හතළිස් වස් සැමරුමට පෙරම නික්ම ගියෙද සබඳ | සිළුමිණ

හතළිස් වස් සැමරුමට පෙරම නික්ම ගියෙද සබඳ

 

පාලිත සෙනරත් යාපා

නුඹ මෙරට ක්‍රීඩා සන්නිවේදනයට කළ අනුපමේය සේවය තවත් චිරාත් කාලයක් සමාජය තුළ ආරක්ෂා වේවි

'හීතෲ ගුවන් තොටුපොළේ 22 වැනි මඟී ගේට්ටුව වසා අහවරය. යළි ඔහුට එහි ඇතුළුවන්නට ඉඩක් නැත. එහෙත් දැන්නම් ඔහු යළි එන්නේම නැත.’

මේ එසේ නොඑන ක්‍රීඩා සහෘද මාධ්‍ය සගයා ගැන ‘අයි’ නාලිකාවේ හිටපු ප්‍රධානී හා රූපවාහිනී ක්‍රීඩා අංශයේ දිගු කලක් ඔහු හා යාවජීව ව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සුනන්දා හෙට්ටිආරච්චි අවදි කළ හඬය.

කිසිවක් නොලියා ඉන්නට පිළිවන. එහෙත් ඔහු ක්‍රීඩා සන්නිවේදනය වෙනුවෙන් කළ සේවය එසේ අමතක කරන්නට නොහැකිය. එම සේවයේ සිවුවැනි දසකය සම්පූර්ණ කිරීමට පෙර ඔහු නික්ම ගොස් ඇති බව ඇත්තය. එහෙත් ඔබේ නික්ම යාමෙන් ඇතිවූ හිඩැස පුරවන්නේ කවුරුන්ද යන්න ගැන දැනට මා දන්නේ නැත. සිතන්නේ ද නැත. ඔබ ඒ තරමටම දැවැන්ත සන්නිවේදකයෙකි. පුංචි සිරුරක් තුළ ජීවත් වූ පිදුරුතලාගල කන්දේ සවිකළ මහා සන්නිවේදන කුලුනකටද වඩා උසින් වැඩි සන්නිවේදකයෙකි.

නුඹ අපේ යුගයේ සන්නිවේදකයෙක් නිසා මම මෙසේ නොකියමි. අපේ භාෂාවෙන් කියන්නේ නම් නුඹ මගේ, අතුල රන්සිරිලාල්ගේ, විමලරත්න අධිකාරිගේ එසේත් නැතහොත් තවත් 26 දෙනෙකුගේ ‘බැචා’ වීම නිසා මෙසේ නොකියමි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නුඹ දක්ෂ සන්නිවේදකයෙකි, පරිපාලකයෙකි. විනය සම්බන්ධයෙන් උපරිමව සැලකිල්ලට බඳුන් කළ සහෘද පරිපාලකයෙකි.

මම නුඹ මුලින් හඳුනා ගත්තේ 1983 තරම් ඈත කාලයකය. එදා නුඹ මා දුහුනන් ලෙස රූපවාහිනියේ සෙවණ ලැබීමු.

නුඹ ආවේ කොළඹ ආනන්දයෙන් උගෙන, සිනමාව හා කටයුතු කර පරිචයක් ලබාගැනීමට උත්සුක වූ කලාකාමියකු වශයෙනි. පසුකලෙකත් නුඹට ‘මඩ පුවක් සුවඳ’ යැයි කියා බොහෝ දෙනෙක් හැඳින්වූයේ එකී සිනමා භාවිතය ය. ඒ කොළඹ සන්නිය චිත්‍රපටයේ ‘මඩ පුවක් ගඳයි’ යන දෙබස සිහිපත් කරමිනි. එකී දෙබසට නුඹ, අප හැරයන මොහොත දක්වාම සිනහසුණු බව මම දනිමි.

එවකට රූපවාහිනී සංස්ථාවේ සභාපති වූ එම්.ජේ. පෙරේරා මහතාගේ අවශ්‍යතාවයට අනුව දේශපාලන අධිකාරියේ හිතවතුන් නොවන තරුණ කණ්ඩායමකට රූපවාහිනියේ අනාගතය බාරදීමට ගත් තීරණයකට අනුව අප රූපාවාහිනියට පැමිණි බව සිහිපත් කළ යුතුය. දීර්ඝ සම්මුඛ පරීක්ෂණ අභියෝග තුනක් සමත්ව, සභාපතිවරයා පෞද්ගලිකව සහභාගි වූ සම්මුඛ පරීක්ෂණයකින් පසු ප්‍රමාණවත් නිර්මාණශීලීන් යැයි තීරණය කිරීමෙන් අනතුරුව අපි එලෙස රූපවාහිනියට පැමිණියෙමු.

