පක්ෂවල ජයග්‍රහණයට උර දෙමින් සිටින බව වාර්තා වන්නේය.

මේ අතර ආණ්ඩු බලය සහිත භාරතීය ජනතා පක්ෂය වඩා විශ්වාසනීය පිළිවෙතක සිටිමින් මේ ප්‍රාන්තවල තමන්ට හිතවාදී පක්ෂ ලබා ගන්නා ආසන ගණන පවා ප්‍රකාශ කිරීමට ඉදිරිපත් වී තිබේ. බටහිර බෙංගාලයේ බීජේපී පාර්ලිමේන්තු සාමාජික දිලිප් ගෝෂ් පවසා සිටියේ තමන් මෙවර බටහිර බෙංගාලයෙන් ආසන 200කට වඩා ජයග්‍රහණය කරන බවයි.

මෙවර මැතිවරණය පැවැත්වෙන ප්‍රාන්ත අතරින් විශාලතම ප්‍රාන්තය බටහිර බෙංගාලය වන අතර එහි මැතිවරණය මේ මස 27වැනිදා ආරම්භ කිරීමට නියමිතය.

අදියර අටක් යටතේ පැවැත්වෙන එම මැතිවරණයේ ප්‍රථම අධිරය මාර්තු 27 වැනිදාත් අවසන් අදියර අප්‍රේල් 29වැනිදාත් පැවැත්වෙනු ඇත. පොන්ඩිචෙරි, තමිල්නාඩු සහ කේරළ ප්‍රාන්තවල අප්‍රේල් 6වැනිදා එක් අදියරක් යටතේ මැතිවරණය පැවැත්වෙනු ඇති අතර අධියර තුනක් යටතේ පැවැත්වීමට නියමිත ඇසෑම් ප්‍රාන්තයේ මැතිවරණය මාර්තු 27, අප්‍රේල් 1 සහ අප්‍රේල් 6 යන දිනවල පැවැත්වෙනු ඇත.

මේ දින වකවානු දක්වමින් මාධ්‍යයට අදහස් දැක්වූ ඉන්දීය මැතිවරණ කොමසාරිස් සුනිල් අරෝරා පවසා සිටියේ මෙවර මැතිවරණය වංචා දූෂණවලින් තොර සාධාරණ මැතිවරණයක් බවට පත් කිරීමට තමාට කළ හැකි සියල්ලම කරන බවය. එහෙත් අප දන්නා තරමින් ඉන්දියාව යනු ඉන්දියාවමය.

Comments