මාස කීපයක් තිස්සේ විවිධ පුහුණු පාඨමාලා හදාරා රූපවාහිනිය, කැමරාව, ආලෝකකරණය, තිර රචනය, වැඩසටහන් ඉදිරිපත් කිරීම් ආදී මෙකී නොකී රූපවාහිනී ශිල්පී තාක්ෂණික කාරණා වන පොත්කර අපි අයත් 83 කණ්ඩායම නිදහස් චතුරස්‍රය ආසන්නයේ විසල් ගුවන් විදුලි සංස්ථාව අසළ නුග ගස පිටුපස සොඳුරු පරිසරයක පිහිටා ඇති රූපාවාහිනී සෙවණ තුළ ස්ථාපිත වූ මතකය අද මෙන් සිහිකළ හැකිය. නුඹ මට වඩා වයසින් බාලය. එහෙත් නුඹ 83 කණ්ඩායමේ උන් අපි 26 දෙනා අතරම රසවතෙක් විය. අනුකරණය, හාස්‍ය නුඹ මොනවට ප්‍රකට කළේය. ඒ නුඹේ කලාවේ ඇරැඹුම රංගන ශිල්පියකු වශයෙන් වූ නිසා විය යුතුය.

දෛවයෝගයකින් මෙන් නුඹ හා මා ඇරඹුමේදීම එක්වූයේ ක්‍රීඩා අංශයේ සේවය කරන්නටය. අප අතර මිතුරු දම තවත් දැඩි කිරීමට එයද පිටිවහලක් විණි. නුඹ මට බාල වූවාට 'යාපා මල්ලී' යැයි මම නුඹට කීවේ නැත. නුඹ 'සුනන්දා අක්කා' යැයි මට කීවේත් නැත. අප අතර තිබුණේ සහෝදරත්වයේ දැඩි බැම්මක් පමණි.

අප එකිනෙකාට ගෞරව කළ බව මම දනිමි. අපි උගත්, අපි ලැබූ ගුරුහරුකම් මධ්‍යයේ අපි රූපවාහිනිය තුළ නව නිමැවුම් සිදුකළෙමු. පසුකලෙක නුඹ ක්‍රීඩා අංශය හැරපියා ප්‍රවෘත්ති අංශයට ගියේය. පසුව එහිදී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ ක්‍රීඩා විශේෂාංගය සකස් කිරීමේ වගකීම බාර ගත්තේය.

වරක් ප්‍රවෘත්ති ආවරණ කටයුත්තකට ගොස් කටුනායකදී නුඹේ පාදයකට වෙඩි ප්‍රහාරයක් ද එල්ලවිණි. එයින් නුඹ කොතරම් වෘත්තීය වෙනුවෙන් කැපවුණු, සැබැවින් රූපවාහිනියට ආදරය කළ මිනිසකුදැයි රටටම පසක් විය.

කොයිතරම් නාලිකා තිබුණ ද අද ද ජාතික රූපවාහිනියේ ක්‍රීඩා අංශයේ පැවැති සුවිශේෂී ප්‍රාගුණ්‍යය අවසන් කාලයේ උරමත තබාගෙන සිටියේ නුඹය. විධිමත් පරිපාලන ක්‍රමවේදයන් යොදා ගනිමින් නුඹ සියලු මාධ්‍යවේදීන් මෙහෙයවූයේ හොඳම ක්‍රීඩා ප්‍රවෘත්තියක් රටට, ප්‍රේක්ෂකයාට ලබාදීමටය. නුඹේ උත්සාහයෙන් සජීවි ආවරණ කටයුතු සිය දහස් ගණනක් අපේ ජාතික රූපවාහිනියෙන් ලෝකය පුරා විකාශය කෙරුණේය. අදටත් රූපවාහිනි ක්ෂේත්‍රයේ සජීවි විකාශන කටයුත්තක දී නුඹ දක්වා ඇති නිසඟ විභවතා පසුකර යාමට සමතෙක් මෙරට තුළ නුඹට පසුව බිහිව සිටීදැයි මා දන්නේ නැත. නුඹ එතරම් විශිෂ්ට රූපවාහිනී සන්නිවේදකයෙකි.

නුඹ කැමරා අධ්‍යක්ෂවරයකු වශයෙන් බොහෝ දේ දැන සිටියේය. නිෂ්පාදකවරයකු වශයෙන් කෘතහස්ත විය. ක්‍රීඩා අංශයේ අධ්‍යක්ෂවරයා බවට පත්වූ පසු පරිපාලකයෙක් වශයෙන් නුඹ එකී තනතුරේ ගැටලු ඇති නොකරමින් විශිෂ්ට පරිචයකින් කටයුතු කළේය. 1991 හා 2006 දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලි දෙකක් සඳහා ජාතික රූපවාහිනිය මෙහෙයවූ සජීවී ආවරණයේ නුඹ පතාක ස්ථම්භයකි. ඒ මහා සජීවී ආවරණය දකුණු ආසියාව පුරා විකාශය කරද්දී නුඹ එකී සාර්ථකත්වය දරා සිටි එක් කුලුනකි.

පරිපාලකයකු වශයෙන් නුඹ දැක්වූ විශිෂ්ටත්වය කොතරම් ද යත් ආසියා ෆැසිපික් රූපවාහිනී ආයතනය නුඹගේ හදිසි අසනීප තත්ත්වය සවන් වැකුණු සැණින් ලොව ඕනෑම රටකට රැගෙන ගොස් නුඹේ ජීවිතය ගලවාගැනීමට ඉදිරිපත් විය. එහෙත් ඒ වෙද්දී නුඹ අපට වඩා ජීවිතයේ සදාතනික උරුමයක් වන රමණී යැයි කියන මරණී වෙත පෙම් බැඳ ඇය හා එක්වන බවට පොරොන්දු දී අවසන්ය. අප යම් උත්සාහයක නිරත වුවද එවිට ප්‍රමාද වැඩිය. නුඹේ පවුලේ නුඹේ දරුවන් මෙන් නුඹ බලාගත් දියණිය කළණි ඇතුළු සියලු දෙන නුඹ වෙනුවෙන් අපරිමිත වෙහෙසක් ගත්හ.

එහෙත් ඒ උත්සාහයන් රමණීය මරණී අභිමුව නුඹදී තිබූ ගිවිස්නාව නිසා පරාජය විය. නුඹ යන්නට ගියේය. යන්නටම යන්නට ගියේය. වසර හතළිහක රූපවාහිනියේ හමුවීම සම්පූර්ණ කරන්නට පෙරම නුඹ එලෙස නික්ම ගියේය.

අදත් නුඹ නැති පාළුවෙන් රූපවාහිනී මායිමේ සෙවණ සදන නුග ගස බලා ඉන්නා බව අපි දනිමු. රූපවාහිනී පිවිසුම් දොරටුවෙන් කඩිසරව එන, දකින, දකින මිතුරන් හා සිනාසෙන, කතා බහකරමින් ආයතනය තුළට යුහුසුළුව යන නුඹ හෙට නොඑන බව ද අපි දනිමු. එහෙත් අපි එක දෙයක් දනිමු. ඒ නුඹ මෙරට ක්‍රීඩා සන්නිවේදනයට සිදුකළ අනුපමේය සේවය තවත් චිරාත් කාලයක් සමාජය තුළ ආරක්ෂා වන බවය.

එහෙත් අප තව එක් දෙයක් පැහැදිලිව දන්නා බව කිවයුතුමය. ඒ නුඹ නික්ම ගියේ වේලාසනින් බවය. තව සැඳෑ සක්මනේ නියැලෙන්නට නුඹට කාලය ඉතිරිව තිබුණේය. එය අප තුළ මහත් ශෝකයක් දල්වා තිබේ. එහෙයින් දිවියේ පස්වරුවේ මුල් කාර්තුවේම නික්ම ගිය ප්‍රිය මිතුර, නුඹට සුබ ගමන් යැයි පවසන්නට මෙය අවස්ථාව කරගනිමු. ඒ මතු දිනෙක අප ද නුඹ හමුවන බවට ගිවිසමිනි.

 

 

Comments